විටෙක ඇය බිළිඳියකි. වරෙක දැරියකි, තරුණියකි, බිරිඳකි, මවකි, මිත්තනියකි. මෙසේ ගලා යන මේ ස්ත්‍රී ජීවිතය තුළ ඇය බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙන්නී ය. බොහෝ දුක් පීඩා තනිව ම ඉවසා දරා ගන්නී ය. “අම්මා නැති කල අප්පා කවර කල” යැයි පැරැණි කියමනක් තිබෙන්නේ ඇයගේ අසීමිත සෙනෙහස නිසාවෙනි. ස්ත්‍රී ජීවිතයක් ලබා මනුලොව ඉපදෙන්නේ සසරේ රැස් කළ පවක් නිසා ද? සුගති ලොවක ඉපදුණත් ස්ත්‍රී ජීවිතය පුරුෂ ජීවිතයට වඩා දුෂ්කර ඇයි? ඇය ගෙවන ජීවිත අරගලය කෙබඳු එකක් ද කියා මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ කළ සාකච්ඡාවකි මේ.
“පින්වත් මෑණියන් වහන්ස, මේ ලෝකයේ ඉපදෙන සත්වයන් ස්ත්‍රී, පුරුෂ ලෙස දෙයාකාරයි. ස්ත්‍රී ජීවිතයක් ලැබෙන්නේ සසරේ කරන ලද අකුසලයක් නිසා ද?”
“කෙනකුගේ කර්ම විපාකය කෙසේ විසඳෙනවා ද කියා කියන්නට නුවණක් අපට නැහැ. ඒ එය අචින්තනීය විෂයක් නිසා. නමුත් අපගේ භාග්‍යවතුන් වන්සේ එය මැනවින් දුටුවා. නමුත් සමහර සිදුවීම්වලින් අපට ස්ත්‍රී ජීවිතයක් ලැබෙන්නේ ඇයි කියා තේරුම් ගන්න පුළුවන්. එයට හොඳ ම උදාහරණය තමා ඉසිදාසි තෙරණියගේ කතාව.
අද කාලයේ සමහර කාන්තාවන් වගේ ම එතුමියත් බොහෝ සේ ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා. ප්‍රශ්නවලට කාලයේ වෙනසක් නැහැ. ඉසිදාසිගේ ජීවිතය හරිම ඛේදනීය යි. අසරණයි. ‘ස්ත්‍රියක් වුණේ ඇයි?’ කියා ඇයගේ සසර ජීවිතයෙන් පැහැදිලි වෙනවා. මේ ජීවිතයේ ඇය සුන්දර තරුණියක්. ඇගේ නිසි වයසේ දී මාපියන් ඇයව විවාහ කර දුන්නේ සිටුවරයෙකුට. ඒ සිටු නිවසේ දී ඇය ඉතාම නිහතමානීව, සැමියාට දේවත්වයෙන් සැලකූ කාන්තාවක්. නමුත් කාලයක දී කිසිම හේතුවක් නැතිව මේ සැමියාට ඇයව එපා වුණා. ඇය සමඟ විසීමට සැමියා අකමැති වූ නිසා ඉසිදාසි ඇගේ මාපියන් වෙත ගියා. දෙවැනි වරත් මව්පියන් ඇයව තරුණයකුට විවාහ කර දුන්නත් පෙර පරිදි ම මේ නිහතමානී තරුණියව විවාහක සැමියාට එපා වුණා. ඇය නැවත තම නිවසට ආවා. ඉසිදාසිගේ පියා සිඟමනේ යන තරුණයෙක් ගෙදරට කැඳවා ඔහුව නාවා සරසවා ඉසිදාසියව නැවත ඔහුට විවාහ කර දුන්නත් ඒ සිඟන්නාටත් ටික කලක දී ඇයව කිසිම හේතුවක් නැතිව එපා වුණා. ඔහුත් ඇය ව අතහැර දැමුවා. ජීවිතය කලකිරුණ ඇයට වාසනාවට මෙන් තෙරණින් වහන්සේනමකගේ ඇසුර ලැබුණා. එහි දී ඇගේ ජීවිතය වෙනස් වුණා. බුදු සසුනේ පැවිදි වී අරහත්වයට පත් වී පෙරවිසූ කඳපිළිවෙල දකින නුවණින් එතුමිය තම ජීවිතය දෙස ආත්මභාව හතක් ආපස්සට බලනවා. එවිටයි එතුමිය දුටුවේ ස්ත්‍රී ජීවිතය මෙතරම් විඳවන්නේ ඇයි? එයට හේතුව කුමක්ද? කියා.
