කාන්තාවන්ගේ වගේ ම දෙව් මිනිස් ලෝකයාගේ ම ජීවිතවල නිකෙලෙස් වීම නම් වූ අසිරිමත් පරිවර්තනය සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේනමක් විසින් වදාළ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය නිසා. කාන්තා ලෝකය තුළ ධර්මය නිසා වූ පරිවර්තනය අදහා නොහැකි තරම් ආශ්චර්යයි. ඒ අපූර්ව පරිවර්තනයේ මිහිරි අරුත් රස අත්වින්ද රහත් භික්ෂුණීන් වහන්සේලාගේ හිත්වලින් උතුරා ගලා ගිය දහම් පද, එහෙම නැත්නම් උදාන තමයි ථේරී ගාථා විදිහට අපිට කියවන්නට ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ අධික වීර්යයෙන් යුතු භික්ෂුණීන් අතර අග තනතුරු ලැබු සෝණා රහත් තෙරණින් වහන්සේගේ ජීවිතය අපි හැමෝටම පරමාදර්ශයක් වන නිසා අපි ඒ උත්තම චරිතය ගැන මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.
**********************************************
සසරට වැටුනු ජීවිතේ වෙනස් වෙන්නේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කියන පින් කෙත මුල් කරගෙන රැස්කර ගත් පිනකින් ම යි. මේ සෝණා භික්ෂුණියත් මීට කල්ප ලක්ෂයකට පෙර පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා භික්ෂුණියකට අත්නොහළ වීරිය ඇති භික්ෂුණීන් අතර අග තනතුරු පිරිනමනවා දැකලා ඒ උත්තම ස්ථානය පතාගෙන අප්‍රමාණ පින් රැස් කළා.
දෙව් මිනිසුන් අතර පින් රැස් කර කර ගුණදහම් පුර පුරා ගියපු ඈ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලෝකයේ බබළන කාලයේ සැවැත්නුවර උපන්නා. සුදුසු වයසේ දී ඈ විවාහ ජීවිතයට ඇතුල් වුණා. ඈට පුතුන් දස දෙනෙක් ලැබුණා. එනිසා ‘බහුපුත්තිකා’ කියලා ඈ ප්‍රසිද්ධ වුණා. රන් කඳන් වගේ හිටපු මේ පුතුන් දස දෙනා හරිම තේජස්. කඩවසම්. නිරෝගි යි. එනිසා සෝණා අම්මා බිය රහිතව ජීවත් වුණා. ‘මේ දරුවන් උස් මහත් වෙලා කවදා හරි දවසක මාව හොඳින් බලා ගනියි’ කියලා මේ අම්මාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් තිබුණා.
සෝණාගේ ස්වාමියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දැන් මේ අම්මා ස්වාමියෙක් නැතිව දරුවන් උස්මහත් කර ගන්න ඔට්ටු වෙනවා. ඒක ඇයට ලේසි වැඩක් වුණේ නැහැ. හරිම අමාරු කටයුත්තක් වුණා. දරුවන්ට කන්න බොන්න දෙන්න, උගන්නන්න, ගේ දොර හදා දෙන්න සුදුසු කාලේට විවාහ කරලා දෙන්න… මේ වගේ මහා බරක් ඇගේ හිස මත පැටවිලා තිබ්බා.
කොහොම හරි කෙළවරක් නැති කම්කටොලු මැද්දේ ම ඈ හරිම ආදරෙන් මේ දරුවන් ලොකු මහත් කළා. කායික, මානසික පීඩාවලට මුහුණ දෙමින්, හිත ශක්තිමත් කරගෙන මේ සෝණා අම්මා ජීවිතයට මුහුණ දුන්නා
“ඔක්කොම වගකීම් මගේ කරපිටට දාලා මහණ වෙන්න ගියානේ.” කියලා මේ අම්මා ස්වාමියාට කවදාවත් දොස් කිව්වේ නැහැ. “මේ දරුවන් නිසා මට කිසිම නිදහසක් නැහැ. අරක නැහැ, මේක නැහැ කියමින් කරදර කරනවා.” කියමින් දරුවන් සමඟ ගෝරනාඩු කර ගත්තේත් නැහැ. හිතේ හයියෙන් ජීවිතයට මුහුණ දුන්නා.
සුදුසු වයසේ දී දරුවන්ට ආවාහ විවාහ කටයුතුත් කරලා දීලා දේපළත් සම සමව බෙදලා දුන්නා. මේ අහිංසක අම්මගේ හිතේ දරුවන් ගැන තිබ්බ විශ්වාසය කොයිතරම් ද කියන්නේ තමන්ට ජීවිත භුක්තියවත් තියා ගත්තේ නෑ. ඈ ඇත්තටම තමන්ගේ ජීවිතේ ගැන සතුටු වුණා…
සිතූ දේ නොම වේ – නොසිතූ දේ ම වේ…
කාලය ගත වුණා. බාල පුතාත්, ඒ ලේලියත් කියනවා,
“අම්මා ඇයි අපි ළඟ ම ඉන්නේ? තව දරුවෝ නව දෙනෙක් ඉන්නවානේ. ටික දවකට ඒ ගෙවල්වලටත් ගිහින් එන්න.”
අම්මා රෙදි පොට්ටනියත් අරගෙන එළියට බැස්සා. අනෙක් පුතා ළඟට ගියා.
“මල්ලි කරපු වැඩේ වැරදියි. අම්මා මෙහෙ ඉන්න.” ඒ පුතා කිව්වා. ටික දවසක් ගෙවුණා. ඒ ලේලිය ඇනුම්පද කියන්න පටන් ගත්තා. බොරු චෝදනා කළා. කරදර කළා. ඈගේ බලාපොරොත්තු සුණුවිසුණු වෙවී ගියා.
“අම්මාට මෙහේ ඉන්න අමාරු නම් වෙන කෙනෙක්ගේ ගෙදරටකට යන්න.”
සෝණා අම්මා රෙදි ටික අකුලා ගත්තා. ඒ නිවසෙනුත් එළියට බැස්සා. ලොකු පුතාගේ ගෙදරට ගියා. ඔහු අම්මාව ගෙට ගත්තා. “මල්ලි එහෙම කළාට මම අම්මාට සලකනවා.” ඔහු කිව්වා. මේ අම්මාට සැනසුම් සුසුමක් හෙළුණා. ‘මම දන්නවා එක දරුවෙක් හරි මට සලකනවා කියලා.’ ඈ තනිවම සිතුවා. හැබැයි… ජීවිතය කියන්නේ නොසිතූ නොපැතූ විදියට වෙනස් වෙන දෙයක්… ටික කාලයක් ගත වෙද්දි ලොකු ලේලිය කියනවා,
“අම්මා ලොකු පුතාට කියලා විශේෂයෙන් යමක් කළේ නැහැනේ. මෙහෙටම වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ.” කියලා.
තමන්ට නැගිටින්න අත දීපු අම්මා නේද මේ කියා ඒ දරුවෝ අමතක කළා. දරුවෝ කුඩා කාලයේ දී උකුලට අරගෙන රෑ එළිවෙනතුරු නළවපු අම්මාට අද රැයක් ගත කරන්න ඒ දරුවන්ගේ නිවෙස්වල ඉඩ මදි වෙලා. ඇය නිවසින් නිවසට යන විට ඒ හැම දරුවාගේ ම නිවසේ දොරවල් වැහුණා. ඇයට දැන් හරි වෙහෙස යි. නමුත් සෝණා අම්මා කවදාවත් දරුවන්ට දොස් කිව්වේ නැහැ. දෙස් තිබ්බෙත් නැහැ. වෛර කළෙත් නැහැ. එක පුතෙකුගේ වැරදි අනෙක් පුතාට කිව්වෙත් නැහැ. “මට වුණේ අසාධාරණයක්” කියමින් සමාජයට කිව්වෙත් නැහැ. උඩ ඉන්න දෙවියන්ට කිව්වෙත් නැහැ.
