මේ ලෝකයේ බැලූ බැලූ සෑම පැත්තක ම තිබෙන්නේ සිත ඇවිස්සී යන අරමුණුයි. ඒ අරමුණුවලින් පිරුණු ලෝකයක අද අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරනවා. ඒ ධර්මය තුළින් කියවෙන්නේ ඇවිස්සුනු සිත නිවා දමන ආකාරය යි. සැනසිල්ලක් දෙන ආකාරය යි. එනිසා අපි, ‘කැළඹුණ ලෝකයේ නොකැළඹුණු සිතකින් ජීවත් වන්නේ කොහොම ද?’ කියා මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

*************************

යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන්නට ලොකු පිනක් තිබෙන්න ම ඕනේ. නමුත් ඒ කෙනාට සිත කලඹන දෙයක් අසන්නට, දකින්නට ලොකු පිනක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ අපි සංසාරේ ගිය රටාවයි. ඉදිරියටත් සංසාරේ යනවා නම් යන්න තිබෙන රටාවයි. ඒ වගේ ම සිත කලඹන දේ, සිතේ ඇවිස්සීම ඇතිකරන දේ අපේ ඇස, කන ඉදිරියට නොඑන්නත් අපට සංසාරේ පිනක් තිබෙන්නට ඕනේ.

අද ලෝකය දෙස බැලූ විට අපට පෙනෙනවා මේ නූතන උපකරණ නිසා වගේ ම, අන්තර්ජාලයේ සැරිසරන්නට ගිහින් මේ ලෝකයේ අම්මලා, තාත්තලා වගේ ම දූලා පුතාලා වැඩිහිටි හැමදෙනා ම කිසිදු භේදයක් නැතිව ලොකු අතරමංවීමකට ලක් වෙලා තිබෙනවා. සාමාන්‍ය කෙනෙකුට පෙනෙන්නේ මේ අතරමංවීම නිසා ඉගෙන ගන්න දරුවෙකුගේ නම් අධ්‍යාපනය කඩාකප්පල් ‍වෙනවා, රැකියාවක් කරන කෙනෙකුගේ නම් රැකියාව කඩා වැටෙනවා, විවාහක අයෙකුගේ නම් මේ නිසා පවුල් ජීවිත කඩාකප්පල් වෙනවා කියලා. එසේ සිතන්නේ ළඟ පේන පුද්ගලයායි. ඒ සියලු‍ දෙනා ම මුළු සංසාරයට ම තිබෙන රැකවරණය අහිමි කරගෙනයි ඉන්නේ.

අතරමං නොවීමට නම්…

මේ කියන රැකවරණය අපේ ජීවිතවලට සලසා ගන්නට නම්, තම තමන්ගේ ජීවිත තුළ ආත්ම ද‍මනයක් අවශ්‍ය යි. කොහොම ද අපි ඒ ආත්ම දමනය ඇතිකර ගන්නේ? කැලඹී යන ලෝකයේ කැලඹෙන්නේ නැතිව ඉන්න, නොසන්සිඳුන ලෝකයේ සන්සිඳී ජීවත් වෙන්න, දමනයකින් යුක්ත නොවූ ලෝකයේ දමනයකින් ජීවත් වෙන්න තමන්ගේ ජීවිත තුළට ආත්ම දමනයක් ඇතිකර ගන්නේ කොහොමද? කියා සොයන කෙනාටයි මේ ධර්මයේ පිහිට පිළිසරණ රැකවරණය සැලසෙන්නේ.

අපි දන්නවා මීට අවුරුදු පහළොවකට විස්සකට පෙර තමන්ගේ දුව නොමඟ යනවා නම්, අම්මාට තාත්තාට ඒ බව සොයා ගන්න ක්‍රමයක් තිබුණා. ඒ තමයි දුව පාසල් ගිහින් එන්න, අමතර පන්ති ගිහින් එන්න වෙනදාට වඩා පමා වෙනවා නම් මව්පියන් සැක කරනවා අපේ දුව නොමඟ ගිහින් ද? දුවගේ ඇසුරට යම් පාපියෙක් එකතු වෙලා ද? කියා සොයා බලනවා. නමුත් ‍අද සමාජයේ තම දියණිය නොමඟ යනවා අම්මට තාත්තාට හොයන්න අමාරුයි. සමහර විට නොමඟ යන ඇය අනෙක් දරුවන්ටත් කලින් නිවසට එනවා. අනෙක් දරුවන්ටත් කලින් පාඩම් වැඩ පටන් ගන්නවා. ඒත් නොමඟ යාමට අනුබල දෙන පාපී මිතුරා ඇය අසල ම ඉන්නවා. ඒ තමයි ජංගම දුරකතනය. ඒ දුරකතනය හරහා ඇය අන්තර්ජාලයට ගිහින් හිතුමතේ එහි සැරිසරනවා.

ඇයට වරදින තෙක් මව්පියන්ට හොයා ගන්න බැහැ. ඔවුන් ඇසක් වගේ රකින දියණිය යම් දිනයක හඬා වැටෙනකම් ඔවුන් දන්නේ නැහැ අපේ දුවගේ ජීවිතය වැරදිලා කියලා. දරුවන්ට දඬුවම් දීලා මෙල්ල කළ කාලය අපෙන් ගොඩාක් ඈතට ගිහින් ඉවරයි. අද කාලයේ යම් දුවෙකුට වේවා, පුතෙකුට වේවා හැදියාවක් ඇතිව ජීවත් වෙන්න නම්, පවට ලැජ්ජා, බය ඇතිව ජීවත් වෙන්න නම්, අතරමං නොවන කෙනෙක් ලෙස ජීවත් වෙන්න නම්, ඇති එක ම විසඳුම, තම තමා තුළ දමනයක් තිබීමයි. වෙනත් විකල්පයක් නම් පෙනෙනතෙක් මානයකවත් නැහැ. බාහිර ලෝකයෙන් අද අපට ඒ සඳහා විසඳුමක් සොයාගන්න අපහසුයි. තමා තුළ තිබෙන ආත්ම දමනයක් පමණයි අපට පිහිට පිළිසරණට තිබෙන්නේ.

ආත්ම දමනය යනු කුමක් ද?

ආත්ම දමනයක් ඇතිකර ගැනීමට බාල මහලු අප කාටත් අවශ්‍ය ම දෙයක් තමයි ඍජු සත්පුරුෂ ඇසුරක් තිබීම. ඒක ඉතා දුර්ලභ දෙයක්. බැලූ බැලූ හැම පැත්තේ ම සිටින්නේ පාපී මිතුරන් නම් දමනය වීම අපහසු දෙයක්. පාසලේ වේවා, අමතර පංතියේ වේවා, යහළු‍වන් අතරේ වේවා, නෑයන් අතරේ වේවා, මහමඟ වේවා, බස් රථයේ වේවා, රැකියා ස්ථානයේ වේවා, නොමඟට යාමට උදව් කරන පාපී මිතුරන් බොහෝ සිටිනවා. දුර්ලභ සත්පුරුෂ ඇසුර ගිලිහී යනවා.

නමුත් සත්පුරුෂ ඇසුරෙන් මඟ – නොමඟ අඳුනාගන්නට පුළුවන්. තමන් ඇසුරු කරන්නේ කොහොම කෙනෙක් ද කියන එක අඳුනාගන්න දරුවන්ට ඇති එක ම මිම්ම තමයි මේ මිතුරා ඇසුරට පෙර තමන් ළඟ යම් ගුණයක් තිබුණා ද දැන් ඒ ගුණයට යම් හානියක් වෙලා ද? කියා තමා ම සොයා බැලීම. තිබූ ගුණයක් නැති වෙලා නම් ඒ ඇසුරෙන් තමාගේ ජීවිතයට බලපෑමක් වෙලා තිබෙනවා. තමා තුළ තිබූ ගුණය නැසිලා නම් එයට‍ හේතුව ළඟ සිටින පාපී මිතුරා යි.

කවුද මේ ‍පාපී මිතුරා…

මීට ‍බොහෝ කලකට පෙර නම් අපේ ජීවිතවලට ළංවුණේ සජීව පාප මිතුරන්. ඒත් දැන් නම් අපේ පස්සෙන් අජීව පාපී මිතුරෙකු ඉන්නවා. මේ අජීව පාපී මිතුරා ස්මාර්ට් දුරකතනය යි. මේ දුරකතනය අතේ තිබෙන දරුවෙක් කොහොමද ආත්ම දමනයක් ඇතිකර ගන්නේ? එසේ කෙනෙක් දමනය වෙලා ඉන්නවා නම්, ඒක විශාල පිනක්. එසේ දමනය වීමට නම්, බුදුරජාණන් වහන්සේනමකගේ ධර්මය විනා මේ වගේ දමනයක් ඇතිකර ගැනීමට අවශ්‍ය උපදෙස්, වෙන දහමක වෙන ඉගැන්වීමක තිබෙනවා කියා හිතන්නට බැහැ. එයට හේතුව මේ දමනය, සන්සිඳීම, නොකැලඹීම, ඉවසීම වැනි ගුණ සම්පත් ඇතිකර ගැනීම ගැන මෙතරම් පරිපූර්ණ ව, මෙතරම් ප්‍රායෝගික ව කතා කරන්න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේනමකට හැරෙන්නට වෙන කාටවත් බැහැ. විවිධ වූ දුර්ගුණයන් අපේ හිතේ ඇති වෙන්නේ අප තුළ අඩුවැඩි වශයෙන් තිබෙන රාගය, ද්වේෂය, මෝහය නිසයි. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඒ අකුසල් හරියට කිරි ගහකට කෙටුවා වගෙයි කියා. කිරි ගසක කඳට කෙටුවත් කිරි, පත්‍රයක් කැඩුවත් කිරි, දල්ල කැඩුවත් කිරි, මුලට ඇන්නත් කිරි, ගෙඩියක් කැඩුවත් කිරි. ගහේ හැමතැන ම කිරි වැක්කෙරෙනවා. ඇයි ඒ? කිරි වැගිරෙන බවක් ඇද්ද එය ඒ ගසේ ස්වභාවය නිසයි.

බුදුරජාණන් වහන්සේ වදාළා මේ වගේ තමයි රාගය, දුරු නොකරපු පුද්ගලයාගේ ජීවිතෙත්. රාගය දුරු නොකරපු කෙනාගේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ කුමන ආයතනයක් ඉදිරියට හෝ රාගය ඇතිවන ආකාරයේ පුංචි අරමුණක් ආවත් ඇති, ඒ තුළින් ඇවිස්සී යනවා. ලොකු අරමුණකට යට වීම ගැන කවර කතා ද? රාගය කියන කිරි කෙලෙස් සහිත අප හැමෝගේ ම ජීවිත අභ්‍යන්තරයේ තිබෙනවා.

එහෙම නම් අන්තර්ජාලයේ හිතුම‍තේ‍ සැරිසරද්දී දරුවන්ගේ සිත්වලට රාග අරමුණුයි දෙන්නේ. යටපත් වෙලා තිබෙන අකුසලයක් අවුස්සා දෙනවා. රාගය කියන්නේ අඩුපාඩුවක්, වැරැද්දක්, දුර්ගුණයක්, පිළිකුල් කළ යුතු දෙයක්, නීච දෙයක්, බොළඳ දෙයක්. ඒ වගේ නීච, ළාමක, ග්‍රාම්‍ය අකුසලයකින් දියණියක් සතුටු වෙනවා නම්, ආස්වාදය සොය සොයා යනවා නම් කොතරම් ලොකු අනතුරකට ඇය පත් වෙනවා ද? ඒ වැරැද්ද ඇයට කරන්න අනුබල දෙන්න ළඟින් ම පාපී මිත්‍රයෙකුත් ඉන්නවා. අද අපේ සමාජයේ දුවලා, පුතාලා කියලා භේදයක් නැතුව බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා ඒ පාප මිත්‍රයා සමඟ තනි වෙන්න.

කැට කුරුල්ලාට වූ දේ…

මීට කලකට පෙර අපේ සමාජයේ ඇස අසංවර කර ගන්න කෙනෙක් කැමැති නම් ඒ අරමුණ සොයාගෙන යන්න ඕනේ. නමුත් අද අසංවර කරන අරමුණ පුංචි සංඥාවකින් ළ‍ඟට එනවා. ‍කන අසංවර කරන අරමුණු සො‍යාගෙන යන්න ඕනේ නැහැ, අද පුංචි උපකරණයකින් හැම දෙයක් ම තමා ළඟට එනවා. නොසන්සිඳීම ඇති කරනවා. එහෙම නම් මේ වගේ ලෝකයක කොහොමද කෙනෙක් දමනයක් ඇතිකර ගන්නේ?

භාග්‍යවතුන් වහන්සේ වදාළා කැට කුරුල්ලෙක් ඉන්නවා, ඌ ආකාසයේ පියඹා යනවා. නමුත් ඒ පැටියාට යන්න කියලා තාත්තා පනවපු ස්ථානයක් තිබෙනවා. ඒ තමයි කුඹුරේ පස් පිඩැල්ල යට. එතැන තමයි කුරුලු‍ පැ‍ටියාට උරුම තැන.

නමුත් තාත්තා පනවපු ස්ථානයේ ඉන්නේ නැතිව හිතුවක්කාර පැටියා අහසේ සැරිසරනවා. හිතු හිතු ආකාරයට සැරිසරන්න යනවා කියන්නේ හිතුවක්කාරකම යි. මේ කුරුලු‍ පැටියා හිතුවක්කාරකමට අහසේ සරන්න ගියා. ගොදුරු සොයමින් ආකාසයේ ඉන්නවා ගිජුලිහිණියන්. මේ පැටියා ගිජුලිහිණියකුට අසු වුණා. එතකොට මේ පැටියා විලාප තිබ්බා “මටයි වැරදුනේ. මට තාත්තා කියපු තැන ඉන්න බැරි වුණා. පිය උරුමය මමයි නසා ගත්තේ.” කියලා. ගිජුලිහිණියා අහනවා, “පැටියෝ නුඹටත් පිය උරුමයෙන් ලැබුණ තැනක් තිබෙනවා ද?” “ඔව් තිබෙනවා.” පැටියා කිව්වා.

“එහෙනම් පිය උරුමය සොයා යන්න. මම එතැනට ඇවිත් අල්ලා ගන්නම්.” ගිජුලිහිණියා කිව්වා. පියඹා ගිය කැට කුරුලු පැටියා පස් පිඩැල්ල යටට ගිහින් ඔළුව උස්සලා කියනවා, “මාව දැන් අල්ලා ගන්න.” කියලා. ගිජුලිහිණියා වේගයෙන් පියඹාගෙන ආවා කුරුලු පැටියාව ග්‍රහණය කර ගන්න. ක්ෂණයෙන් පැටියා රිංගුවා පස් පිඩැල්ල යටට. පස් පිඩැල්ලේ පපුවේ වැදුණ ගිජුලිහිණියා මරණයට පත් වුණා.

පංච කාමයට රැවටීම…

භාග්‍යවතුන් වහන්සේ වදාළා “මම ගිජුලිහිණියා කියා කියන්නේ සංසාරයේ ඔබව රැගෙන ගිය පාපී මාරයාට යි. ආකාසය කියන්නේ පංච කාමයටයි. කැට කුරුල්ලා කියන්නේ හිතුවක්කාර විදිහට හැසිරෙන පුද්ගලයාටයි.” මේ කැට කුරුල්ලාට පියාගෙන් උරුම වූ ස්ථානයක් තිබෙනවා. ඒ පස් පිඩැල්ල යට. එහෙම නම්, භාග්‍යවතුන් වහන්සේ නම් වූ පියාණන් අපටත් ඉන්න කියා තැනක් දීලා තිබෙනවා. ඒ සතිපට්ඨානය තුළයි. සරන්න එපා කියපු තැනක් තිබෙනවා. ඒ ඇසට පෙනෙන ඉෂ්ට, කාන්ත, ප්‍රියමනාප, කෙලෙස් උපදවන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට එන අරමුණු. මේ දේ තුළ සැරිසරා යාම හරියට ආකාසයේ යනවා ව‍ගේ. ඒ ආකාසයේ ගිජුලිහිණියා නම් වූ පාපී පුද්ගලයා ඉන්නවා. හිතුවක්කාර වුණොත් එයාට අසු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා එතැන සැරිසැරීම ඔබට අගෝචරයි කියලා.

එහෙම නම් අන්තර්ජාලයේ සැරිසරන්නට යාම ආකාසයේ පියඹනවා වගේ. ආකාසය සුවිශාලයි. බැලූ බැලූ පැත්තෙම හිස් ආකාසය පේනවා. සැරිසැරීමේ නිමාවක් නැහැ. අන්තර්ජාලයට පිවිසුනාමත් එහෙම ම යි. නිමාවක් නැහැ. කුතුහලයෙන් ඇවිස්සී ඇවිස්සී තොරතුරු සොයනවා. ඇවිස්සීම කියන අකුසලය අපෙන් හොඳින් ප්‍රයෝජනය ගන්නවා. අකුසල් ගොන්නක් අපේ කර මත පැටවෙනවා.

එනිසා, එතැන තිබෙන්නේ අනතුරක් බව අපි කවුරුත් වටහා ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ පිහිටියා නම්, කැට කුරුල්ලා පස් පිඩැල්ල යට රැකුණා වගේ රැකෙනවා. සිහිය දියුණු කරගෙන අපේ ජීවිතයට රැකවරණය සලසා ගන්න පුළුවන් නම් අප ලබන ලොකුම ජයග්‍රහණය එයයි.

නයනා නිල්මිණි