එතුමිය දුටුවා ආත්මභාව හතකට පෙර තමා පුරුෂයෙක්. කඩවසම් මෙන්ම පොහොසත් රන්කරුවෙක්. ඔහු නිරන්තරයෙන් අනාචාරයේ හැසිරුණා, සල්ලාල ජීවිතයක් ගත කළා. විවාහක කාන්තාවන් ඇසුරු කළා. සෙල්ලක්කාර විදිහට ජීවිතය ගෙව්වා. “කරන කලට පව් මිහිරි ය මී සේ – විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ!” කියමන ඔහුට කදිමට ගැළපී ගියා. ඒ ජීවිතයෙන් චුත වෙනවාත් සමඟ ම ඔහු නිරයේ උපන්නා. නිරයෙන් චුත වෙලා වැඳිරියකගේ කුසේ ඉපදුණා. ඉපදිලා දින හතක දී වඳුරු රැලේ නායකයා ඒ වඳුරු පැටියාගේ රහස් අවයවය සූරලා කඩා දැමුවා. ඒ පර ස්ත්‍රීන් ඇසුරු කළ විපාකය යි. ඒ ජීවිතයේ දුක් විඳලා මිය ගොස් එක ඇසක් අන්ධ බූරු දෙනකගේ කුසේ උපන්නා. ඒ බූරු පැටියාගෙත් රහසඟේ ඇට තැලුවා. ඒ ජීවිතයෙන් මිය ගොස් ගව දෙනකගේ කුසේ ඉපදුණා. පෙර සේ ම ගව පැටියාටත් අත් වුණේ බූරු පැටියාට වූ ඉරණම යි. බොහෝ බර අදිමින් ගැල් ගෙනයමින් මේ වස්සා බර වැඩ කළා. කාලයක දී මේ ගවයාගේ ඇස් අන්ධ වුණා. ඒ අන්ධයෙක් වගේ පරදාර සේවනයේ යෙදුනු පාපයේ විපාකයයි. ඒ ගවයාත් ලෙඩ වෙලා මිය ගියා. ඊළඟ ජීවිතයේ දාසියකගේ කුසේ උපන්නා. මිනිස් ලොව ඉපදුණත් ස්ත්රියකත් නො වී, පුරුෂයෙකුත් නො වී නපුංසකයෙක් ලෙස උපන්නා. ඒ පරදාර සේවනයේ විපාක ලෙස යි. ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ආදරය ලැබුණේ නැහැ. එයින් චුත වෙලා උපන්නේ ගැල් නායකයෙකුගේ පවුලක ගැහැනු දරුවෙකු ලෙසයි. පියා ගත් ණය ගෙවා ගන්න බැරි වුණ නිසා ණය හිමියෝ අවුරුදු 16ක් වූ මේ තරුණිය බලෙන් රැගෙන ගියා. ඒ ණය හිමියාට ගිරිදාස කියා පුතෙක් හිටියා. ඒ පුතා ඉතා ගුණවත්. ඔහු මැයව විවාහ කර ගත්තා. ඔහුට තව බිරිඳක් සිටියා. ඒ බිරිඳට මේ තරුණිය ඊර්ෂ්‍යා කළා. දුෂ්ටකම් කළා. ඊළඟ ජීවිතයේ තමයි ‘ඉසිදාසි’ වී ඉපදෙන්නේ. ඒ දුෂ්ටකමට ඉසිදාසි ලෙස උපන් ජීවිතයේදීත් ඇය දුක් වින්දා. ‘මේ ස්ත්‍රී ජීවිතයක් ලැබෙන්නේ ඇයි?’ කියා කෙනෙක් සිතනවා නම් ඒ ස්ත්‍රී ජීවිතය ලබන කෙනා පිටුපස ලොකු කතාවක් ලියවී තිබෙනවා. සසරේ අප්‍රමාණ දුක් විඳලා මිනිස් ලෝකයේ ස්ත්‍රියක් වෙලා බොහෝ විට ඉපදෙන්නේ පෙර ජීවිතවල වරදේ බැඳුන අය යි.”
“ස්ත්‍රියගේ ඉරණම බොහෝ විට පුරුෂයාට වඩා අසරණයි. ඛේදනීය යි. ස්ත්‍රියට එවැනි තත්ත්වයක් උදාවන්නේ ඇයි?”
