බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මේ ලෝකයේ වැඩ සිටි අභිමානවත් උත්තමයන් වහන්සේලා. කාන්තාවන් ලෙස භික්ෂුණී සංඝයා පාපී කෙලෙස් ඉදිරියේ අභිමානවත් ව ගුණවත් ව වැඩ සිටියා. ඒ වගේ ම මේ බුදු සසුනේ සිටි උපාසක, උපාසිකාවන් ඉන්පසු අපට හමුවන අභිමානවත් ම පිරිස යි.
මේ සමාජයේ අභිමානවත් කියන වචනය අපට නොයෙක් විට අසන්නට ලැබෙනවා. ඒ වචනයට නොයෙක් අර්ථකථනයන් ද යෙදෙනවා. විවිධ ලෙස වර්ණනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අභිමානවත් ව සිටිනවා කියන දෙය තුළ සාමාන්‍ය සමාජයේ විග්රහ කරන අභිමානවත් කියන වචනයට වඩා එහාට ගිය විශාල වෙනසක් තිබෙනවා.
සැබෑ අභිමානය
භාග්‍යවතුන් වන්සේගේ ශ්‍රාවකයන් සිව් පිරිස ම හරිම අභිමානවත්. ඒ සිව් පිරිස ම සැබෑ ලෙස අභිමානවත් වුණේ තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ සසරින් එතෙර කරන ධර්මය තමන් පුරුදු කරන විට, තමන් සරණ ගිය සංඝ රත්නයේ ගුණ සිහි කරන විට ඒ පිරිස තුළ නිරායාසයෙන් ම අභිමානවත් බවක් ඉපදුණා. සෘජු බවක් ඉපදුණා. අභිමානය කියන වචනය විග්රහ කරද්දී මේ ලෝකයේ තිබෙන යහපත්, කුසල, ගෞරවණීය, අවංක දේ සඳහා කැප වූ අයටත් භාවිතා කරනවා. සාමාන්‍යය ලෝකයේ ජීවත් වෙද්දී තමන්ට වඩා ධනයෙන් උසස් නම්, තමන්ට වඩා බලයෙන් උසස් නම් යහපත් වේවා, අයහපත් වේවා ඒ වචනයට නැමෙනවා. නමුත් තමන්ට වඩා ධනයෙන්, බලයෙන් අඩු කෙනෙක් යහපතක් කීවත් ඒ වචනයට නැමෙන්නේ නැහැ. ඒ වගේ පුද්ගලයෙක් තුළ සැබෑ අභිමානයක් නැහැ.
නියම අභිමානවත් පිරිස
මේ ලෝකයේ අයහපත් කියලා නිර්දේශ වූ දෙයක් තිබෙනවා නම්, තමන්ගේ ධාර්මික ජීවිතයට හානි වෙන දෙයක් තිබෙනවා නම්, ඒ දේ නොකරන ස්ත්‍රිය අභිමානයෙන් ජීවත් වෙන තැනැත්තියක්.
ඇය රැකියාවෙන් වංචා නොකරයි නම්, දුටු දේ නො දුටුවා, නො දුටුව දේ දුටුවා යැයි නොකියයි නම්, යම් තැනකදී තමන්ගේ චරිතයට හානියක් වීමට ඇති බව දුටුවිට එතැන දී නුවණ මෙහෙයවා කටයුතු කරනවා නම්, අභිමානවත් දේශයක අභිමානයෙන් සිටින්නේ ඇය යි. ඒ වගේ ජීවත්වෙන කාන්තාවට මේ ජීවිතයේ දී ම යම් යම් ලාභයක් ලෙස ගුණවත්, නැණවත් උතුමන්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. සිල්වත් කල්‍යාණ වූ පිරිස් ඇගේ ගුණ කියනවා. ඇගේ පවුල තුළ, ගම තුළ, නගරය තුළ, රට තුළ මෙන් ම ලෝකය තුළත් ඇගේ අභිමානය දිදුලනවා. මේ ජීවිතය තුළ එසේ අභිමානයෙන් සිටින කාන්තාවකට පරලොව ජීවිතය දුගතියක් උරුම වන්නේ නැහැ.
