දඹදිව බුද්ධභූමි වන්දනා ආවර්ජනයක්
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පින්වත් භික්ෂූන් වහන්සේලා විසිනමක් සමඟ සැදැහැතියන් හාරසිය පනස් දෙනෙක් මීට වසර කිහිපයකට පෙර දඹදිව බුද්ධ භූමි වන්දනා පුණ්‍ය චාරිකාවකට සහභාගී වූහ. බරණැස් නුවර රාත්‍රී විවේක ගැනීමෙන් පසුව පසු දිනයේ රජගහ නුවරට පැමිණීමත් සමඟ වන්දනා චාරිකාව ආරම්භ කරන ලදී.
බුදුරජාණන් වහන්සේ උදෙසා බිම්බිසාර රජතුමා විසින් පූජා කරන ලද පළමු ආරාමය වූ වේළුවනය පිහිටි රජගහනුවර අහස හාත්පස කළුකරගෙන මහවැසි ඇදහැළීමට ආසන්නව පැවතිනි. ඉසිගිලි, වේභාර, පාණ්ඩව, වේපුල්ල, ගිජ්ඣකූට, රත්නගිරි පර්වත කඳු මුදුන් වසාගෙන මහවැසි ඇද හැළෙන්නට විය. ගිජ්ඣකූට කන්ද පාමුලට පැමිණි පිරිසට බස්රථවලින් බැසගැනීමට පවා හැකි වූයේ නැත.
පුණ්‍ය චාරිකාව ආරම්භ වූවා පමණි. අනපේක්ෂිත කාලගුණ විපර්යාසය නිසා පැයක් පමණ බස්රථවල ම රැඳී සිට ආපසු හැරී අවුත් වේළුවනාරාමයට ගියෙමු. පොද වැසි පවතිද්දී ම වේළුවනාරාමය වන්දනා කිරීම ඇරඹුව ද යළිත් මහ වැස්සක් ඇද හැළුණෙන් එහි බුදුමැදුරට යාබද ශාලාවට පිවිසි ස්වාමීන් වහන්සේලා වන්දනා ගාථා පාඨ සජ්ඣායනා කිරීම ඇරඹූහ. ඉන් අනතුරුව සත්‍යක්‍රියාවක් කළ පින්වත් ස්වාමීන් වහන්සේලා සක්දෙවියන් හා එම ප්‍රදේශයට අධිපති ජනවසභ දෙවියන් ඇතුළු සියලු දෙවියන් අමතා, බොහෝ දුර බැහැර සිට ඉමහත් සැදැහැයෙන් යුතුව දඹදිව වන්දනාවේ පැමිණි පිරිස කෙරෙහි දෙවියන්ගේ කරුණාව යොමුකොට, වන්දනා ගමන අවසන් වනතුරු සොබාදහමින් පීඩාවක් නොවී සුවසේ වැඳ පුදා ගැනීමට සලසා දෙන ලෙස ඉල්ලා සිටියහ. මහා ආශ්චර්යයකි. ගාථා සජ්ඣායනය අවසන් වනවාත් සමඟ ම වැස්ස නතර විණි.
සැදැහැයෙන් ඇලලී ගිය පිරිස බුදු සිරිපා පහස ලද වේළුවනාරාම පුද බිම වැතිර පසඟ පිහිටුවා වැඳ වැටුණහ. වලාකුළු සියල්ල පහව ගිය අහස, පැහැබර විය. එතැන් සිට වන්දනා ගමන පැවති දෙසතියකට ආසන්න වූ කාලය තුළ වැස්සෙන් පීඩාවක් ඇති නොවීම අසිරියකි.
වේළුවනාරාමය වන්දනාවෙන් පසු රජගහනුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි පිහිටි සප්තපර්ණී ගල් ගුහාව නරඹා එදවස පැවති ප්‍රථම ත්‍රිපිටක සජ්ඣායනාව පිළිබඳ ආවර්ජනයක යෙදුනෙමු. සප්තපර්ණී ගල් ගුහාවේදී, කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු පළමු ධර්ම සංගායනාවට සහභාගී වූ ආර්ය මහා සංඝරත්නය සිහිපත් කොට දාස්පෙතියා මල්මාලා අතුරා වන්දනා කළෙමු. ආපසු එන ගමනේදී අජාසත් රජතුමන්ට ලැබුණ සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කළ වාලසංඝාට චේතිය ද දැක බලාගෙන ගොස් ගිජුකුළු පව්වට නැංගෙමු.