“අද බොහෝ කාන්තාවන් කියනවා මම ගැහැනියක් වූ නිසයි මෙතරම් විඳවන්නේ කියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා සත්වයා කර්මය තමාගේ දෙය කරගෙන, කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, කර්මය ඤාතියා කරගෙන, කර්මයට දාස වෙලා ඉන්නේ කියා. එසේ කර්මයත් සමඟ බැඳුණු ජීවිතයක් ගෙවන කෙනෙකුට තමන්ගේ ඉරණම ඛේදනීය ලෙස සැකසෙන විට ලෝකයට චෝදනා කරන්න දෙයක් නැහැ. පිටුපස්සේ තිබෙන්නේ තමා අතින් සිදු වූ වැරැද්දක්.
ඛේදනීය ජීවිතයක් ගෙවන කාන්තාව මේ සඳහා ධර්මයෙන් පිළිතුරු සෙවිය යුතු වෙනවා. ඇය මෙහෙම කල්පනා කරන්න ඕනේ. ‘මේ ගෙවන ජීවිතයට මම කාටවත් දොස් කිව යුතු නැහැ. මට මාව මුණගැසිලයි තිබෙන්නේ. කලින් ජීවිතවල මම තව කෙනෙකු වෙත මුදාහල දේ, කළ කී දේ දැන් මට ලැබිලා තිබෙනවා. හරියට කණ්ණාඩියක් ඉදිරියට ගොස් හිට ගත්තා වගේ. පෙර ජීවිතයක අන් අයට සැක ඉපැද්දුවා නම් මේ ජීවිතයේ නිරපරාදේ අන් අයගේ සැකයට බඳුන් වෙනවා. යම් අයෙකුට අභූතයෙන් චෝදනා කළා නම් මේ ජීවිතයේ අභූතයෙන් චෝදනා ලබනවා. තමන් සැපවත් පවුල් ජීවිතයක් ගෙවීමට කැමැති වුවත් පවුල් ජීවිතය බිඳී යනවා නම්, ‘සසරේ දී මම කාගේ හරි පවුලක් බිඳ දැමුවා වත් ද?’ කියා ඇය සිතන්න ඕනේ. තමන් ආදරය කරන අයත් සමඟ එකට ඉන්න ආසයි. නමුත් තමන් ආදරය කරන අය අනුන් උදුරා ගන්නවා. තමාට ඒ අය අහිමිවෙලා යනවා. එසේ නම් සසරේ දී මම මේ ලෙස ම ආදරයෙන් සිටි අයව උදුරා ගන්න ඇති. එනිසා ම ඒ දුක දැන් විඳිනවා. ඔබ සැමියාගෙන් සෙනෙහස ලැබෙන්නේ නැහැ කියා වෙන සෙනෙහසක් සොයන්න එපා. මේ ජීවිතයේ යම් කරුණකින් විඳවන කාන්තාවක් සිටිනවා නම් ලෝකයාට චෝදනා නොකර මේ ජීවිතයේ විඳවිය යුතු දේ මෙත් සිතින් ඉවසීමෙන් යුතුව විඳවා ඉවර කර ගන්නයි තිබෙන්නේ. සසරේ සිදු වූ වැරැද්ද නැවත කර ගන්නේ නැතිව සිටිනවා නම් සැනසිල්ලට තිබෙන්නේ එපමණයි. ‘ඇයි මට ම මෙහෙම වෙන්නේ? ඇයි මම මෙතරම් අසරණ වුණේ?’ කියමින් කඩා වැටෙන්නේ නැතිව ධර්මය තුළින් නැගී සිටියොත් ඇයට ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි.”
“යම් ස්ත්‍රියකට එක පිට එක ප්‍රශ්න එද්දීත් ආවේගයට පත් නොවී සන්සිඳෙන මාර්ගයක ගමන් කරන්න කැමැති නම් ඇය කළ යුත්තේ කුමක් ද?”
