පින කියන්නේ සැපයට කියන තවත් නමක්. භාග්‍යවතුන් වහන්සේ එක ම පින නැවත නැවත කරන ලෙසත්, පින් කරන්න බිය විය යුතු නැති බවත් ශ්‍රාවකයාට වදාළා. නමුත් අද සමාජයේ බොහෝ දෙනා සිතන්නේ ‘අපිත් ලොකු ලොකු පින් කරන්න ආසයි. නමුත් අපට මුදල් නැහැනේ’ කියායි. භාග්‍යවතුන් වහන්සේගේ දහම අනුව ඒ සිතිවිල්ලේ සත්‍යයක් තිබෙනවා ද? මුදල් නැතිව පින් කරන්න බැරි ද?

—-

සාමාන්‍ය ලෝකයේ අපේ ජීවිත බොහෝ විට මුදලට යට වෙලයි තිබෙන්නේ. අධ්‍යාපනය වේවා, නිවසක් තැනීමේ දී වේවා, උදව්වක් උපකාරයක් ලබා ගැනීමේ දී වේවා සෑම දෙයකටම මුදල් අවශ්‍ය වී තිබෙනවා. මුදලට යටවූ ලෝකයකයි අද අපි ජීවත් වෙන්නේ. සෑම දෙයකට ම මුදල් අවශ්‍ය නිසා, ‘පිනක් කරන්නත් මුදල් ඕනෑ’ කියා අපේ සිතේ සිතිවිල්ලක් තිබෙනවා. නමුත් මෙය සම්පූර්ණයෙන් ම වැරදි සිතිවිල්ලක්.

භාග්‍යවතුන් වහන්සේ පින ලෙස සලකා තිබෙන්නේ දන් දීම, අනුන්ට උදව් උපකාර කිරීම, පංච සීලය ආරක්ෂා කිරීම, තෙරුවන් සරණ යාම ආදී කරුණු යි. එලෙස ම යම් යම් සමාජ සේවා කටයුතුවලදීත් අපට පිනක් රැස් වෙනවා. මංමාවත් ඉදිකිරීම, ළිං, පොකුණු, වැසිකිළි ආදිය තැනීම තුළිනුත් රැස් වන්නේ පිනක් ම යි. ගිලනුන්ට උපස්ථාන කිරීම, මව්පියන් පෝෂණය කිරීම, අසරණයන්ට උදව් කිරීම ආදිය තුළින් ද පිනක් රැස්වෙනවා. පින කිරීමේදී වඩාත් වැදගත් වන්නේ කර්ම-කර්මඵල විශ්වාසය ඇතිව අවබෝධයෙන් කිරීම යි.

පින ගැන නිවැරදිව වටහා ගන්න…

මුදල් තිබුණොත් පමණක් සැප ලැබෙන පින් කළ හැකි යැයි බොහෝ අය සිතන්නේ පින පිළිබඳ අර්ථකථනය සම්පූර්ණයෙන් මුදල සමඟ ඒකාබද්ධ කරලයි. සැපසේ සිටීමට නම් පින් කරන්න ඕනෑ. විමාන වත්ථු ඒ සඳහා අපට උදාහරණ සපයමින්, පින් කරගෙන තිබෙන්නේ කවුද? ඒ කෙසේ ද? කියා තෝරා දී තිබෙනවා. එසේ සම්පූර්ණයෙන් ම පින, පිනක් වශයෙන් කරගෙන තිබෙන්නේ පිරිසිදු චේතනා තිබු අයයි. මුදල් තිබූ පමණින්, පින් කළ පමණින් ඒ පින මහත්ඵල මහානිශංස ලෙස රැස්වන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම මේ ආදී සියල්ල පිනට අයත් දේවල්. මේ පින පුරා ගැනීමට මුදල් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේ ම අන්සතු දේට ආශා නොකිරීමත් පිනක්. එය ඉතා දියුණු මානසික මට්ටමක්. අනුන්ට ද්වේෂ නොකිරීම, මිථ්‍යා දෘෂ්ටියෙන් මිදීම සහ සම්මා දිට්ඨියෙන් යුතු වීමත් ඉතා ඉහළ පිනක්. මුදල් තිබෙන අය පමණක් පින් කරනවා නම් ඒ පින ධනවාදී එකක් විය යුතුයි. නමුත් පින කියන්නේ ධනවත් අයට පමණක් අයත් එකක් නොවේ. පෝය දිනට උපෝසථය ආරක්ෂා කිරීමට, අනුස්සති භාවනාවක් වැඩීමට මුදල් අවශ්‍ය වන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මතුවට සැප විපාක ලබාදෙන සියලූ පුණ්‍ය ක්‍රියා පිළිවෙත් පරදවා මෛත්‍රිය ඉහළින්ම බබළනා බවයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මුදල් නොවේ. උත්සාහය, වීර්යය සහ උනන්දුවයි.

දානය පිළිබඳ ඇති වැටහීම…

පින පිළිබඳව විග්‍රහ කරද්දී දාන, සීල, භාවනා පිනට අයත් බව දැක්වෙනවා. මෙහිදී සීලය රැකීමටත්, භාවනා කිරීමටත් මුදල් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ කැමැත්ත පමණයි. මෙහි දී මුදල සම්බන්ධ වන්නේ දානය සඳහා පමණයි. එහිදීත් ආමිස දානය සඳහා පමණයි මුදල් අවශ්‍ය වන්නේ. ප්‍රතිපත්ති වශයෙන් තෙරුවන් පුදා පින් රැස් කර ගැනීමට අපට මුදලක් වියදම් වන්නේ නැහැ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, යම් කෙනෙක් හෝ පිරිසක් උදේ, දවල්, රාත්‍රී බත් හැළි සියය බැගින් දන් සකසා දුන්නත් ඊට වඩා වැඩි පිනක් ගව දෙනකගේ තන බුරුල්ලෙන් කිරි දොවන කාලයක් මෛත්‍රී භාවනාව කරයි නම් එයින් රැස්වෙනවා” කියා. මෙත් සිත මහත් වූ පින් රැස්කර දෙන කර්මයක්.

