දුරුතු මාසය ගෙවුණා. නවම් මාසය ඊටත් වඩා වේගයෙන් ගෙවුණා. මේරූ පත් කහ පැහැයෙන් හැළී යද්දී පුංචි පුංචි දලු රිකිලි පමණක් ඉතිරි ගත් මහා වෘක්ෂයන් පුරුදු විදිහට ම අලුත් වන්නට කල් යල් බලමින් සිටියා. ළා රෝස පැහැති දලු ක්‍රමයෙන් රතු පැහැයට හැරෙමින් ළා කොළ පැහැයකින් තුරු හිස් වසාගෙන, මල් පොහොට්ටු දරා ගනිමින් සුන්දර වෙනසකට මුල පිරුවා. එළඹියේ වසන්තය යි.

මැදින් මාසයේ තුරු හිස් වසා ගත් මල් යායක අසිරිය දකින්නට ඔබටත් කොහේ දී හෝ ඉඩ ලැබෙන්නට ඇති. අඹ දඹ කජු ගස් ආදිය මෘදු සුවඳ විහිදුවන නැවුම් මලින් සැරසෙමින් ඵල දරන්නට සූදානම් වන අසිරිය ඔබටත් ඇස ගැටෙන්නට ඇති. කාර්යබහුල ජීවිත තුළ අවට පරිසරයේ මේ වෙනසට සංවේදී වන්නට අවස්ථාවක් නොලැබුණ පිරිසකුත් අප අතර සිටිනවා. කවුරුන් හෝ එතරම් ම යාන්ත්‍රික වීම සුදුසු නැහැ නේ ද? බහුල වූ කාර්යයන් මඳකට පසෙකින් තබන්න. සන්සුන් වන්න. නොයෙක් කන්කළු හඬින් කුරුලු කූජන නැගෙන, ළා පත් අතර මල් සිනා සලන, ඵල සම්පතින් තුරු යාය පිබිදෙන සුන්දරත්වයට මොහොතක් සංවේදී වන්න. ඔබට මොනවද හිතෙන්නේ…??? ‘හරි ම ලස්සනයි…!’ එහෙම නේ ද?

මේ සටහන කියවද්දී ඔබට පසුගිය කාලයේ දුටු සොඳුරු සොබා දසුන් සිහිපත් වන්නට ඇති. ඔබේ ස්මාර්ට් දුරකථනයේ එවැනි දසුන් තිබෙනවාත් විය හැකියි. ඔබ සතුව පමණක් නොවෙයි; බොහෝ දෙනෙකු සතුව එවන් සොඳුරු රූ දසුන් එකතුවක් ඡායාරූප ලෙසින් තිබෙනවා. ඒ දසුන් පසුබිම් කොටගත් තම තමන්ගේ ඡායාරූප ගණනාවක් ද දින වකවානු හා ස්ථාන සහිත ව මුහුණපොතේ දමන්නට උත්සුක නොවුණ කෙනෙකු සොයා ගැනීම පවා දුෂ්කරයි.

තුරු හිසේ මල් වියන් සදන, තුරු පාමුල මල් පාවඩ එළන වසන්තයක ආනන්දය තමයි මේ. සෑම වසරක ම මෙවැනි කාලයක් එළඹෙනවා. පැරණි මතක අලුත් කර ගනිමින් බොහෝ දෙනෙකු වසන්තය රස විඳිනවා.

මෙවැනි සොඳුරු, ආස්වාදනීය දසුන් කාමයන් සමඟ ගනුදෙනු බොහෝ කොට ඇති ලෝකයට හුදු කාම අරමුණක් පමණයි. මල් පිබිදි වසන්තය නිමිත්ත කොට ගනිමින් ප්‍රේමයටත්, විරහවටත්, සරාගයටත් යා කොට ගැළපූ සිතුවිලි කොපමණක් නම් සිත්වල උපදින්නට ඇති ද? ඒ සිතුවිලි වචන බවට පත් ව කොතරම් නම් ලොව පුරා සංසරණය වන්නට ඇති ද? නූපන් රාගයේ ඉපදීම පිණිසත්, උපන් රාගයේ වැඩී යාම පිණිසත් මේ නිමිත්ත හේතුපාදක වූ බව රහසක් නොවෙයි. සුබ නිමිත්තත්, අයෝනිසෝ මනසිකාරයත් එක් වූ කල්හි සිදු වන දේ තමයි ඒ.

නමුත්… මේ සොඳුරු වසන්ත සිරියෙන් ද පින් ඵල නෙළා ගත් පිරිස් අප අතර සිටිනවා. ඒ අතර කෙනෙකුගේ පින් පොතක සටහන මෙසේ ඔබට දක්වන්නේ, වසන්තය හුදු කාම නිමිත්තක් කොටගෙන කෙලෙස් වසඟයේ සිටිනු වෙනුවට ඒ සොබා සිරිය ද පින උපදවන තීර්ථයක් බවට පත් කර ගත හැකි බව සිහි ගන්වන්නටයි. මලින්, ඵලින් බර වී ගිය වෘක්ෂලතාවෝ දක්නා සෑම කල්හි ම ඔබට මේ සටහන සිහිපත් වේවා! එය ඔබට යහපත පිණිස ම පවතීවි.

*********************************************

මේ මල් පිපෙන කාලය… තුරු හිස් මලින් පිරීතිරී ගිහින්. බොහෝ තැන්වල එක පෙළටත්, අතරින් පතරත් දකින්නට ලැබෙන රොබරෝසියා ගස්වල කොළ පාටක් සොයා ගන්නත් අමාරුයි. රෝස පාට මල් යායක් ඒ ගස් මත පීදිලා. ගිලිහී වැටෙන මල්, පොළොවේ සුන්දර පාවඩයක් හදලා. මේ දසුන සැබැවින් ම මනරම්…!

මලින් ගැවසී ගත් තුරු හිස් දකින වාරයක් වාරයක් පාසා මට ශාස්තෘන් වහන්සේ ව ම සිහිපත් වන්නට පටන් ගත්තා. උන්වහන්සේ ධර්මය දේශනා කොට වදාළ කල්හි අසිරිමත් යුගයක් ඇරඹුන අයුර උපමා වන්නේ මෙවන් සුන්දර වසන්තයකට යි… මේ කාරණය සඳහන් වන්නේ ඛුද්දක නිකායට අයත් උතුම් රතන සූත්‍රය තුළයි.

“වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු”

“ගිම්හානේ පළමු ව එන වසන්ත කාලෙට
මල් ඵල බර වෙයි වන ගොමුවල සිරියාවට
දෙසූ සේක උත්තම සිරි සදහම් එලෙසට
පරම සුවය සදමින් එය ගෙන යයි නිවනට
මෙය බුදු සමිඳුගෙ පවතින උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම සෙත සැලසේවා!”

සාදු සාදු!!! උන්වහන්සේ දහම් දෙසත් දෙසත් ම සියලු කෙලෙසුන් නසා පරම පාරිශුද්ධත්වයට පත් ව වදහළ උතුම් රහතන් වහන්සේලා ලෝකයේ බිහි වුණා. දෙවි බඹුන්ගේ ද වන්දනාමානයට සුදුසු වූ ඒ නික්ලේශී මුනිවරයාණන් වහන්සේලා බිහි කොට වදහළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රවර්තනය තුන්ලොව සුවඳ කරලූ, මනනන්දනීය කරලූ, සුවපත් කරලූ වසන්තයේ ඇරඹුම යි. සම්බුදු සසුන් කෙතේ සුපුෂ්පිත ඒ නිකෙලෙස් හදැති, දස දෙසට හමා යන සිල් ගුණ සුවඳැති, නැණැති, පිනැති අරහත් සඟ පරපුරට මාගේ නමස්කාරය වේවා! රාග ද්වේෂ මෝහ දුරලා ප්‍රභාෂ්වර සිතින් යුතු ව සුව සේ වැඩ සිටි ඒ නිකෙලෙස් මුනිවරුන් බිහි කළ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට නමස්කාර වේවා! ලොව පරම සුවය සදනා ඒ උතුම් සිරි සදහම් වදහළ ධර්ම ස්වාමී වූ මාගේ ශාස්තෘන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මේ මල් වියන යට තමන් වෙත ම මානා ගත් කැමරා ඇති ව නොයෙක් ඉරියව්වලින්, නොයෙක් කෝණවලින් ඡායාරූප ගන්නට වෙහෙසෙන බොහෝ දෙනා ද මට පෙනෙනවා. අහෝ…! ඔවුන් තුළ මා දකින්නේ මාව යි. වසර කිහිපයකට පෙර මාත් සිටියේ ඔවුන් වගේ ම යි. එහෙත් සත්පුරුෂ උතුමෙක් මා තුළ වෙනසක් උපදවාලූවා. මගේ ගුරු දෙවිඳුන් මේ උතුම් ගාථා රත්නයන් මගේ මව්බසින් තෝරා නොදෙන්නට මේ සොඳුරු රූ දසුන මට ශාස්තෘන් වහන්සේ ව සිහි කරලන්නට සමත් නොවන බව නිසැකයි. එහෙම වුණා නම් මටත් මේ කාම අරමුණක් පමණයි, සුබ නිමිත්තක් ම පමණයි… අනේ උන්වහන්සේ අපට කළේ මොනතරම් නම් උපකාරයක් ද…! සත්පුරුෂයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

තුරු හිස් මතින් ගිලිහී නොනැවතී ම මල් එක දෙක බිමට පතිත වෙනවා. ගෞතම සම්බුදු සසුනේ වසන්තයේ සුපුෂ්පිත නිකෙලෙස් මහරහත් මුනිවරුන් ද ඒ අයුරින් ම පිරිනිවන් වැඩියා. කවර ජීවිතයක් වුවත් තිබෙන්නේ මරණය කෙළවර කරගෙන යි. බුදු පසේබුදු මහරහත් උතුමන් ද පිරිනිවන් වැඩියා. මාගේ මරණය ගැන කවර කථා ද… මමත් මැරෙන කෙනෙක්. මරණය ඉක්මවූ කෙනෙක් නොවෙයි. මරණය සිදු වන මොහොතක සිතේ රාග ද්වේෂ මෝහ නැතිව මැරෙන්නට ලැබෙනවා නම් එය මහා යහපතක්. මනා වූ ලැබීමක්. මාත් එයට උත්සාහවන්ත වන්නට ඕන…

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ වසන්තයේ යම්තාක් සුවඳ මල් තුරු හිස් සරසමින් තිබෙනවා ද ඒ සුපුෂ්පිත සුවඳ පුෂ්පයෝ ඔබ වහන්සේගේ සිරිපා කමල් අබියස, අනන්ත සම්බුදු ගුණයට උපහාර පිණිස පූජා කරමි පූජා වේවා! ගුණ සුවඳින් ද සිල් සුවඳින් ද පිරිපුන් ජීවිතයක් උපදවා ගන්නට මට මේ පින ද උපනිශ්‍රය වේවා!

***********************************************

වසන්තයේ සුන්දරත්වය අබිමුව ශාස්තෘත්වය ම සිහි කළ, තෙරුවන් ගුණ ම සිහි කළ, සත්පුරුෂ ගුරු ඇසුර සිහි කළ මේ පින සුන්දරයි නේ ද…! අපිදු එය සතුටු සිතින් අනුමෝදන් වෙමු.

සාදු! සාදු!! සාදු!!!

– මහාමේඝ –