“දුක් ගැහැට එක පිට එන විට අපගේ ස්වභාවය වන්නේ ආවේගයත් ඒ සමඟම වැඩිවීම යි. සන්සිඳෙනවා කියන්නේ ලෙහෙසි දෙයක් නොවේ. සන්සිඳීමට මෙන්ම එවැනි අවස්ථාවක ධර්මය සිහිකර ගන්නටත් ලොකු හැකියාවක් තිබෙන්න ඕනේ. නමුත් අද බොහෝ කාන්තාවන් කුඩා ප්‍රශ්නයකදීත් ඉක්මන් තීරණ ගැනීම නිසා ජීවිතය කඩාකප්පල් කරගන්නවා. දික්කසාද වෙනවා. ස්වාමියා පුදනවා කියන දේ අහන්න දකින්න ලැබෙන්නෙ නැහැ. මිතුරියන් කියන්නේත් “ඇයි ඔයා දුක් විඳින්නේ? මුහුදේ ඉන්නේ එක මාළුවෙක් ද? ඔය මිනිහගෙන් වෙන් වෙන්න. ඔයාට රස්සාවක් තියෙනවා. ඔය මනුස්සයාට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබේවි.” කියලයි. “ඔයා තවත් ඉවසන්න” කියන කරුණ ඇසෙන්නේ ධර්මය දන්නා සත්පුරුෂයෙකුගෙන් පමණයි.
එනිසා ඔබේ ජීවිතයේ කුමන ප්‍රශ්නයක් තිබුණත් ඉක්මන් වෙන්න එපා. ඒ ප්‍රශ්නයට යම් කාලයක් දෙන්න. ස්ත්‍රියකට දිනන්න පුළුවන් එක ම තැන ඉවසීම යි. තමාගේ සැමියා අන් ඇසුරක් පටන් ගත්තා කියා දැනගත් විට තමාට වේදනාවක් එන්න පුළුවන්. නමුත් එසේ වූවා කියා කවදාවත් ශාප කරන්න එපා. පාඩම් උගන්වන්න යන්න එපා. එයාට පුළුවන් නම් මටත් පුළුවන් කියා වෙන දේක පැටලෙන්න එපා. අම්මා දරුවා දෙස බලන ආකාරයට සැමියා දෙස බලා ඔහුව වරදින් මුදවා ගන්න. ‘මම මගේ සැමියාට වරද තේරුම් කර දෙනවා’ කියන අධිෂ්ඨානයෙන්, ඉවසීමෙන් කටයුතු කරන්න. ඉක්මන් තීරණ ඔබව තවත් අසරණ කරනවා. සංසාරයේ විපතට වැටෙන්න යන වෙලාවේ සැමියාට අවශ්‍ය රැකවරණය දෙන්න. ප්‍රශ්නයක දී කලබල නොවී සන්සිඳී ඒ දෙස බැලීමට ඉගෙන ගන්න.
ස්වාමියා කෙරෙහි තිබෙන හෘදයංගම බව, ළෙන්ගතු බව ඔහුට හඟවන්න. ඔහුට ගරහන්න එපා. ප්‍රශ්නයක් නැති විට දී වගේම ඇති විටදීත් ඔහු අසල ම සිටින්න.
ඉක්මන් තීරණ ගන්න එපා. ඔබ විඳින්නේ කර්ම විපාකයක් නම් එය කවදා කෙසේ විසඳේදැයි අපි දන්නේ නැහැ. සමහර විට ස්වාමියාගේ සෙනෙහස ලබන්න තිබෙන පින අවසන් වෙලා නම් ඔහු තව කෙනෙකුට ළං වේවි. ඔබට ජීවිත කාලය ම දරුවන් සමඟ තනිවෙන්න වේවි. එසේ තනිවෙන සෑම විට ම තව තවත් සිල්වත් වෙන්න. පිරිසිදු ජීවිතයක් ගෙවන්න. යශෝදරා තෙරණිය ආදර්ශයට ගන්න. එවිට ඔබ තනි වෙලා නැහැ. වචනයෙන්, ක්‍රියාවෙන් සංවර වෙන්න. එසේ කරන කාන්තාවට මරණින් මතු සුගති සැප විඳින්නත් පුළුවන්.
අප බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පාරමී පුරද්දී බොහෝ දුක් කන්දරාවන් උසුලා සිටි යශෝදරාවෝ සසරින් එතෙර වුණා. ඒ සියලු දුක් අවසන් කළා. ඔබ එතුමිය වෙනුවෙන් පහනක් දල්වා, මලක් පුදා ප්‍රාර්ථනා කරන්න ‘ඔබ වහන්සේ වගේ සියලු දුක් දරා ගන්නට, සියලු දුක් උසුලා ගන්නට ධාර්මික රැකවරණය, ශක්තිය ලැබේවා!’ කියා.”
“ස්ත්‍රියක් ධර්මානුකූලව පෞර්ෂත්වයක් ගොඩනගා ගන්නේ කොහොමද?”
