උඳුවප් මාසයේ පුන් පොහෝ දිනය එළඹෙන්නේ දිවමන් මුනිඳු වැනි වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, භික්ඛුණී සංඝයා හෙළදිවෙහි පිහිටුවාලනු පිණිස සංඝමිත්තා රහත් උත්තමාවත් ලක්දිවට වැඩම කරලීම සිදු කෙරුණු පූජනීය අතීතය අපට සිහිපත් කරවමින්. ඒත් එක්ක ම මේ උතුම් පුන් පොහෝ දිනයේ පටන්, සමනලගිර මස්තකයේ පිහිටි සිරිපා පියුම වන්දනාමාන කරන්නට ජනී ජනයාට ඉඩ ලැබෙන ‘සිරිපා කරුණා වාරය’ ආරම්භ වනවා… ඔව්…! මේ තමයි වාරය…!
කවදහරි දවසක ඔබ අවාරයේ සිරිපා කරුණා කරලා තිබෙනවා ද? හුදු අත්දැකීමක් පමණක් ම නොවුණු – මේ ලිපියට නිමිත්ත බවට ද පත් වුණු මගේ පළමු සිරිපා කරුණා කිරීම සිදු කෙරුණේ නම් අවාරයක දී… ඒ, සිරිපා වන්දනා වාරය අවසන් වී මසකට පසුව පොසොන් මාසයක දී. එය, සිරිපා වන්දනා වාරයේ දී සිරිපා මළුව දක්වා හැටන් නල්ලතන්නි මාර්ගයේ එක්රැස් වුණ කැලිකසළ පහළට ගෙන ඒමේ අරමුණින් සංවිධානය වුණ ගමනක්. තුන්සරණේ කවි ඇහෙන්නේ නැති, තැන තැන ඉදි වුණු කඩපිල් නැති, ජනයාගෙන් හිස් වුණු සිරිපා මාර්ගයේ අකලට ඇද හැළෙන වැසිවලටත් වරින්වර තෙමි තෙමී – ආයෙමත් තද අව්වෙන් වේළෙමින් අපේ නඩය සිරිපා මළුවට ගොඩවැදුනා.
සම්බුදු සිරිපා කමල සුපිහිටි විහාරය වසා දමලා. එයට ඇතුළු වන්නට, ඒ සිරිපා මස්තකයේ සිරස තබා වන්දනා කරන්නට අවස්ථාවක් අවාරයේ දී නොලැබෙන බව මං දැන ගත්තේ ඒ වෙලාවෙදියි… ඔව්, වෙහෙස දරාගෙන – දුෂ්කර මගක් ගෙවාගෙන මුදුනට ම නැගුණා වුණත් සමනලගිර මුදුනේ හැපි හැපී ගත හී ගඩු නංවන සීත සුළඟින් වෙව්ලා වැටෙමින් සිරිපා විහාරය දෙසට හැරී වන්දනා කරනු මිස සිරිපා පියුම ළඟ හිස නමා වැඳ වැටෙන්නට මට ඉඩක් ලැබුණේ නැහැ… අදටත් මට සිරිපා වාරය ඇරඹෙද්දී ඒ මොහොතේ සිතට දැනුණු හිස් බව සිහිපත් වනවා.
සමනලගිර මුදුනට ම ගිහිල්ලත්, සිරිපා කමල මත සිරස තියන්න නොලැබීම අලාභයක් නෙමෙයි ද? හොඳට විමසා බැලුවොත් සම්බුද්ධ ශාසනයක ශ්‍රාවකයන් වන්නට පින් තිබුණු මේ මිනිස් ජීවිතයේ චාරිකාව අප බොහෝ දෙනෙකු විසින් අවසන් කරනු ලබන්නේත් ඒ විදිහට ම තමයි. මාවත පැහැදිලි ව තිබිය දී ම, මග කියන්නවුන් සිටිය දී ම, ක්ෂණ සම්පත්තියේ ඵල නොලබා අප වෙනත් තැනක උපතක් කරා යනවා… අලාභයක් නෙමෙයි ද?
සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වූවත් නැතත් අප උපන් මේ කාම ලෝකයේ දුක්ඛිත භාවයන් එලෙසින් ම පවතිනවා. භවභෝග සම්පත් උපයන්න – භවභෝග සම්පත් රැකගන්න දරන වෙහෙස, ඒ තුළින් උපදනා පීඩාවන් සෑම කාලයකට ම පොදු වූවක්. මේ කාමයන් ගැන සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ උකුස්සෙකු විසින් ඩැහැ ගත්ත මස් කැබැල්ලක් බඳු වූවක් කියල යි. මස් වැදැල්ල අල්ලාගෙන සිටිනතාක් කල් සෙසු උකුස්සන්ගේ ප්රහාරයන්ට, ලුහුබැඳීම්වලට, බිය වැද්දීම්වලට, තර්ජනයන්ට මුහුණ පාන්නට සිදු වනවාමයි. අත්නොහැර මස් කැබැල්ල තබා ගන්න උත්සාහ කරන්න කරන්න ඒ සියලු පීඩාවන් ද භාර ගත යුතු වෙනවා. එහෙම කළා කියලත් මස් කැබැල්ල තමන්ට මිස අන් අයෙකුට ගන්නට ලැබෙන්නේ නැහැ කියා නියමයක් නෑ. කාමය කියා කියන්නේ අන්‍ය සාධාරණ වූවක්. බලපරාක්රමයෙන්, උපායෙන් අන් අයට පැහැර ගත හැක්කක්. අවසානයේ පොර බැදීමෙන් හට ගත් වෙහෙස, පීඩාව, අපේක්ෂා භංගත්වය පමණක් ඉතිරි වනවා. විඩාපත් කයෙන්, බිඳීගත් සිතින් මේ නවාතැන අත්හැරලා වෙන තැනකට යන්න සිද්ධ වෙනවා. සිතින් කයෙන් වචනයෙන් රැස් කළ දේවලින් පැවැත්ම නිර්මාණය වෙනවා. ආයෙ ආයෙමත් දුක උපදිනවා.
සෑම මනුෂ්‍යයෙකුට ම පොදු ඒ රටාව වෙනස් කරන ආශ්චර්යවත් දර්ශනය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වී වදාරනු ලබන්නේ. පැවැත්ම වෙනුවට නැවැත්ම කැමැති වන නුවණැත්තන්ට ඒ ධර්මය අතිශයින් ගෝචර වෙනවා. ඔවුන් වහවහා ගිහි බන්ධනවලින් බැහැර වෙනවා. අනගාරික සසුනේ පැවිද්ද ලබනවා. කෙලෙස් යුද්ධයට වැදී භව බැමි සුණුවිසුණු කරලා අමනිවන් වඩිනවා. ඒ උත්තම ප්‍රඥාවන්තයින්ගේ යුගය තමයි සම්මා සම්බුද්ධ රාජ්‍යයේ ආරම්භය…
ඇතැමුන්ට ගිහිබන්ධනයන්ගෙන් බැහැර වන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. එසේ තිබියදී ම ඔවුන් කාමයන්ගේ වීතරාගී බවට පැමිණ වාසය කරනවා. ගිහි ජීවිතයේ යුතුකම්, වගකීම් නොපිරිහෙළා ඉටු කරනවා. නැවත කාම ලෝකයකට බැස නොගන්නා විඤ්ඤාණයෙන් යුතුව අනාගාමී බ්‍රහ්ම තලයන්ගේ ඉපිද එහි දී පිරිනිවන් පානවා. ඒ පූජනීය මිනිසුන්ගේ යුගයත් දැන් අවසන් වෙලා.