ඇය සිතනවා ‘සාධාරණ අසාධාරණකම් සොයන්න මට දැන් කාලයක් ඉතිරිවෙලා නැහැ. මේ අසාධාරණ සංසාරයෙන් නිදහස් වීම තමයි හොඳ. වෙන කෙනෙකුට ඇඟිල්ල දිගු කිරීම බොරු වැඩක්. කෙළවරක් නැති දුක් ඇති මේ සංසාරයෙන් නිදහස් වීම යි හොඳ. ඒ කාලයේ දරුවෝ මගේ වටේ දැවටී දැවටී සිටියා. ඥාතීන්, යහළුවන් හිටියා. නැදෑ පිරිවර ඉන්න කාලේ උදම් උනත් ඒ සතුටත් අනිත්‍ය වෙලා යනවා. පිරිවර නැතුව තනි වෙන්න සිද්ධ වුණාම ඒකට අපි කම්පා වෙවී හිටියම ඒකත් අනිත්‍යයි. ඒ නිසා මං මේ කිසිම දේකට කම්පා නොවී උපේක්ෂාව පුරුදු කරන එකමයි හොඳ.’
අත්නොහරින වීරිය…
දැන් ඇය මහලු යි. අතපය වාරු නැහැ. කායික-මානසික දුක් මැද කිසිවකට කම්පා නොවී ඇය විසඳුමකට ආවා. ගෞතම බුදු සසුනේ පිළිසරණ පතාගෙන ඇය භික්ෂුණී ආරාමයකට ගියා. වතාවත් කරගෙන ඉන්න කැමැති වුණා. නමුත් ඇය සිතූ තරම් ආරාමයේ වැඩ ලේසිපහසු වුණේ නැහැ. එතැන සිටි භික්ෂුණීන් වහන්සේලාගේ සියලු වැඩ කරන්න ඇයට සිදු වුණා. දර පැලුවා. පැන් පහසු වෙන්න වතුර පිරෙව්වා. පැන් උණු කළා. අතුපතු ගෑවා. දවස පුරා ම ඇයට වැඩ තිබුණා. ඒ සියල්ල ඇය පිනම සිහි කර කර මහත් සතුටින් ඉටු කළා. ලෝකයට කලාතුරකින් පහළ වුණ සංඝරත්නයට උපස්ථාන කරලා මහා පින් රැස් කළා. යුතුකම් වගකීම් බරක් කර ගත්තේ නෑ.
කාලයක් යද්දී ඇය පැවිදි වුණා. ඈ පැවිදි වුණත් සුපුරුදු වැඩ කොටස ඈට පැවරීලා තිබුණා. දරුවන් කළ අසාධාරණකම් නිසයි මට මෙහෙම වුණේ” කියලා ඇය ඔවුන්ට දොස් කිව්වේ නැහැ. සිනාමුසු මුහුණෙන් සියලු වැඩ කළා. තමන්ට ලෝකයෙන් යම් ම දුකක් පීඩාවක් ආවා ද ඒ කිසි විදිහකින් තමන්ගෙන් ලෝකයට පීඩා නොවේවා…! මගෙන් අන් අයට පහසුවක් සැපයක් ම වේවා…! කියලා මෙත් සිතින්, කරුණාවෙන්, මුදිතාවෙන් උපස්ථාන කළා. අගය කිරීම්, ප්‍රශංසා කිරීම් බලාපොරොත්තු නොවී උපේක්ෂාවෙන් වත් පිළිවෙත් කළා.
දවසක් සෝණා භික්ෂුණිය සිතුවා,
‘මම මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ ධර්ම මාර්ගය පුරුදු කරන්නයි. ඒ නිසා ඒ මාර්ගය මම පුරුදු කරන්න ඕනේ. මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ. ආයෙත් ඉපදුණොත් මොන මොන දුක්වලට මුහුණදෙන්න වෙයි ද දන්නේ නෑ.’
මෙහෙම හිතලා උන්වහන්සේ රාත්‍රියට උඩුමහළින් පහතට බැහැලා එතැන තිබෙන කණුවක් අල්ලාගෙන තමන්ගේ ශරීරයේ තිබෙන්නා වූ දෙතිස් කුණුප කොටස් සිහි කරමින් සක්මන් භාවනාවේ යෙදෙනවා. ඇයට මළුවක භාවනාව කරන්න අසීරු නිසා කණුව අල්ලගෙන කණුව වටේ සක්මන් කරනවා. ‘මේ ශරීරය බෙද බෙදා බලද්දී සාරවත් කිසි දෙයක් හමු වෙන්නේ නෑ. අසාර වූ මේ කයට ඇලීම නිසා සංසාරේ ගොඩාක් මං දුක් වින්දා. ඒ නිසා මේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නමයි වටින්නේ.’ කියා සිතමින් සක්මන් කරනවා. ඇය කායානුපස්සනා භාවනාව හොඳට මෙනෙහි කරනවා. ඈ දැන් නිදි වරන්නේ තමාට සිදු වූ අසාධාරණය සොයන්න නෙමේ; ආයෙ ආයේ අසාධාරණයට ගොදුරු නොවන උරුමයක් ලබා ගන්නයි.
ප්‍රශ්නවලට ම හිත පටලවා නොගෙන ධර්මය ම මෙනෙහි කරන්න මහන්සි ගද්දී ඇගේ සිත ධර්මාවබෝධයට මෝර මෝරා වැඩුණා. සියල්ල දන්නා – සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකය දිහා බලද්දි මේ සෝණා භික්ෂුණියගේ අප්‍රතිහත වීර්යය දුටුවේ මඩ ගොඩේ දිදුලන මැණිකක් වගේ. අපගේ ශාස්තෘන් වහන්සේ දුර ඈත සිටි සෝණා තෙරණිය ඉදිරියේ රශ්මි දහරාවක් විහිදුවා ගාථාවක් වදාළා:
“පින්වත් භික්ෂුණිය, මේ උතුම් ධර්මය අවබෝධ නොකොට අවුරුදු සීයක් ජීවත් වෙනවාට වඩා, ධර්මය අවබෝධ කරලා එක දවසක් ජීවත් වීමත් උතුම්. ශ්‍රේෂ්ඨයි.”
දුක මැඩගෙන ධර්මය ම සිහි කිරිමේ ආශ්චර්යය බලන්න…
ඒ ගාථාව අවසන් වෙද්දීම ඈ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. උතුම් අරහත්වයට පත් වුණා.
එන්නට නම් එපා යළිත් – දුකින් පිරුණු සංසාරෙට…
ඒ නිසා අපි ප්‍රශ්න මත ම ගිලි ගිලී ඉන්න පුරුදු වෙලා හිටියට, ඒ තුළ අපට කවදාවත් විසඳුමක් නම් ලැබෙන්නේ නෑ. ප්‍රශ්න…
අර්බුද… සංසාරේ කොහේ උපන්නත් කොතන උපන්නත්… වෙනසක් නැතුව තියෙනවා. සංසරේ එහෙම දුක් කම්කටොලු නැත්නම් බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා සසරින් එතෙර වෙන්න කියලා කියන්නේ නෑ.
සසරට අයිති අර්බුද අසාධාරණකම් මත හැපි හැපී නොඉඳ… යම් කෙනෙක් ධර්මය මෙනෙහි කරන්න දක්ෂ වුණොත්… ඒ කෙනා නම් ඒ සියලු අර්බුදවලින් නිදහස් වෙන්න සුදුසුකම් ලබනවා ම යි.
ඒ නිසා අපි ගොඩාක් ඉවසන්න ඕන. සීමා රහිතව ඉවසන්න ඕන. සැප වගේ ම දුකත්, දුක වගේ ම සැපත් අනිත්‍ය බව ම නිතර නිතර හිතන්න ඕන. ‘අසාධාරණය’ සසරේ ම ස්වභාවය බව දැනගෙන සාධාරණය නොසොයා හිතේ උපේක්ෂාව පවත්වන්න ඕන.
ලෝකයට නොපෙනුනාට එදාට අපි ජීවිතය ජයගන්නවා.
සාකච්ඡා සටහන – නයනා නිල්මිණි
Recent Comments