ගිජ්ඣකූට පර්වතය මුදුනේ පිහිටා තිබුණු බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් ගත කළ සුගන්ධ කුටියේ සහ ඊට යාබදව මඳක් පහළින් පිහිටා තිබූ ආනන්ද ස්වාමීන් වහන්සේගේ කුටියේ පැහැදිලි ලෙස ශේෂව පවත්නා අත්තිවාරම සහිත ගෙබිම වන්දනා කොට ගිජුකුළු පව්වේ මහා වන්දනාව සිදු කළෙමු. ඉසිගිලි පර්වතය ද නැඟ වැඳ ආපසු එන ගමනේදී සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප රහතන් වහන්සේලා වැඩසිටි ගල්ලෙන් ද දාස්පෙතියා මල් අතුරා වන්දනා කළෙමු.
ආනන්ද ස්ථූපය වන්දනා කිරීම
මෞර්ය අධිරාජ්‍යයේ අගනුවර වූ පාටලීපුත්ර හෙවත් වර්තමාන පැට්නා හි පිහිටි කෞතුකාගාරය නැරඹීමෙන් පසුව උක්කවේලි ජනපදයේ පාටලීග්රාමයේදී ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතූන් නිධන්කොට තනන ලද ඉපැරණි චෛත්‍යය වන්දනා කිරීමට ගියෙමු.
ආනන්ද මහරහතන් වහන්සේ අවසාන කාලය ගතකළේ මගධ රටේ ය. පිරිනිවන් පෑමට ආසන්න දිනයේදී උන්වහන්සේ මගධයේ සිට ඔරුවක නැඟී ගංගා නදිය තරණය කරමින් උතුරු දිසාවට වැඩම කිරීමට පිටත් වූ සේක. එවිට මගධ රජු උන්වහන්සේ අමතා තම දේශයේදී පිරිනිවන් පාන ලෙසට ඇරයුම් කළේය. ගං ඉවුරේ මෙහා දිසාවට, එනම් වජ්ජි දේශයට වැඩම කරන ලෙසට වජ්ජීහු අයැද සිටියහ. එවිට ආනන්ද මහරහතන් වහන්සේ දෙරටෙහි ම වැස්සන්ගේ හිත නොරිදවා ගංගා මධ්‍යයෙහිදී ම අහසට වැඩම කොට අහසෙහිදී ම පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි අහසෙහිදී ම ශ්‍රී දේහය ආදාහනය වී ධාතූන් සහිත අළු ගංඉවුරේ දෙපසට වැටිණි. පාටලීග්රාමයේ වජ්ජීහු ඒ ධාතු නිධන් කොට චෛත්‍යයක් තැනූහ.
හාරසිය පනස් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකේය සැදැහැතියන් පිරිස කෙරෙහි මහා කරුණාවෙන් යුතුව පින්වත් ස්වාමීන් වහන්සේලා අනාවරණය කළ එම පුවත හා සබැඳි ආනන්ද ස්ථූපය බොහෝ වන්දනාකරුවන්ගේ අවධානයට හසු නොවූවකි. රිය ධාවනය කළ නොහැකි පටු මාවතක් ඔස්සේ කිලෝමීටර් දෙකකට අධික මඟ ගෙවාගෙන ආනන්ද ස්ථූපය වන්දනා කිරීමට ගියෙමු. මේ ග්‍රාමය දැන් හඳුන්වන්නේ රාම්භද්රා නමිනි. එම ස්ථූපය මත, ගජේන්ද්ර වීර වික්‍රමසිංහ දේව් විසින් ‘මායා දේවි’ නමින් දේවාලයක් තනවා 2003 වසරේදී විවෘත කළ බව ඒ අසල ඵලකයක සටහන් කොට තිබුණි. එම විශාල ස්ථූපයේ පසු භාගය හරි අඩක් ම නිරාවරණ ව පැරණි ගඩොල්, ස්ථූපය හැඩයෙන් ම තවමත් දක්නට ඇත. එම පැරණි ගඩොල් මත දාස්පෙති මල්මාලා පන්සියයක් අතුරා ආනන්ද මහරහතන් වහන්සේ වන්දනා කළෙමු.
