මේ එක තාත්තා කෙනෙකුගේ සහ පුතෙකුගේ කතාවක්. ඔවුන් දවසක් ස්කූටරයක ගමනක් යමින් සිටියා. අතරමගදී ඒ තාත්තාට දකින්න ලැබුණා පාර අයිනේ තියෙන විශාල මඩවළක දරුවන් පිරිසක් යමක් සොයමින් සිටිනවා. ඔහු ස්කූටරය එතන නවත්වලා ඔවුන් ළඟට ගිහිල්ලා අහනවා “දරුවනේ, මොකක්ද මෙතන හොයන්නේ?” කියලා. එතකොට ඔවුන්ගෙන් එක්කෙනෙක් කිව්වා
“ඇයි ඔබට පේන්නේ නැද්ද, මේ ඉස්සරහ රත්තරන් පළතුරක් තියෙනවා?
අපි ඒක ලබාගන්නයි උත්සාහ කරන්නේ.”
ඔහුගේ ඒ කතාව අසද්දි ම තාත්තාගේ අවධානය යොමු වුණා ඒ රත්තරන් පළතුර දෙසට. එය දිලිසෙමින් තිබුණා. එතකොට ඔහුගේ හිතේ මැවී පේන්න පටන් ගත්තා ‘මේ රන් පළතුර මගේ පුතාට විතරක් ලැබෙනවා නම්, එයාගේ ජීවිතේ විතරක් නෙවෙයි, මගේ ජීවිතයත් වෙනස් වේවි’ කියලා.
ඉතින් ඔහු වැඩිදුර නොසිතා තමන්ගේ පුතාව ඒ මඩවළට තල්ලු කරලා කිව්වා “ඔයා මොනම විදිහකින් හරි ඒ පළතුර ගේන්න ඕනෙ” කියලා. නමුත් පුතාට ඒ පළතුර ඕනෙ වුනේ නෑ.
ඔහුට තිබුණේ වෙනම සිහිනයක්. ඔහු ගොඩක් උත්සාහ කළා තමන්ගේ තාත්තාට තේරුම් කරලා දෙන්න “මගේ සතුට තියෙන්නේ මේ පළතුරේ නෙවෙයි. මගේ සතුට තියෙන්නේ වෙනත් තැනක. මගේ සිහිනය වෙන එකක්” කියලා. නමුත් තාත්තා ඔහුගේ එක වචනයකටවත් ඇහුම්කන් දුන්නේ නෑ.
ඔහු පුතාව මඩ වළට තල්ලු කරලා කිව්වා “මට ඔයා කියන දේ අහන්න ඕනෙ නෑ. මම ඔයාට කියන්නේ ඒක අරන් එන්න කියලයි.”
ඉතින් ඒ පුතා තමන්ගේ තාත්තාගේ සිහිනය සැබෑ කිරීම සඳහා මුළු ජීවිතේ ම කැපකළා. හැම විදිහකින් උත්සාහ කළා ඒ රන් පළතුර තමන්ගේ අතට ගැනීම සඳහා. නමුත් ඒ රන් පළතුර ලබාගැනීමට අත්පා හසුරුවද්දී එයා තවත් ගැඹුරට ගිලෙන්න පටන් ගත්තා.
එතකොට ඔහුට තේරුණා මේක මඩවළක් නෙවෙයි, මඩ වගුරක් කියලා. එයා කෑගහන්න පටන් ගත්තා. තාත්තාට කතා කළා. නමුත් තාත්තා ඔහුට ඇහුම්කන් දුන්නෙ නෑ. “බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. ඔය අනිත් අයත් කරන්නේ. උන්ට පුළුවන් නම් ඇයි උඹට බැරි?” තාත්තා එහෙම කිව්වා.
ඉතින් ඔහු තව පාරක් උත්සාහ කළා, දිවි පරදුවට තියලා උත්සාහ කළා. නමුත් ඔහුගේ අතට කිසිවක් හසුවුනේ නෑ. ඔහු ටිකෙන් ටික මඩ වගුරේ යටට ගිලිලා මරණයට පත්වුණා.
එතකොට තාත්තාට තේරුම් ගියා එයාගේ අතින් මොනතරම් ලොකු වැරැද්දක් ද වුනේ කියලා. ඔහු එතන ම වාඩිවෙලා කෑගගහ අඬන්න පටන් ගත්තා. එතකොට ම එතනට එක ඥාානවන්තයෙක් ආවා. ඒ ඥාානවන්ත පුද්ගලයා දරුවාගේ පියාගෙන් ඇහුවා “ඇයි ඔබ අඬන්නේ?” කියලා. එතකොට දරුවාගේ පියා අර රන් පළතුර දිහාවට ඇඟිල්ල දික් කරලා ඒ ඥාානවන්තයාට තමන්ගේ සම්පූර්ණ කතාව කිව්වා. “එතන මගේ වැරැද්ද මොකක්ද? මම හැම දෙයක් ම කළේ මගේ පුතාගේ සතුට වෙනුවෙන්.” ඔහු කිව්වා.
ඒ නුවණැත්තා ඒ පළතුර දිහා ඉතාමත් ඕනෑකමින් බැලුවා. බලලා දරුවාගේ පියාට කියනවා “රන් පළතුරක් නිසාවෙන් ඔබ තමන්ගේ පුතාව අහිමි කරගත්තා. අඩුම ගානේ එක පාරක්වත් ඉතාමත් සැලකිල්ලෙන් ඒ පළතුර දිහා බැලුවා නම් තේරෙනවා එතන ඇත්තටම රන් පළතුරක් තියෙනවද නැද්ද කියලා.”
ඒක අහලා ඔහුට කේන්ති ගියා. “මේ ඉස්සරහ පේන්න තියෙන්නේ රන් පළතුර. ඔබට පේන්නෙ නැද්ද?”
එතකොට නුවණැත්තා ඒ මඩ වළට උඩින් තිබුණ ගහක අත්ත දිහාවට ඇඟිල්ල දික් කරලා කිව්වා “මඩ වළේ ඔබට පෙනෙන්නේ අන්න අර රන් පළතුරේ ඡායාවයි. ඇත්ත පළතුර අර ගහ උඩයි තියෙන්නේ.”
ඊට පස්සේ නුවණැත්තා අර පියාට කිව්වා “තමන්ගේ පුතාව බලෙන් ම මඩට තල්ලු කරනවා වෙනුවට, ඔහුගෙන් ‘ඔබේ සතුට තියෙන්නේ කුමක් මත ද?’
කියලා අහනවා වෙනුවට ඔබ වෙනත් දෙයක් කළා. ඔබ පුතාගෙන් ඇහුවා නම් ‘පුතේ, කියන්න. ඔයා මොකක්ද කරන්න කැමති? ඔයාගේ සතුට තියෙන්නේ කොතනද?’ කියලා, ඔයාගේ පුතා තවමත් ජීවතුන් අතර ඉන්නවා විතරක් නෙවෙයි, ඇත්ත ම රන් පළතුර එයාගේ අතේ වෙන්නත් පුළුවන්කම තිබුණා….
පසු සටහන –
සෑම දෙමාපිය කෙනෙකුගේ ම බලාපොරොත්තුව තම දරුවාව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වැනි ඉහළ පෙළේ රැකියාවක් කරන කෙනෙකු බවට පත්කිරීමට යි. ඒ වෙනුවෙන් දරුවා යැවිය යුතු පාසල, ඔහුට ඉගැන්විය යුතු ගුරුවරුන්, ඔහු තෝරාගත යුතු විෂයයන්
ආදී සියල්ල ම තීරණය කරන්නේ මව්පියන්. නමුත් කුඩා අවධියේ කෙසේ වෙතත් තේරෙන වයසට පත්වන විට, තමාගේ දැනුම හා හැකියාවන් අනුව තම ජීවිකාව වෙනුවෙන් තෝරාගත යුත්තේ කුමන වෘත්තියක් ද කියා දරුවාට තේරුම් ගත හැකියි. තමාගේ රුචිය අනුව සිදුකරන ඕනෑම වෘත්තියක් ඔහුට හෝ ඇයට ඉතාමත් සතුටින් කළ හැකි වනවා සේ ම එම වෘත්තිය තුළ ඉහළ තලයකට යාමට ද ඔවුන්ට හැකියාව පවතිනවා.
නමුත් සමාජ තත්ත්වය ගැන සිතා දෙමාපියන් විසින් දුර දිග නොබලා, තම දරුවාගේ අනාගතය තීරණය කරන්නට යෑමෙන් උසස් අධ්‍යාපනය ලබන කාලය තුළදී එම දරුවා දැඩි මානසික පීඩනයකට ලක් වෙයි. එය ඇතැම්විට සිය දිවි නසාගැනීමක් දක්වා දුර දිග යා හැකියි. ලංකාව තුළ එම තත්ත්වය කෙසේ වෙතත් ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත වලට අනුව ඉන්දියාව තුළ සෑම පැයකට වරක් ම එක් ශිෂ්‍යයෙක් සිය දිවි නසා ගන්නා බවත්, සෑම දිනකට ම එවැනි සියදිවි නසාගැනීම් 28 ක් වාර්තා වන බවත් දැක්වෙනවා.
දරුවාගේ සතුට ඇත්තේ යම් වෘත්තියක් මත ද, එම වෘත්තියේ නියැළීමෙන් තම ජීවිකාව සුවසේ ගත කිරීමට හැකි යැයි විශ්වාසයක් දරුවා තුළ ද පවතින්නේ නම්, ඒ සඳහා ඉඩ සලසා දීම දෙමාපියන්ගේ වගකීම ය.
සටහන – ධනංජය වීරසිංහ
Recent Comments