සද්ධර්මරත්නාවලිය නමැති ග්‍රන්ථය සිංහලයෙන් ලියැවී ඇති ධර්ම ග්රන්ථ අතර අතිශය සම්භාවනාවට පත් වූ ග්රන්ථයකි. එපමණක් නොව සිංහල සාහිත්‍ය ග්රන්ථයක් වශයෙන් ද ඊට හිමි වන්නේ වැදගත් තැනකි.
සද්ධර්මරත්නාවලිය යනු සද්ධර්ම නැමැති රත්නයන්ගෙන් යුතු ආවලී හෙවත් වැල යන අරුත දෙයි. අතිශයින් ම වටිනා දහම් කොටස් ගෙන රචනය කොට ඇති බව ඉන් හැඟවෙයි. එහෙත් සද්ධර්මරත්නාවලිය හුදු ධර්ම කරුණු ම සංග්‍රහ කොට දක්වන ග්රන්ථයක් ම නො වේ. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට කථා වස්තු කොටසක් රසවත් ව ඉදිරිපත් කරන අතර, ඒ කථා වස්තු මගින් ධර්ම කරුණු පිළිබඳ ව අසන්නාගේ අවධානය යොමු කරන අයුරේ ධර්ම ග්රන්ථයක් සේ සැලකිය හැකි ය. සද්ධර්මරත්නාවලිය රචනා කළ කතුවරයා පිළිබඳ සම්පූර්ණ විස්තරයක් සොයා ගැන්ම අපහසු ය. ග්‍රන්ථය අවසානයේ එන පාලි ගාථාවට අනුව ධම්මසේන නම් යතිවරයෙකු විසින් මේ ග්‍රන්ථය රචනාකොට ඇත. මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන භාෂා රීතිය පිළිබඳ ව විමසන විට ගත් කතුවරයා දඹදෙණි යුගයේ පමණ ජීවත් වන්නට ඇතැයි සැලකිය හැකි ය.
ධර්මසේන හිමියන්ගේ නම සඳහන් වන්නේ මයුරපාද හිමියන්ගේ නමට අනතුරුව ය. මයුරපාද හිමි පූජාවලිය නැමැති ප්‍රසිද්ධ ධර්ම ග්රන්ථයෙහි කතුවරයා යි. ඒ හිමියන් පූජාවලිය රචනා කරන ලද්දේ දඹදෙණි යුගයේ විසූ දෙවන පැරකුම්බා රජ දවස බව පූජාවලියෙහි ම සඳහන් වෙයි. නිකාය සංග්‍රහයේ එන ගත් කතුවරුන් පිළිබඳ නාම ලේඛනයෙහි පූජාවලිය කර්තෘ වන මේ මයුරපාද හිමියන්ට අනතුරුව ධර්මසේන හිමියන්ගේ නම ද ඇතුළත් වීමෙන් පැහැදිලි වන්නේ මේ හිමියන් මයුරපාද හිමියන් හා සමකාලීනයෙකු වන බව ය. ඒ අනුව ධර්මසේන හිමියෝ දඹදෙණි යුගයෙහි විසූහ’යි නිගමනය කිරීම උචිත ය.
ධර්මසේන හිමියන් පිළිබඳ වතගොත සැඟවී පැවතුන ද ඒ හිමියන්ගේ ධර්මඤාණය, භාෂා විශාරදත්වය, රචනා කෞශල්‍යය, හා රසවත් ව කථා පුවත් කීමේ ශූරතාව සද්ධර්මරත්නාවලියෙන් මැනවින් හෙළි කෙරේ. එපමණක් නොව, බොහෝ පැරණි සිංහල ගත්කතුවරුන්ට වඩා ඉස්මතු වී පෙනෙන විශේෂ ලක්ෂණයක් ද ඒ හිමියන් කෙරෙහි පැවති බව පෙනෙයි. එනම් ගැමි ජීවිතය ඇසුරෙන් ලද අවබෝධය ග්රන්ථ රචනයෙහි දී මුල් කර ගැනීම යි. අවස්ථා නිරූපණ, චරිත නිරූපණ, ධර්ම විස්තර ආදියෙහි දී පමණක් නොව භාෂා ව්‍යවහාරයේ දී ද ඉතා සාර්ථක ලක්ෂණය වන උපමා බහුල කොට දැක්වීම පමණක් වුව ද ගැමි ජීවිතය පිළිබඳ ව ඒ හිමියන් තුළ පැවති අවබෝධය කොතරම් පුළුල් වූවක්දැයි පැහැදිලි කරයි. ධර්මසේන හිමියන් තම ග්‍රන්ථය මගින් අසන්නාට ලෝකය, සමාජය හා පුද්ගලයා පිළිබඳ අපූරු අවබෝධයක් ලබා දෙන්නටත්, කථා රසයෙන් ඔවුන් කුල්මත් කිරීමටත් අදහස් කළාට කිසිදු සැකයක් නැත. එහෙත් ඒ හිමියන් තම කෘතිය ලිවීමේ පරමාර්ථය සේ සඳහන් කරන්නේ, ධර්මය ඉගැන්වීම ය. ධර්මෝපදේශ මගින් අසන්නාට කුසලාකුසල ධර්මයන් පිළිබඳ ව අවබෝධයක් ලබා දීම හා ඔවුන් සදහම් මගට යොමු කරවාලීම ය. ඒ බව පහත දැක්වෙන ප්‍රකාශවලින් මැනවින් පැහැදිලි වේ.
“එසේ හෙයින් සත්පුරුෂයන් විසින් සද්ධර්මරත්නාවලී නැමැති කැටපතින් සදහම් නමැති මූණ බලා ශීලසමාධ්‍යාදි ගුණ සෝභායෙන් හොබනේ මැනවි.”
(මට්ටකුණ්ඩලී වස්තුව)
“බුදුන් කරා පැමිණෙන්නට ඒ බුදුන් පිරිනිවියත් මේ සද්ධර්මරත්නාවලී බුදුන් කරා පැමිණ ආදීනව අසා දත් වෛර හැර අනුසස් ඇසූ මෙත් සිත් පිහිටා ලොවි ලොව්තුරා සැපත් සිද්ධ කටයුතු.”
(කාලි වස්තුව)
සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී ධර්මසේන හිමියන් මූලික වශයෙන් ඇසුරු කොට ඇත්තේ පාලි ධම්මපදට්ඨකථා යි. එනම්, ධම්මපදය සඳහා සැපයුන අටුවා ග්‍රන්ථය යි. එහි කථා වස්තු සිංහලයෙන් ඉදිරිපත් කිරීම මෙහිලා ප්‍රධාන කාර්යය විය. එහෙත් ග්රන්ථ ආරම්භයෙහි එන සූවිසි විවරණය, නාගසේන වස්තුව, කාෂ්ඨවාහන වස්තුව, සාතාගිරි – හේමවත දෙදෙනාගේ උප්පත්ති කථාව, මංගල සූත්‍ර අටුවා ආදී වූ කථා, මෛත්‍රී වර්ණනාව වැනි තැන් වෙනත් ග්රන්ථ ඇසුරෙන් ලබාගෙන ඇත. මේ සඳහා මිලින්ද ප්රශ්නය, දීඝ නිකායට්ඨ කථාව, බුද්ධවංශ පාලිය හා එහි අටුවාව ආදී ග්රන්ථ ඇසුරු කොට ඇත.
සද්ධර්මරත්නාවලී කතුවරයාණෝ ධම්මපදට්ඨ කථාවෙන් හෝ අනෙක් ග්රන්ථයන්ගෙන් ගත් කොටස් හුදු පරිවර්තන ස්වරූපයෙන් නොගත් අතර, ගත්තේ කථා වස්තුවේ අර්ථය පමණි. එතුමෝ ඒවා තමාට රිසි පරිදි ස්වාධීන ව ඉදිරිපත් කළහ. කථා වස්තුව ඉදිරිපත් කිරීමේ දී අසන්නාගේ අවධානය යොමු වන ආකාරයේ උපක්‍රම කීපයක් යොදාගැනීමට ධර්මසේන හිමියෝ සමත් වෙති.
“තවද වෛර බැන්දවුන්ගේ වෛරය නිවාගන්නට බැරිව දාගිය ගින්නක් බොහෝ පැන් ඇති තැනකට පැමිණ නිවෙන්නා සේ කරුණා නැමැති දියෙන් පිරුණු සර්වඥ නමැති මුහුදට පැමිණ නිවෙන නමුත් සෙසු ලෙසකින් නොනිවෙන නියාව දක්වනු පිණිස කාලි නම් යකින්නගේ කථාව දක්වමු.”
(කාලි වස්තුව)
ඇතැම් විට කථාවස්තුවක අන්තර්ගත වන ප්‍රධාන උපදේශය ගෙන හැර දැක්වීමට පෙර ඒ කථාවස්තුවට පෙර ඉදිරිපත් කරන ලද කථාවෙහි මූලික ධර්මෝපදේශය ගෙන හැර දැක්වීමට ද කතුවරයාගේ අභිමතය වූ අයුරු පහත එන නිදසුනෙන් පැහැදිලි වේ.
“චිත්ත ප්‍රසාද පමණකින් මට්ඨකුණ්ඩලීන් ලද සම්පත් ප්‍රකාශ කොට සැදෑ ඇත්තවුන්ගේ සැදෑ වඩනා නිසා මට්ඨකුණ්ඩලී වස්තුව දැක්වූවා සේමැ යම්තම් කුසල විශේෂයකින් බුද්ධි සම්පන්නව ප්‍රශ්න විසඳීම් වශයෙන් තෙවළා බුදු වදන් නිරවුල් කළ නිසා කියා ධර්මාභියෝගයෙහි සත්පුරුෂයන්ගේ උත්සාහ වඩනු පිණිස නාගසේන මහ තෙරුන්ගේ කථාව කියමු.”
(නාගසේන වස්තුව)
කථා වස්තුවක් ආරම්භ කිරීමේ දී වැඩි වශයෙන් ම අනුගමනය කොට ඇත්තේ මේ ක්‍රමය යි. එහෙත් ඇතැම් විට කෙළින් ම කථා වස්තුවට බසින්නට ද ධර්මසේන හිමියෝ පසුබට නොවූහ. චක්ඛුපාල වස්තුව අරඹන්නේ ඒ අයුරිනි.
“එකල්හි සැවැත් නුවර මහා සම්පත් ඇති මහාසුමන නම් කෙළෙඹියාන කෙනෙක් වෙසෙති.” යනුවෙන් එම කථා වස්තුව අරඹා ඇත.
ගැමි පරිසරය, ගැමි උපමා, ගැමි ප්‍රස්ථාව පිරුළු, ගැමි බස ආදියෙන් සද්ධර්මරත්නාවලිය තරම් පොහොසත් ග්රන්ථයක් තවත් නැති තරම් ය. ඒ සා මහත් ගැමි සුවඳක් වහනය කරන්නට යන්ත දැරුයේ ඉහත කී ගැමි ජනතාව අතර සිට ඔවුන් අරබයා කතාන්තර කීමට පැවති අභිලාෂය නිසා විය යුතු ය. මේ නිසා ධර්මසේන හිමියන් සමීප වන්නේ නූතන ශූර කෙටිකථාකරුවනට ය. තම කථා කීම සඳහා ගැමියන් අරමුණු කර ගත් අතර, ගොවියන්ගේ ජීවිතය හා බැඳුනු දෙයින් ම කථාවට උචිත උපමා යොදා ගන්තේ කෙසේදැයි විමසා බලමු.
“ගොයම් කළ කෙනෙකුන් ගොයම් මිස පිදුරු පමණකුත් නොලද්දා සේ…”
“වියෙන් ප්‍රයෝජන නම් දවසෙයියා හා කුඩු සැර සාල් පමණක් සේ…”
“බිජුවට තමාම නැති කලට නැගෙන පැළ නැත්තා සේ…”
බස විසින් ද සද්ධර්මරත්නාවලිය ගැමි ආරෙන් මිදී නැත. අදහස් වඩාත් ව්‍යක්ත ව කියා පෑමට අවශ්‍ය වූ විට ගැමි වදන් උපයෝගී කර ගන්නට කතු හිමියෝ පසුබට නොවූහ. මේ සා වටිනා ග්රන්ථයක් තවමත් කියවා නැති නම් අද අද ම එහි රසය විඳ ගැනීමට උත්සුක විය යුතු ය. මේ එයට කාලය යි.
සටහන:- ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ
Recent Comments