විසාලා මහනුවර වන්දනාව
බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේ වැඩවිසුවේ විසාලා මහනුවර කූටාගාර ශාලාව කේන්ද්‍ර කොටගෙන ඒ අවට ප්‍රදේශයේ ය. සච්චක බමුණා හා සුනක්ඛත්ත ලිච්ඡවී තෙම බුදුරජාණන් වහන්සේ හා වාදයට එළඹියේ එහිදී ය. මහා ප්‍රජාපතී ගෝතමී බිසෝවරුන් හිස මුඩු කරගෙන මහණ වීමට අවසර ඉල්ලා කිඹුල්වත් නුවර සිට පැමිණියේ ද විසාලා මහනුවරට ය. අම්බපාලිය බුදුරජාණන් වහන්සේට සිය අඹ උයන පූජා කළේ ද මෙම සමයේදී ය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කූටාගාර ශාලාව ද පසු කලෙක සර්වඥ ධාතු නිධන් කොට ලිච්ඡවී රජදරුවන් තැනවූ දාගැබ ද වන්දනා කළෙමු.
විසාලා මහනුවර ස්ථූපයත්, ලිච්ඡවී රජදරුවන්ගේ අභිෂේක ස්නාන පොකුණත් අතර වූ තැනක දී බුදුරජාණන් වහන්සේ නාගාවලෝකයෙන් ආපසු හැරී බලා පිරිනිවන්පෑම සඳහා වැඩම කළ සේක. එම ස්ථානයේ අශෝක රජතුමා පිහිටවූ සිංහ කුළුණ දැනුදු දැක්ක හැකි ය. “පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ විසාලා මහනුවර දකින අවසාන අවස්ථාවයි මේ. දැන් ඉතින් භණ්ඩගාමයට යමු” යි වදාළේ මෙහිදී ය. සිංහ කුළුණ සිරස මත, වල්ගය හකුලාගත් සිංහයකු උක්කුටුකයෙන් නැමී හඬන ස්වරූපයෙන් බුදුරජාණන් වහන්සේ වැඩිය දෙස බලාගෙන සිටින අයුරු නිරූපණය කොට තිබීම සංවේගය දනවන සුලු ය. විසාලා මහනුවරින් පිටත්ව වැඩි බුදුරජාණන් වහන්සේ භණ්ඩගාම, හස්තිගාම, ජම්බුගාම, භෝගගාම හරහා පාවා නුවරට වැඩම කළ සේක.
කේසරියා චෛත්‍යය වන්දනා කිරීම
විසාලා මහනුවර සිට ආපසු එන ගමනේදී කේසරියා නම් ගමේ පිහිටි කේසාරි ස්ථූපය වන්දනා කළෙමු. මෙම පූජනීය භූමිය වූ කලී කේසාරි කාලාමපුත්ත ඇතුළු අන්‍ය දෘෂ්ටිකයන්ට බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළ ස්ථානය යි.
බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර සිට කුසිනාරාව බලා වැඩි ගමනේදී දෙවන වරට ද කේසාරි ගමට වැඩම කළ සේක. එම අවස්ථාවට සහභාගී ව සිටි පිරිසේ බලවත් ආරාධනය පිළිගෙන ධර්ම දේශනා කිරීමෙන් පසුව වැඳ පුදා ගැනීමට පූජා වස්තුවක් ඉල්ලා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ කේශධාතු ස්වල්පයක් හා පාත්‍රා ධාතුව ඔවුනට ලබා දුන් සේක. එම සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කොට තැනූ මහා සෑය පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන තහවුරු කොට තිබේ. එම ස්ථූපයේ පේසාවළලු වෙනුවට වටේට ත්‍රිකෝණාකාර කුහර සාදා බුදු පිළිම තැන්පත් කොට තිබී ඇත. විසාලා මහනුවර සීමාවේ පිහිටි මේ පුදබිම පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් කැණීම් සිදුකරගෙන යනු ලැබේ.
කුසිනාරා පූජනීය භූමිය වන්දනා කිරීම
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරා පින්බිමට පැමිණි හාරසිය පනහක් වූ සැදැහැවත් පිරිස ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා මඟ පෙන්වීම පරිදි අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින ආකාරය දැක්වෙන ප්‍රතිමා වහන්සේ තැන්පත් කර ඇති විහාරය වන්දනා කළෙමු. ඊට පසෙකින් පිහිටි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පා වදාළ ස්ථානයේ ඉදිකොට ඇති පිරිනිවන් සෑය දාස්පෙතියා මල්මාලා අතුරා වන්දනා කරන ලදී. ස්වාමීන් වහන්සේලා මහා පරිනිබ්බාන සූත්‍රය සජ්ඣායනා කරද්දී සැදැහැවත් පිරිස සංවේගයෙන් ඇලලී ගියහ.
අනතුරුව පිරිනිවන් සෑය පුදබිමට කිලෝමීටරයක් දුරින් පිහිටි ආදාහන සෑය හෙවත් මකුට බන්ධන සෑය වෙත ගොස් වන්දනා කළෙමු. මකුට බන්ධන යනු මල්ල රජදරුවන් වොටුනු පැළඳූ මණ්ඩපය හඳුනන ස්ථානය යි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශේෂ වූ ධාතූන් වහන්සේලා, ද්‍රෝණ බමුණා විසින් අට කොටසකට බෙදා වෙන් කොට තැබූ කුඩා චක්රාකාර මණ්ඩප අට දැනුදු එහි දැක බලා ගත හැකි ය. මකුට බන්ධන චෛත්‍යය, අංගාර චෛත්‍යය නමින් ද හඳුන්වන්නේ සර්වඥ ධාතූන් වහන්සේලා ඉවත් කර ගත් පසු ශේෂ වූ අඟුරු තැන්පත් කොට එම සෑය බැඳවූ බැවිනි.
සිදුහත් කුමාර උපත සිදු වූ ලුම්බිණිය වන්දනා කිරීම
සිදුහත් බෝසත් කුමාරයාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූ ලුම්බිණි සල් උයනේ එක ද සල් ගසක්වත් අද දක්නට නොලැබුණ ද එහි පාරිසරික සෞන්දර්ය දැනුදු නොඅඩුව නොනැසී පවතී. බෝසතාණන් වහන්සේගේ අසිරිමත් උපත සිදු වූ පින්බිම එදවස පටන් රාජකීය ප්රභූන්ගේ ගරු සම්මානයට බඳුන්ව කලින් කල ගඩොලින් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණයේ පාදම් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් පැහැදිලිව මතු කොට ගෙන තිබේ. බෝසතාණන්ගේ සිඟිති දෙපා පිළිගත් බිම වටා ඉදිකරන ලද විශාල ගොඩනැඟිල්ල තුළට පිවිස එහි ඇති ආරක්ෂිත වැට දිගට දාස්පෙතියා මල් මාලා අතුරා සරසා ලුම්බිණිය වන්දනා කළෙමු. මහාමායා දේවියගේ පින්වත් දරු උපත ඇතුළත් කොට අතීත යුගයේ නිර්මාණය කරන ලද මූර්තිය හින්දූන් ගල ගා ගෙවී ගොස් ඇති හෙයින් ජනයාට අත පෙවිය නොහැකි උඩකින් එය සවිකොට ඇත. ඊට පහළ බිම බෝසත් කුමරාණන් බිහි වූ ස්ථානයේ සටහන්ව ඇති සිඟිති පා සලකුණ වීදුරු ආවරණයකින් වසා තිබෙනු දුටිමු.
මෑත කාලයේ මහාචාර්ය රොබින් කනිංහැම් විසින් කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී එම ඓතිහාසික පූජනීය සල් ගසේ මුල් ද ඒ වටා ඉදිකර තිබූ දැවමය ආරක්ෂිත වැටේ නටබුන් ද මතුකර ගන්නා ලදී.
ලුම්බිණි මහා විහාරයෙන් පිටතට පැමිණි කල්හි දක්නට ලැබෙන්නේ බෝසතාණන්ගේ උපත සිහිපත් කොට පිහිටුවා ඇති යෝද ස්ථම්භයකි. ධර්මාශෝක රජතුමා සිය රාජ්‍යෝදයෙන් විසි වසරකට පසු මහා සංඝයා වහන්සේගේ මඟ පෙන්වීම මත ලුම්බිණියට පැමිණ එම ස්ථම්භය පිහිටුවා ඇත. එහි බඳේ පහළ කොටසේ අශෝක අක්ෂරයෙන් (බ්රාහ්මී අකුරින්) මෙසේ කොටා තිබේ:
“දෙවානම්පියෙන පියදසින ලාජින විසති වසානි සිතෙන අතන ආගත. මහියතෙ හිද බුධෙ ජාතෙ සක්‍යමුනි’ති සිලා. විගහිජා කාලාසිත සිලා ථහෙච උස පාපිතෙ හිද භගවා ජාතොති ලුම්බිණි ගාමෙ උබලි කෙ කමෙ අඨභාගියෙක වා”
එහි භාවය මෙසේ ය:
“දෙවියන්ට ප්‍රිය වූ පියදස් රජු අබිසෙස් ලැබ විසිවසරක් ගිය කල මෙහි පැමිණියේය. සාක්‍යමුනි වූ බුදු උපත සිදු වූයේ මෙතැන ය. එම ස්ථානයේ ගල් කුළුණක් සිටුවා වන්දනා කළේය. භාග්‍යවතුන් වහන්සේ උපන් ලුම්බිණි ගම අයබදුවලින් නිදහස් කරන ලදී.”
වර්ෂ 630 දී දඹදිව වන්දනාවේ පැමිණි චීන ජාතික හියුං සියැං සිය චාරිකා වාර්තාවේ මෙසේ ලියා ඇත. “ලුම්බිණි උයනට පැමිණියෙමි. මෙය බුදුරජාණන් වහන්සේ උපන් තැන යි. සිදුහත් කුමරු නැහැවූ පොකුණ නිල් දියෙන් පිරී පවතියි. පොකුණට නොදුරින් විසල් සල් ගසක් තිබේ. සිදුහත් උපත සිදු වූයේ එතැන ය.”
අප වන්දනාවේ යන විට ද එම පොකුණ නිල් දියෙන් පිරී තිබිණි.
කපිලවස්තුපුරය වන්දනා කිරීම
ලුම්බිණියේ සිට සැවැත්නුවරට යන අතරමඟ කපිලවස්තුපුරයට පැමිණියෙමු. කපිලවස්තු හෙවත් කිඹුල්වත් නුවර පිහිටා ඇත්තේ ඉන්දු නේපාල දේශ සීමාව අසල පිහිටි වර්තමාන ආලිගඩවා නගරයට කිලෝමීටරයක් දුරින් ඇති පිප්රහවා නගරය අසල ය.
කපිලවස්තු රජමාලිගා සංකීර්ණයට පිවිසෙන දොරටුව වම්පස සවිකොට ඇති බිම් සැලසුම් පුවරුවක ප්‍රදර්ශනය වන සෙල්මුවා ධාතු කරඬුවක පින්තූරයක් දක්නට ලැබේ. එය වූ කලී ශාක්‍ය වංශිකයන්ට ලැබුණු, තම උතුම් නෑයා වූ බුදුරජාණන් වහන්සේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිධන් කොට තැනවූ දාගැබ තුළ පැවති ශෛලමය කරඬුවේ ඡායාරූපය යි. (දැනට එම කරඬුව දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.) පුරාවිද්‍යා කැණීම් මඟින් එය සොයා ගැනීම සම්බුද්ධ චරිතයේ ඓතිහාසිකත්වය තව තවත් තහවුරු කරන්නකි. එම කරඬුව මත ඉහළින් බ්රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති වගන්තිය ඉහත ධාතු කරඬු ඡායාරූපයේ වුව ද පැහැදිලිව පෙනෙයි.
“ඉයං සලිල නිදනෙ බුදස භගවතෙ. සකියානං සුකිනි බතානං සභගිනිකානං සපුන දලනං”
“මෙම ශාරීරික ධාතූන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ය. ශාක්‍ය වංශයට අයත් සුකිනි, සිය භාර්යාව දූ දරුවන් ඇතුළු නෑයන් සමඟ එක්ව මෙහි තැන්පත් කෙළේය.”
කපිලවස්තු ගොඩනැගිලි නටබුන් අතර සුද්ධෝදන රාජමාලිගාව, සිද්ධාර්ථ කුමාරයාණන් විසූ මාලිගාව ඇතුළු රජමාලිගා සංකීර්ණයේ නටබුන් වස්තු සියල්ලත්, ස්ථූපයත් නරඹා ස්වාමීන් වහන්සේලා වන්දනා ගාථා පාඨ සජ්ඣායනා කරද්දී අපි සියලු දෙනා ම සැදැහැයෙන් ඇලලී ගිය සිතින් යුතුව වන්දනා කළෙමු.
සැවැත්නුවර ජේතවනාරාමය වන්දනා කිරීම
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවිසූ සූවිසි වසරින් වසර 19ක් ම වැඩසිටියේ ජේතවනාරාමයේ ය. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් මැනැවින් නඩත්තු කරනු ලබන ජේතවනාරාම පුදබිමේ ප්‍රමාණය අක්කර 03කි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවනවිට ම මහරහතන් වහන්සේලා වැඩසිටි කුටිවල නටබුන් හැම දෙසින් ම දිස් වෙයි.
ජේතවනාරාමය තුළට පිවිසීමේදී මුලින් ම හමුවන්නේ ආනන්ද බෝධිය යි. එහිදී අපි සියලු දෙනා ම සිල් සමාදන් වූයෙමු. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ආනන්ද හිමියන් මුල්වී රෝපණය කළ ඓතිහාසික බෝධි වෘක්ෂය මෙය වන්නේය. ආනන්දබෝධි රෝපණ පින්කම සිදුවූයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ය. කොසොල් රජු වළක් කැණවූයෙන් මුගලන් මහරහතන් වහන්සේ ජය සිරි මහ බෝධීන් වහන්සේගේ ඵලයක් රැගෙන වැඩියහ. එම ඵලය අනේපිඬු සිටුතුමා වළ තුළ තැන්පත් කෙළෙන් බෝධිය වැඩී ගියේය. වසර දෙදහස් පන්සිය ගණනක ඉතිහාසයක් ඇති ආනන්ද බෝධීන් වහන්සේ අපි වන්දනා කළෙමු.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවිසූ සුගන්ධ කුටිය දාස්පෙතියා මල්, නෙළුම් මල්, රෝස පෙති ආදී මල් අතුරා පලස් බුමුතුරුණු ආදී පූජා භාණ්ඩ තැන්පත් කොට වන්දනා කළ අසිරිමත් පින්කමට සහභාගී වීමට ලැබීම මහත් භාග්‍යයකි. සුගන්ධ කුටියේ සිට මීටර් තිහක් පමණ දුරින් පිහිටි දම්සභා මණ්ඩපය බුදුරජාණන් වහන්සේ පැන් සනහා ගත් ළිඳෙන් ගත් ජලය මුසු කොට ගත් පැනින් ධෝවනය කොට නන්විධ මාලාදාමයන්ගෙන් සැරසූ පින්කමටත්, ඒ සැන්දෑ යාමයේ පහන් පන්දහසක් දල්වා පූජා කළ ආලෝක පූජා පින්කමටත් එක් වීමු.
අනේක විධ විපත් නිසා පීඩාවට පත්ව උමතු වූවක වෙසින් පටාචාරා දිව ආවේ ද, පුතුගේ මළ සිරුර දෝතට ගත් කිසාගෝතමී පැමිණියේ ද, නින්දා කරනු වෙසින් චිංචි මානවිකාව ආවේ ද මේ දම්සභා මණ්ඩපය අබියසට ය.
බුද්ධගයා වන්දනාව
සිදුහත් බෝසතාණන් වහන්සේ ගයා ශීර්ෂයේදී උතුම් බුද්ධත්වය සාක්ෂාත් කොටගත් බුද්ධගයා පුණ්‍ය භූමියේදී උපෝසථ සීලය සමාදන් වූ වන්දනා පිරිස සංඝයා වහන්සේගේ අනුශාසනා පරිදි බුද්ධ වන්දනාව සිදු කළහ. වන්දනාව අතරතුර අඩි 170ක් පමණ උස බුද්ධගයා විහාරයේ ඉහළ කොත් කැරැල්ලේ බැඳ තිබූ බඹර වදයක් කුරුලු ප්‍රහාරයකින් ඇවිස්සී ගිය ද වන්දනා පිරිසට ඉන් කිසිදු පීඩාවක් සිදු නො වී ය. සංඝයා වහන්සේ ඇතුළු සියලු ම දෙනා ඛන්ධ පිරිත සජ්ඣායනා කරමින් මෛත්‍රී භාවනාව වැඩූයෙන් බඹර කැළ විසිර ගියහ.
බුදුරජාණන් වහන්සේ සත් සතිය වැඩවිසූ පුණ්‍යභූමි ද එදින වැද පුදා ගන්නා ලදී. තෙවැනි සතියේ බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාව සිදු කොට වදාළ ස්ථානයේ ගොඩ නංවා ඇති වේදිකාව මත ගලින් නෙළුෑ නෙළුම් මල් 18ක් වෙයි. එය ඉදිකරන ලද්දේ ධර්මාශෝක රජතුමා විසින් බව කියැවේ. පස්වැනි සතිය ගත කළ අජපාල නුගරුක තිබුණ ස්ථානය සලකුණු කොට එරජුන් පිහිටුවූ ස්ථම්භයක් තිබේ. සයවැනි සතිය ගත කළ ස්ථානය සිහිකොට අශෝක රජතුමා තැනවූ ස්ථම්භයක් බුද්ධගයා විහාරයට ගිනිකොණ දෙසින් වෙයි. විහාරයේ සිට කිලෝමීටරයක් දුරින් දැනුදු මුචලින්දගම නමින් හැඳින්වෙන ග්‍රාමයේ පිහිටා ඇති මුචලින්ද විල ද නැරඹුවෙමු. බුදුරජාණන් වහන්සේට මුචලින්ද නාගරාජයාගේ සෙවණ ලැබුණේ එහි දී ය.
මුචලින්ද ගමේ වෙල්යායට නුදුරින් සත්වන සතියට සම්බන්ධ කිරිපලු නුගරුක පිහිටියේ ය. තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් විලඳ හා මී පිඬු පූජා කළේ එහි දී ය. සතියක් රාජායතනයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනය බලා වැඩි සේක.
ඉසිපතනාරාමය වන්දනා කිරීම
වාරානසී හෙවත් අද සාරානාත් ලෙසින් හැඳින්වෙන බරණැස් නුවර ඉසිපතනාරාමය වැඳ පුදා ගැනීම සඳහා වන්දනා පිරිස සංඝයා වහන්සේ පෙරටුව පැමිණියහ. හිමාල වනයේ තපස් රැකි ඍෂීන් වහන්සේලා දැඩි සීත සමයේ බරණැසට පැමිණි හෙයින් ඉසිවරුන් පතිත වූ ස්ථානය ඉසිපතනාරාමය විය. ඉසිපතනාරාමය නරඹා එදවස පැවති පරිසරයත්, වටිනා පූජාර්හ වස්තු පිළිබඳ අවබෝධයත් ලබාගතිමු.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමෙන් පසුව පස්වග තවුසන් සොයා වැඩම කළ අවස්ථාවේ ඔවුන් මුණගැසුණ ස්ථානයේ ධර්මාශෝක රජතුමා තැනවූ ස්ථූපය වන්දනා කළෙමු. එය ‘සම්මුඛ චෛත්‍යය’ නමින් හැඳින්වෙයි. මුස්ලිම් පාලන සමයේ මේ ස්ථූපය විනාශ කොට ඒ මත අටපට්ටම් දැවැන්ත කුළුණක් ගොඩනඟා ඇත. මේ ස්ථානය අද හඳුන්වන්නේ ‘චෞකන්දි’ නමිනි. සම්මුඛ චෛත්‍යයේ සිට ඉසිපතනාරාමයට දුර කිලෝමීටරයකි.
පසුදින උදෑසන ඉසිපතනාරාමයට පැමිණ උපෝසථ සීලය සමාදන් වීමු. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයේ ගොඩනංවා ඇති ධම්මරාජික ස්ථූපය වන්දනා කළෙමු. හයවැනි සියවස වන විට ද මෙතැන මීටර් තිහක් උස ගොඩනැඟිල්ලක් තිබී ඇත. අද එහි දක්නට ඇත්තේ අඩිතාලම පමණි. ධම්මරාජික ස්තූපය පිහිටි තැන වේදිකාවට පිවිසීම සඳහා තැනවූ පඩි පෙළ හතර අද ද දක්නට ඇත. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළ ස්ථානය දැක්වීම සඳහා චෛත්‍යය මැද ගල්කණුවක් පිහිටුවා තිබේ.
වස්සාන සමය ඉසිපතනාරාමයේ ම ගත කළ බුදුරජාණන් වහන්සේ උදෙසා ධම්මරාජික විහාරය අසල මූලගන්ධකුටි විහාරය ඉදිකරන ලද්දේ යස කුලපුතුගේ පියාණන් විසිනි. එම ස්ථානයේ ධර්මාශෝක රජතුමා තැනවූ විශාල විහාරයේ ගල්කණු අද ද දක්නට ඇත. එහි විශාල ගල්කණු හතර මැද පිහිටි අසුන බුදුරජාණන් වහන්සේ උදෙසා වී ය. මූලගන්ධ කුටි විහාරය අසල කණු මත ඉදි කළ වහලක් සහිත ගොඩනැඟිල්ලේ තනා ඇති වේදිකාව ධර්මාසනයකි. යස කුලපුත්‍රයාගේ යහළුවන් පනස් හතර දෙනා, සම්බුද්ධ දේශනාවට සවන් දී පැවිදි වූයේ එතැන දී ය.
මූලගන්ධකුටි විහාරයට මීටර් හතළිහක් පමණ දුරින් පිහිටි එළිමහන් බිමේ, පස්වග මහණුන් සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ ධම්මික චෛත්‍යය පිහිටා ඇත. මීටර් 33ක් උස මෙහි පහළ කොටස තනි ගලෙන් ම නිමවා තිබේ. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් උදෙසා අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කොට වදාළේ මේ භූමියේ දී ය. ධම්මරාජික ස්ථූපය අසල ධර්මාශෝක රජතුමා පිහිටවූ ස්ථම්භය මීටර් 12ක් උස ය. එහි උඩ කොටසේ කැබලි ටැම පාමුල ආරක්ෂිතව තබා ඇත. ස්ථම්භය මත තිබුණ සිංහ සිරස හා ඡත්රය සාරානාත් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
වන්දනා ගමන නිමවා ආපසු පැමිණීමට පෙර පින්වත් ස්වාමීන් වහන්සේලා පෙරටු කොටගත් හාරසිය පනස් දෙනෙකුගෙන් සමන්විත වන්දනා පිරිස නේරංජනා නදියේ වැලිතලාව තරණය කොට බුද්ධගයා මහමෙව්නාව අසපුව දැක බලා වන්දනා කිරීමට ද ගියහ. එහි දහම් පාසැලේ ඉගෙන ගන්නා හින්දු සිසු දරු පිරිස මඟ දෙපස රැස්ව සිට “නමස්කාර වේවා බුදු රුවනට” ආදී වශයෙන් ඇති නමස්කාර පාඨ සජ්ඣායනා කරමින් සංඝයා වහන්සේ පිළිගත්හ. බුදු දහම කෙරෙහි ඉමහත් සැදැහැයෙන් යුතුව බුද්ධගයා මහමෙව්නාව අසපුව කරා ඇදී එන එම හින්දු දරුවන්ගේ බෞද්ධාගමික ළැදියාව, හැසිරීම හා ආචාර සම්පන්න විලාසය දැකීමෙන් නිම්හිම් නොමැති බුද්ධාලම්බන ප්‍රීතියකින් සියලු හදවත් වෙළී ගියේය. දහම් පාසැලේ සිසු දරුවන් පිරිනැමූ තේ පැන් සංග්‍රහයෙන් පසු වන්දනා නඩයේ පිරිස ඔවුන්ගෙන් සමුගත්හ.
සටහන – දයාපාල ජයනෙත්ති
Recent Comments