ඒ වගේ ම තථාගතයන් වහන්සේ වදාළා යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වී සිටින්නේ ද ඔහු ලොවට අභය දානය දෙන බව. බොහෝ දෙනා සිතන්නේ අභය දානය දීම යනු සතුන් හෝ හරකෙකු නිදහස් කිරීම පමණක් ම කියා යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්ත්වයන්ට අභය දෙන බවයි. අවෛරය දෙන බවයි. නිදුක් බව දෙන බවයි. එසේ සිල්පද පහ රකින්නාට නිරතුරුව පුණ්‍ය ගංගාවන් තමාගේ ජීවිතයට ගලාගෙන එනවා. ගංගාවක් සිඳෙන්නේ නැහැ. නිරතුරුව ම ගලාගෙන යනවා. එලෙස යම් කාන්තාවක් වේවා, පුරුෂයෙක් වේවා තුනුරුවනට ජීවිතය පුදා සිල්පද රැක ගනී ද ඒ ජීවිතය පිනෙන් පිරී ඉතිරී යනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, දානය කෙනෙකුගේ අතමිට සරු කල්හි මෙන් ම සරු නොමැති කල්හි ද දිය යුතු බව. නැතිබැරි වූ පමණින් දන් නොදී සිටින්නට එපා. වැදගත් වන්නේ සුළු දෙයක් හෝ කර්ම – කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දීම යි. විමාන වත්ථු කථාවල සඳහන් වෙනවා සමහර ස්ත්‍රීන් දිව්‍යාංගනාවන් ලෙස දිව්‍ය විමාන ඇතිව පහළ වෙලා තිබෙනවා සුළු ඇඹුල් කැඳක් රහත් තෙරුන් වහන්සේනමකට පූජා කිරීමෙන්. කුඩා අඹ ගෙඩියක් පූජා කිරීමෙන්, එක් කැවුමක් පූජා කිරීමෙන්, පැන් ස්වල්පයක් පූජා කිරීමෙන් මනුස්ස ලෝකය අත හරිනවාත් සමඟ ම මහා සැප ඇති දිව්‍ය ලෝකවල ඔවුන් උපන්නා. ඒ තමාට තිබෙන සුළු දේ හෝ සිත පහදවා දීම තුළින්.

කාන්තාවන්ට කරගත හැකි පින්…

එලෙස ම කාන්තාවකට නම් බොහෝ ලෙස තම නිවසේ දී ම පින් කරගත හැකියි. තමන්ගේ ස්වාමියාට මෘදු වචනයෙන් කතා කිරීමෙන්, උදේම අවදි වී නිවසේ වැඩ කටයුතු මෙත් සිතින් කිරීමෙන්, ස්වාමියාට දුෂ්කර කාලයක් ආ විට හෝ ව්‍යාපාරය කඩා වැටුන විටක දී බැණ වැදීම්, අඬවැඩියාවන් නොකොට ඒ කටයුතු තේරුම්ගෙන තමන්ගේ ස්වාමියාට හයියක් විය හැකි නම් ඒ කාන්තාව ස්වාමියාට සැලකුවා වෙනවා. මවක්, සොහොයුරියක්, නැගණියක් ලෙස ස්වාමියාට සලකන, ස්වාමියාට නිති පුදන, ගෞරව කරන කාන්තාව යන්නේ නිම්මානරතී දෙව්ලොව යි.

ඒ වගේම අම්මා තරම් කෙනෙක් මේ ලෝකයේ දරුවෙකුට තවත් නැහැ. ඒ නිසා අම්මාට පුළුවන් සවස් කාලයේ දරුවන් එකතු කරගෙන බුද්ධ වන්දනාව කරන්න. පිරිත් කියන්න. තමන්ට, තමන්ගේ නිවසේ අයට, ලෝවැසියන්ට රටවැසියන්ට සෙත් පතන්න. විවේක අවස්ථාවක දී දරුවන්ට බෝසත් ජාතක කතාවක්, අපේ රටේ ඉතිහාසය ගැන ආදී දේ කියා දෙන්න. එසේ දරුවන්ට යහමඟ කියා දෙනවා නම්, දරුවන් තිසරණයේ සමාදන් කරනවා නම් ඇය රැස් කරගන්නේ අප්‍රමාණ පිනක්. ඒ සඳහා විශාල ගෙවල් දොරවල් කාන්තාවකට අවශ්‍ය නැහැ. විවිධ ඇඳුම් පැලඳුම් අවශ්‍ය නැහැ. තමා සිටින නිවස පිරිසිදුවත්, පිළිවෙළටත් තබාගෙන බිරිඳකගේ, මවකගේ කාර්යය නිසි ලෙස තේරුම් ගෙන ක්‍රියා කරනවා නම් ඇයට මහත් වූ පිනක් ජීවිතයට රැස්කර ගත හැකි වෙනවා.

එනිසා තමා දක්ෂ නම්, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත නම් මුදල් තිබුණත් නැතත්, පිරිවර සිටියත් නැතත්, දුක් කරදර පීඩා තිබුණත් නැතත්, රෝගී වුවත් නැතත් තමාගේ ජීවිතයට අප්‍රමාණ පින් රැස්කර ගෙන දුක් විඳින මේ සසරින් එතෙර වීමට වාසනාව ලැබෙනවා.

සටහන – නයනා නිල්මිණී.