කාන්තාවන් තුළ බහුලව ඇතිවන අකුසලයකට යි ඊර්ෂ්‍යාව කියන්නේ. අප ළඟ නම් ඊර්ෂ්‍යාව නැහැ කියා කාටවත් තර්ක කරන්න බැහැ. අඩුවැඩි වශයෙන් ඒ අකුසලය කා තුළත් තිබෙනවා. නමුත් යම් ස්ත්‍රියක් ඊර්ෂ්‍යා නොකර සිටිනවා නම්, ඒ ඈ සසරේ පුරුදු කළ ගුණයක්. මේ ජීවිතයේ ඊර්ෂ්‍යා කරන කාන්තාවක් සිටිනවා නම් ඇය සිතිය යුතුයි කාන්තාවන්ට බහුලව ඇති දුර්ගුණයකුයි පිහිටා තිබෙන්නේ කියා. අද සමාජයේ බහුලව පවතින මේ ඊර්ෂ්‍යාවෙහි ආදීනවත්, එය දුරු කරන්නේ කොහොමද කියාත් අපි මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

*************************************

භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ ඉස්සුකී සූත්‍රයේදී වද‍ාළා යම් කාන්තාවක් මේ කරුණු පහෙන් සමන්විතව ජීවත් වුනොත් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා කියා. ඒ කරුණු තමයි ඇයට ශ්‍රද්ධාව නැහැ, පවට ලැජ්ජාව නැහැ, පවට බය නැහැ, ඊර්ෂ්‍යයි, ප්‍රඥාව නැහැ. මෙලෙස ජීවත්වන ඒ කාන්තාව මැරුණට පස්සේ නිරයේ උපදිනවා. එහෙම නම් ඊර්ෂ්‍යා කිරීම පොඩි දෙයක් වගේ පෙනුනාට භයානක අකුසලයක්.

අපි කාන්තාවන් වශයෙන් ලස්සනට ඉන්න කැමැතියි. නමුත් අපේ ආයුෂය හරි ටිකයි. අපි ආපස්සට හරී බැලු‍වොත් මනුස්ස ලෝකයේ කාන්තාවක් ලෙස ජීවත්වෙන්න තිබෙන කාලය ගොඩක් ගෙවා තව ටිකයි අපට ගෙවන්න තිබෙන්නේ. ඒ ටික කාලයෙත් ඊර්ෂ්‍යාවෙන් පෙළි පෙළී ඉන්නවා නම් ඒ ජීවිතයේ වටිනාකමක් නැහැ. සමහර විට ඇය මේ ලෝකයේ බොහෝ පිළිගැනීම් ඇති, සත්කාර සම්මාන ලබන තැනැත්තියක් වෙන්න පුළුවන්. නමුත් ඇය ඊර්ෂ්‍යාකාරී නම් ඇයගේ ඊ ළඟ උප‍ත නිරයේ වෙන්න පුළුවනි. යම් ස්ත්‍රියක් අනුන්ගේ ලාභ, සත්කාර, ගෞරව, මානන, පිදුම්, වන්දනාමානවලට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේ ම ගැටෙනවා. අවසානයට ඒ ඊර්ෂ්‍යාව තම සිතේ බැඳ ගන්නවා. අනුන්ගේ සැපය, දියුණුව, ලස්සන ආදිය ඇයට දරන්න බැහැ. විශේෂයෙන් ම තමන් අකැමති කෙනෙකුට මේ දේ ලැබෙන විට එය ඇයට දරන්නට බැහැ. තමන් අකැමති කෙනාගේ ගුණ කියනකොට, ගරුනාම ලැබෙනකොට, දියුණු වන විට ඊර්ෂ්‍යා කරන තැනැත්තියට එය දරන්න බැහැ.

ඊර්ෂ්‍යාව මතුවී එන එක් ආකාරයක් නම්, තමන්ගේ නිවසට අලු‍තින් ‍ලේලියක් කැඳවා‍ගෙන ඒමයි. පුතා ඒ ලේලියට ආදරය කිරීම, ඇය ගැන සොයාබැලීම අම්මාට දරන්න බැහැ. ඉන් පසු ගැටුම් ඇතිවන්නේ ඒ සත්කාරය අම්මාට දරන්න බැරි නිසයි. ලේලිය ගැන ම යි ‍හොයන්නේ, එයාට ම යි සැලකිලි කියා අම්මාට ඊර්ෂ්‍යා හිතෙනවා. ඒ වගේ ම එහි අනෙක් පැත්තත් තිබෙනවා. අලු‍තින් ආ ලේලිය කැමැති නැහැ පුතා අම්මා ගැන තමන්ට වඩා වැඩියෙන් සොයා බලනවාට. වැඩි සැලකිලි සම්මාන කරනවාට. ලෙඩට දුකට සලකනවාට. අම්මාට සලකන එක ලේලියට දරන්න බැහැ. තවමත් අම්මාවයි ලොකු කියා ඇයට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඊ ළඟට ගැටෙනවා. ඒ වගේ ම ඊර්ෂ්‍යාව බැඳ ගන්නවා.

ඒ වගේ ම අද දරුවන් අතරත් ඊර්ෂ්‍යාව බහුලව දකින්නට තිබෙනවා. තමා‍ගේ යහළුවා හෝ යෙහෙළිය හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. පාසලෙන් ප්‍රශංසාව ලැබෙනවා. ඒක අනෙක් දරුවාට දරන්න බැහැ. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ගැටෙනවා. ඒ වගේ ම ඊර්ෂ්‍යාව බැඳ ගන්නවා.

ඊර්ෂ්‍යාව කිසිම සුව පහසුවක් ගෙන දෙන්නේ නැහැ. යම් ආයතනයක් තුළ වේවා, කණ්ඩායමක් තුළ වේවා, නිවසේ වේවා තමන් කටයුතු කරද්දී තමා‍ට අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් ඇයට කිසිදු සුවපහසුවක් නැහැ. ඔබ රංගන ක්ෂේත්‍රයේ වේවා, රූපලාවන්‍ය ‍ක්ෂේත්‍රයේ වේවා ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරද්දී ඔබ නිරන්තරයෙන් ඊර්ෂ්‍යාවෙන් පීඩා විඳිනවා නම් එය විශාල අකුසලයක්. එනිසා ඔබ ඔබට ආදරේ නම්, සුවපහසුව කැමැති නම් ඊර්ෂ්‍යාව දුරුකරන්න ඕනේ.

ඒ වගේ ම අපි ආශා කරන්න ඕන කුසලසහගත සිතක තිබෙන සුවපහසුවට. තමන් තමන්ගෙන් ම අසන්න ඕනේ “අනේ මම ඇයි පොඩි දෙයටත් ‘මටත් ඕනේ, මටත් ඕනේ’ කියා හිතමින්, ‘මෙයාට හරියන්න නම් එපා’ කියා පතමින් මගේ සිත අකුසලයට පත්කර ගන්නේ?” කියා. ඊර්ෂ්‍යාව නැත්නම් කෙතරම් සුවපහසුවක් තිබෙනවා ද කියා ඔබ අත්විඳ බලන්න. ඊර්ෂ්‍යාවේ ස්වභාවය තමයි කාටහරි පොඩි දෙයක් ලැබෙනවා නම් ඒක ලොකුවට පේනවා. ලොකුවට දැනෙනවා. ‘මට නැහැ. මෙයාට ම යි හැමදේම ලැබෙන්නේ’ කියා ඇගේ සිත කියනවා. අනුන්ට ලැබෙන සම්මානය, සත්කාරය, ‍ගෞරවය, වන්දනාව, පූජාව ඉවසන්න බැහැ. ඊර්ෂ්‍යාව ඇතිවූ විට අපට උයාගත් කෑම ටික කන්න බැහැ. හරියට නින්දක් නැහැ. පිරිසුදුව ඉන්න හිතෙන්නේ නැහැ. මේ හැම දෙයින් ම අපට කියන්නේ සුවපහසුවක් නැති බවයි.

ඒ නිසා ඊර්ෂ්‍යා සිතක් ඇතිකර ගන්න බය වෙන්න. එහි ආදීනවය බහුල ලෙස මෙනෙහි කරන්න. දේශනාවේ සඳහන් වෙනවා, යම් කෙනෙක් ඉන්නවා, ඇයට කිසිම පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන්නේ නැහැ. ඇයට පිළිගැනීමක් නැත්තේ ඇයි? ඇය සසරේ දී අනුන්ට ලැබෙන සත්කාරයට, ලාභයට, ගෞරවයට ඊර්ෂ්‍යා කරලා. ද්වේෂ කරලා, ඊර්ෂ්‍යාවෙන් බැඳිලා. ඒ නිසා මේ ජීවිතයේ අල්පේශාක්‍යයි. කවුරුත් ගණන් ගන්නේ නැහැ. බුද්ධ වචනය අහලා නැති නිසා ඇය “‍මටයි කිසිවක් නැත්තේ” කියා මේ ජීවිතයේදීත් පිළිගැනීම් තිබෙන, ලාභය ලැබෙන තැනැත්තියට ඊර්ෂ්‍යා කරනවා. එහෙම නම් ගත වූ සංසා‍රයේ අනුන්ට ඊර්ෂ්‍යා කරලා මේ ජීවිතයේදී පිළිගැනීමකුත් නැහැ, බුද්ධ වචනය අනුව හික්මෙන්න ප්‍රඥාව නැති නිසා මේ ජීවිතයේදීත් පිළිගැනීමක් ඇති තැනැත්තියට ඊර්ෂ්‍යා කර නැවත උපද්දවා ගන්නේ පිළිගැනීමක් නැති ස්වභාවය ම යි.

අංගුත්තර නිකායේ මල්ලිකා සූත්‍රයේදී මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “භාග්‍යවතුන් වහන්ස, මම මේ සමාජයේ ස්ත්‍රීන් හතර වර්ගයක් දකිනවා. භාග්‍යවතුන් වහන්ස, ඒ පළමු ස්ත්‍රිය අවලස්සනයි, දුප්පත්, කිසිදු පිළිගැනීමක් නැහැ. දෙවැනි කණ්ඩායමේ ස්ත්‍රිය අවලස්සනයි. නමුත් ධනවත්, පිළිගැනීම තිබෙනවා. තුන්වෙනි ස්ත්‍රිය සුරූපියි. නමුත් දුප්පත්. පිළිගැනීමකුත් නැහැ. හතරවන ස්ත්‍රිය සුරූපියි. ධනවත්. පිළිගැනීම තිබෙනවා.”

භාග්‍යවතුන් වහන්සේ වදාළා, “මල්ලිකා, අවලස්සනව ඉපදෙන්නේ සංසාරයේ ක්‍රෝධ කළ තැනැත්තියන්. දුප්පත් වෙලා ඉන්නේ සසරේදී දන් නොදුන් තැනැත්තියන්. පිළිගැනීමක් නැත්තේ සසරේ ඊර්ෂ්‍යා කළ නිස යි. සමහර කාන්තාවන් විරූපියි. ඒ සසරේ දී ක්‍රෝධ කරලා. නමුත් දන් දුන් නිසා ධනවත්. තව කාන්තාවක් සසරේ ක්‍රෝධ නොකළ නිසා සුරූපියි. නමුත් දන් නොදුන් නිසා දුප්පත්. ඊර්ෂ්‍යා කළ නිසා පිළිගැනීමක් නැහැ. සමහර කාන්තාවක් සුරූපියි. ධනවත්, සමාජයේ පිළිගැනීමකුත් තිබෙනවා. එවැනි ස්ත්‍රීන් සසරේ මෙත් සිත පුරුදු කරලා, දන් දීලා වගේ ම කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරලත් නැහැ.”

එහෙම නම් අපට පැහැදිලියි අපි සැපෙන්, සුවයෙන් ඉන්න කැමැති නම් කළ යුත්තේ කුමක්ද? ඊර්ෂ්‍යාව දුරු කිරීම යි. ඊර්ෂ්‍යා කරනවා නම් එය තමන්ට ම විඳවන්නට සැකසෙන ‍දෙයක්. මේ ජීවිතයේ විඳවන ඒවා මදිවට අලු‍තින් විඳවන්නට කර්මයක් සකස්කර ගන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් තැනැත්තියක් තව කෙනෙකුට ලැබෙන සත්කාර, ගෞරව, සම්මානවලට ඊර්ෂ්‍යා නොකරන්නේ නම්, කය බිඳී මරණින් පසු යහපත් තැනක උපදිනවා කියා. දේශනාවේ තිබෙන්නේ ඇය කය බිඳී මරණින් පසුව සුගතිය නම් ස්වර්ගයට යනවා කියලයි. නැති නම් ඇය මිනිස් ලොව උපත ලැබුවොත් ඇයට හොඳ පිළිගැනීමක්, මහේශාක්‍ය බවක් ලැබෙනවා. එයට හේතුව අනුන්ගේ ගෞරවයට, සත්කාරයට, වන්දනයට, පූජනීයත්වයට ඊර්ෂ්‍යා කරලා නැහැ. ගැටිලා නැහැ. ඊර්ෂ්‍යාවෙන් සිත බැඳගෙන නැහැ.

එහෙම නම් ඔබ සිතන්න අපි මනුස්ස ලෝකයේ හැමදාම ඉන්න ඇවිත් නැහැ. ටික කලකින් යන්නයි ඉන්නේ. ඊර්ෂ්‍යාව වගේ අකුසලයකින් අපේ සිත දූෂිත වෙලා තිබුණොත් ඒ සිත අපව අරගෙන යන්නේ නරක උපතකට. මනුස්ස ලෝකයට ආවත් කිසිදු පිළිගැනීමක් නැති කෙනෙක්. හැබැයි අපි සිතට එන ඊර්ෂ්‍යාව දුරු කරලා සුන්දර කුසල් සිතකින් වාසය කළොත් ඒ සුන්දර කුසල් සිත අපිව අරගෙන යන්නේ සුගතියට යි. මිනිස් ලොවට ආවොත් සමාජයේ ලොකු පිළිගැනීමක් ලැබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා කෙනෙක් මුදිතාව දියුණු කරනවා නම්, අනුන්ගේ සැපයට කැමැති වෙනවා නම් ඊර්ෂ්‍යාව දුරුවෙනවා කියලා. ‘මම ආයුෂයෙන් වැ‍ඩෙම්වා, වර්ණයෙන් වැඩෙම්වා, සැපයෙන් වැඩෙම්වා, බලයෙන් වැඩෙම්වා, යසසින් වැඩෙම්වා!’ ඒ වගේ ම, ‘මම ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙම්වා!’ කියා තමාට මුදිතාව වඩාගන්නා ගමන් ම සියලු‍ ලෝ සතුන් කෙරෙහි ද දස දිසාවට ම ලෙස මුදිතාව පතුරන්නට පුළුවන් නම් ඇයට කුසල් සිතක් උපදවා ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් මේ ආකාරයට මුදිතා භාවනාව කරලා මුදිතා ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නොපිරිහී මිය ගියොත් කල්ප හතරක් ආයුෂ තිබෙන සුභකිණ්හ නම් බඹලොව උපදිනවා කියා. මුදිතා චිත්තය වැඩුවේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකාවක් නම් ඒ ආර්ය ශ්‍රාවිකාවට බඹලොවදී පිරිනිවන් පාන්නට හැකි බව ද උන්වහන්සේ වදාළා.

එනිසා අපට තිසරණය සරණ යන්නට ලැබුණ ‍මේ අවස්ථාවේදී සිත අකුසල්වලින් දූෂණය නොකරගෙන ඊර්ෂ්‍යාව වැනි අකුසල් දුරු කරන්න පුළුවන් නම් ඒක ම යි ලාභය. තෙරුවන් සරණ ගිය අපට ඊර්ෂ්‍යාව නම් අකුසලය දුරුකරලා මුදිතාව නම් සුන්දර ගුණය දියුණු කරන්න පුළුවන් නම් ඒක ම යි ලාභය. මෙවැනි සුන්දර ගුණ පුරුදු කරලා දෙව්ලොවක ඉපදෙන්නට පුළුවන් නම් ඒක ම යි ලාභය. මෙවැනි සුන්දර ගුණ සම්පත්තියක් පුරුදු කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා මහ නිවනේ ගමන් කළ හැකි නම් ඒක ම යි ලාභය. අකුසල් දුරු කරලා කුසල් වඩාගෙන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් නම් ඒක ම යි ලාභය.

එනිසා අපි සියලු ම දෙනා ලැබුණ මේ දුර්ලභ මිනිසත් ජීවිතයෙන් උපරිම ප්‍ර‍යෝජනය ගෙන සිතක ඇති වන මහත් වූ ද කුඩා වූ ද සියලු‍ අකුසල් දුරුකර සුවපහසු සිතක් ඇතිකර ගැනීමට වෙර වීරිය වඩමු.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි