අප ජීවත් වන ලෝකය සැබැවින් ම පුදුමාකාරය. එහි ජීවත් වන බිලියන ගණන් මිනිසුන් අතර සෑම මිනිසෙක් ම එකිනෙකාට වෙනස් ය. රූපකායෙන්, ඇඳුමින් පැළඳුමින්, භාෂාවෙන්, කතා විලාසයෙන්, අරමුණු අභිලාෂවලින්, ආකල්පවලින් ඔවුන් අතර විශාල විවිධත්වයක් දැකිය හැකිය. වෙනකක් තබා එකම පියෙකුට දාව එකම මවකට උපදින දරුවන් අතර පවා කෙතරම් වෙනස්කම් පවතී ද? සමහර විටෙක එක් අයෙක් සමාජයේ ඉහල ම තලයට යද්දී අනෙකා මිනීමරුවෙක්, අපරාධකරුවෙක් වන්නේ එබැවිනි.
එවැනි විවිධත්වයක් දැරුවද මේ සියල්ලෝ ම පාහේ අඩු වැඩි වශයෙන් පොදු අරගලයකට මැදි වී සිටිති. එනම් ජීවන අරගලයයි. සමස්තයක් වශයෙන් ගත් කල බහුතරයකට ජීවත්වීම යනු ඇස, කන, නාසය ආදී ඉඳුරන් පහ පිනවීමය. අධ්‍යාපනය ලබන්නේ, රැකියාවක් කරන්නේ, මිලමුදල් උපයන්නේ, ගෙවල් දොරවල් සාදන්නේ, යානවාහන මිලට ගන්නේ, විවාහ වන්නේ, දරුමල්ලන් හදන්නේ, මේ සෑම දෙයක් ම කරන්නේ හුදෙක් ඇසෙන් ප්‍රියමනාප රූප දැකීමටය. කනෙන් ප්‍රියමනාප ශබ්ද ඇසීමටය. නාසයට ප්‍රියමනාප ගඳසුවඳ ලැබීමටය. දිවට ප්‍රියමනාප රස ලැබීමටය. කයට ප්‍රියමනාප පහස ලැබීමටය. මෙසේ තමන්ගේ හා තම ප්‍රියයන්ගේ පසිඳුරන් පිනවීම ම ඒකායන අරමුණ කරගෙන එකිනෙකා තරඟ වදිමින්, ඇණකොටා ගනිමින්, විටෙක අන්‍ය ජීවිත තොර කිරීමට පවා සාහසික වෙමින් දිවයන මේ නොනවතින ගමනේ ඔවුන්ට ඇත්තේ හුදෙක් වෙහෙසක් පමණි. අතෘප්තිකර ස්වභාවයක් පමණි. නොසන්සිඳුණ ස්වභාවයක් පමණි. අපගේ ශාස්තෘන් වහන්සේ විසින් එයට හේතුව වශයෙන් පෙන්වා වදාළේ කාමයන්ගේ ඇති අල්පමාත්‍ර වූ ආශ්වාදයයි. ආදීනවයන්ගේ වූ අති මහත් බවයි. සංස්කාරයන්ගේ වූ අනිත්‍ය ස්වභාවයයි. එබැවින් මෙය තෘප්තිමත් කොට අවසන් කළ නොහැකිය.
ප්‍රඥාවන්තයාගේ ස්වභාවය නම් ආදීනවය ම ප්‍රකට වී පෙනීමයි. නුවණ නැත්තාගේ ස්වභාවය නම් අල්පමාත්‍ර වූ ආශ්වාදය විසින් සමස්ත ආදීනවය ම වසා දැමීමයි. මේ අයුරින් හුදු තාක්ෂණයේ දියුණුව ම මිනිස් වර්ගයාගේ ඒකායන දියුණුව යැයි සිතමින්, ජරා මරණ පිළිබඳ ඡායා මාත්‍රයක හැඟීමක්වත් නොමැතිව, අන්ධබාල පෘතග්ජන මිනිසුන් පිරුණු මේ ලෝකය තරඟකාරී ව, වෙහෙසකාරී ව පසිඳුරන් පිනවීමේ අනවරත ගමනක යෙදී සිටියි. ඒ අතරතුරය එක්වර ම කොරෝනා වසංගතය පැමිණියේ!
දෙදෙනෙකුට එක ළඟ සිට කතාබස් කළ නොහැකිය. වෙහෙසකදී අත්වාරුවට යකඩ වැටක් වැනි පෘෂ්ඨයක්වත් ස්පර්ශ කළ නොහැකිය. දෑත් පිරිසිදු නොකොට තමාගේම නාසය කට ස්පර්ශ කල නොහැකිය. කොටින්ම මුඛ ආවරණයක් නොපැලඳ නිදහසේ හුස්ම පොදක්වත් ගත නොහැකිය. සබන් යෙදීම හෝ ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය කිරීම වැනි සුළු උත්සාහයකින් බිඳ වැටෙන සෛල බිත්තියකින් යුතු වෛරසයක් වුවද, මේ වසංගතය මැඩලීමට හැකි ඖෂධයක් නිපදවීමට දියුණුවේ හිණිපෙත්තට ළඟා වූ මිනිසාට තවමත් නොහැකි වී ඇත. ජරා මරණ හමුවේ සියලු ධනවත්කම්, බලවත්කම්, වෛද්‍ය උපකරණ පවා බල රහිත වී ඇත. යම් යම් ප්‍රතිකර්ම කළ පසු සුව නොවන්නේ නම් අධික ශීතල ජලයක ගිලෙන්නාක් මෙන් ගැහෙමින් මියයන රෝගියා දෙස බලමින් කඳුළු සැලීම හැරුණු කොට වෙනත් කළ හැක්කක් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ද නැත්තේය. එනමුත් ඔවුනට මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් පිරුණු ජීවිතය ගැන කියා දෙන්නෝ කවරහුද?
ඉපදීමත් ජරාවත් සත්වයා යට කරගෙන යන්නේ මහා සාගරයේ රළගෙඩි පරිද්දෙනි. ජීවිතය මරණය කරා ගෙන යන්නේය. ජීවත් වෙන්න තිබෙන්නේ සුළු කාලයකි. ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයාට ආරක්ෂා වීමට තැනක් නැත්තේය. එබැවින් තමාගේ ජීවිතයට යහපත ලැබෙන දූපතක් සාදා ගත යුතුය. තමා තමාව පිළිසරණ කර ගත යුතුය. තමා ධර්මය පිළිසරණ කරගත යුතුය. වෙන බාහිර පිහිටක් අපට නැත්තේය.
“මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත් ජීවිතය කරා එන්නේ මහා ගිනිකඳු වගේ. ඒකට ප්රතිවිරුද්ධව සටන් කරන්න බලයක් නෑ. පලා යන්න ජවයකුත් නෑ. ටික ටික හෝ බහුල වශයෙන් හෝ දවස හිස් විදිහට ගත කරන්න හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින් ම ජීවිතේ කෙටි වෙලා යනවා. ඒ නිසා ඇවිදින කොට, හිටගෙන ඉන්න කොට, ඉඳගෙන ඉන්න කොට, නිදාගෙන ඉන්න කොට මේ කොතනත් අවසන් මොහොත එන්න පුළුවන්. ඒ නිසා පමා නොවීමට කාලයයි මේ.”
(සිරිමන්ද රහත් මුනිඳුන්ගේ ථේර ගාථා)
තිලොවට උතුම් සරණ වූ තෙරුවනේ සරණ ලැබූ ගෞතම බුදුරදුන්ගේ ශ්‍රාවක වූ අප තරම් ආරක්ෂිත පිරිසක් මේ තුන් ලොවෙහි තවත් නැත්තේය. ඒ උතුම් තෙරුවනේ සරණ ලැබූවෝ සිල්වත් වූවෝය. තම අඩුපාඩු සකස් කරගත්තෝය. ඒ සඳහා සුළුවෙන් හෝ වීර්යයක් ගත්තෝය. ධර්මය ශ්‍රවණය කළෝය. ධර්ම දානය දුන්නෝය. සඟරුවන උදෙසා දන්පැන් පූජා කළෝය. වෙහෙර විහාර තැනුවෝය. දාගැබ් බැන්දෝය. ධාතූන් වහන්සේලාට, බෝධීන් වහන්සේලාට උපස්ථාන කළෝය. මල් පහන් පිදුවෝය. ජීවමාන ශාස්තෘන් වහන්සේ බඳු වූ ස්වර්ණමාලී මහ සෑ රජුන් වැන්දෝය. සංඝයා උදෙසා කුටි සෙනසුන් තැනුවෝය. ගෞතම බුදු සසුනට තම දිවි පිදුවෝය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සත්පුරුෂ ඇසුරේ කල්ප ගණන් සැප සලසන බොහෝ පින් රැස් කොට පරලොවට යම් පිළිසරණක් සාදාගෙන අවසන් ය. සුගති සැප සලසාදෙන තෙරුවන් සරණේ රැකවරණයත්, රැස් කරන ලද පිනුත් හිමි ශ්රාවකයා කුමට නම් බිය වන්නද?
වසංගතයක් පැමිණි මේ කාලයේ බොහෝ දෙනෙකුට ගිහි ජීවිතයේ අත්විඳිය නොහැකි ආකාරයේ කායික විවේකයක් ලැබී ඇත. එබැවින් අප මේ අවස්ථාව හොඳින් තේරුම් ගත යුතුය. වගකීම්වලින් මඳකට නිදහස් වී සිටින මේ මොහොත ධර්මයේ හැසිරීම පිණිස අවස්ථාවක් කරගත යුතුය. ලද අවස්ථාවේ වීර්යයෙන් කටයුතු කළ නුවණැති ශ්‍රාවකයෙකු ගැන බුද්ධ කාලයෙන් අපට අසන්නට ලැබේ. ඔහු කොසොල් රජුගේ අමාත්‍යවරයෙකි. ඔහුට නොකළ වරදකට සිරගත වන්නට සිදුවිය. වගකීම්වලින් මඳකට නිදහස් වී තමා ලද අවස්ථාවේ වටිනාකම සිහි කළ ඔහු වීර්යයෙන් ධර්මයේ හැසිරුණේය. ඔහු සිපිරිගෙයින් නිදහස් වී අපගේ ශාස්තෘන් වහන්සේ වෙත පැමිණියේ සෝතාපන්න ශ්‍රාවකයකු ලෙසයි. එසේ නම් ව්‍යාධියත් මරණයත් අත ළඟට පැමිණි මේ මොහොතේ නුවණැති ශ්‍රාවකයන් ලෙස අපද කටයුතු කළ යුත්තේ ඒ අයුරින් නොවේ ද?
එබැවින් තෙරුවන් සරණ ගිය ශ්රාවකයාට මේ මොහොතේ අධිශීලයක හික්මිය හැකිය. සත්පුරුෂ ඇසුරින් තමා උගත් ධර්මය මෙනෙහි කළ හැකිය. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, චතුරාර්ය සත්‍ය මෙනෙහි කළ හැකිය. ආයතන අනිත්‍ය වශයෙන් වැඩිය හැක. එමෙන් ම පංච උපාදානස්කන්ධ භාවනාව, ධාතු මනසිකාරය වැඩිය හැකිය. පටිච්ච සමුප්පාදය නුවණින් මෙනෙහි කළ හැකිය. සතර බ්‍රහ්ම විහරණ භාවනා පුරුදු කළ හැකිය. නිතර නිතර ධර්මය ශ්‍රවණය කිරීම, ධර්මය කටපාඩම් කිරීම හා සජ්ඣායනා කිරීම කළ හැකිය. අපගේ ශාස්තෘන් වහන්සේ අපට ලබා දුන් සරණ නියමාකාරයෙන් අර්ථ ගන්වන්නට හැකි වන්නේ ඒ ආකාරයෙන් කටයුතු කිරීමෙන් නොවේ ද? භාග්‍යවතුන් වහන්සේ නමැති පරමෝත්තම සත්පුරුෂයන් වහන්සේගේ සත්පුරුෂ ධර්මය දැනගත් ශ්රාවකයා ශෝක කරන ජනයා මැද ශෝක නොකර සිටින්නේ ඒ අයුරිනි.
මෙසේ අභිමානවත් ශ්‍රාවකයෙකු ලෙස ව්‍යාධි මරණ දුකට මුහුණ දෙන්නටත්, ලද මිනිස් දිවියේ උපරිම ඵල නෙළන්නටත් අප කාටත් වාසනාව ලැබේවා!!!
සටහන – යූ.කේ.ගුණතිලක
තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා…..!!!