අප යම් දිනක මව්කුසට පැමිණියා ද යම් මොහොතක අපට මේ ඇස කන නාසය දිව කය මනස කියන අංගෝපාංග ටික ලැබුණා ද අන්න ඒ තත්පරයේ සිට අපි යමක් සොයන්න පටන් ගත්තෙමු. එදා සිට තාමත් සොයන්නෙමු. මේ මොහොතෙත් සොයන්නෙමු. ඊයෙත් සෙව්වෙමු. අදත් සොයන්නෙමු. හෙටත් සොයනු ඇත. ඔබට යම්තාක් වයස ද ඒ තාක් ම සෙව්වේ ‘සැපය’ නම් වූ එක ම එක දෙයයි. මේ වන තෙක් ඔබේ ජීවිත කාලයක් පුරා යම් දෙයක් ඔබ කළා නම් ඒ සියලු ක්‍රියාවන්හි අරමුණ වූයේ සැප ලැබීම යි. එය එසේ නො වේ කියා කිසිවෙකුටත් කිව නොහැකි ය. මක් නිසා ද යත්, සියලු සත්වයෝ (සුඛකාමා දුක්ඛපටික්කූලා) සැප කැමති ය. දුක පිළිකුල් කරති.
සැප සොයා විඳි දුක් බොහෝ..
සැප ලබනු රිසි ඔබ මේ වන විට මොනතරම් දේවල් කරනවා ද? ඉගෙන ගන්නේ ය. රස්සාවල් කරන්නේ ය. ගේදොර හදන්නේ ය. ඉඩකඩම් යාන වාහන ගන්නේ ය. විවාහ වී දරුවන් හදන්නේ ය. දරුවන්ටත් උගන්වන්නේ ය. ඒ අයත් ලොකු මහත් කරන්නේ ය. මේ සියල්ල ඔබ කරන දේවල් ය. ඒ සියලු දේ ම කළේ ජීවිතයට සැපයක් ලැබේවි කියායි. නමුත් එකී එක තැනකවත් ඔබ සෙවූ සැපය තිබුණා ද? ලැබුණු සැපයෙන් ඔබ තෘප්තිමත් ද? ඔබේ සිත අවංක නම් පිළිතුර ‘නැත’ යන්නයි. එහෙත් කාලය වේගයෙන් ගෙවී ගොස් ය. ඔබටත් හොරා ජරාව – වයසට යෑම නම් සතුරා ඔබව යටපත් කරගෙන ය.
අවසානයේ සෙවූ සැප කෙසේ වෙතත් ලැබූ දුක් වේදනාවන් නම් අප්‍රමාණ ය. කෙළවරක් නොමැති ප්‍රශ්න කම්කටොළුවලින් මිරිකී ගොස් ය. කුමක් ද සිදු වූයේ? ජීවිතය කියන්නේ සැබැවින් මෙය ම ද? අද නැති සැප හෙට ඒවි කියා සිතූ නමුත් හෙට එන සැප තාම අපට නැත. සැප පිණිස කළ ඉගෙනීම් ද දුකකි. සැප පිණිස කළ රැකියාව ද දුකකි. සැප පිණිස සෙවූ දේපළ ඉඩකඩම් වෙනුවෙන් ද විඳින්නේ මහා දුකකි. විවාහයෙන් ද දරුවන්ගෙන් ද සැපට වඩා ඔබට ලැබුණේ දුකක් ම ය. සැප සෙවූ සියල්ලන්ගේ ම උරුමය මෙය නො වේ ද? ඒ නිසා ය භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ “ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ” – “මේ ලෝකය අසම්පූර්ණයි. කිසිම දිනක තෘප්තිමත් කරන්න බැහැ. සියල්ලෝ ම කෙළවරක් නැති ආශාවන්ට දාසයන් වෙලයි සිටින්නේ.” කියා.
ඒ වගේ ම උන්වහන්සේ දේශනා කළේ ‘මේ ලෝකය පවතින්නේ දුක මත’ බවයි. සැබැවින්ම එය මොනතරම් සත්‍යයක් ද! උන්වහන්සේගේ අවබෝධය මොනතරම් ආශ්චර්යවත් ද!
අද නුඹේ අවසන් දවස නම්…
ළදරු කාලය ළමා කාලයෙන් අවසන් ව යයි. ළමා කාලය තරුණ කාලයෙන් අවසන් ව යයි. තරුණ කාලය වැඩිහිටි කාලයෙන් අවසන් ව යයි. වැඩිහිටි කාලය මහලු කාලයෙන් අවසන් ව යයි. නමුත් මේ ඕනෑම අවදියක් මරණයෙන් අවසන් වන්නට පුළුවන. “සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං.” “සියලුම සත්වයෝ මිය යනවා. අනිවාර්යයෙන් මරණයෙන් ජීවිතය අවසන් වෙනවා.” සැබැවින්ම එය අනිවාර්ය දෙයකි. වෙනසකට ඇත්තේ එය සිදුවන්නේ කොහේද, කෙසේ ද, මොන වයසේ ද කියා කවුරුත් නොදන්න එක ය. රෝගීන් පමණක් නො වේ; දොස්තරලත් මැරෙති. ඉංජිනේරුවනුත්, නීතීඥයොත්, ව්‍යාපාරිකයොත්, ගොවියොත් මැරෙති. දුප්පතුන් විතරක් නොවෙයි; පොහොසත් අයත් මැරෙති. ඔය කොයිකවුරුත් මැරිලා යන දවසක් එළඹේ. ඔබ මොහොතක් සිතන්න. අද ඔබේ අවසාන දවස නම්…, ඔබ එයට සූදානම් ද? “නහි නෝ සංගරං තේන මහා සේනේන මච්චුනා” “(මං අසවල් දවසේ තමා මැරෙන්නේ. වසර මෙපමණ කාලයක් ඉන්නවා. මේ මේ වැඩ ටික ඉවර වෙනකල් ඉන්නවා. කියා ඔබට තීරණ ගන්නට බැහැ.) මහා සේනා ඇති මාරයා සමඟ ගිවිසුමක් නැත.” එසේ ඔබේ අවසාන දවස අද වන්නට නොහැකි ද? එවිට කරන්නේ කුමක් ද?
යනදාට ඕවා අරගෙන යන්නෑ…
මේ වන විට ඔබ තරුණ වියේ වන්නට පුළුවන. මැදිවියේ වන්නටත් පුළුවන. මහලු වියේ වන්නටත් පුළුවන. නමුත් මරණයට බාල, තරුණ, මහලු කිසිවෙක් අදාළ නැත. ඔබ සූදානම් ද නැති ද යන වග අවශ්‍ය නො වේ. මරණය කාගේත් උරුමය යි. අනිවාර්යයෙන් ඔබට එයට මුහුණ දෙන්නට සිදුවනවා ම යි. දැන් මොහොතක් සිතන්න. සැප යැයි සිතා සැප ලබන්නට යැයි කියා කළ ඉගෙනීම්, ගත් උපාධි, පදක්කම්, ඔබට පිහිට වේවි ද? රැකියාව, පොදි බැඳගත් මිල මුදල් රන් රිදී මුතු මැණික් යානවාහන ඔබට උපකාර කරාවි ද? යන තැනකට ඒවා ගෙන යන්නට හැකි ද? ඔබ බොහෝ සේ ප්‍රිය කළ මව, පියා, බිරිඳ, දරුවන්, ඥාති හිතමිත්‍රාදීන් ඔබත් සමඟ පැමිණේ ද? අහෝ මහා අවාසනාවකි. සැප පතා සොයාගත් සියල්ල නුඹට අද හිමි නැත. මාන්නය ඇතිකර ගත් තාන්නමාන්න තනතුරු නම්බු නාම මේ සියල්ල ම අද නුඹට පිහිටට නැහැ නො වේ ද? නැති නම් ඔබට මෙසේ කිව හැකි ද? “මම මේ හැම දෙයක් ම කළේ අඹු දරුවන් වෙනුවෙන්. ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන්. ඉතිං මට මං වෙනුවෙන් තව කාලයක් දෙන්න.” කියා. මොනතරම් නම් මුළාවක ද ඔබ සිටියේ… “න දීඝමායුං ලභතේ ධනේන – න චාපි විත්තේන ජරං විහන්ති” “සල්ලි තිබුණා කියලා නොමැරී ඉන්නත් බැහැ. දේපළ වස්තුව තිබුණ කියලා නාකි නො වී ඉන්නත් බැහැ.” කියලා මේ වෙනකම් ඔබට සිතුණේ නැද්ද? ඔය කිසිම දෙයක් යනකොට ගෙනියන්න බැහැ කියලා කවදාවත් ම සිතුවේ නැද්ද? සියල්ල සිදු වී හමාර ය. ලබා ගත් සැපයක් ද නැත. දුන්නු දානයක් නැත. රැකපු සීලයක් ද නැත. එකතුකර ගත් ගුණධර්මයක් ද නැත. අවාසනාවකි. ගෙනයන්නට ද කිසි දෙයක් නැත. සියල්ල අහිමිකර ගත් නුඹට අවසානයේ සුගතිය ද නැත. එනමුත් එක ම එක දෙයක් ඉතිරිව ඇත. ඒ අනන්ත දුක් ඇති සතර අපාය යි. දැන් කුමක් කරන්න ද? කාගෙන් නම් පිහිටක් සරණක් පතන්න ද? කාගෙන් නම් යදින්න ද?
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා…
සැබැවින් ම උපන් සත්වයා වයසට යාම, ලෙඩ වීම මරණයට පත් වීම කියන දෙයින් අසරණ වෙලයි සිටින්නේ. ඒ සියල්ල අබියස යන තැනකට හිස් අතින් යන්නට වුණොත් තවත් අන්ත අසරණයි නො වේ ද? ඔබට එසේ නොවේවා…!
තවමත් ඔබ වෙත මරණය පැමිණ නොමැත. නමුත් කුමන මොහොතක හෝ ඔබ කරා ද පැමිණෙනු ඇත. එදාට ශෝක කරන්නට සූදානම් නොවන්න. ඉන් ඵලක් නැත. ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු ඇද්දවිය නොහැකි බව පැරැණ්නන් කීවා අසා ඇති. ඔබටත් කියන්නට ඇත්තේ ඒ කතාව ම ය. දැන් වෙන්නට ඕන සියල්ල සිදු වී හමාර ය. වාසනාවට තාමත් ඔබට අවස්ථාව තිබේ. නමුත් ඒ ඔබගේ කැපවීම, වීර්යය, උත්සාහය මත පමණි. එසේ නොවුණහොත් සූදානම් වන්න. ඔබ වෙනුවෙන් සතර අපාය සූදානම් ව තිබේ. එහි යාමට ඔබට තවදුරටත් කළ යුතු යමක් නැත. අවශ්‍ය එක ම දෙය මරණය යි. එය නියත වශයෙන් ම හිමි වන්නකි.
අවාසනාවන්තයන් අතර අවාසනාවන්තයෙක් නොවන්නට…
අපට උපදින්නට තිබුණේ මේ මනුස්ස ලෝකය පමණක් නො වේ. ප්‍රේත තිරිසන් නිරය අසුර යන මේ ලෝකත් තිබුණි. අපට ඉපදෙන්නට තිබුණේ ලංකාව විතරක් නො වේ. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, ජපානය ආදී නොයෙක් රටවල් තිබුණි. ඒ වගේ ම අපට උපදින්නට තිබ්බේ බෞද්ධයෙක් ව විතරක් නො වේ. ලෝකයේ තවත් ඕනතරම් ආගම් තිබුණි.
නමුත් එසේ නො වී අපේ ම වාසනාවට මේ උතුම් ධර්මද්වීපයේ බෞද්ධයෙකු වශයෙන් ඉපදුනෙමු. මෙයට වසර 2608කට පෙර ලෝකයට ඉතා ම දුර්ලභ ව පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වූහ. උන්වහන්සේ වසර 45ක් පුරාවට ලෝක සත්වයාට සැප සලසන, දුකින් නිදහස් කරවන උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සේක. ඉන් අප්‍රමාණ දෙව් මිනිස්සු සසර දුකින් නිදහස් වුණහ. අපත් සිටියේ මේ සසරේ ම ය. එහෙත් එදා අපට වාසනාව තිබුණේ නැත. ඉන් පසු, තවත් වසර ගණනාවක් රහතන් වහන්සේලා මේ මිහිමඬල බැබළුෑහ. එයින් ද වාසනාවන්ත පින්වන්ත උදවිය ඵල නෙළා ගත්හ. අවාසනාවට අපට එයත් වැරදී ගොස් තිබේ. ඒත් අප සිටියෙත් මේ සසරේ ම ය. නමුත් කුමක්දෝ අප සසරේ කළ පිනකට අද අපට අවස්ථාව හිමි වී ඇත. තාමත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ම ඉතිරි වී පවතී. එසේ ම ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කරන උතුම් සඟ පිරිසක් ද අප අතර වැඩ සිටිති. ඔබගේ අප්රමාදී බව මත ඔබටත් සතර අපායෙන් නිදහස් වන්නට තවමත් අවකාශය පවතී. නමුත් ඒ ඉතාමත් සුළු කලකට පමණි. ඉතිං තවත් ළත නොවන්න. වටිනා කාලය, උතුම් ක්ෂණ සම්පත්තිය අහිමි කර නොගන්න. අවාසනාවන්තයන් අතර තවත් අවාසනාවන්තයෙක් නොවන්න.
මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්…
මේ ගත කරන්නේ ඔබගේ එකම සහ අවසාන ජීවිතය නම්, නැවත උපතක් නැත්නම් ඔබට රිසි සේ ජීවිතය ගෙවන්න. හොඳ හෝ නරක සියල්ල කරන්න. මොකද ආයේ උපතක් නැති නිසා දුක් සැප නැවත උරුම නැති නිසා ය. නමුත් එය එසේ නොවෙයි. ඔබ කැමති වුණත්, නැතත් ආයෙත් උපදින්නට සිදුවෙනවා ම ය. මක් නිසා ද යත් නූපදීමට අදාළ කිසිවක් ඔබ තුළ නොමැති බැවිනි. එසේ නම් ඊළඟ ජීවිතය කෙසේ වේවි ද? මේ ජීවිතයට වඩා උසස්, සුවපහසු, සැපවත් ජීවිතයක් ඔබ අපෙක්ෂා කරනවා නම් ඔබට යනකොට ගෙනයන්නට දෙයක් අවශ්‍ය ය. මේ ජීවිතයේ ඔබ විසින් රැස් කළ පින් පව් පමණක් ඔබට ගෙන යා හැකි ය. “යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා” – “පින් පව් විපාක ඵලයට පැමිණි සත්වයෝ කර්මානුරූප ව පරලොව යන්නාහ.” ඉන් පාපකර්ම දුක පිණිසත්, පුණ්‍ය කර්ම සැප පිණිසත් හේතු උපකාර ය. අප සියල්ලෝ ම සැප කැමති ය. දුකට අකැමති ය.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ “මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ” – “මහණෙනි, පිනට බය වෙන්න එපා.” කියා ය. කුමක් නිසා ද එසේ දේශනා කළේ? “සුඛස්සේතං භික්ඛවේ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි” – “මහණෙනි, මේ පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක්. යහපත් ප්‍රියමනාප සුන්දර දෙයට කියන නමක්.” එසේ නම් අපට තවත් සිතන්නට දෙයක් නැත. කළ යුත්තේ උතුම් පින් කෙත අස්වැද්දීම ය. එය මේ තත්පරයේ සිට ම පටන් ගත යුතු ය. හෙටට කල් දමන්නට ගියොත් යනදාට ඔබට ඇත්තේ පව් කෙතේ අස්වනු නෙළා ගන්නට ය. එනිසා මේ මොහොතේ පටන් ආරම්භ කරන්න. ප්රමාදී මාරයාට ඔබ ව යටපත් කරගෙන යන්නට නොදෙන්න. මරණය ඉදිරියේ අසරණ වෙන්නට සූදානම් වෙන්න එපා. සරුසාර පින් කෙතක් ඔබට ඇත්නම් ඔබ කිසිදා මරණය ඉදිරියේ අසරණ නො වේ.
මේ එයට කාලය යි…
පුරුද්දට කියූ “බුද්ධං සරණං ගච්ඡාමි” තුළින් ඔබට ඇති සරණක් නැත. ගන්නන් වාලේ ගත් පන්සිල්වලින් ඇති ඵලක් නැත. උපතින් බෞද්ධයෙන් වුණාට ලැබෙන දෙයක් නැත. අවබෝධයෙන් ම තෙරුවන් සරණ යා යුතු ය. අවබෝධයෙන් සිල් රැකිය යුතු ය. අවබෝධයෙන් ම පින් රැස් කළ යුතු ය. “යේ කේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපායං” – “යම් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ යයි නම් ඔහු අපායේ යන්නේ නැත.” “පහාය මානුසං දේහං දේවකායා පරිපූරෙස්සන්ති” – “මිනිස් ශරීරය අත්හළ ගමන් ම දෙවියන් අතර උපදී.” නිති පන්සිල් ආරක්ෂා කළ යුතු ය. පොහොයට උපෝසථය ආරක්ෂා කළ යුතු ය. මොනතරම් දන් දුන්නත් සිල් නොරැක්ක ඔබ ව සුගතියට ගෙන යන්නට එයට බැරි බව තරයේ සිතට ගත යුතු ය. බොහෝ අය මේ බවක් දන්නේ ද නැත. නමුත් එය යි සත්‍යය. “ධම්මට්ඨා සීල සම්පන්නා තේ ජනා සග්ගගාමිනෝති” – “ධර්මය තුළ පිහිටි සිල්වත් වූ ජනතාව තමයි සුගතියේ උපදින්නේ.”
එසේ නම් දන්පැන් පුදා සිල් ආරක්ෂා කළ යුතු ය. බණ භාවනා පුරුදුකර ගත යුතු ය. ඔබේ ජීවිතය පිනෙන් පුරවා ගත යුතු ය. උතුම් ශ්‍රී සද්ධර්මය මනා කොට අසන්න. පුරුදුකර ගන්න. ජීවිතයට ගළපාගන්න. එසේ නොවුණහොත් ඔබ මහා අවාසනාවන්තයෙකි. “ධම්මෝ හි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේ ච” – “වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.” එබැවින් ධර්මය ම පිහිට, පිළිසරණ කර ගන්න. එවිට නුඹත් මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලද්දෙකු වනවා නොඅනුමාන ය. මරණය ඉදිරියේ අසරණ නොවනු ඇත. එසේ නම් මේ එයට කාලය යි. ගිලිහී යන්නට මත්තෙන් උපරිම ඵල නෙළා ගන්න.
නිමක් නොමැති මේ සසරේ
ඇවිද ඇවිද යන අතරේ
ලැබුණි කලාතුරකින් යුතු
ඉතා උතුම් මිනිසත් බව
ආයෙත් නම් කවදාවත්
දුක් නොවිඳින්නට සසරේ
සියලු දෙයට වඩා උතුම්
තුන් ලොවේ ම උතුම් මැණික
ලැබුණා අප හට ලැබුණා
සැරසෙව් පින්වතුනි ඉතින්
මේ සදහම් සළුපිළියෙන්
නගිව් දහම් නෞකාවට
නැගගත්තොත් දහම් නැවට
ආයෙත් නොවැටෙයි සසරට
බිඳිමින් සැඩ පහර යසට
නොනැවතී ම යයි නිවනට
සරණක් අවැසි ඔබ වෙනුවෙන්…
මේ දහම් කරැණු කෙතරම් සත්‍යයක්ද. සැබවින්ම අප සැප කියා අල්ලා ගත් සියල්ලෙහිම කෙලවර වූයේ දුකමය.ඉතා ස්වල්ප වූ සැපයක් විදින්නට මහා දුක් කන්දරාවක් විද ඇති බව සිහි කරද්දි දැඩි කලකිරීමක් ඇති වෙන අවස්ථා බොහෝය.නමුදු එක සැපයක් අහිමි වෙද්දී තවත් සැපයක් පසු පස දුක් විද විද හබා ගියෙමි. වින්ද දුක ක්ෂණයකින් අමතක කල අප මෝඩයන් සේ තවමත් සැපම සොයයි.අප මේ ජීවිතයේ වින්ද දුක් කන්දරාව ගැන හිතද්දි සසරේ කොපමණ දුක් උහුලා ඇතිදැයි සිතා ගත නොහැකිය. සැබවින්ම දුක් වින්දා දැන් ඇතිය.මේ දුක කෙලවර කර ගැනීමට නොහැකි නම් අඩුම තරමින් මරනින් මතු සුගති රැකවරනයවත් අපහට තිබිය යුතුය. කරනා ලද සියලු පින් ඉස්මතු වී සිල් ගුණදම් රැකීම උදෙසා වීර්යය ඇතිවේවා! ථීනමිද්ධය දුරැවේවා!මේ උතුම් බුදුසසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයසුවසේම අවබෝධ කිරීමටහේතු වාසනා වේවා!