තවත් උදවිය කාමභෝගී ගිහි ජීවිත පරිහරණය කරමින් ම වුණත්, රට රාජ්‍යය කරවන රජ මැති සිටු කුලවල වේවා – වෑයමෙන් ජීවිකාව උපයා ගන්නා සෙසු දීන කුලයක වේවා ඉපිද සිටිය දී ම නොසිඳ ගත් ශ්‍රද්ධාව ඇති ව, දියුණු කරන ලද ප්‍රඥාව ඇතිව ධර්ම මාර්ගය පුරුදු කරනවා. ඒ යුගයත් දැන් අවසන් ද?
එය තීරණය වන්නේ ඔබ අප මත… ජීවිතයේ වෙහෙස දරාගෙන ම, නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දෙමින් ම, ස්වකීය වසඟයේ පැවැත්විය නොහැකි ජීවිතයක් පරිහරණය කරමින්ම ධර්ම මාර්ගය පුරුදු කරනවා යන්න කළ නොහැක්කක් නොවෙයි. අප වැනි ම වූ මිනිසුන් තමයි අතීතයේ එසේ කටයුතු කළේ…
ඔවුන්ගේ ජීවිත කරා ලෙඩ රෝග උපද්‍රව පැමිණියේ නැති ද? පැමිණියා. ඔවුන්ගේ ජීවිත දැහැමි පාලකයන් විසින් සෑම කල්හිම සුඛිත මුදිත කොට පැවතුණා ද? නැහැ. ඔවුනුත් රාජ්‍යයේ පිරිහීම්වලට මුහුණ දුන්නා.
ඔවුන්ට ඔවුන්ට පවුල් පරම්පරාවන්ගේ දූදරුවන්ගේ විපත්තීන්, භවභෝග සම්පත්තීන්ගේ නැසී යාම් සිදු වූයේ නැති ද? ඒ සා විපත් හමුවේ පවා ඔවුන් ද සරණ ලැබූවා. එසේනම්, සරණ යනු විපතේ අඩුවැඩි ස්වභාවය අනුව පිහිට සැලසෙන්නක් නොවන බව අප තේරුම් ගත යුතුයි.
සරණ යනු හදවතේ පිහිටන්නක්. තමන්ට ඇති එකම පිහිට, ආරක්ෂාව, රැකවරණය තෙරුවන බව අදහා ගැනීමක් තිබෙනවා නම්, එහිලා විපිළිසර භාවයක් නැති නම් උල තබා මරණයට පත් කෙරුණත් සරණ නම් ලැබෙනවා ම යි… අනුරාධපුර යුගයේ දී රාජ්‍ය ලෝභයෙන් මඩිනු ලැබූ සිරිනාග බ්‍රාහ්මණයා විසින් අණ කරද්දීත් තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ ධාතු චෛත්‍යය බිඳින්නට අකමැති වෙමින් සරණ ම සිහි කළ බහුලා නම් කුලහීනයාත්, ඔහුගේ පුතුන් සත් දෙනාත් උල හිඳුවනු ලැබ සිටිය දී දෙව්ලොව කරා ගෙන යනු පිණිස පැමිණි දිව්යරථයන් තුළ දිව්‍ය පුත්‍රයන් ලෙසින් පහළ වූයේ එනිසයි…
සුගතියටත්, නිවනටත් මග කියන දේ තමයි සරණ. ජීවිතය කරා දුක්පීඩා පැමිණෙද්දී සරණ සිහි කරන්න. රෝග වසංගතයන් අපත්, සමීපතමයනුත් පෙළා මඩිනු ලබද්දී සරණ සිහි කරන්න. කාල විපත්තීන් හමුවේ භවභෝග සම්පත් නැසී වැනසී යද්දී සරණ සිහි කරන්න. සිත් රිදවන වචන ඇසෙද්දී සරණ සිහි කරන්න. නොකළ දෙයටත් චෝදනා ලැබෙද්දී, ගැරහුම් ලැබෙද්දී සරණ සිහි කරන්න. ප්‍රිය දෙයින් වෙන් වන්න සිදු වෙද්දී එය දුකක් බව කියා දුන් සරණ සිහි කරන්න. අප්‍රිය දෙය හා එක්වන්න සිදු වෙද්දී එය ද දුකක් බව කියා දුන් සරණ සිහි කරන්න.උදයේ අවදි වෙද්දී සරණ සිහි කරන්න. වැඩපළෙහි යෙදෙන විට, ගමනේ බිමනේ දී පවා සරණ සිහි කරන්න. නින්දට යද්දීත් සරණ සිහි කරන්න. ප්‍රශංසාවේදීත් සරණ සිහි කරන්න. ලාභයේදීත් සරණ සිහි කරන්න. යස පිරිවර සිටියදීත් සරණ සිහි කරන්න. ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, යස අයස කියා කියන්නේ පෙරළී යන ලෝක ධර්මයන් පමණමයි. ඒ අනුව නොපෙරළී සිටිනු පිණිසයි අපට පිහිටක් වුවමනා වන්නේ…
අපට තමන් වහන්සේ විසින්ම ආර්ය සත්‍යයන් අවබෝධ කොටගෙන සසර දුකින් නිදහස් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබුණා.
ඒ අම නිවන් මගත්, ඒ අම නිවන් මග වැඩම කොට නිවනින් නිවී සැනසුන උත්තම ශ්‍රාවක සංඝයාත් සරණ යන්නට ලැබුණා. මේ මිනිස් ජීවිතය, අනන්ත සසරේ අප ලද සෙසු අප්‍රමාණ ජීවිතයන්ට වඩා වෙනස් වන්නේ, වැදගත් වන්නේ, තීරණාත්මක වන්නේ ඒ සරණ නිසයි.
පෙරළෙන ලෝකයක පෙරළී නොයන්නට ලැබෙන සරණ තමයි ඒ තිසරණය. අත්නොහැර සරණ සිහි කරන්නට මේ තමයි අප ලද දුර්ලභ වාරය…!
මිනිස් ලෝකය තුළ විඳින වෙහෙස, පීඩාව හුදෙක් ආයුෂයේ ගෙවී යාමෙන් අවසන් වන හිස් වූවක්, වඳ බැස ගත් දෙයක් බවට පත් කර ගන්නට එපා.
මේ ජීවිතයට ඉලක්කයක් තබා ගන්න. නොබිඳ සරණ සීලය රැකගෙන, නිවනට සමීප වන ජීවිතයක් ඔබ නිර්මාණය කර ගන්න.
අවාරයේ සිරිපා කරුණා කරලා, සිරිපා මගෙහි කැලිකසළ ඉවත් කරලා යම් පිනක් මගේ ජීවිතයට රැස් වුණා. හැබැයි ඊට පස්සේ සෑම වතාවක ම මං සිරිපා කරුණා කළේ සිරිපා වාරයේ දී. ඒ වාරයන්හිදී රැස් කළ පින තමයි අතිශයින් වැඩි…
ඔව්… සම්බුද්ධ ශාසනයක් මුණගැසිලා, සීලයක සමාදන් වෙලා, තිදොර සංවර කර ගනිමින් රැස් කරන පින තමයි ශ්‍රේෂ්ඨ. ඒ පින තමයි දිව්‍ය මානුෂීය සම්පත්තීන්ටත්, අප්‍රමාදීව උපදවා ගන්නා නිවන් සම්පත්තියටත් උපකාරක වන්නේ. මේ, එබඳු මහානීය පුණ්‍ය සම්පතින් වැඩී යන්නට අප ලද වාරය යි…!
ඉතින්, මේ වාරය මඟහැර ගන්න එපා…
සටහන – උදුලා පද්මාවතී
Recent Comments