“මෙහි දී ඒ කාන්තාව සද්ධර්ම ශ්‍රවණයටත්, සත්පුරුෂ ආශ්රයටත් යොමුවිය යුතු වෙනවා. ස්ත්‍රී සිත නිතර ම වංචල යි. වංචනික යි. එහි පාපී ආශාවන් බහුලයි. ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, එකටෙක කිරීම නිතර ඇති වෙනවා. අසාධාරණයකට ලක් වූ ස්ත්‍රියකට අසත්පුරුෂයෙකුගේ ආශ්‍රය ලැබුණොත් ඇයට කියන්නේ “මේක මහා අසාධාරණයක්නේ. අතහරින්න එපා ඔයත් එකටෙක කරන්න.” කියා. නමුත් සත්පුරුෂයෙක් කිට්ටු වුණොත් කියන්නේ එක ම එක දෙය යි. “ඔයා ඉවසන්න. පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න. කාලයට ඉඩ දෙන්න. නැති නම් මේ ජීවිතේ විඳවන ඔයා නැවත වරද්දා ගත්තොත් ආයෙමත් සංසාරේ දුක් විඳින්න වෙනවා.” කියා අවවාද කරනවා. අප මෙත් සිතින් වාසය කරද්දී කර්ම විපාක වේගයෙන් ගෙවී යනවා. අලුතින් පව් රැස් වෙන්නේ නැහැ. සමහර විට තමාගේ ස්වාමියා වරදේ බැඳෙනවා වෙන්න පුළුවන්. නමුත් ස්ත්‍රිය එකටෙක කරන අදහසින් වරදේ බැඳිය යුතු නැහැ. ස්වාමියා නිතර ම තමාට පරුෂ වචනයෙන් කතා කරමින් රණ්ඩු කරනවා වෙන්න පුළුවන්. නමුත් ස්ත්‍රිය ස්වාමියා කෙරෙහි කිපෙන්න හොඳ නැහැ. ඔහුගෙන් ස්වාමියකුගේ යුතුකම් ඉටු නොවෙනවා වෙන්න පුළුවන්. එසේ වූවා කියා ස්ත්‍රිය යුතුකම් ඉටු නොකර සිටිය යුතු නැහැ. මේ ගෙවන ජීවිතය අසාධාරණයි කියා කාන්තාවකට සිතෙන්න පුළුවන්. නමුත් ස්ත්‍රිය කළ යුත්තේ අසාධාරණ වූ සංසාරයේ සාධාරණය සොයා තවත් බැට කන කෙනෙක් නොවී අසාධාරණ සංසාරයෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක නිරත වීම යි. මහානාරද කස්සප ජාතකයේ සඳහන් වෙනවා කෙනෙක් විඳවන ස්ත්‍රී ජීවිතයෙන් අතමිදෙන්නට කැමැති නම් “සක් දෙවිඳුට උපස්ථාන කරන පරිචාරිකාවන් වගේ ස්වාමියාට උපස්ථාන කරන්න, ස්වාමියා පුදන්න.” කියලා. ඒ හේතුවෙන් ස්ත්‍රී ජීවිතයෙන් ගැලවෙන්න පුළුවන් කියා සඳහනක් තිබෙනවා.
එනිසා කර්ම, කර්ම විපාක ගැන බුදුරජාණන් වහන්සේනමක් දේශනා කළ ධර්මය ඇසෙන කාලයක මේ මනුස්ස ලෝකයේ ඉපදිලා අපි ජීවිතය වරද්දා ගත්තොත් දුෂ්ප්‍රාඥයින් ලෙස මේ ජීවිතය ගෙවා අවසන් කරන පිරිසක් වෙනවා. එනිසා අපි ආශා කළ යුත්තේ මේ ස්ත්‍රී ජීවිතයෙන් නිදහස් වෙන්නයි.
වෛශ්‍රවණ දිව්‍යරාජයාට සුරූපි දියණිවරු හතර දෙනෙක් සිටිනවා. ඈලා ඉතා ආනුභාව සම්පන්න යි. මේ හතර දෙනා මිනිස්ලොව සිටින කාලයේ ස්වාමියාට දෙවියෙකුට ලෙස සලකලා තිබෙනවා. තව්තිසා දෙව්ලොව දෙවඟනන් බොහෝ දෙනෙක් මිනිස්ලොව දී ස්වාමි භක්තියෙන් ඉඳලා මිනිස්ලොව අත්හරිද්දි දිව්‍ය ලෝකයේ ඉපදිලා තිබෙන අයයි. එනිසා ස්වාමි භක්තිය ඔබ දිනෙන් දින දියුණු කර ගන්න. එය විනාශ කර ගන්න එපා. මිනිස් ලොව ජීවත් වූ එක් මවක් සංඝයාට නිරන්තරයෙන් උපස්ථාන කළා. ඒ වගේම ධර්මය ශ්‍රවණය කර ධර්මයේ හැසිරෙන ගමන්ම ස්ත්‍රී ජීවිතයට, ස්ත්‍රී අලංකාරයට, ස්ත්‍රී හැසිරීම්වලට ආශා නොකර පුරුෂ භාවය වඩලා ඒ අම්මා මිය ගොස් ගෝපක නමින් සක් දෙවිඳුගේ පුත්‍ර ස්ථානයේ ඉපදුණා.
එනිසා ජීවිතයේ ප්‍රශ්න ගැටලු එන විට හඬා වැටෙන්නේ නැතුව, විලාප නොතියා ධර්මානුකූල ගුණ සම්පත්තියකින් තමාගේ ජීවිතය දියුණු කර ගැනීම යි කළ යුත්තේ. ඇයට මහා පෞරුෂයක් වගේම අභිමානයක් තිබෙන්න ඕනේ විඳවන ජීවිතය විඳවා අවසන් කර ගන්න. කර්මානුරූපීව මුහුණ දෙන සංසාරයට හොඳම විසඳුම තිබෙන්නේ ධර්මය තුළයි.”
“ජීවිතයට සදාකාලික සැනසිල්ලක්, ස්ථිරසාර විසඳුමක් ලබා ගන්න කැමැති ස්ත්‍රියට යම් ප්‍රාර්ථනාවක් කළ හැකි ද?”
“බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා අප ගමන් කරන්නේ සංසාර ගමනක කියා. සසරේ අපි බොහෝ දුක් විඳ තිබෙනවා. මේ සංසාර ගමනේ කෝටි ප්‍රකෝටි ජීවිත ලැබුවොත් කෝටි ප්‍රකෝටි ගණන් විඳවන්නට වේවි. එනිසා බුද්ධ ශාසනයක ස්ථිරසාර විසඳුමක් සොයනවා නම් ධර්මයට ම ළං විය යුතුයි. ස්ත්‍රියක් බැට කන්නේ රාග, ද්වේෂ, මෝහ නිසා නම් ඒ සියල්ල ම අයිති සසරට යි. ඇය ස්වාමියා, දරුවන්, ගේ දොර, යානවාහන නිසා දුක් විඳිනවා නම් ඒ සියල්ලමත් අයිති සසරට යි.
තමාගේ ස්වාමියා “නුඹ මට එපා” කියා බැහැර කරද්දී ඉසිදාසි තෙරණිය ස්ථිරසාර සැනසුමක්, විසඳුමක් සොයා ගත්තා. ඒ වගේ ම බහුපුත්තිකා මව තම දරුවන් ප්‍රතික්ෂේප කරද්දී ඒ දරුවන්ට ශාප නොකර බුද්ධ ශාසනයෙන් ස්ථිරසාර විසඳුමක් සොයා ගත්තා. මළ දරුවෙක් කර පින්නාගෙන විලාප දෙමින් ගිය කිසාගෝතමී ස්ථිරසාර විසඳුමක්, සැනසිල්ලක් බුද්ධ ශාසනයෙන් ලැබුවා. ස්වාමියා, දරුවන්, මව්පියන්, සහෝදරයා අහිමි වී පිස්සියක් වගේ දුව ගිය පටාචාරාවන් ස්ථිරසාර විසඳුමක් සොයා ගත්තේ බුද්ධ ශාසනය තුළින්. එනිසා මවක් වේවා, දුවක් වේවා යම් ප්‍රශ්නයක් නිසා දුක් විඳිනවා නම් ඒ දුකට, ඒ කඳුළට ස්ථිරසාර විසඳුමක් ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තුළින් පමණ යි. ඔවුන් ළං විය යුත්තේත් බුද්ධ ශාසනයට යි. සත්පුරුෂ ඇසුරට යි. සද්ධර්ම ශ්‍රවණයට යි. එතැන සියල්ලට ම විසඳුමක් තිබෙනවා. ස්ත්‍රී ජීවිතය දිනුවා කියන්නේ ඒ උත්තමාවියන්ට යි.
එනිසා දුක් විඳින ස්ත්‍රී ජීවිතයෙන් සදහට ම නිදහස් වීමට කැමති සියලු දෙනා මේ බුදු සසුන වටා රොද බඳිත්වා!”
නයනා නිල්මිණී.
Recent Comments