යසෝදරාවත යනු සිංහල කාව්‍ය රසිකයන් අතර වඩාත් ම ප්‍රසාදයට ලක්ව ඇති කවි පොත ය. මළපොතේ අකුරු නොදත් ගැමි මවකගේ පටන් සරසවියේ සාහිත්‍යය උගන්වන මහ ඇදුරා දක්වා මේ කෘතියෙහි පාඨක පරාසය පුළුල් ය.
යසෝදරාවත කාව්‍යය තම මතකයෙන් මුල සිට අග දක්වා ගායනා කරන මව්වරු සිටිති. කුඩා අවධියෙහි කවි රස විඳීමේ හුරුවක් ඇති කිරීම සඳහා දරුවන්ට මේ ගායනය බලපා ඇති බව පෙනේ. අතීතයේ යසෝදරාවත මෙන් ම, වෙස්සන්තරය, තුන්සරණය යනාදී කවි පොත් ගැමි ගෙවල දුලභ නො වී ය. අකුරු දත් අය කියවද්දී නොදත් අය අසාගෙන සිටිති. ගැමියන් ජාතක පොතෙහි කතා ශ්‍රවණය කළේ ද එපරිද්දෙනි.
කෘෂිකර්මය පදනම් කර ගත් සරල අපිස් දිවිපෙවෙතකට උරුමකම් කියන ගැමි මව්වරුනට යසෝදරාවත හදවතට සංවේදී වන කාව්‍යයක් වීම කෙරෙහි හේතු කීපයක් බලපා ඇත. ඒවා නම්,
යසෝදරා දේවියගෙන් වෙන්ව සිදුහත් කුමරු ගිහිගෙය හැරයාමේ අනුවේදනීය පුවත කාව්‍යයට ප්රස්තුත වීම
කාව්‍යයෙහි ප්‍රණීත කරුණා රසය
ජන රීතිය, ජන බස
අව්‍යාජත්වය හා සනාතනික බව
තරුණ වියෙහිදී ම සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යෑමෙන් පසුව යසෝදරා දේවියගේ සිතෙහි ඇති වෙන දැඩි වේදනාව සිංහල බෞද්ධයන් හට අනුවේදනීය අත්දැකීමකි. ඇගේ පති භක්තිය පිළිබඳ බෞද්ධයන්ගේ සිත්හි ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි.
යසෝදරාවත රචකයා පිළිබඳ නිශ්චිත සාධක නොමැත. එය චූළ සම්ප්‍රදායට අයත් ය. එහෙත් මහා සම්ප්රදායේ කෘතියකට නොමැති තරම් ජනාදරයක් එයට හිමිව තිබේ. කර්තෘ අඥාත වුවත් එය ජන බසින් පෝෂණය වෙමින් වැඩුණු කාව්‍යයක් විය හැකි ය. යසෝදරා දේවියගේ චරිතයෙන් ජීවිතාලෝකය ලබාගෙන පතිදම් රකිනා ස්ත්‍රීන් බවට පත්වන්නැයි කතුවරයා සඳහන් කරයි.
“ඉන් නිසා ලියනි හිමි හට යටහතින
දොම්නසා නොවී ලෙඩ දුකෙහි සතතින
අන් දෙසා නො ලා සිතු යසෝදරා මෙන
පින් රැසා කරව් සග මොක් ලබන මෙන”
යසෝදරාවතෙහි එක් විශේෂත්වයක් වනුයේ එහි ඇතුළත් රමණීය යෙදුම් ය. නූතන යුගයේ බොහෝ විශිෂ්ට කවීන් හට ද ආලෝකයක් වූ කාවය්යෝක්ති එහි ඇතුළත් ය.
“තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහි වෙනවා”
මෙහි ඇති ‘අමා රසක්’ යනු අපූරු යෙදුමකි. ප්‍රිය හිමියන්ගේ ඇසුර අමා රසක් වූ බව කීමෙන් එහි ඇති ගැඹුරු මානව සම්බන්ධතාව අනුවේදනීය බව රසිකයාට දැනේ.
“හිමයේ ගොසින් මල් යහනක නිදනව ද?
කොමළ අනගි සිරිපා දෙක රිදෙනව ද?”
මාළිගාවේ ගත කළ සුකුමාළ ජීවිතය අතහැර වනගත වූ පසු විඳින කටුකත්වය පිළිබඳ තියුණු හැඟීමක් ඉන් ඇති වේ.
“මුව ජාතියේ ව ද පළමුව උපන්නේ
එම ජාතියේ සිට නෑර ම මම එන්නේ”
මෙම කවෙන් සසරෙහි එක්ව සැරිසැරූ මතකය අවදි කෙරේ. යසෝදරාවත කාව්‍යයෙහි කාවf්යා්ක්තිවල රමණීයත්වය අහෝසි නොවන්නේ වියත් බසට වඩා ජන බස කෙරෙහි සංවේදී වීමත්, සිදුවීම්වලට පසුබිම් වූ පරිසරයෙහි වස්තූන් ඇසුරෙන් භාෂාමය චිත්‍රයක් මැවීමට සමත් වීමත් අනුව ය. පහත දැක්වෙන පද්‍යයෙන් පෙනෙන්නේ යසෝදරාවතෙහි කවියා ජනවහර අමෘතයකට වඩා රසවත් ලෙස භාවිත කරන අවස්ථාවයි.
“කැලේ තිබෙන කොයි දේ වත් රස වේවා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා”
මෙයින් යසෝදරාවගේ පති ප්‍රේමයෙහි සුවිශේෂිතාව ප්‍රකට කරයි. කැලයේ ආහාර සොයාගැනීම් දුෂ්කර වේ. එහෙත් යසෝදරාව කැලේ තිබෙන කොයි දේවත් රස වේවා යයි ප්‍රාර්ථනා කරන්නී ය. රජ මැදුරේ සිටියදී කුමරුන්ට අවශ්‍ය තරම් පිරිවර සිටියත් දැන් තම සැමියා හුදෙකලා ව වනගත ව වාසය කරයි. මේ ගැන සිතන ඇය සැමියාට මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා යැයි ප්‍රාර්ථනා කරන්නී ය. අව්වේ තිබෙන රැස්මාලා අඩුවෙන ලෙසත්, ගව්වෙන් ගව්ව දිව්‍ය මාළිගා සෑදේවා කියාත් ද ප්‍රාර්ථනා කරයි. පද්‍ය අවසන් කරන කවියා යළිත් බුදු සිරිතට පාඨක අවධානය යොමු කරවමින් ඉතාමත් කෙටියෙන් සිදුහත් තවුසන් බුදු බව ලබන අයුරු ද දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ අන්දම ද දක්වා තිබේ. අනතුරුව සුදොවුන් රජ නිසා කිඹුල්වතට බුදුරජුන් වැඩම කිරීම දක්වයි. මෙහි දී යසෝදරාව අකලංක වූ පති භක්තියෙන් තම සෙනෙහස මුදා හරිමින් බුදුන් වහන්සේගේ සිරිපද පිට වැටී හඬන අයුරු චිත්රණය කරන්නේ ශ්‍රද්ධා භක්තිය ඉපිල ගිය ගැමියන්ගේ හදවත් සංවේදී කරමින් ය.
“පිරිසිදු රිදී කඳ සේ අහිරිගා බිසව්
සවණක් බුදු රැසින් සියොළඟ වෙළා බිසව්
පිරිවර සමඟ රන් ලියවැල ලෙසට බිසව්
සිරිපද පිට වැටිලා ඉඳ අඬති බිසව්”
මෙයින් පසු යසෝදරාවන් පැවිදි වූවා ය. රහත් මෙහෙණින් වහන්සේනමක් වී පළඟක් බැඳ සිට ප්රාතිහාර්ය පාමින් තමන් රාහුල මාතාව බව පෙන්වා බුදුරජුන්ගේ අවසර ලබා පිරිනිවන් පාන්නී ය. යසෝදරා තෙරණියගේ ධාතු තැන්පත් කළ දාගැබට බුදුන් වහන්සේ ද මල් පිදූ බව දක්වමින් ඇගේ චරිතයෙහි විශිෂ්ටත්වය මතු කොට දක්වන සේ කවියා යසෝදරා චරිතයට අවසානයක් දෙයි.
“බැඳපු දාගැබක් ඒ ධාතු පිහිටුවා
පිදූ සෑම දෙන එක මල් වරුසාවා
සිදුහත් බුදු වෙලා පින් කඳ වරුසාවා
බුදු වී හස්තයෙන් සෑයට මල් පිදුවා”
යසෝදරාවත කවියා මෙසේ දෙවියන්ගේ ද ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් තම කාව්‍ය ග්‍රන්ථය අවසන් කරයි.
“සැමා සුරනි ගෙන පින් සිත යුරා පුරා
යොමා සුභ වැඩෙහි සිත නිරතුරා තිරා
පෙමා කර සතන් රැක දුක් දුරා හැරා
අමා මහ නිවන් ලබනුය තිරා සරා”
මේ අනුව යසෝදරාවතෙන්, පරාධීන සමයක විසූ, තමා දෙස දෑත් දිගු කරගෙන සිටිමින් භාවමය ශාන්තියක් සඳහා ශ්‍රද්ධාවෙන් ඉපිළ යමින් සිටින පාඨක සමාජයකට මානව භක්තියෙන් පරිපූර්ණ වී ජීවිතය සාරවත් කර ගැනීමට පූර්වාදර්ශයන් ද උත්තේජනයන් ද දෙන මුනිවරයකු බඳු කවියෙකුගේ යුග මෙහෙවරක විශිෂ්ටත්වය මනාව දැක්වෙන බව කිව හැකි ය.
සටහන: ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ
Recent Comments