පරලොවක් පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් පායාසී රජතුමාගේ සහ විචිත්‍ර ධර්ම කථික කුමාර කස්සප මහරහතන් වහන්සේගේ හමුවීම සිදු වූ ආකාරයත්, අනතුරුව ඇති වූ සංවාදයේ කොටසකුත් අපි පසුගිය මහාමේඝ කලාපවලින් ඉගෙන ගත්තෙමු. එම සංවාදයේ ඉතිරි කොටස මෙතැන් සිට…

*****************************************************

“කාශ්‍යපයන් වහන්ස, මට මේ වගේ අදහසක් ඇති වෙන්න හේතුව මේකයි. දවසක් සොරු පිරිසක් අල්ලාගෙන ඔවුන් මරණයට පත් කරන විට සොරුන්ගෙන් නික්මෙන ජීවය බැලීම පිණිස හම කපා මැරුවා. නමුත් නික්මෙන ජීවයක් දැක්කේ නැහැ. මස් කපා මැරුවා. නහර කපලා මැරුවා. ඇට කපලා මැරුවා. ඒත් නැවත ඉපදීමකට නිකුත් වී යන ජීවයක් අපි දැක්කේ නැහැ. ස්වාමීනී, අන්න ඒ නිසා මම පරලොවක් ඇති බව පිළිගන්නේ නැහැ. හොඳ නරක වැඩවල විපාක තිබෙන බව පිළිගන්නේ නැහැ.”

මෝඩ පුතාගේ උපමාව

“රජතුමනි, කරුණු වටහා ගැනීමට එක් සිදුවීමක් කියන්නම්. එක්තරා වනයක ගිනි පුදන ජටිල තවුසෙක් කුඩා පැලක් තනාගෙන වාසය කළා. මොහු දවසක් වනයේ ඇවිද යන විට අතහැර දමන ලද ඉතා කුඩා දරුවෙකු දකින්න ලැබී ‘මේ දරුවා මම හදා ගන්නෙමි’ යි කියා රැගෙන විත් පෝෂණය කොට ලොකු මහත් කළා. මේ දරුවා නිරෝගීව හැදී වැඩුණා. දවසක් ජටිල තවුසාට දුර ගමනක් යන්න අවශ්‍ය වී “පුතේ… මට දුර ගමනක් යන්න වෙලා තියෙනවා. මම ගිහින් එන තුරු ඔබ ගිනි පුදන්න. යම් විදිහකින් ගින්න නිවුණොත් වෑයක් තිබෙනවා. දරත් තිබෙනවා. ගිනි උපදවා ගන්න ලී දෙකක් තිබෙනවා. ගින්න අවුළුවා ගිනි පුදන්න.” කියා ජටිල තවුසා පිටත් වී යන්නට ගියා.

දඟකාර වයසේ සිටි දරුවා සෙල්ලම් කරමින් ප්‍රීති වෙමින් කාලය ගත කළා. ටික වේලාවකින් ගින්න නිවී ගියා. පසුව ඇවිත් බලන විට ගින්න නිවී ගොස් ඇති බව දැනගෙන ‘දැන් මා ගිනි උපදවා ගත යුතුයි’ සිතා ලී දෙක වෑය අරගෙන රැහැලා දැම්මා. නමුත් ගිනි ලැබුණේ නැහැ. ලී දෙක දෙකට පැලු‍වා. ගිනි ඇවිළුනේ නැහැ. තුනට, හතරට, පහට කපා කීතු කීතු කර දැම්මේ මුත් ගිනි ඇවිළුනේ නැහැ. මින් නොනැවතුණ ඔහු ලී කුඩු බවට පත් කොට සුළඟේ පා කොට හැරියා. ඒත් ගිනි ලබා ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ.

ටික වේලාවකින් ජටිල තවුසා පැමිණ මෙසේ ඇසුවා. “පුතේ ඔබ ගිනි පිදුවා ද?” “පියාණෙනි මා සෙල්ලම් කරමින් ඉන්න විට ගින්න නිවී ගියා. ඉතින් මා ගින්න දල්වා ගැනීමට ගිනි උපදවන ලී දෙක වෑයෙන් සැස්සා. ඒත් ගිනි ලැබුණේ නැහැ.” ඊට පස්සේ තමන් ගිනි පත්තු කිරීමට ගත් උත්සාහය විස්තර කළා.

‘මේ දරුවා මොන තරම් මෝඩයෙක් ද? එහෙම කොහොමද දරුවෝ ගිනි ලැබෙන්නේ?’ සිතා ජටිල තාපසයා “මෙහෙමනේ ගිනි අවුළුවා ගන්නේ.” කියා ඔහුට කියා දුන්නා.

රජතුමනි, ඔබත් ඒ මෝඩ අනුවණ දරුවා වගේ නොමනා මාර්ගයෙන් තමයි පරලොව සොයන්නේ. ඔය විදිහට නම් ඔබට කවදාවත් පරලොව උපදින විදිහ හොයාගන්නට බැහැ. ඒ නිසා කරුණු වටහාගෙන ඔබගේ ළාමක වැරදි දෘෂ්ටිය අත්හරින්න.”

“කාශ්‍යපයන් වහන්ස, ඔබ වහන්සේ කරුණු පෙන්වා දුන්නත් මගේ දෘෂ්ටිය මා අත්හැර ගන්නේ නැහැ. මා පරලොවක් විශ්වාස නොකරන බව මේ රටේ අගරජු වන කෝසල රජතුමාත් දන්නවා. අනික් ප්‍රාදේශීය රජවරුත් දන්නවා. ඉතින් මම මේ දෘෂ්ටිය අත්හැරියොත් ඒ රජවරු මා බාලයෙක්, මෝඩයෙක් කියා මට අපහාස කරාවි. ඒ ගැන තරහෙනුත් මගේ අදහසමයි හරි කියලා අරගන්නවා. ඒ රජවරුන්ගේ ගුණ මකලා දාන්න ඕන නිසත් මගේ අදහසමයි හරි කියලා අරගන්නවා. ඒ රජවරුන් එක්ක එක එක කිරීමක් විදිහටත් මගේ අදහසමයි හරි කියලා අරගන්නවා.”

බුද්ධිමත් ගැල් නායකයාගේ උපමාව

“රජතුමනි, ඔබට සත්‍ය තේරුම් කර ගැනීම පිණිස පෙර සිදු වූ තවත් සිද්ධියක් කියා දෙන්නම්. එක්තරා ගැල් දෙකකින් යුත් කණ්ඩායමක් වෙළඳාම සඳහා කාන්තාරය මැදින් යාමට පිටත් වුණා. මේ විදිහට ගැල් දහසක් එකට ගමන් කරනකොට ආහාර පාන, ගවයන්ට තණකොළ ආදිය හිඟ වී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බව දැන පන්සියය බැගින් ගැල් කණ්ඩායම් දෙකකට බෙදුණා. ඉන් පළමු ගැල් පන්සියය පිටවෙලා ගියා. ටික දුරක් ගිය මේ පිරිසට රතු වූ ඇස් ඇති, මල් මාලා පැලඳගෙන, ශරීරයේ මඩ තවරාගෙන, කෙස් කඩාගෙන සිටින කළු පැහැති මිනිසෙකු හමු වුණා. ගැල් නායකතුමා ඔහුව ඇමතුවා.

“මිතුර ඔබ කොහේ සිට ද එන්නේ?”

“අර ඈත තිබෙන ප්‍රදේශයේ සිටයි.”

“ඒ පළාතේ ආහාරපාන ආදිය සොයාගැනීමට තියෙනවා ද?”

“ඔව් මිතුර, කෑම බීම ඕනෑ තරම් තිබෙනවා. වැසි වැහැලා ළිං පොකුණු පිරිලා ඉතිරිලා යනවා. ඔබලා නිකරුණේ බරට බරේ කෑම බීම පුරවාගෙන අමාරුවෙන් යන්නේ ඇයි? ඕවා ඔක්කොම අයින් කරලා සැහැල්ලු‍වෙන් යන්න.”

ඒ ගැල් නායකතුමා මේ කියපු දේවල් ඇත්තක් කියලා සිතලා තමන්ගේ පිරිසට ඒ ගැල්වල තිබු ආහාර පාන, තණකොළ ආදිය ඉවත දමන්නට අණ කළා. ගැල්වල බර අඩු කරගෙන ඉදිරියට ගමන් කළා. ටිකෙන් ටික ඉදිරියට ගිය නමුත් ඔවුන්ට වතුර පොදක් හෝ කිසිම ආහාරයක් ලැබුණේ නැහැ. අවසානයේ සියලු දෙනා දුර්වල වෙලා මහා කාන්තාරය මැද අසරණ වුණා. අර බොරු වේෂයක් මවාගෙන ආපු යක්ෂයා තමාගේ පිරිසත් සමග ඇවිත් සියලු ම මිනිසුන්වත්, ගවයින්වත් කාලා දැම්මා. ඇට කටු ටික පමණක් ඉතුරු කරලා යන්න ගියා.

ටික කාලයකට පස්සේ දෙවැනි ගැල් පන්සීය පිටත් වුණා. ටික දුරක් යනකොට කලින් වගේ ම රතු පාට ඇස් තියෙන, මල් මාලා පැලඳ ගත්තු, මඩ තැවරුණ ශරීරයක් ඇති, තෙත් වූ කෙස්වලින් යුත් කළු පැහැ මිනිසෙකු මේ පිරිසටත් මුණගැසුණා.

“මිතුර, ඔබ එන්නේ කොයි පළාතේ සිටද ?”

“අර පේන දුර පළාතේ සිටයි.”

“ඒ පළාතේ ආහාරපාන සොයාගන්න තියෙනවා ද?”

“ඔව් මිත්‍රය, ඒ පළාත බොහොම සරුසාර පළාතක්. එහි වැසි වැහැල ළිං පොකුණු පිරී ඉතිරී යනවා. ඔබලා නිකරුණේ ගැල්වල ආහාරපාන තණකොළ ආදිය පුරවාගෙන වෙහෙසෙන්නේ ඇයි? සියල්ල අතහැර දමා සැහැල්ලු‍වෙන් ගමන් කොට ඒ පළාතෙන් ආහාරපාන සොයා ගන්න.”
මේ ගැල් නායකතුමා බුද්ධිමත් කෙනෙක්. ‘මේ මනුෂ්‍යයා අපේ දන්නා හඳුනන නෑදෑ හිතවත් කෙනෙක් නෙමේ. එහෙම එකේ මොකට ද ඔහුව විශ්වාස කරන්නේ?’ මෙහෙම කල්පනා කරලා කිසිම දෙයක් ගැල්වලින් ඉවත් නොකරන ලෙසට තම පිරිසට උපදෙස් දීලා ඉදිරියට ගමන් කළා. ටිකෙන් ටික ඉදිරියට ගියාම කෑමක් බීමක් සොයාගන්න පුළුවන් කිසිම ප්‍රදේශයක් හමුවුණේ නැහැ. තමන් ගෙනාපු ආහාරපාන ප්‍රයෝජනයට ගනිමින් තවදුරටත් ඉදිරියට ගියපු මේ පිරිසට තමන්ට පළමුව ගමන් කරපු ගැල් පිරිසේ සුන්බුන් වූ ඇට කැබලි දැක ගන්න ලැබුණා.

ගැල් නායකතුමා සිදු වූ කාරණය වටහාගෙන ඒ ගැල්වල තිබු වටිනා බඩු භාණ්ඩත් රැගෙන තමාගේ ගැල්වල පටවාගෙන තම පිරිස සමඟ සුවසේ කාන්තාරය තරණය කළා.

රජතුමනි, ඔබත් අර කලින් ගිය ගැල් නායකයා වගේ අනුවණයෙක් වෙන්න එපා. නොමගින් පරලොව සොයන්න එපා. ඒ මෝඩ ගැල් නායකයාගේ වචනයට ඇහුම්කම් දුන් පිරිසත් විපතට පත් වුණා. ඒ වගේ ඔබේ වචනයට ඇහුම්කන් දුන් පිරිසත් විපතට පත් වුණා. ඒ වගේ ඔබේ වචනය අදහන අයත් ඔබ වගේ ම විපතට පත් වෙනවා. ඔය ළාමක දෘෂ්ටිය අත්හැර දාන්න.”

“කස්සපයන් වහන්ස, මට මේ දෘෂ්ටිය අත්හරින්න බැහැ. එහෙම වුණොත් කොසොල් මහ රජතුමා ඇතුළු අනෙක් රජවරු මට නින්දා කරයි. මට ඒ අයට පරදින්න බෑ. ඒ නිසා මම මේ අදහසේ ම ඉන්නවා.”

“රජතුමනි එහෙනම් මම ඔබට තවත් කථාවක් කියලා දෙන්නම්. ඒකෙන්වත් කරුණු වටහා ගන්න.”

අසූචි පොදියේ උපමාව

“දවසක් ඌරන් ඇතිකරන්නෙක් කිසියම් කටයුත්තකට වෙන ගමකට ගියා. ටික දුරක් ගිය ඔහුට වියළි අසූචි ගොඩක් දකින්න ලැබුණා. ‘මේක නම් මගේ ඌරන්ට රස කෑමක්’ කියලා උතුරු සළුව බිම එළලා අසූචි පොදියක් බැඳගෙන හිස තබාගෙන ගියා. මෙහෙම යන විට අකල් වැස්සක් වහින්න පටන් ගත්තා. ඉන් අසූචි පොදිය තෙමී ඔහුගේ ශරීරය පුරා ම අසූචි බේරෙන්න පටන් ගත්තා. මහා දුර්ගන්ධයක් පැතිරුණා. මේ මනුස්සයාව දැකලා මිනිසුන් “මිනිහෝ, උඹට පිස්සු ද? සිහි විකල් වෙලා ද අසූචි හිසේ තියාගෙන යන්නේ?” කියා ඇසුවා.

“මට නෙමේ පිස්සු… නුඹලාටයි, මම මේ අරගෙන යන්නේ මගේ ඌරු කොටුවේ ඌරන්ට කෑමට දෙයක්.” ඔහු ඒ අසූචි පොදිය විසි කළේ නැහැ.

රජතුමනි, ඔබත් හරියට මේ අසූචි බර හිසේ තියාගෙන ගිය මනුස්සයා වගේ ඔය මිථ්‍යාදෘෂ්ටිය හිසේ තියාගෙන යන්නයි හදන්නේ. දැන්වත් ඔය අදහස අත්හරින්න. නැත්නම් ඔබට බොහෝ දුක් විඳින්න සිදු වෙයි.”

“කස්සපයන් වහන්සේ කොහොම කිව්වත් මේ අදහස අත්හරින්න බෑ. මට අනෙක් රජවරුන්ට පරදින්න බෑ.”

දාදු ක්‍රීඩාවේ උපමාව

“රජතුමනි, එහෙනම් මම තවත් කථාවක් කියලා දෙන්නම්. දාදු සෙල්ලමේ යෙදෙන දෙදෙනෙක් සිටියා. මේ දෙන්නාගෙන් එකෙක් තමන් පරදින්නේ යම් වෙලාවක ද ඒ පැරදුණ පැරදුණ පස ඇටය ගිලිනවා. මේක දැකපු අනිකා හොරෙන්ම, සෙල්ලම් කරන්න ගන්න පස ඇටවලට විෂ පෙව්වා. පසුවදාත් දෙන්නා ක්‍රීඩාව පටන්ගත්තා. එදාත් අර පස ඇට ගිලින මනුස්සයා පැරදුණ පැරදුණ පස ඇට ගිල දැම්මා. මේක දැකපු අනෙකා මේ විදිහට ගාථාවක් කිව්වා.

“පරදින පරදිනා පස ඇට ගිලින්නේ – ඒවා රුදුරු විෂ පොවලයි තියෙන්නේ
ගිලපිය ඉතින් නුඹ ඒ බව නොම දන්නේ – පසුවට කටුක දුක් ඵල විඳවාපන්නේ”

රජතුමනි ඔබත් හරියට තමන්ගේ දිනුම බලාගෙන විෂ දාපු පස ඇට ගිලපු දාදු ධූර්තයා පස්සේ කාලෙක ඒ නිසා ම දුකට පත් වුණා වගේ ඔබේ මේ ළාමක අදහස නිසා බොහොම දුකට පත් වෙනවා. ඒ නිසා ඔය ළාමක අදහස අත්හරින්න. ඔය ඔබට බොහෝ කල් හිත සුව පිණිස පවතිනවා.”

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.