සිඞ්නි සිට ලියමි
දයාබර නිලාර්,

මව්බිමෙන් වෙන්ව ගෙවෙන තවත් රාත්‍රියක් උදා ව තිබේ. හාත්පස සියලු දිශාවේ දහස් ගණන් විදුලි බුබුළු දැල්වුණත් මට මහ ඝනඳුරක් ම පෙනේ. පිරිසිදු විසල් මං මාවත් අතුරා, දෙපස මල් සිටුවා ලස්සන කර තිබුණත් එහි සුන්දරත්වයක් මට නොදැනේ. මගේ අත ගෙන ඒ මං මාවත් දිගේ ඇවිද යන්නට ඕනෑතරම් පිරිස් සිටිය ද ඒ දෑත් ළෙංගතු නැත. උණුසුම් ද නැත. මේ පොළොව මට ආගන්තුක ය.

කලපුව පිස එන වියළි සුළඟේ දැවටි කර්කශ පිළීගඳ කවදත් සුවඳක් ලෙසින් විඳි මට කෘත්‍රිම ව සුවඳ කළ මේ කාමරය ප්‍රිය නො වේ. රාත්‍රියේ දී පවා දහවල හිරු විසින් ඇති කළ දාහයෙන් උණුසුම් වූ පරිසරයේ ජීවත් වූ මට කුඩා කාමරයේ සීතල බව වෙහෙසකි.

මේ අහස මට නුපුරුදු ය. විශාල ය. මේ පාව යන වලාකුළු මට සෙවණ පිණිස නැගි ඒවා නොවන බව මම දනිමි. මං සෙරක ලෙසින් එයින් සෙවණ ලබන්නියක් පමණි. මගේ දිවියේ වටිනා ම දෙයක් නැවත වරක් මට අහිමිව ඇත. ඒ මගේ මාතෘභූමිය යි. මගේ නිදහස යි.

උතුර ඊළමක් පිණිසත්, දකුණ මව්බිම පිණිසත් දෙපස සිට යුද වදිත්දී උන් ඒ මැදට වී කුමක් කර ඇති ද? “ඔය තරම් රැඩිකල් වෙන්නෙපා”යි ඔබ මට කීවේය. එහෙත්, ඔවුහු පරෙවියාට වෙඩි තබා මරා දැමූහ. මිය ගිය පරෙවියාට ආයෙම පණ දිය හැකි ද? නැත. කළ හැකිව ඇත්තේ වෙඩි තැබූ තුවක්කුව උදුරා ගැනීම පමණකි. ඔබ කොතැනක කුමක් කරන්නේදැයි මම නොදනිමි. එහෙත් මම නොබියව ලියමි. ආගමට විරුද්ධව වුව ද මම සත්‍යය ම ලියමි. කවියට, ගීතයට දෑල යා කළ නොහැකිව ඇත. ඊළමේ දුමාරයට වඩා ආගමික අන්තවාදයේ දුමාරය බලවත් බව ද කෲර බව ද මම අත්දැකීමෙන් ම දනිමි. ඒ කතාව මෙතැන් සිට ඔබට කියමි.

කලපුවට බටහිර පැත්තේ වූ කුඩා බිම් තීරුවක මගේ ළමා විය ආරම්භ විය. ‘ෆායිස් වත්ත’ ලෙසින් හැඳින්වූ එහි ගෙවල් හතළිස් හතරක් පමණ තිබිණ. ඇත්තෙන්ම ඒවාට ගෙවල් යැයි කිව හැක්කේ ඒවා තුළ මිනිසුන් වූ අප ජීවත් වීම නිසා පමණකි. ඇත්ත වශයෙන් ම නම් ඒවා සතුන් ඇති කරන මඩුවලටත් වඩා අන්ත ඒවා ය.

අපේ මුළු ඉඩම පර්චස් දොලහක් හෝ ඊට ආසන්න ගණනකි. එය අනෙක් ඉඩම් හා සසඳා බලත්දී විශාල එකකි. මිදුලක් කියා යමක් තිබුණා නම් තිබුණේ ද අපට ම පමණකි.

බිත්ති වෙනුවට ලෑලි ගසා ටකරන් සෙවිළි කොට තිබූ තනි කාමරයක් පමණකි අපේ නිවස වූයේ. ඒ කාමරයක් පමණ වූ නිවසේ අම්මාත්, තාත්තාත්, නංගිලා දෙදෙනාත් හැරුණු කොට මා සමඟ තාත්තාගේ අම්මා, මගේ ආච්චී ද ජීවත් වී යැයි කීවොත් ඔබ පුදුම වෙනු ඇත. මට නම් එහි අරුමයක් නොවන්නේ ෆායිස් වත්තේ හැම ගෙදරක ම තත්ත්වය එසේ වූ හෙයිනි.

මට යන්තම් අවුරුදු පහ පිරෙත්දී ලොකු නංගීගේ වයස අවුරුදු තුනහමාරකටත් වඩා වැඩි ය. බාල ම නංගිට වයස අවුරුදු දෙකකි. ආච්චී ඔය අතරතුර මිය ගියාය. ඇත්තෙන්ම ඇගේ මරණය නිවසේ සියල්ලන් තුළ ඇති කළේ සතුටකි. මන්ද ඇගේ මරණයත් සමඟ ම නිවස තුළ විශාල ඉඩකඩක් ඇති විණැයි සිතූ හෙයිනි. එවැනි පාපකාරී, ආත්මාර්ථකාමී ලෙස සිතීමට රුකුල් දෙන තරමට අපි නිවස තුළ සිරව සිටියෙමු. පෙරට වඩා ස්වල්ප දෙයක් ද අපගේ කෑම පිඟානට වැඩිපුර ලැබුණි.

“සෆීර්ට ඉඩමෙන් භාගයක් දෙන්න වෙනවා. එයා ළඟ දී ම කසාද බඳීවි.”

එක්තරා හැන්දෑවක තාත්තා අම්මාට කීවේ ය. තාත්තා කියූ දෙය මට නොතේරුනත් හිස මත හෙණයක් පතිත වූ කලෙක මෙන් අම්මා කලබලයට පත්වෙනු දුටු මම තාත්තා කියූ දෙය යහපත් ආරංචියක් නොවන වග වටහා ගත්තෙමි.

“ඒක නම් කරන්නෙපා. මේ දරු පැටවුන්ට සෙල්ලම් කරන්නවත්, අඩුම තරමින් හුළඟක් වදින්නවත් ඉඩකඩක් තියෙන්න ඕන නේ ද?”

අම්මාගේ වචන තුළින් මතු වූයේ ආවේණික ගැහැනුකම නොව මාතෘත්වය පමණක් ම බව මම තේරුම් ගත්තේ පසු කලෙක දී ය.

“සෆීර් තාම පුංචියි නේ. ඇයි මෙච්චර අඩු වයසින් කසාද බඳින්නේ? එයාලට ගොඩක් දුක් විඳින්න වේවි.”

අම්මාගේ වචන අවංක ඒවා බව මම ඇදහූයෙමි.

“අපිට පිරිස ඕනි. ඉක්මනට අපේ පිරිස වැඩි කර ගන්න ඕන.” තාත්තා කීවේ ආවේගයෙනි.

“ඇයි? ඉන්න එවුන්ටත් හරියට කෑමක් නැතුව, ඉන්න හිටින්න අඳින්න පළඳින්න දෙයක් නැතුව තවත් උපද්දවල දුක දෙන්න ද?” යි අම්මා ඇහුවේ කෝපයෙනි. තාත්තා අම්මාටත් වඩා කෝපයෙන් කථා කළේය.

“මාලනී, ඇයි උඹට ආරංචි වෙලා තියෙනව ද එකෙක් හරි කන්න නැතුව, ඉන්න තැනක් නැතුව මැරිලා ගිහින් කියලා? එකෙක් හරි අඳින්න ඇඳුමක් නැතුව හෙළුවෙන් ඉන්නව කියලා?”

අම්මාට තාත්තා නම කියා කතා කරන්නේ ජාතිවාදී හැඟීම් ඇති වූ විට ය යන්න මම පසුව තේරුම් ගත්තකි.

“ඒක ඇත්ත. ඒත්…”

“ඒත් නෙමෙයි… අපිට පිරිස ඕනා. අපිට වැදගත් දෙයක් කරන්න තියෙනවා. අපි මේ රටේ මහ ජාතිය වෙන්නෝන.”

“මොකක්?”

අම්මා ද පෙරළා ඇසුවාය. අම්මාත්, තාත්තාත් අතර මේ තරම් දිගු කතා බහක් සිදුවනු මම පෙර දී දැක නොතිබුණෙමි. තාත්තා කියන දේකට අනුව ජීවත් වෙනවා විනා අන් ස්වභාවයක් මම අම්මා වෙතින් දැක නොතිබුණෙමි. ඇත්තෙන්ම ප්‍රශ්න කිරීම්, විරුද්ධ වීම් අපේ සමාජය තුළ ගැහැනියට අයිති නැති දෙයකි. මේ සිදුවීමෙන් පසුව නම් අම්මා හැදී වැඩුණ සිංහල පවුල් පසුබිම තුළ ගැහැනිය අත්විඳින නිදහස අම්මා තුළ ද මතුවන්නට ඇත.

“මේක දෙවියන්ගේ කැමැත්ත කියල හිතපන්. සහෝදරයටයි ඉඩම් කොටසක් දෙන්නේ. සෆීර් පිට එකෙක් නෙවෙයි.”

තාත්තා කීවේ ස්ථිරසාර ලෙසිනි. අම්මා නොමනාපයෙන් ඉවත බලා ගත්තා පමණකි.

ඊට පසු දිනෙකදී අම්මා මගෙන් මෙසේ ඇසුවාය.

“ජමිලා කැමති ද සෆීර් බාප්පයි, තව පුංචි අම්මා කෙනෙකුයි ඇවිත් අපේ මිදුලෙ තව ගෙයක් හදාගෙන ඉන්නවට?”

“ඔව්. ඇයි අම්ම ඒකට අකැමති? සෆීර් බාප්පා හොඳයිනෙ.” මම එක්වර ම කීවෙමි.

“එයාලට ඉඩම දෙනවට මම අකැමති නැහැ. ඒත් ඔයාල ව තව තවත් හිර වෙනවා මේ ගේ ඇතුළෙ ම. ඔයාල නිදහසේ සෙල්ලම් කරනවා දකින්නයි මම කැමති.”

“අම්මල ඉස්සර එහෙම ද?”

“ඔව්… අපි ගම පුරාම ඇවිද්දා. ගොඩක් ලොකු වෙනකම් එහෙම සෙල්ලම් කළා. ජමිලා, ඔයාගේ මේ අතපය තව ලොකු වෙනකොට මේ අහසේ ඔයාට ලොකු ඉඩකඩක් ඕන. ඒකයි.” අම්මා මගේ හිස අතගාමින් කීවාය.

“ඒ අහසෙනෙ අම්මේ. ඔය තියෙන්නේ අහස. මේ පොළොවනෙ.” මම කීවේ අම්මාට වැරදී ඇතැයි සිතූ නිසාවෙනි.

“ඔයාට ඕවා තාම තේරෙන්නේ නැහැ. තව ඉස්සරහට තේරේවි.”

ඇත්තටම එදා අම්මා කියූ දේවල් මට තේරුම් ගියේ ඉන් වසර ගණනකට පසුව ය.

අපේ නිවස ඉදිරිපිට තවත් එවැනි ම ලෑලි පෙට්ටියක් ඉදි විය. වෙනසකට තිබුණේ අපේ නිවසේ වහලයේ ඇති ටකරන් වෙනුවට සෆීර් බාප්පාගේ නිවසේ වහලය තාර ෂීට් වීමත් අපේ නිවසට වඩා තරමක් කුඩා වීමත් පමණකි. කුස්සිය වෙනුවට අපේ නිවසේ මෙන් ම එළියේ වෙනම ආවරණය කරන ලද කුඩා ඉඩක් තිබුණි. අපේ ජීවිත තවත් හිර විය.

දින කිහිපයකට පසුව සෆීර් බාප්පා සමඟ ෆාතිමා පුංචි අම්මා එහි පදිංචියට පැමිණුනි. ඔවුන් දෙදෙනා ම නිවසේ ඇති වෙලාවට පුංචි අපිට එහි යාම තාත්තා විසින් තහනම් කරන ලදී. අපි හැකිතාක් අපේ නිවස තුළ ම සිටින්නට උත්සාහ ගතිමු. මහ ජාතිය වෙන්න යන ගමනේ දී පුංචි අපේ ලෝකය තව තවත් පටු වූයේ එලෙසිනි.

“ඇයි ඔයා මෙච්චර අඩු වයසින් කසාද බැන්දේ? ඔයා තාම ඉගෙන ගන්න වයසෙ නේ ද?”

අම්මා ෆාතිමා පුංචි අම්මාගෙන් ඇසුවේ නරකකට නොව අනුකම්පාවෙන් බව මම දනිමි.

“මම කොහොමටත් කැමති වුණේ නැහැ කසාදෙට. මට ඕනි උනේ හොඳට ඉගෙන ගන්න. ඇත්තටම මම ඒකට දක්ෂයි.”

“දෙමව්පියො ද බල කෙරුවේ?”

“නැහැ.”

“නැහැ…? එහෙනම් කව්ද?”

අම්මා ඇසුවේ ඉවත බලා ගත් පුංචි අම්මා ව තමා දෙසට හරවා ගනිමිනි.

“පල්ලියෙන් කියපු නිසා එයාලට එහෙම කරන්න සිද්ධ වුණා.”

“කාට ද? සෆීර්ට ද?”

“සෆීර්ට විතරක් නෙමෙයි. අපේ තාත්තටත්, සෆීර්ගේ අයියටත්.”

අම්මා මෙතෙක් ඉහළ රඳවාගෙන සිටි හුස්ම මහ බරක් බිම තබන්නාක් මෙන් සෙමෙන් පිට කළාය. නමුත් ඇගේ සිතට මහ බරක් එකතු වූ බව මම තේරුම් ගතිමි.

“ෆාතිමා මොනවද මේ වෙන්නේ?”

අම්මා පුංචි අම්මාගෙන් ඇසුවේ පිළිතුරක් ලබනු කැමතිවම නොව මේ සිදුවන කිසි දේක අගක් මුලක් නොදන්නාකම නිසාවෙනි.

“අපේ අය මේ රට අයිති කරගන්න, අපිට විතරක් ජීවත් වෙන්න, අනෙක් අයව විනාශ කරන්නයි හදන්නේ. එයාලට තව තවත් මිනීමරුවො ඕන වෙලා තියෙනවා. ඒකයි මේ හැමදෙයක් ම.”

පුංචි අම්මා නොපැකිළ ව කීවාය. මැරීමත්, මරණයත් මට අලුත් දෙයක් නොවිණ. අප ජීවත් වූ ෆායිස් වත්තේ සතියකට වතාවක් හෝ හරකෙකු මරණු ලැබිණ. ඒ බොහෝ අවස්ථාවල මම එතැන්හි සිටියෙමි. එහෙත් මිනිසුන් මිනිසුන් ව මැරීමක් ගැන මම මින් පෙර අසා නොතිබුණෙමි.

“මිනීමරුවො… මිනීමරුවො අලුත් කෙනෙක්. එහෙම කියන්නේ කාට ද අම්මේ?” යි මම අම්මාගෙන් ඇසුවේ එහෙයිනි.

පිළිතුරක් ලෙස අම්මාගෙන් මට ලැබුණේ වේගවත් කම්මුල් පාරකි. මගේ කුඩා කම්මුල එයින් ඉදිමී රතු විය.

“ඔය වචනෙ විතරක් ආයෙමත් කියන්නවත්, හිතන්නවත් එපා. තේරුණා ද?”

අම්මා මට තර්ජනය කොට කීවාය. මම හැඬීම මඳකට නවතා පොරොන්දු වීමි.

අවාසනාවක තරම. මට එදා රාත්‍රියේදී ම අම්මාට වූ පොරොන්දුව කඩ කරන්නට සිදු විය. එනම් මිනීමරුවා යන වචනය නොසිතා, නොකියා සිටීම ය.

එදා රාත්‍රියේදී මටත්, නංගිලාටත් රාත්‍රී ආහාරය වශයෙන් ලැබුණේ හුළං විස්කෝතු කිහිපයක් හා සීනි දැමූ තේ වතුර විය. අපි විස්කෝතු තේවල පොඟවාගෙන කෑවෙමු. අම්මා කුමක් කෑවාදැයි සොයා බලන්නට තරමේ දැනුමක් මට නොතිබුණි. තාත්තා මග දී කඩයකින් කෑම කා පැමිණෙන බව දන්නා අම්මා තාත්තාගෙන් ඒ ගැන අසන්නේ ද නැත.

අපි පුරුදු පරිදි වේලාසනින් ම නින්දට වැටුනෙමු. මගේ නින්ද කෙටි එකකි. අම්මාගේ ඉකිබිඳුමක් පැදුරේ අනෙක් කෙළවරින් ඇසුණ නිසා මම අවදිව කන් දීගෙන සිටියෙමි.

“මාලනී උඹ මේකට කැමති වෙන්න ඕන. උඹ දන්නවනෙ මේක මගේ කැමැත්ත ම නෙමෙයි කියලා.”

තාත්තා සෙමෙන්, එහෙත් තර්ජනාත්මක ව අම්මාට කියනු ඇසේ.

“මව්ලානා නෙමෙයි මගේ මිනිහා. මම ආවේ ඔයත් එක්ක.”

අම්මා ද කීවේ කෝපයෙන් යැයි මට සිතේ.

“මමත් කියන්නේ ඒක ම තමයි.”

“මොකක්ද?”

“තුන් පාරක් සීසර් කළාට උඹට තව දරුවෝ හදන්න පුළුවන්.” තාත්තාගේ වචන අකාරුණික බව මට ඉවකින් මෙන් වැටහී ගියේ අම්මා කිසිදා තාත්තාගේ යහපත් දෙයකට එරෙහි නොවන බව මේ පුංචි වයසට වුව ද මම දැන සිටි නිසාවෙනි.

“ඇයි අම්ම ගම දාලා මෙහෙ ආවේ?” යි මම දිනක් අම්මාගෙන් ඇසීමි.

“මම ඔයාලගෙ තාත්තට ගොඩක් කැමතියි. ඉස්සරත්, දැනුත්.” අම්මාගේ පිළිතුර වූයේ එය යි.

“‌දොස්තරල අපි දෙන්නට ම නේ ද කිව්වේ තව දරුවෝ හදන්නෙපා, අම්ම මැරේවි කියලා. මට දැන් ම මැරෙන්න බෑ.”

අම්මාගේ ඉකිබිඳුම වැඩි විය. අම්මා ව කවුදෝ මරන්න සුදානම් වෙන බව සිතූ මම බිය ගතිමි. ලෝකයට ම ඇසෙන්නට කෑ ගසා එසේ නොකරන්න යැයි කියන්නට මට සිතුණි. එහෙත් එක්වර ම මට තාත්තා ගැනත්, මා ඉදිරියේ ඇති අඳුර ගැනත් ඇති වූයේ ද බලවත් බියකි. එනිසා මම ආයාසයෙන් ඉවසා සිටියෙමි.

“ඒක එයාලගෙ රාජකාරිය. මේක අපේ. මං කියන්නේ උඹට මුකුත් වෙන්නෙ නැහැ, මේකට කැමති වෙයං.” තාත්තා කීවේ විශ්වාසවන්ත වචන නොවන බව පුංචි මට පවා සිතේ. අම්මා කෙසේ නම් ඒවා විශ්වාස කරන්න ද?

“ඔහේට ඕන මාව මරා ගන්න ද? එතකොට මං ළමයි වදන මැෂිමක් ද?” අම්මාගේ කෝප සහගත වචන අඳුර උණුසුම් කළේ විය.

“උඹ උන්නත් එකයි මළත් එකයි. අපිට දරුවො ඕනි.” තාත්තාගේ වචන මගේ සිතට ගිනි දැල්වීය.

“එපා… අම්මව මරන්න එපා. තාත්ත මිනීමරුවෙක්.”

මම කෑ ගසාගෙන නංගිලාගේ ඇඟට උඩින් පැන අම්මාගේ තුරුලට වැදුනෙමි. මගේ කලබලයට අවදි වූ නංගිලා ද අපි අතරට එකතුව අඬන්නට වූයෙන් මුළු නිවස ම එක ම විලාපයක් විය.

“මට ජීවත් වෙන්න දෙන්න. මට මගේ ජීවිතේට ඇති ආසාවක් නිසා නෙවෙයි, මේ තුන්දෙනා ලොකු මහත් වෙනකම් විතරක් මට ජීවත් වෙන්න දෙන්න.”

අම්මාගේ දුක්බර හඬ අඳුරේ අතුරුදහන් වූවා පමණකි.

අපේ කඳුළු සීතල විය. අන්තවාදයේ වියරු රුධිරය උණුසුම් ය, බලවත් ය, උපතින් ම කෙසඟ සිරුරැති අම්මා ව තව තවත් කෙසඟ බවට පත් කරමින් ඇගේ කුස පමණක් මාසයෙන් මාසය ඉදිරියට නෙරා එන්නට විය. මගේ වචනයෙන් කියන්නේ නම් අම්මාගේ කුස තුළ මිනීමරුවෙක් මෝරන්නට විය.

ඇත්තෙන්ම මේ වෙද්දී පුංචි මා තුළ තාත්තා කෙරේ කෝපයක් ද පිළිකුලක් ද සාරවත් ලෙසින් මෝරා වැඩෙන්නට විය. අම්මා තුළ ද එසේ වන්නට ඇත. එහෙත් අපට කළ හැකි කිසිවක් ඉතිරිව නොතිබුණි.

“අපි ගමේ යමු.” යි මම අම්මාට යෝජනා කළෙමි.

“බෑ. මාව පවුලෙන් අයින් කරලා” යි අම්මා කීවාය.

“අපි මොකද කරන්නේ?”

“වෙන දෙයක් වෙයිනෙ. ඔයා කලබල නැතුව ඉන්න.”

මට කළ හැකිව තිබුණේ අම්මාට සවන් දී සිටීම පමණකි.

“ජමිලා ඔයාට පුළුවන් ද අම්මා මල්ලිව ගේන්න ගිහිල්ල මැරුණොත් නංගිලවයි, මල්ලිවයි බලා ගන්න?”

අම්මා මරණයට සූදානම් වෙමින් අසන්නීය. ඇගේ දෑසේත්, මරණයට සූදානම් වන හරකුන්ගේ ඇස්වලත් ඇති වෙනසක් මම නොදකිමි. මුලදී අම්මාගේ එවැනි කතාවලට මම හැඬුවත් කල් ගතවෙද්දී මට නොහඬා සිටින්නට පුළුවන් විය.

“එක ජාතියක් විනාශ කරන්න තව ජාතියක් බෝ කරනවා. ජමිලා ඔයාට තේරෙනව ද මේ ලෝකේ කොයිතරම් අකාරුණික ද කියල? අසාධාරණ ද කියල?”

එදවස මට ඒවා ගැන ලොකු තේරුම් යාමක් නොවුණි. නමුත් එය එසේ නොවිය යුත්තක් බවට ඉවක් මා තුළ විය. අම්මාට මැරෙන්නට සිදු වුවහොත් එසේ වන්නේ එකරුණ නිසාවෙනි.

“ජමිලා, වර්ගයා බෝ කරන්න ඕන පරපුරක් පවත්වාගෙන යන්නත්, ශිෂ්ටාචාරය ආරක්ෂා කරගන්නත් මිසක් විනාශ කරන්න නෙවෙයි.”

අම්මාගේ මෙවැනි වචන මාගේ පුංචි සිත කෙතරම් තදින් සංවේගයට පත් කළේ ද යත් මේ ලියන මොහොතේ පවා මට ඇසෙනවා මෙනි.

“මම නැතත් ඔයා මහන්සි වෙලා ඉගෙන ගන්න. මේකෙන් පැන ගන්න තියෙන එක ම මාර්ගය එච්චරයි ඔයාට.”

මම හිස සලා එය පිළිගතිමි.

“තව දෙයක්. ඔයාගේ ජාතිය බලයට ආවොත් ගෑනු වෙච්ච අපේ තත්ත්වය මීටත් වඩා අන්ත වෙනවා, අසරණ වෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක් කරන්න ඔයාට අවස්ථාවක් ලැබුණොත් ඔයා ඒක අත්හරින්න එපා. එහෙම වුණොත් ඔයා මං වෙනුවෙන් යමක් කළා වෙනවා.”

අම්මාගේ සිත සම්පූර්ණයෙන් ම තේරුම් ගැනීමට මට එදවස හැකියාවක් නොවුණ ද කලක් ගතවෙද්දී ඒ ගැන පැහැදිලි කරගැනීමට හැකි විය.

අම්මා කියූ ලෙසින් ම මම හොඳින් ඉගෙන ගතිමි. ඉක්මනින් කරුණු වටහා ගැනීමේ හැකියාවකුත් මා සතු විය. මම වේගයෙන් කියවන්නට පුරුදු වීමි. ඇත්තෙන්ම මගේ දවසේ වැඩි කාලයක් ගතව ගියේ කියවීම පිණිස ය. දේශපාලනය, සාහිත්‍යය, කලාව, සංස්කෘතීන්, චරිත කතා ආදිය පමණක් නොව අතට හසුවන ඕනෑම දෙයක් කියවීමට මම පුරුදු වීමි. මම සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා ත්‍රිත්වය ම හොඳින් ඉගෙනගෙන සිටියෙමි.

“ඔයාගෙන් අපට ලොකු වැඩක් කරගන්න පුළුවන් වේවි.” තාත්තා මා ගැන ආඩම්බරයෙන් කීවේය. ඒ වෙද්දී මට තාත්තා සමඟ කතා කිරීම තබා මුහුණවත් බැලීම පවා එපා වී තිබිණි.

“ඔයාට ඇහුණ ද මං කියපු දේ?”

මං පිළිතුරක් නොදුන් විට තාත්තා ආයෙම ඇසුවේය.

“හ්ම්…”

මම සිතේ වූ කෝපයත්, පිළිකුලත් සඟවාගෙන සිටින්නට හැමවිට ම උත්සාහ ගත්තෙමි. මගේ සිත තාත්තාට කීවා නම් මගේ පාසල් ගමන නවතා දමනු ඒකාන්ත ය. ඒ මම උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි කාලය යි.

“ඔයා දන්නව ද මල්ලි මේ දවස්වල කොහෙද ඉන්නෙ කියල?”

“නැහැ.”

මම එකවර ම කීවෙමි. මම මල්ලි ගැන කිසිවක් නොදැන සිටියෙමි. ඇත්ත ම කියන්නේ නම් නොසොයා සිටියෙමි. මල්ලී තාත්තාටත් වඩා ආගමික අන්තවාදියෙකු බව මම දැන සිටියෙමි. කෙසේ වෙතත් ඔහු මට මිනීමරුවෙකු මිස කිසිදා සහෝදරයෙකු නො වේ. මගේ මේ හැඟීම මරණයෙන් මෙහා මකාලිය නොහැකි තරම් දැඩි වූවකි. තාත්තා ද ඒ ගැන දැන සිටිනවා විය හැක.

“ඔයා මල්ලි එක්ක තරහින් ඉන්නේ. එහෙම නේද?”

“ඔව්”

දෙවරක් නොසිතා ම මම කීවෙමි. මට වැරදීමක් විණැයි පසුව සිතුණ නිසා එතැන්හි රැඳී සිටීම සුවදායක නොවෙනු ඇතැයි සිතුණෙන් කලපුව දෙසට යන්නට හැරුණෙමි.

“උඹත් අම්ම වගේ ම යි.”

පිටුපා යන මට තාත්තා කීවේය. ෆාතිමා පුංචි අම්මා නිවසේ සිට අප දෙස බලා සිටියාය. එක්වර ම මම තිගැස්සී ගියෙමි. ඇය ව පස්වන වරට ද ගැබ් ගන්වා ඇත. ඈ වෙතින් දිස් වන්නේ මිනීමරු මල්ලි ලැබෙන්නට සිටිත්දී අම්මා වෙතින් දිස්වූ ස්වභාවය ම ය.

“තාත්තා එක්ක රණ්ඩු අල්ලන එක නවත්තන්න. ඒකෙන් ඔයාට හොඳක් වෙන්නෙ නැහැ. එයාල පිස්සු වැටිල ඉන්නෙ දඩයම් බල්ලො වගේ. කව්රු හරි උසිගන්වපු ගමන් කඩා පනීවි.”

මගේ හදවතට ආදරයක, සෙනෙහසක සිසිලසක් දැණුනි. නිලාර්… මට ඔබවත් සිහි විය.

“මෙහෙම ගියොත් ඔයා ව අපිට අහිමි වෙයි. මං කැමතියි ඔයා වෙනස් වෙනව නම්. හිතන විදිහ වෙනස් කරනව නම්.”

ඒ අවසන් වරට ඔබ මට කියූ දෙය යි. ඔබ සිතා සිටියේ මා ඔබලාට අයිති බවකි. නැත. මට ඒ ගැන අම්මා කියා දී තිබුණේ මෙසේ ය.

“ඔයාව අයිති මනුෂ්‍ය වර්ගයාට. මේ රටට. එච්චරයි.”

මම එය අදහමි. අද මට ඒ රට අහිමි කොට තිබේ. මනුෂ්‍ය වර්ගයාට මාව අහිමි කිරීම වෙනුවෙන් මේ වෙත්දී ඩොලර් විසිදාහක තෑගි මල්ලක් ඔවුන් සූදානම් කොට ඇත. මට අම්මාව ද සිහි විය.

“ඔයා ගොඩාක් පරෙස්සම් වෙන්න. මට ආයෙ ගෙදර එන්න පුළුවන් වේවි කියල විශ්වාසයක් නැහැ.”

අම්මා මිනීමරු මල්ලීව බිහිකිරීමට යාම පිණිස සූදානම් ව මට කීවාය. එවෙලෙහි නම් මගේ දෑසින් ගිලිහුණ ලොකු කඳුළු දෙපේළියක් කම්මුල් දිගේ ගලා ගියේය.

“ඔයා මේ කාවවත් විශ්වාස කරන්න එපා. ඔයා ඔයාව ම විතරක් විශ්වාස කළාම ඇති. ආයෙත් අපි මුණගැසුණොත් ඒක ඔයාගේ වාසනාව.” යි කියූ අම්මා අවසානයේදී දුබල සිරුරට දරාගැනීමට අපහසු ලොකු බඩත් අසීරුවෙන් ඔසවාගෙන දෙවැට අතරින් නොපෙනී ගියාය. අම්මා, තාත්තාත්, ෆාතිමා පුංචි අම්මාත් සමඟ පයින් ම රෝහලට ගොස් ඇති බව පසුව මම දැන ගතිමි.

අම්මාව රෝහලට ඇතුළත් කළ තාත්තා පුංචි අම්මා සමඟ ගෙදර ආවේය. දහවල අම්මාව බැලීමට යාමක් ද සිදු නොවිණි.

සවස තුන වෙත්දී සෆීර් බාප්පා අම්මා පිළිබඳ ආරංචියකුත් රැගෙන ආවේ තාත්තාගේ යතුරු පැදියේ අසල්වාසී තරුණයන් දෙදෙනෙකුව ද නංවාගෙන ය.

“සෆීර්… මං උඹට හැමදාම කියනවා ත්‍රිබල් දාන්න එපා කියලා. මං මේක පරෙස්සම් කරන්නේ ඇස් දෙක වගේ.”

තාත්තා බාප්පාට බැණ වදින්නට විය. තරුණයන් දෙදෙනා වහා යතුරු පැදියෙන් බැස ගති.

“ළමය හම්බවෙන්න ගිහින් අක්කව මැරිල. මොහොමඞ් කෝල් කරල කිව්වෙ. ඒක කියන්නයි ආවෙ.”

බාප්පාගේ කටහඬ මගේ කන් සිදුරු කරගෙන ගොස් හදවත කුඩු කර දමන්නට විය. මම හුස්ම ගත්තේ අසීරුවෙනි. අහෝ! යතුරු පැදිය තරමටවත් තාත්තා අම්මා ගැන සිතුවා නම්… නිලාර්, ඔබට මෙතෙක් මා නොකී කථාව එය යි.

සහෘද,

ජමිලා බෙගම්

පසුවදන – මේ ලිපිය එතරම් වැදගත් නොවන්නේ යැයි ඔබට සිතෙනු ඇත. එහෙත් ඒ තුළ අපිට ඉගෙනීමට බොහෝ පාඩම් ඇතැයි මම සිතමි. එහි එන ඇතැම් ප්‍රශ්න කීරීම්, ආත්ම ප්‍රකාශන, පීඩනය, නිදහස අහිමි වීම, මාතෘභූමිය අහිමි වීම ආදී තත්ත්වයන් ද මේ වන විට කිසිලෙසකින්වත් නොසලකා හැරිය හැකි නොවේ.

ඔවුන් පරෙවියාව මරා දමා තිබේ. ඒ සංහිඳියාව ආයෙ කිසිදා ඇති කළ නොහැකි එකකි. පරෙවියාට පණ දිය නොහැකි ලෙස ය. එහෙයින් අපෙන් උදුරාගත් තුවක්කුව අප ආපසු ලබා ගත යුතුව ඇත. ඒ, පිරිස් බලය සහ ආර්ථික බලය යි.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි