සද්ධර්මාලංකාරය රචනා වූයේ ගම්පොළ යුගයේ දී ය. සිව්වන පැරකුම්බා රජුගෙන් පසු කුරුණෑගල රජ වූ පාලකයෝ දෙදෙනා ම දුර්වලයෝ වූහ. ඔවුන්ගේ කාලයේ දී ගම්පොළ රාජධානිය ආරම්භ විය. කුරුණෑගල අවසාන පාලකයා වූ පස්වන විජයබාහු කුමාරයා ගම්පොළ රාජධානිය වශයෙන් තෝරාගෙන එහි ම සිට පාලන කටයුතු ගෙන ගිය බව පෙනේ.
ගම්පොළ මෙරට මුල් යුගයේ ජනාවාස වූ නගරයකි. රාජාවලියේ දැක්වෙන අන්දමට පණ්ඩුවාසදේව රජුගේ සමයේ භද්දකච්චානා බිසවගේ සහෝදර සුද්ධෝදන කුමාරයා මහවැලි ගඟ අසබඩ මේ නගරය ඉදිකොට ඇත. මේ ප්‍රදේශයේ ජනාවාස පැවති බැව් ඒ අවට ප්‍රදේශයෙන් ලැබී ඇති පැරණි ලෙන් ලිපිවලින් තහවුරු වේ. දඹදෙණි යුගයට අයත් තොරතුරුවලින් දැක්වෙන පරිදි ශ්‍රී පාද වන්දනාවට ගිය රාජ රාජ මහාමාත්‍යාදීන් නවාතැන් ගත් නගරයක් ලෙසට මෙය භාවිත වී ඇත.
පොළොන්නරු යුගයේ දී ගුරුළුගෝමී පඬිවරයා මිශ්‍ර සිංහලයෙන් ධර්මප්රදීපිකාව ද එළු බසින් අමාවතුර ද කරවීමෙන් ආරම්භ කළ ධර්ම ග්රන්ථ සම්පාදනය ගම්පොළ යුගය දක්වා දියුණු වීගෙන පැමිණියේ ය. විද්‍යාචක්‍රවර්තී පඬිවරයා බුත්සරණ, දම්සරණ, සඟසරණ යන කෘතිවලින් ද ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලියෙන් ද මයුරපාද හිමිගේ පූජාවලියෙන් ද තවත් ලේඛකයන්ගේ විවිධ ආගමික ග්රන්ථයන්ගෙන් ද ජාතක කථා ග්රන්ථයන්ගෙන් ද කුරුණෑගල යුගයේ ජාතක පොත් වහන්සේගෙන් ද ධර්ම ග්රන්ථ සාහිත්‍යය පෝෂණය විය. ගම්පොළ යුගයේ එයට එකතු වූ බණ කථා සංග්‍රහය සද්ධර්මාලංකාරය යි.
ජාතක කථා සිංහලයට නැගි පන්සිය පනස් ජාතක පොත සම්පාදනය වීමෙන් පසුව බුද්ධ යුගයෙන් පසු දඹදිව දී හා ලක්දිව දී සිදු වූ ආගමික කථා පුවත් කෙරෙහි ගම්පොළ යුගයේ දී අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ගම්පොළ යුගයේ දී ‘සද්ධර්මාලංකාරය’ බිහි විය. දෙවන ධර්මකීර්ති සංඝරාජ හිමියෝ සද්ධර්මාලංකාරයේ කතුවරයාණෝ වූහ. ශ්‍රී දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති යනුවෙන් හැඳින්වෙන්නේ ද උන්වහන්සේ ම ය. නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරයත්, බාලාවතාර ගඩලාදෙණි සන්නයත්, ජිනබෝධාවලියත් උන්වහන්සේ සම්පාදනය කළ ග්රන්ථ අතර වේ. සද්ධර්මාලංකාරය උන්වහන්සේ සංඝරාජ ධුරයට පත් වූ පසු රචනා කළ අතර එය උන්වහන්සේ රචනා කළ අවසාන කෘතිය ද විය.
සද්ධර්මාලංකාරය රචනා කිරීමට ලැබුණු ආරාධනයත්, එය රචනා කිරීමේ අභිමතාර්ථයත්, එහි ප්රමාණාදියත් කතුවරයාගේ බසින් ම එහි මෙසේ විස්තර වේ.
“එතෙකුදු වුවත් ලෝ වැඩ පිණිස බුදුන් විසින් වදාරණ ලද්දා වූ සද්ධර්මය මාගධික භාෂාවෙහි නොහසළ සිංහල දීපවාසීන්ට නොදැනෙන හෙයින් හෙළු බසින් පෙරළා ලංකාද්වීපවාසී සාධු ජනයන්ගේ සිත් පහදවමින් ලෝ වැඩ වඩා බොහෝ කාලයක් පවත්නා පරිද්දෙන් ධර්ම ව්‍යාඛ්‍යානයක් කළ මැනවැයි මෙසේ කරුණා පුරස්සර වූ නිශ්ශරණධ්යාශයෙන් යෙදී පර වැඩෙහි තත්පර වූ ප්‍රිය සබ්රහ්මචාරී වූ ප්‍රියදර්ශී නම් බුද්ධ පුත්‍රයාණන් විසින් කරන ලද ආරාධනාව හා තව ද බුදුන් විසින් ම වදාරණ ලද
‘භාසයේ ජෝතයේ ධම්මං – පග්ගණ්හේ ඉසිනං ධජං
සුභාසිත ධජා ඉසයෝ – ධම්මෝ හි ඉසිනං ධජෝ’
යන මේ බුද්ධානුශාසනාව පිළිගෙන සාධු ජනයන්ගේ සිත් පහදවා ශ්‍රද්ධා බුද්ධි වර්ධනය කෙරෙමින් ඔවුන්ට ත්‍රිවිධ සම්පත් සාදා දෙන පිණිස මතු බුදුවන බුදුන් දැක, අෂ්ට ධර්ම සමෝධානයෙන් යෙදී, විවරණ ශ්‍රී ලදින් බුද්ධ කාරක ධර්මයන් මුහුකුරුවා ලොව්තුරා බුදුව මුළු ලොවට අභිවෘද්ධිදායක වෙම්වායි යන මාගේ අභිමත ප්‍රාර්ථනාව සාදා ගන්නා පිණිස මෙතැන්හි ධර්ම සංග්‍රහ වර්ගය, නිදාන වර්ගය, අභිනිහාර වර්ගය, ධර්මසොණ්ඩක වර්ගය, මහාමන්දාතු වර්ගය, නන්දිරාජ වර්ගය, තුන් යහළු වර්ගය, සෝම බ්‍රාහ්මණ වර්ගය, පාදපීඨිකා වර්ගය, මහාසේන වර්ගය, තේභාතික වර්ගය, බෝධිරාජ වර්ගය, ආරඤ්ඤක, කාකවර්ණ, ඵුස්සදේව, නකුල, තබ්බසුමන, ගෝඨඉම්බර, අභය, සංඝදත්ත, සිරිනාග, නන්දිවාණිජ, චූලගල්ල, තිස්සනාග වර්ගය යැයි මෙසේ සූවිසි වර්ගයකින් හා සංක්ෂේප කථාවන් හා සමඟ අමෘත රස ධාරාවක් සේ සිටියා වූ එක්සිය පන් පනසක් පමණ කථා වස්තුවෙන් අලකෘත කොට සරහා සද්ධර්මාලංකාර නම් වූ ධර්ම ව්‍යාඛ්‍යානයක් දක්වමි” යනුවෙන් මාගධී භාෂාවෙන් දැක්වෙන සද්ධර්මය හෙළ බසින් ලංකාදීපවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරන ලෙස සබ්රහ්මචාරී ප්‍රියදර්ශී හිමියන්ගේ ආරාධනයෙන් මේ කෘතිය සම්පාදනය කළ බැව් දැක්වේ. මේ ග්‍රන්ථය වර්ග විසි හතරකින් ද කෙටියෙන් දැක්වූ කථා සමඟ කථා වස්තු එකසිය පනස් පහකින් ද සමන්විත වේ.
සද්ධර්මාලංකාර කතුවරයා කිසියම් ග්රන්ථයක් ඇසුරු කරගෙන තම කෘතිය සම්පාදනය කරන බවක් ප්‍රකාශ නොකරයි. එහෙත් අනෙක් ග්රන්ථ සියල්ලට වඩා රසවාහිනිය ඇසුරු කර ඇති බව පැහැදිලි ය. රසවාහිනියේ දැක්වෙන කථා සවිස්තරාත්මක ව සද්ධර්මාලංකාරයේ දැක්වේ. රසවාහිනියේ පිටු හයකින් දක්වන ‘දහම්සොඬ’ කථාව සද්ධර්මාලංකාරයේ පිටු 14කින් සවිස්තරාත්මක ව දක්වා ඇත. සාලියරාජ කුමාර කථා වස්තුවේ ලංකායං කිර මහාවාලුකා ගංගාසන්නේ මුණ්ඩවාකා නාම ඒකං ගාමං අහොසි, යන්න සද්ධර්මාලංකාරයේ දැක්වෙන්නේ මෙසේ ය. “යටගිය දවස මෙම ලංකාදීප නමැති අංගනාව ගෙලෙහි පළඳනා මුක්තාහාරයක් බඳු වූ මහවැලි ගං සමීපයෙහි මුණ්ඩවාක නම් ගමක් විය.” එයින් එම පදයන්ට අනුව ම පරිවර්තනය කොට නැති බව පෙනී යයි.
සද්ධර්මාලංකාරය ධර්ම ව්‍යාඛ්‍යානයක් පමණක් නො වේ. ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්රන්ථයකි. චම්පු කාව්‍ය සම්ප්රදාය අනුව ගද්‍ය පද්‍ය දෙකින් ම රචිත කාව්‍යයකි. ගැඹුරු වචන මෙන් ම ගැමි වහරෙහි එන ඇතැම් වචන ද යොදාගෙන ඇත. ඒවා යොදාගෙන ඇත්තේ ඉතා පරිස්සමෙනි. ගැමි ප්‍රස්ථාව පිරුළු ද උපමා ද යොදාගෙන ඇත. සාලියරාජ වස්තුවේදී දුටුගැමුණු රජු විසින් එවන ලද පණිවිඩය රැගෙන පැමිණි ස්ත්‍රියට සාලිය කුමරු කියන, “කිමෙක් ද කොල යහපත් විලිකුන් දෙළුම් කනු කැමති දොළන ස්ත්‍රියක විලිකුන් මී අඹ කෙතෙක් කෑවත් ඇගේ දොළන සන්හිඳේ ද? නොසන්හිඳෙන්නේ ම ය.” ඊට නිදසුනකි.
සද්ධර්මාලංකාරයෙහි සඳහන් කථා වස්තූන් අතර රසවත් පෙම් පුවතක් වූ සාලියරාජ වස්තුව, ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව, සොරෙකු වූ හරන්තික පැවිදි ව බවුන් වඩා රහත් වූ ආකාරය ආදී කථා වස්තු කියවීමෙන් වරින් වර පුද්ගලයන් තුළ ප්‍රකට වන දුර්වලකම් හා ප්රබලකම් තේරුම්ගෙන උපේක්ෂා සහගත ව සමාජය දෙස බැලීමට බෞද්ධ ඉගැන්වීම් තුළින් ලැබෙන ආදර්ශය මනා ව පැහැදිලි වේ. වර්ෂ 2009 සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට ද සද්ධර්මාලංකාරයේ එන කථා වස්තු දෙකක් නිර්දේශ කොට තිබේ. මෙම ග්‍රන්ථය වනාහී අගනා ධර්ම ප්‍රතිසංයුක්ත කථා වස්තු ඇතුලත් වටිනා සාහිත්‍ය කෘතියක් බවත්, ලොකු කුඩා සැම විසින් ම එය පරිශීලනය කළ යුතු බවත් නැවත නැවතත් සිහිපත් කරමි.
සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ
Recent Comments