සැවැත්නුවරට තිස්ස හා මෙත්තෙය්‍ය නමින් අඹයහළුවන් දෙදෙනෙකු පැමිණියහ. දිනක් භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නට ගිය ඔවුහු බුදු සසුනේ පැහැදී පැවිදි බවට පත් වූහ. මෙත්තෙය්‍ය භික්ෂුව තමන්ගේ ආචාර්ය හිමියන් සමඟ මහ වනයට වැඩම කොට සුළු කලකින් අරහත් විය. තිස්ස තෙමේ භික්ෂූන් අතර රැඳෙමින් උත්සාහ රහිතව වාසය කළේ ය. දිනක් තිස්ස භික්ෂුවට තම වැඩිමහල් සොයුරාගේ මරණය වෙනුවෙන් ගමට යන්නට සිදු විය. එහි දී ඔහුගේ නෑ පිරිස ඔහුට නොයෙක් කරුණු කියා සිවුරු හරවා ගත්හ.
දිනක් භාග්‍යවතුන් වහන්සේ සමඟ චාරිකාවේ වැඩි මෙත්තෙය්‍ය භික්ෂුවට තම පැරණි යහළුවා සිටින ගමට යන්නට අවස්ථාව සැලසුණි. තම යහළුවා සොයා ගිය මෙත්තෙය්‍ය භික්ෂුව ඔහු ව භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන පැමිණියේ ය. එහි දී තම යහළුවා වන තිස්ස හට යහපත කරනු කැමති මෙත්තෙය්‍ය තෙරුන් ඇසූ ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දෙසුම බඹසර සුරකින භික්ෂුවක් ඉන් ගිහි ජීවිතයට වැටී කම් සැප විඳීමේ ආදීනව මනාව පෙන්වා දෙයි. මෙත්තෙය්‍ය තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසූහ.
මේථුනමනුයුත්තස්ස
(ඉච්චායස්මා තිස්සෝමෙත්තෙය්‍යෝ)
විඝාතං බ්‍රෑහි මාරිස
සුත්වාන තව සාසනං
විවේකේ සික්ඛිස්සාම සේ
(තිස්ස – මෙත්තෙය්‍ය)
යෙදෙනා විට මෛථුනයෙහි – ලැබෙනා දුක් කරදර ගැන
දැන ගන්නට රිසි වෙමු අපි – කියාදෙන්න නිදුකාණනි
අසමින් ඔබගේ එ වදන් – දැනගෙන මුනිඳුන්ගෙ සසුන්
හික්මෙන්නෙමු අපි සැමදෙන – විවේකයෙහි ඇලෙන සිතින්
(උතුම් බඹසර අතහැර කාමසේවනයේ යෙදෙන කෙනෙකු විඳින කරදර ගැන උන්වහන්සේ විමසූහ.)
මේථුනමනුයුත්තස්ස (මෙත්තෙය්‍යාති භගවා)
මුස්සතේවාපි සාසනං
මිච්ඡා ච පටිපජ්ජති
ඒතං තස්මිං අනාරියං
(භාග්‍යවතුන් වහන්සේ)
යෙදෙනා විට මෛථුනයේ – නොලැබී යනු ඇත ඔහු හට
සම්මා සම්බුදු සසුනක – ලැබෙන උතුම් වූ මග ඵල
වරදට බැස ගත්ත කෙනා – ඔහු වේ මේ ලොව සිටිනා
ඔහු තුළ පවතින ඒ දොස – ළාමක අකුසලයක් ම යි
(බඹසර කඩාගෙන කාමසේවනයේ යෙදෙන කෙනාට මාර්ග ඵල අවබෝධ කළ නොහැකි බවත්, ගිහි ජීවිතයට වැටුන ඔහු නොයෙක් අකුසල් කරමින් දීන හීන ජීවිතයක් ගත කරන බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක)
ඒකෝ පුබ්බේ චරිත්වාන
මේථුනං යෝ නිසේවති
යානං හන්තං ව තං ලෝකේ
හීනමාහු පුථුජ්ජනං
යමෙක් කලින් පැවිදිව සිට – පසු කල එහි යෙදෙනා විට
යන මගතොට වැරදී ගිය – වාහනයක් බඳු වේ හේ
සිවුරු හැරපු ඒ පුහුදුන් – අය මෛථුනයෙහි යෙදෙනා
ළාමක වූ ජීවිතයට – වැටුනා යයි කියති ලොවේ
(කලින් පැවිදි වී සිටි කෙනෙක් කාම සේවනය කරන ගිහි ජීවිතයට වැටුනු පසු ඔහුගේ ජීවිතය පාර වැරදුන, පාලනයක් නැති / තිරිංග නැති වාහනයක් බඳු ය. කොහේ ගොස් කොතැන හැපේවි ද කුමන ප්‍රපාතයේ වැටේවි ද සිතා ගත නො හැක. ඔහු ජාති ජරා මරණ නැමති සංසාර ප්‍රපාතයට වැටෙනු ඇත. මෙය කම්සැප විඳින ළාමක ජීවිතයට උරුම වූ දෙය යි.)
යසෝ කිත්තිඤ්ච යා පුබ්බේ
හායතේ වා පි තස්ස සා
ඒතම්පි දිස්වා සික්ඛේථ
මේථුනං විප්පහාතවේ
සිවුරෙ රැඳී සිටි කාලේ – ඔහු ජීවත් වුණ තාලේ
පැතිරුන කිත් යස රාවේ – සැණෙකින් සුළඟේ පා වේ
දැක මේ අනතුර තිබෙනා – මෛථුනයෙන් ඇති කරනා
එයින් සදහට ම මිදෙන්නට – ගනිව් සිතට හික්මෙන්නට
(ධර්මධරයෙක් ය, නුවණැත්තෙක් ය, විචිත්‍ර ධර්ම කථිකයෙක් ය, සිල්වත් ය, ගුණවත් ය වශයෙන් පැතිරුන කීර්තිය සිවුරු හළ විට සැණෙකින් නැති වී යයි. ප්‍රසිද්ධ තරමට ම නොව ඊටත් වඩා අපකීර්තිය ම පැතිරේ. කාම සැපයට බඹසර පාවා දීමේ ආදීනවය හොඳට තේරුම් ගත යුතු ය. බොහෝ නින්දා අපහාස අවලාද ඔහු කරා පැමිණේ.)
සංකප්පේහි පරේතෝ සෝ
කපණෝ විය ඣායති
සුත්වා පරේසං නිග්ඝෝසං
මංකු හෝති තථාවිධෝ
කාම හැඟුම්වලින් පිරුණ – සිතිවිල්ලට යට වුණ විට
ඔහු යළි යළි එය සිතමින් – ගෙවයි දිළින්දෙක් විලසින්
ඔහු ගත කරනා දිවියට – නින්දා බස් ලැබෙනා විට
කරබාගෙන සිටී එවිට – කිසිවක් කර ගත නොහැකිව
(කාම සැපය ගැන ම සිතමින් ඔහු සිටින්නේ කිසිම පිළිසරණක් නැති අසරණ දුප්පතෙක් ලෙස යි. අන් අයගේ නින්දා ලැබෙන විට කිසිවක් කියාගත නොහැකිව කරබාගෙන ඔහේ සිටියි. මහණකමේ තේජස අතුරුදහන්ව ස්ත්‍රීන්ට පවා හිස පහත් කරගෙන සිටින්ට සිදු වේ. උන් කියනා දේ කරන්ට සිදු වේ.)
අථ සත්ථානි කුරුතේ
පරවාදේහි චෝදිතෝ
ඒසඛ්වස්ස මහාගේධෝ
මෝසවජ්ජං පගාහති
නින්දා බස් ලැබෙනා විට – එයින් මිදෙන්නට සිතමින්
ගොතා නොයෙක් ලෙස බොරු බස් -අවියක් විලසින් දුසිරිත්
දොඩමින් හේ දෙයි පිළිතුරු – වධයක් ම ය එයත් ඔහුට
(සිව්රු හැරීම ගැන අන් අය නින්දා කරද්දී “නෑ මං හොඳට හිටියා. අම්මාට සලකන්ට කෙනෙක් නෑ, තාත්තාට සලකන්ට කෙනෙක් නෑ, ඒකයි ආවේ.” ආදී වශයෙන් බොරු ගොත ගොතා කිය යි. අන් අයගේ නින්දාව යටපත් කරන්නට ඔහුට ඇති අවිය බොරුව යි. එකිනෙකා අසන ප්‍රශ්නවලට උත්තර දෙන එක ඔහුට ම මහා වදයක් වෙයි. බොරුව නිසා බොහෝ පව් රැස් වේ. මෙය බඹසරින් චුත වීමේ ආදීනවය යි. සිව්රු හැර කාම සැපයට වැටුනු කෙනාට ලෝකයේ නින්දාවලින් සැඟවෙන්නට ඇත්තේ බොරුව නැමති වනාන්තරය යි.)
පණ්ඩිතෝති සමඤ්ඤාතෝ
ඒකචරියං අධිට්ඨිතෝ
අථාපි මේථුනේ යුත්තෝ
මන්දෝව පරිකිස්සති
හුදෙකලාවේ දැඩි සිතකින් – සිල්වත් වී වසනා කල
පැතිර ගියේ ඔහුගේ ගුණ – නැණවත් උතුමෙක් යයි ලොව
එහෙත් සිවුරු හැර පසු කල – මෛථුනයේ යෙදෙනා විට
කෙලෙසී යයි ඔහු හැම ලෙස – ලොවේ මෝඩයෙක් විලසට
(හුදෙකලාවේ වීර්යයෙන් සිල් රකිමින් සිටින විට නැණවත්, උතුම් කෙනෙක් යැයි හැම තැන ම කීර්තිය පැතිරිණි. දැන් කාම සේවනය කරන ඔහුට වටිනා මහණකම නැතිකර ගත් මෝඩයා යැයි අපකීර්තිය ම පැතිරේ. )
ඒතමාදීනවං ඤත්වා
මුනි පුබ්බාපරේ ඉධ
ඒකචරියං දළ්හං කයිරා
න නිසේවේථ මේථුනං
පෙර ගත කළ පැවිදි සැපත – පසුව ලැබෙන ගිහි දුක දැක
හොඳින් හැඳින මේ කරදර – මුනිවරු දිවි ගෙවත් තනිව
දැඩි හිතකින් හුදෙකලා ව – දැනගෙන සදහම් කලාව
මෛථුනයේ නොම යෙදෙමින් – සුරකිති උත්තම බඹසර
(මහණකමේ පුදුම සැපයකි තියෙන්නේ. කරදර අඩු ය. සැනසිල්ලේ ඉන්ට හැකි ය. ගිහි ජීවිතය කොපමණ දුක් සහිත ද? නින්දා අපහාස මැද ජීවත් විය යුතු යි. ස්ත්‍රීන්ට යටත් විය යුතු ය. හරි හම්බ කළ යුතු ය. ඒවා රැකගත යුතු ය. නඩුහබ කිය යුතු ය. හිරේ විලංගුවේ වැටිය යුතු ය. අමු පෘථග්ජන ගිහියෙක් ලෙස මිය යන්නේ ය. මේවා තේරුම්ගෙන හිත දැඩි කරගෙන බඹසර රැකිය යුතු ය.)
විවේකං යේව සික්ඛේථ
ඒතදරියානමුත්තමං
න තේන සෙට්ඨෝ මඤ්ඤේථ
ස වේ නිබ්බානසන්තිකේ
අරහත් මුනිවරු තුළ ඇති – උතුම් විවේකය ලබන්ට
තම සිත එහි පිහිටුවමින් – හික්මෙන හැටි සිතට ගන්ට
එනිසා ලොකුවට ඉහළින් – නොසිතා ඒ ගැන කිසි විට
සදහම් තුළ හැසිරෙන අය – අමා නිවන් සුව අසල ය
(උතුම් රහතන් වහන්සේලාගේ සොඳුරු හුදෙකලා ජීවිතය ගැන සිතමින් ඒ පිවිතුරු ජීවිතයට පුහුණු විය යුතු ය. දහමේ හැසිරෙන තමා ගැන ඉහළින් නොසිතිය යුතු ය. ඒ අය නම් නිවනට ළඟ ය.)
රිත්තස්ස මුනිනෝ චරතෝ
කාමේසු අනපෙක්ඛිනෝ
ඕඝතිණ්ණස්ස පිහයන්ති
කාමේසු ගථිතා පජාති
හැම දොස් බැහැරට කරමින් – සසුන් පිළිවෙතේ යෙදෙමින්
කාමයන් ද නොම සිතමින් – ගෙවයි එයා සිත සතුටින්
කෙලෙස් වතුර තරණය කළ – අරහත් මුනි උතුමන් ගැන
කාමෙන් මුසපත් වී ගිය – ලෝ වැස්සන් හරි කැමති ය
(සියලු වැරදි හදාගෙන ශාසන ප්‍රතිපදාව පුහුණු කරන කාම ආසාව දුරුකරන කෙනා කෙලෙස් සැඩ පහර තරණය කරයි. ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන සිතීම පවා කාමයෙන් මුසපත් වූ ලෝකයට සුවය ගෙන දෙයි. මිනිසුන් එතරම් රහතන් වහන්සේලාට කැමති ය.)
මෙම උතුම් දේශනාව නිමා වන විට තිස්ස තෙමේ සෝවාන් විය. යළි පැවිදි වූ හේ නොබෝ කලකින් අරහත්වයට පත් විය. “අහෝ..! කලණ මිතුරන්ගේ ඇසුර මොනතරම් සැපදායක ද….!”
(සුත්ත නිපාතයේ තිස්ස මෙත්ත්‍යෙය සූත්‍රය ඇසුරෙනි.)
සටහන – මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!!!
සිවුරැ හැර ගියත් කලණ මිතුරාගේ උපකාරය නිසා මගඵලද ලබා නැවත අරහත් ධජය පොරවා ගැනීමට පින පහල විය. කලණ මිතුරැ ඇසුර මෙලොව පරලොව දෙකම සැපවත් කරයි.නිවන් දක්නාතුරා කලණ මිතුරැ ඇසුරුම ලැබේවා.
තෙරුවන් සරණයි.