කාන්තාව සුන්දර ව සිටීමට කැමැත්තක් දක්වන්නේ සසරේ පුරුද්දට වගේ. නිතර ම ඇය හැඩ වැඩ වන්නේ, අන් අයට වඩා තමා කැපී පෙනෙන්ට උත්සාහ ගන්නේ ස්ත්‍රි ලක්ෂණයක් නිසයි. නමුත් හැමදාම ඒ හැඩ වැඩ සිරුර ඇයට උරුම වන්නේ නැහැ. ඒ ශරීරය ටිකෙන් ටික දිරා යන විට ඇය කැමැති බොහෝ දේ ඉබේම අත හැරෙනවා. සැඳෑසමය ගතකරද්දී ගෙවා ආ ජීවිතය ගැන ඇයට තනිව ම ආඩම්බර වෙන්න පුළුවන් නම්, තමන් අවංකව රාජකාරිය කළ අයුරු සිහි කරන්න පුළුවන් නම්, තාඩන පීඩන හැලහැප්පීම්වලදී ජීවිතය කඩා වැටීමට ඉඩ නොදී යහපතට ජීවිත හුරු කළ අයුරු සිහි කරන්න පුළුවන් නම්, ඇයත් තමන්ගේ ජීවිතය අභිමානවත් ව
ගත කළ තැනැත්තියක්.
ස්ත්‍රියගේ අභිමානවත් ශ්රාවකත්වය
අභිමානය කියන මහා වෘක්ෂය තුළ තවත් බොහෝ ගස් වැල් එතී තිබෙනවා. ඒ වගේ අභිමානය නිර්වචනය කරද්දී ස්ත්‍රියගේ චරිතවත් බව මුලින් ම කැපී පෙනෙනවා. චරිතවත් නැති, සිල්වත් නැති ස්ත්‍රියට කවදාවත් අභිමානවත් ව නැඟී සිටින්නට බැහැ. ඇයට මිල මුදල්, යානවාහන, දැසිදස්සන් වගේ ම ලස්සන රූපයක්, ලස්සන සැමියෙක්, දරුවන් සිටියාට ඇයට අභිමානයෙන් ලෝකය ඉදිරියට යන්නට බැහැ. ඒ කිසිවක් නැතත් චරිතවත් ස්ත්‍රියට තමාගේ අභිමානය පෙරටු කරනගෙන ලෝකයා ඉදිරියට යන්නට හැකියාව තිබෙනවා. තව කෙනෙකුගේ පෙළඹවීම නිසා හෝ තමා තමාට පාලනය කර ගත නො හැකි වූ තැන කාන්තාව උතුම් බඹසර සීලය කෙලෙසා ගනියි ද, ඇය එහිදී මුලින් ම අහිමිකර ගන්නේ ඇගේ අභිමානයයි. ඒ නිසා සෑම මොහොතක ම ස්ත්‍රී වූ අප සිහිකළයුතු වන්නේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසිකාවක්. මම තිසරණයට දිවි පුදා ජීවත්වන තැනැත්තියක්. ඒ වගේ ම මගේ මව්පියන් දැහැමි සිල්වත් අය යි. මගේ සැමියා උතුම් ගුණ තිබෙන තැනැත්තෙක්. ඒ නිසා මම අභිමානයෙන් මේ ලෝකයේ ජීවත්විය යුතුයි කියා ඇය ඇයගේ සිතට පණිවිඩයක් දී තිබුණොත් ඇයට චරිතවත් ස්ත්‍රියක් ලෙස ජීවිත්වීමට පහසු වෙනවා. මෙසේ තමා උපාසිකාවක් කියා සිහි කරද්දී ඇයට තමා ගැන අභිමානයක් උපදිනවා.
කංචන දේවියගේ අභිමානය
මේ ගැන බොහොම ලස්සන දහම් කරුණක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කංචන දේවියගේ කථා වස්තුවෙහි ය. ඉන්දියාවේ දේවපුත්‍ර නගරයේ හිටියා දෙවඟනක් වගේ බොහෝම ලස්සන තරුණ දියණියක්. ඒ කාලයේ රෑ පහන් වෙනතුරු ධර්ම දේශනා පැවැත්වෙනවා. මේ තරුණ දුවත් දිනක් ධර්මය අසන්නට මහත් ශ්‍රද්ධාවෙන් ඒ ස්ථානයට ගියා. ශාලාවේ කොනකට වී ශ්‍රද්ධාවෙන් ධර්මය ඇසුවා. එදා ධර්මය අසන්නට නා ලොවෙන් නාගයෙක් මිනිස් වෙස් ගෙන ආවා. තරුණයෙක් ලෙස සිටි මේ නාගයා බණ ඇසීමට ආවත් අර තරුණ දියණිය දුටු විට ඔහුගේ සිත වෙනස් වුණා. ඇය කෙරෙහි ආදරයක් උපන්නා. ඉතිං මේ තරුණිය වෙත ළංවූ මේ නාගයා නොයෙක් ආකාරයෙන් ඇයට තම ප්‍රේමය ගැන කියා සිටියා. තරුණිය සිතුවා “මම ආවේ ධර්මය අහන්න යි. මම තිසරණය සරණ ගිය තරුණියක්” යැයි සිතා ඔහුට කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. තමන්ගේ අවශ්‍යතාව ඉටු නොවූ විට මේ නාගයා කිපුණා. නාගයා ඇයට විස දුමක් පිට කළා. ඒත් ඇය අවධානයෙන් බණ අසමින් සිටියේ. එවිට මිනිස් වෙස අත්හළ මේ නාගයා නාග වෙසින් ඒ දියණියව බොහෝම තදින් වෙලා ගත්තා. ඒ ශ්රද්ධාවන්ත දියණිය මර බයේ කෑ ගැසුවේ නැහැ. ඇය තුනුරුවනට ජීවිතය පූජා කළා. ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කළා. ටිකෙන් ටික රාත්‍රිය ගෙවී ඉර උදා වුණා. එවිටයි අසල සිටි පිරිස මේ සිදුවීම දුටුවේ. එවිට මේ දියණිය, “මේ නාගයා තරුණයෙකු ලෙස මා ඉදිරියේ පෙනී සිට මට අයුතු දේ පැවසුවා. නුසුදුසු දේ කීවා. නමුත් මම ඒ කිසිවකට මගේ සිතේ රාග සිතිවිල්ලක් උපදවා ගත්තේ නැහැ. එය සත්‍යයක්ම යි. ඒ වගේම එක වචනයක් පාසා මම මනා ලෙස ධර්මය ශ්‍රවණය කළා. එය සත්‍යයක්ම යි. ඒ සත්‍යානුභාවයෙන් මේ නාගයා මා වෙතින් ඉවත් වේවා!” කියා ඇය සත්‍යක්‍රියාවක් කළා. සත්‍යක්‍රියා බලයෙන් නාගයා ඒ දියණියගේ සිරුරෙන් ඈත් වුණා. ඇය ගැන ගුණ කථනයක් කළා. වටේ සිටි පිරිසත් ඇය ගැන ගුණ කිව්වා. මහා නාග රාජයෙක් මැය විසින් දමනය කළානේ කියා මිනිසුන් කතා වුණා. ඒ කුමරි බඹසර රැකපු ආනිශංසය යි. ඇය බොහෝ කාලයක් බ්රහ්මචාරීව වාසය කළා. කාලයකට පසු මියගිය ඇය දෙව් සැප විඳ නැවත මිනිස් ලෝකයේ රාජ කුමාරිකාවක්ව ඉපදුනා. ලස්සන රන්වන් පාට රූපයක් තිබුණ ඇගේ නම තමයි කංචන කුමාරි. ඒ ජීවිතයේදීත් කුමරි බඹසර රැක ගනිමින් වාසය කර පසු කලෙක පැවිදි වූ ඇය අරහත්වයට පත් ව මේ දුක්විඳින සසරින් සදහට ම නිදහස් වුණා. ඒ දියණිය එසේ අභිමානයෙන් චරිතය රැකගත් නිසායි ඇය ගැන ගුණ වර්ණනාවක් ඇති වුණේ. එනිසා මේ ජීවිතයේ අභිමානයෙන් සිටිනවා කියන්නේ සුළුපටු කරුණක් නොවේ.
සීලය බලවත් අභිමානයක්
එනිසා අපි එවැනි අභිමානවත් චරිත ගැන පැහැදීමක් ඇති කර ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සිටින භික්ෂුණියක් වේවා, උපාසිකාවක් වේවා ඇයට තිබෙන්නේ මහත් වූ අභිමානයක්. ඒ ශ්‍රාවිකාව සෘජු, ගුණවත් චරිතයක්. ඒ වගේම සීලවන්ත, චරිතවත් අභිමානවත්ව නැඟී සිටින තැනැත්තියක්.
සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් ස්ත්‍රියකට රූප බලය තිබෙනවා නම් ඇය පතිකුලයට ගිය පසු ඇය නෑ පිරිස මැද ඉහළින් බබළනවා. ඒ වගේ ම යම් ස්ත්‍රියකට ධනය තිබෙනවා නම් ඇයත් පතිකුලයට ගිය පසු ඉහළින් වැජඹෙනවා. ඒ වගේ ම ඇයට පුත්‍ර ලාභය ලැබෙනවා නම් එයත් ඇයට ඉහළින් සිටීමට හේතුවක් වෙනවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, යම් කාන්තාවක් සීල බලයෙන් යුක්ත නම් ඒ ස්ත්‍රිය අන් සෑම දෙනා ම මැඬගෙන ඉහළින් වාසය කරනවා.” කියා. ඔබට තේරෙනවා ඇති අද සමාජයේ වුවත් යම් කාන්තාවක් කොතරම් ලස්සන වුවත්, කෝටි ගණන් මුදල් තිබුණත්, පුතුන් බෙහෝ සිටියත් ඇය දුස්සීල නම් ඇයට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ කිසිවක් නැතිවුනත් යම් ස්ත්‍රියක් සීලවන්ත නම් ඇය පතිකුලයට ගිය පසු ඇයට අභිමානවත්ව ජීවිතයට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා.
භද්දාගේ කතාව. . .
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ කිම්බිල නුවර වාසය කළ එක් තරුණියකට අන්වර්ථ නාමයක් තිබුණා ‘භද්දිත්ථි’ කියා. භද්දිත්ථි කියන්නේ යහපත් ස්ත්‍රිය යන්නයි. තෙරුවන් සරණ ගිය, මහත් ශ්රද්ධාවන්ත, සුන්දර වූ භද්‍ර වූ මේ ස්ත්‍රියගේ සිල්වත් හැසිරීම පිළිබඳව දෙවිවරු පවා පැහැදීමට පත් වුණා. ඇයට දෙවියන්ගේ ආශිර්වාදය, අනුකම්පාව ලැබී තිබුණා. විවාහක මේ කාන්තාවගේ සැමියා දිනක් බොහෝ දුර නගරයක වෙළඳාම සඳහා පිටත් වුණා. ටික කාලයට පසුව ඒ නගරයේ උත්සව කාලයක් උදා වුණා. ඇයට අනුකම්පා කළ ඇගේ නිවසට අධිපති දේවතාවිය ඇයගේ සතුට පිණිස දිව්‍ය සෘර්ධියෙන් ඇයගේ සැමියා වාසය කළ නගරයට රැගෙන ගොස් ඔහු අසලට ඇරලුවා. උත්සව කාලය අවසන් වූ පසුව නැවතත් දේවතාවිය විසින් ඇයව ඇයගේ නිවසට ගෙනත් ඇරලුවා. සැමියා සමඟ වාසය හේතුවෙන් ඇය ගැබ් ගත්තා. ටික කාලයකට පසු ඇගේ ගර්භණීභාවය ප්‍රකට වුණා. එතකොට තමන්ගේ නැන්දා මාමා නෑදෑ පිරිස කලබලයට පත් වුණා. සිදු වූ සියල්ල ඇය පැවසුවත් එය කවුරුවත් පිළිගත්තේ නැහැ. තර්ජන ගර්ජන චෝදනා ඇයට ඉවසන්න වුණා.
ඒ දිනවල මහා වරුසාවක් වැහැලා අචිරවතී නදිය පිටාර ගලලා මහා ගංවතුරක් ගැලුවා. ඇය ගඟ දෙස බලා සත්‍යක්‍රියාවක් කළා. “මම මගේ ස්වාමියා හැර පර පුරුෂයන් කරා නොගිය බව සත්‍යය යි. මම පතිව්රතය රැකපු බව සත්‍යය යි. ඒ සත්‍යයේ බලයෙන් මේ ගංවතුර ගැලීම නවතීවා!” කියා. ඇයගේ සත්‍යක්‍රියා බලයට රළ පෙළ සහිත මහා දියකඳ නැවතුණා. එය දුටු ස්වාමියා, නෑදෑ පිරිස ඇයගේ සත්‍ය ක්‍රියාව ගැන පුදුම වුණා. පැහැදුණා. මරණින් මතු ඇය දෙව්ලොව උපත ලැබුවා. එලෙස වර්තමානයේ ජීවත්වන අපටත් අභූත චෝදනා එල්ල වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකට සාර්ථකව මුහුණ දෙන්න තෙරුවන් සරණ ගිය අභිමානවත් කාන්තාවකට පුළුවන්කම තිබෙනවා.
එනිසා අපිත් එදා වැඩ සිටි අරහත් භික්ෂුණින් වහන්සේලාගේ අභිමානවත් චරිත නැවත නැවත කියවා අපගේ ජීවිතත් එලෙස හැඩගස්වා ගන්නට උත්සාහ කළයුතු වෙනවා. ඒ භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත තුළ තිබුණ නොසැලෙන ගුණ කෙරෙහි අපේ සිතේ පැහැදිමක් ඇතිකර ගත යුතු වෙනවා. උපාසිකාවන් අතර සිටි නකුලමාතා අපට හොඳ උදාහරණයක්. ඇයගේ සැමියා මරණාසන්න වූ මොහොතේ දී ඇය කිව්වේ “අනේ අපිව තනිකරලා යන්න එපා” කියා නොවේ. ඇය ඉතා අභිමානයෙන් යුතුවයි තමා ගැන සැමියාට පැවසුවේ. ඇගේ සැමියා ඒ අභිමානවත් වදන් නිසා නැවත නැඟී සිටියා.
එනිසා අපටත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කාන්තාවන් විදිහට ඒ අභිමානය අප තුළ රැක ගන්නට පුළුවන් නම් මේ ජීවිතයේ බොහෝ යහපත උදා කර ගන්න හැකියාව ලැබෙනවා. පරලොව සුගති සැප ලැබෙනවා.
සටහන – නයනා නිල්මිණී.
Recent Comments