ලෝ සතුනට සෙත සලසන්නට ගිහිගෙයින් නික්ම වැඩි අපගේ බෝසතාණන් වහන්සේ තනියම පැවිදි බව ලබා හුදෙකලාවේ ම මගධ ජනපදයට වැඩියහ. රජ මැදුරේ රන් බඳුන්වල සුමිහිරි බොජුන් වැළඳූ උන්වහන්සේ, මේ ජීවිතයේ පළමුවරට පිඬුසිඟා ලත් ආහාර හිත හදාගෙන නුවණින් සලකා වැළඳූ සේක. කාම සැපය අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කළ උන්වහන්සේ විමුක්ති සැපය සොය සොයා ගත කළ ඒ දුෂ්කර අවදිය සිහි කරන විට අපේ හද කකියවන සුලු ය. ජීවිතයක සැබෑම අර්ථය සොයන්නට ජීවිතය ම කැප කළ අපගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ උදාර ජීවිතය මොනතරම් අසිරිමත් ද!
සදහම් ඇස් ඇති මුනිඳුන් – පැවිදි වුණේ කෙලෙසින්දෝ…
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන කාලයේ දී, අග්‍ර උපස්ථායක වූ ද ධර්ම භාණ්ඩාගාරික වූ ද ආනන්ද හිමියන්ට දිනක් මෙවැනි සිතුවිල්ලක් පහළ විය. ‘භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත – මොග්ගල්ලාන, මහා කාශ්‍යප ආදී මහා ශ්‍රාවකයන්ගේ පැවිදි වීම අගය කළ සේක. ඒ පිළිබඳ තොරතුරු අනෙක් සඟ පිරිස සහ උපාසකවරුන් ද දනිති. එනමුත් තථාගතයන් වහන්සේ පැවිදි වූ ආකාරය පිළිබඳ එසේ වදාරා නොමැති නිසා, මම එය විස්තර කොට පවසන්නෙමි’ යි සිතා, ජේතවන මහා විහාරයෙහි දහම් අසුනෙහි වැඩ හිඳිමින්, වටාපත ගෙන, සඟ පිරිසට භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි වීම ගැන පහදා දෙමින් මෙම ‘පබ්බජ්ජා සූත්‍රය’ වදාළ සේක.
පබ්බජ්ජං කිත්තයිස්සාමි – යථා පබ්බජි චක්ඛුමා
යථා වීමංසමානෝ සෝ – පබ්බජ්ජං සමරෝචයී
ඒ උත්තම පැවිද්ද ගැන – පවසමි හඬ නගා ලොවට
සදහම් ඇස් ඇති මුනිඳුන් – පැවිදි වුණේ කෙලෙසින්දැයි
නුවණින් විමසමින් හෙතෙම – රුචි වුණ හැටි පැවිදි බවට
සම්බාධෝ’යං ඝරාවාසෝ – රජස්සායතනං ඉති
අබ්භෝකාසෝ ව පබ්බජ්ජා – ඉති දිස්වාන පබ්බජී
බොහෝ කරදර පීඩා ඇත – ගිහි ගෙයි වාසය තුළ නම්
කෙලෙස් උනන උල්පතක් ය – ‘නිවස’ කියා පවසන තැන
එහෙත් අනේ මේ පැවිද්ද – ආකාසය වැනි තැනක් ය
යනුවෙන් සැලකීමෙනි හේ – ලබා ගත්තෙ මේ පැවිද්ද
දිවියේ යථාර්ථය දුටුවා එදා…
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැක, පැවිදි වීමෙහි යහපත සලකා ඇසළ පුන් පොහෝ දිනක දී මහාභිනික්මන් කළ සේක. රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා ද සක්විති රාජ්‍යය ද ප්‍රිය යසෝදරාවන් හා රාහුල කුමරු ද අත්හැර විමුක්තිය සොයා නික්ම ගොස්, අනෝමා ගං තෙර දී කඩුවෙන් කෙස් සිඳ, ඝටීකාර බ්රහ්මරාජයා පූජා කළ අටපිරිකර පිළිගෙන හුදෙකලාව ම උතුම් පැවිදි බවට පත් වූ සේක. කසාවතක් හැඳ, තවෙකක් පොරවාගෙන, මැටි පාත්‍රයක් උරහිසෙහි එල්ලාගෙන ශ්‍රමණ ගෞතමයන් බවට පත් වූ සේක.
පබ්බජිත්වාන කායේන – පාපකම්මං විවජ්ජයී
වචී දුච්චරිතං හිත්වා – ආජීවං පරිසෝධයී
උතුම් පැවිදි දිවිය ලබා – කයින් කෙරෙන පව් දුරු කොට
වැරදි වචන දුරු කරමින් – දිවි මග කර ගති පිරිසිදු
එසේ උතුම් පැවිදි බව ලද අප මහා බෝසතාණන් වහන්සේ කාය සුචරිතයේ ද වචී සුචරිතයේ ද පිහිටා ආජීවය ද පිරිසිදු කර ගත් සේක. ඉන් පසු අනෝමා ගංතෙර සිට තිස් යොදුනක් දුර දින හතකින් ගමන් කොට මගධ රට අගනුවර වූ රජගහ නුවරට සපැමිණුනි.
අගමා රාජගහං බුද්ධෝ – මගධානං ගිරිබ්බජං
පිණ්ඩාය අභිහාරේසි – ආකිණ්ණවරලක්ඛණෝ
කඳු අතරේ මගධ රටේ – ඇති රජගහනුවර පැමිණි
මහා පුරිස් ලකුණින් යුත් – අපගේ බුදු සමිඳාණෝ
පිණ්ඩපාතෙ ලබාගන්න – ගෙපිළිවෙළින් වැඩිය සේක
රජ මැදුරේ උඩුමහලේ සිටි බිම්බිසාර රජතුමාට පිඬුසිගා වඩින බෝසතාණන් වහන්සේ දැකගන්නට ලැබී රාජකීය පිරිස අමතා මෙසේ පැවසී ය.
ඉමං භොන්තෝ නිසාමේථ – අභිරූපෝ බ්රහා සුචී
චරණේන චේව සම්පන්නෝ – යුගමත්තං ච පෙක්ඛතී
අන්න! බලව් භවත්නි, අර – අභිරූපී පෙනුමෙන් යුතු
යහපත් ඉරියව්වෙන් යුතු – අර සුන්දර සමණා දෙස
පහළ හෙළාගෙන දෙනයන – යන්නේ සන්සුන් ගමනින්
වඩින ගමන ඇත් රජුගෙ විලාසේ…
ඔක්ඛිත්තචක්ඛූ සතිමා – නායං නීචා කුලාමිව
රාජදූතා විධාවන්තු – කුහිං භික්ඛු ගමිස්සතී
හෙළා දෙනෙත් අඩවන් ලෙස – සිහිය පිහිටුවා සොඳ ලෙස
වඩිනා මොහු සොඳුරු විලස – අයත් නොමැත ළාමක වූ හීන වූ පහත් කුලයට
රාජ දූතයෙනි, තොප දැන් – වහා ගමන් කොට එතැනට
ඔය සමිඳාණන් වඩින්නේ – කොතනටදැයි සොයා බලව
එසේ පිටත් වූ රාජකීය දූත පිරිස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිටුපසින් ගමන් ගත්හ. “මේ පින්වත් ශ්රමණයන් වහන්සේ කොහේද වඩින්නේ? කොතැන ද මෙතුමා වැඩ ඉන්නේ?” කියා ඔවුහු විමසිලිමත් වූහ.
සපදානං චරමානෝ – ගුත්තද්වාරෝ සුසංවුතෝ
ඛිප්පං පත්තං අපූරේසි – සම්පජානෝ පතිස්සතෝ
තමන්ගෙ ඉඳුරන් රැකගෙන – සංවරකම ඇතිකරගෙන
පිහිටුවමින් සිහිය හොඳට – නුවණින් යුතු ව ම හැසිරෙන
ගෙපිළිවෙළින් පිණ්ඩපාතෙ – වඩින විටදි ඒ සමණා
පිරී ගියා ඉක්මනින් ම – එතුමන්ගේ පාත්‍රයත්
පිඬු සෙවීම අවසන් කළ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, නගරයෙන් පිටතට වැඩම කොට දන් වැළඳීම පිණිස පාණ්ඩව පව්ව පාමුලට පිවිසුණි. එය දුටු දූත පිරිසෙන් කෙනෙක්, බිම්බිසාර රජු වෙත ගොස් මෙසේ සැල කළේ ය.
ඒස භික්ඛු මහාරාජ – පණ්ඩවස්ස පුරක්ඛතෝ
නිසින්නෝ ව්යග්ඝසභෝව – සීහෝව ගිරිගබ්භරේ
භවත් මහරජාණනි දැන් – ‘පාණ්ඩව’ පර්වත පෙදෙසේ
පෙරදිග බෑවුමට වෙන්න – සිටින්නේ ය ඒ සමණිඳු
බලවත් තේජසින් යුතු ය – ව්‍යාඝ්‍රයෙකු සේ ගුහාවෙ
සවි ශක්තියකින් ද යුතු ය – වෘෂභරාජයෙකු විලසේ
හේ එඩිතරකමින් යුතු ය – සිංහ රාජයෙක් විලසේ
දූතයාගේ එම වචන ඇසූ බිම්බිසාර රජතුමා, සොඳුරු යානයකින්, පාණ්ඩව පර්වතය බලා ඉක්මනින් ම පිටත් විය. යානයෙන් යා හැකි දුර ගොස් ඉන් බැස පා ගමනින් ම බෝසතාණන් වහන්සේ වෙත ගිය රජතුමා ගෞරවයෙන් වන්දනා කොට එකත්පස්ව සිට ගාථාවලින් මෙසේ පැවසී ය.
යොවුන් තරුණයෙකි ඔබ නම් – තවමත් මුල් කාලෙ ගෙවන
හැඩරුවින් ද උසමහතින් – පෙනේ උපත රජෙකුගෙ මෙන්
සේනා සහිතව සරසා – ඇත් පිරිවර පෙරට රැගෙන
ඔබට පුදමි හැම සම්පත් – අනුභව කළ මැන රිසි සේ
පවසාලනු මැන පින්වත – කොයි ජාතියෙදෝ උපන්නේ?
ශාක්‍ය කුලේ සමිඳාණෙනි වන්දේ…
එවිට බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජුට තමන් වහන්සේ ව හඳුන්වා දෙමින්, තම විමුක්තිකාමී අභිලාෂය ද පහදා දෙමින් ගාථාවලින් මෙසේ වදාළ සේක.
උජුං ජානපදෝ රාජා – හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියේන සම්පන්නෝ – කෝසලේසු නිකේතිනෝ
භවත් මහාරජයාණෙනි,
හිමගිරි පව්ව ද පෙනෙනා – කොසොල් ජනපදේ තිබෙනා
වීරිය හා ධනයෙන් යුතු – සුන්දර ජනපදයක් වේ
ආදිච්චා නාම ගොත්තේන – සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතොම්හි රාජ – න කාමේ අභිපත්ථයං
අපි සූරියවංශේ වෙමු – ‘ශාක්‍ය’ වෙමු ජාතියෙන් ද
පින්වත් රජතුමනි මෙමා – ඒ කුලයෙන් නික්ම අවුත්
පැවිදි බවට පත් කෙනෙක්මි – කිසිම කාමයක් නොපතන
කාමේස්වාදීනවං දිස්වා – නෙක්ඛම්මං දට්ඨු ඛේමතෝ
පධානාය ගමිස්සාමී – එත්ථ මේ රජ්ජති මනෝති.
කම් සැපයට ගිජුවන ලොව – දුක් විඳිනා හැටි දැකගෙන
එයින් නික්ම පැවිදි වුණෙමි – දකිමින් කෙම්බිමක් විලස
වෙර වඩනා සිතින් යුතුව – යන්නෙමි මම නිරිඳාණෙනි
මා පැවසූ මෙකරුණ ගැන – දැන් මා සිත රැඳී තිබේ
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදුහිමි සරණ යමි…
ඉන් පසු බිම්බිසාර රජතුමා, සම්බුද්ධත්වය ලද පසු දහමෙන් අනුග්‍රහ කිරීම පිණිස සිය විජිතයට, වැඩම කරනා ලෙස ගෞරවයෙන් ආරාධනා කොට පිටත් වී ගියේ ය. අපගේ මහ බෝසතාණන් වහන්සේ, ගිහි ජීවිතය අත්හැරදා පැවිදි වූ දින පටන් ම පැහැදිලි අරමුණින් ම වැඩ සිටි සේක. සය වසරක් මුළුල්ලේ දෙව් – මිනිස් ලෝකයාට සෙත සලසනු වස් අප්‍රමාණ වෙහෙසක් ගනිමින් දුෂ්කර ක්‍රියා කළ සේක. අවසානයේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන, සීල – සමාධි – ප්‍රඥා පරිපූර්ණ කොට මරු පරදවා සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. දෙව්-මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඒ උත්තම පැවිදි බවට, සම්මා සම්බුද්ධත්වයට අපගේ නමස්කාරය වේවා!!!
– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments