ඈත අතීතයේ බෞද්ධ පවුලක් තුළ තිබූ එකමුතුකම අද වන විට බොහෝ සේ පිරිහීමට පත්ව තිබෙනවා. එදා බෞද්ධ පවුලක් තුළ තිබූ ඒ එකමුතුකම නැවත ඇතිකර ගැනීමට වර්තමාන කාන්තාවගේ, පවුලක අම්මාගේ වගකීම කෙබඳු ද යන්න අපි මුතුගල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

*****************

“ලස්සන ම අම්මා, නැත්නම් කාන්තාව අපට හමුවන්නේ බුද්ධ ශාසනය තුළයි. ඈ විශාඛාවයි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට හිතෙනවා ඇයගේ නිවස කොතරම් නම් ලස්සන ද කියලා. ඇය එතරම් ලස්සන ජීවිතයක් ගොඩනගා ගත්තේ ඇය තුළ තිබූ ඉවසීම සහ උපේක්ෂා සහගත බව නිසයි.

විශාඛා විවාහ වෙලා සැමියාගේ නිවසට එන දවසේ ඇගේ පියා අපූරු උපදෙස් දහයක් දුන්නා. ඒ අවවාද අහලා විශාඛා එදා රැකුණා. අද දියණියකටත් ඒ අවවාද අහන්න ලැබුණොත් ඇයත් රැකේවි. ඒ අවවාදවල සඳහන් වුණේ 1. ඇතුළත ගිනි පිටට දෙන්න එපා, 2. පිට ගිනි ඇතුළට ගන්න එපා, 3‍. දෙන්නන්ට දෙන්න, 4. නොදෙන්නන්ට නො දෙන්න, 5. දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න, 6. සුව සේ නිදන්න 7. සුව සේ වළඳන්න, 8. සුව සේ හිඳින්න 9‍. ගිනි පුදන්න, 10. ඇතුළත දෙවියන් නමදින්න කියලයි. විශාඛාවට මේ දහය තේරුණා.

ඇය විවාහ වෙලා සැමියාගේ නිවසට ගියා.

විශාඛා ඒ නිවසට ගොස් ටික දිනකට පසු ඒ නිවසේ වැස්සියක පැටියකු බිහි කරන්න ආසන්න වුණා. ඉතින් රාත්‍රි කාලයේ විශාඛා ඒ එළදෙන අසලට ගොස් පැටියා බිහිවන තුරු ඉඳලා අවශ්‍ය සියල්ල කරලා ආවා. එහි දී ඇයට පළමු චෝදනාව ආවා. ඒ, අනවශ්‍ය ස්ථානවලට රාත්‍රියේ ගමන් කිරීම යන්නයි. ටික දිනකට පසු මිගාර සිටු නිවසේ දානයක් තිබුණා. ඒ මව්පියන් විශාඛාවට කිව්වා අද අපේ නිවසට රහතන් වහන්සේලා දානයට වඩිනවා කියලා. සෝතාපන්න වී සිටි විශාඛාගේ සිත පිනා ගියා. නමුත් ඒ දානයට එදා ආවේ ශරීරයේ වස්ත්‍රයක් නැති නිගණ්ඨනාතපුත්ත ඇතුළු පිරිසයි. ඔවුන් දුටු ගමන් ඇය තිගැස්සුනා. “මේ අයට ද රහතුන් කියන්නේ?” කියා ඇසුවා. අර පිරිස දානය ගන්නේ නැතිව පිටව ගියා. විශාඛාවට දෙවැනි වතාවේත් ප්‍රශ්නයක් ඇති වුණා.

තව දිනක් මිගාර සිටුතුමා කෑම කද්දී ස්වාමීන් වහන්සේනමක් පිඬු පිණිස නිවසට වැඩියා. මිගාර පියා ඒ තෙරුන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නැතිව කෑම කෑවා. විශාඛා ගොස් කියනවා “ස්වාමිනි, අපේ මාමා පුරාණය වළඳනවා. ඔබවහන්සේ වෙන තැනකට වඩින්න.” කියලා.

එදා සිටුතුමාට කේන්ති ගියා. ඔහු කියනවා “අලුත ආ ඔබ අපට බොහෝ චෝදනා කරනවා. මම නැවත ඔබේ මව්පියන් වෙත ඔබව යවනවා.” කියලා. එවිට ඇය කියනවා “මාමේ, මම මව්පියන් වෙත යන්න කැමැතියි. නමුත් මගේ නිර්දෝෂී බව ප්‍රකාශ කරල යන්නම්” කියලා. එදා විශාඛා විවාහ වී එන විට ඇයගේ පියා විසින් ව්‍යක්ත, පණ්ඩිත, නුවණැති පුරුෂයන් අට දෙනෙක් ඇය හා මේ මිගාර සිටු නිවසට එව්වා. ඒ පුරුෂයන් ගෙන්වා ප්‍රශ්න විසඳන විට ඇය තම පිය දුන් අවවාද දහය විස්තර කළා.

‘ඇතුළත ගිනි පිටට දෙන්න එපා’ – නිවසේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එය පිටට කියන්න එපා කිව්වා. මේක අද කාලයට ඉතා වටිනවා. පවුලක් තුළ යම් ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ වූ පමාවෙන් යහළුවන්ට, නෑයන්ට, මව්පියන්ට කියන්න අද කාන්තාව පෙළඹිලා ඉන්නවා.

‘පිටත ගිනි ඇතුළට ගන්න එපා’ – අනුන්ගේ ප්‍රශ්න අරගෙන තමන්ගේ නිවසේ ගිනි අවුළුවා ගන්න එපා.

‘දෙන්නන්ට දෙන්න’ – ඉල්ලාගත් දේ නැවත දෙන අයට පමණක් දෙන්න.

‘නොදෙන්නන්ට නො දෙන්න’ – ඉල්ලා ගිය දේ නැවත නො දෙන අයට දෙන්න එපා.

‘දෙන්නන්ටත්, නොදෙන්නන්ටත් දෙන්න’ – සමහර අවස්ථාවක අපෙන් දෙයක් ඉල්ලා ගත් කෙනෙකුට නැවත එය දීමට හැකියාව නැතිවෙන්න පුළුවන්. එය ඉවසන්න. එය සමඟිය පිණිස හේතුවෙනවා.

‘සුව සේ හිඳිය යුතුයි’ – ස්වාමියාගේ මවුපියන් දුටු විට සිටි ආසනයෙන් නැගිටිය යුතුයි.

‘සුව සේ වැළඳිය යුතුයි’ – ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් කෑම කන්න කලින් කන්න එපා.

‘සුව සේ නිදාගත යුතුයි’ – ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් නිදන්නට කලින් නිදන්න එපා.

‘ගිනි පිදිය යුතුයි’ – ස්වාමියා සහ ඔහුගේ මවුපියන් විශේෂ චරිත ලෙස හඳුනාගෙන ඒ අයට පූජා සත්කාර කරමින් ගෞරවයෙන් ඇසුරු කරන්න.

ඇතුළත දෙවියන් නැමදිය යුතුයි – නිවසට පැමිණෙන පැවිදි උතුමන් ආසනයක වඩා හිඳුවා දානයන් පූජා කිරීම කළ යුතුයි.

මේ සියල්ල පැහැදිලි කළ විශාඛා කියනවා “මගේ නිදොස් බව දැන් පැහැදිලියිනේ. මම දැන් මගේ ගෙදර යන්නම්.” කියලා. එවිට මිගාර සිටුතුමා කියනවා “අනේ දුවේ, ඔබ බොහොම හොඳ දියණියක්. යන්න එපා.” කියලා.
විශාඛා කියනවා “තාත්තේ, භික්ෂු සංඝයා නොදකින තැනක ඉන්න මම කැමැති නැහැ.” කියලා. එවිට ඒ පියා, “එහෙම නම් දුවේ ඔබ කියන භික්ෂු සංඝයා මේ නිවසට වඩම්මවන්න.” කිව්වා. ඇය වහා ම දානය පිළියෙල කොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවූවා. දානය අවසානයේ දී මිගාර සිටුතුමාත් ධර්මය අසන්න පහළට ආවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා සිටුතුමාට ඇහෙනවා. ධර්ම දේශනාව අවසානයේ දී ඔහු සෝතාපන්න වුණා. ඉන් පසු ඒ සිටුතුමා විශාඛාවට කියනවා “දුවේ, ඔයයි මගේ අම්මා. මගේ අම්මා මට කිරි පෙව්වා. මගේ දුව මට දහම් කිරි පෙව්වා. ඒ නිසා මම දුවට අද සිට ‘මිගාර මාතා’ කියලයි කියන්නේ.” කියලා. මේ සියල්ල ම කරන්න ඇයට හොඳ ඉවසීමක් සමඟ ම හොඳ නුවණක් ද තිබුණා.

විශාඛා විවාහ වී ඒමට පෙර බුදුරජාණන් වහන්සේත් ඇයට අවවාද කළා. ඒ අවවාද හිතමිනුයි ඇය ජීවත් වුණේ. ඇය කවදාවත් නපුරු වචනයක් කියන්නේ නැහැ. ප්‍රිය වචනයි පිට කරන්නේ. නිතර ම ස්වාමියාට ප්‍රියමනාප ලෙස හැසිරෙනවා. එතකොට ඒ නිවසේ එකටෙක කීම, ගැස්සිලි, එරවිලි නැහැ. ඒ වගේ ම ස්වාමියාගේ මව්පියන්, ගුරුවරුන්, සැමියා සත්කාර කරන ශ්‍රමණවරු සිටිනවා ද ඒ සියලුදෙනාට ම ගරු කරනවා. සත්කාර කරනවා, වතාවත් කරනවා. ඒ වගේ ම නිවසේ වැඩ කටයුතු සොයා බලනවා. කම්මැලි නැහැ. නිවසේ කෙතෙක් දාසයෝ සිටිනවා ද ඒ අයට කරන්න ඕන දේ, නොකරන්න ඕන දේ කියනවා. ගිලන් කම්කරුවන්ට අවශ්‍ය දේ ලබා දෙනවා. සැමියා උපයන ධනය ආරක්ෂා කරනවා. සුරාවට, වැරදි කාම සේවනයට, හොර වැඩවලට ඒ මුදල් ගන්නේ නැහැ. ඒ වගේ ම ඇය බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උපාසිකාවක් ලෙස ජීවත් වෙනවා.

අද අපේ සමාජයේ යම් කාන්තාවක් මේ ආකාරයට කටයුතු කරනවා නම් ඇයට කවදාවත් චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. ඇයගෙන් විය යුතු සියලු යුතුකම් ඇය ඉටුකර තිබෙන්නේ. ස්වාමියාගේ මව්පියන්ට සියලු යුතුකම් ඉටු කරනවා. එනිසා ඇයගේ මව්පියන්ටත් සලකන්නට ඇයට අවස්ථාව තිබෙනවා. මේ වගේ නිවසක ආරවුල් අඩුයි. ඒ, ඇයගේ පැත්තෙන් යම් ගුණයක් සම්පූර්ණ නිසා.

ඒ නිසා නිවසේ අම්මා හිමවත් පව්ව වගේ නම්, ඒ හිමවත් පව්ව වටේ සිටින දරුවෝ, සැමියා, මව්පියෝ, නෑදෑයෝ සියලුදෙනා ම ඒ හයිය අරගෙන ධර්මයට එනවා. අද බොහෝ නිවසේවල අම්මා පුරුදුවෙලා සිටිනවා දරුවන්ට නිවසේ බුදු පහන තියන්න කියන්න. බුදුරජාණන් වහන්සේට අම්මා පහන තිබ්බොත් ඒ පින අම්මාටයි. දරුවන් පහන තිබ්බොත් ඒ පින දරුවන්ටයි. අම්මා සවසට නිවසේ වැඩ අවසන් කොට මල් ටිකක් කඩාගෙන, පැන් එකක් පෙරාගෙන, පහනක් පත්තුකරලා පැය භාගයක් හෝ තෙරුවන් වන්දනා කරන්න පුරුදු වෙනවා නම් අම්මා පිටුපස යන දරුවන් එය පුරුදු වෙනවා. ඒ සඳහා වෙලාව නැහැ කියන්න බැහැ.

අද බොහෝ අම්මලා රූපවාහිනිය ළඟ නැවතිලා ඉන්නේ. දරුවෝ පරිගනකය ඉදිරියේ නැවතිලා ඉන්නේ. ඒ ඒ අය ඒ ඒ ලෝකවල හිර වෙලා, දෙගොල්ලෝ ම නොමග ගොස් සිටින්නේ. ඒ වෙලාව අරගෙන මගේ දරුවන්ටත් යහපතක් වෙන්න මම හරියට මේ දේ කරන්න ඕනෙ කියා සිතා සිතට හයිය අරගෙන විකාර දර්ශන බලන එක නවත්වලා, තෙරුවන් ගුණ සිහි කරලා, පිරිත් ටිකක් කියලා දිනපතා බුද්ධ වන්දනාව කරන්ඩ පුරුදු වුණා නම් ඒ නිවස කෙතරම් සාමකාමී ද?

රූපවාහිනියේ නාට්‍ය බැලීම ඔබ පුරුද්දක් කරගෙන සිටිනවා නම් එයින් අතමිදෙන්න. මේ රූපවාහිනිය මගේ කාලය කොතරම් ගන්නවා ද කියා සිහි කරන්න. ළමයිගේ කටයුතු අඩාල වෙලා නේද කියා සිහි කරන්න. නිදිමත එනතුරු රූපවාහිනිය නරඹලා නිදිමත ආ විට ගොස් නිදා ගන්නවා. එය මගහැර ගැනීමට ඇයට දක්ෂතාවයක් මෙන් ම ප්‍රඥාවකුත් අවශ්‍යයි. එය නිස්සාර දෙයක් කියා සිහි කරන්න. නාට්‍ය යනු කාගේ හෝ සිතක උපන් සිතිවිල්ලක් පමණයි. අපි ඒ දෙස බලාගෙන ඉඳලා එතැන රණ්ඩු වෙනකොට අපිත් රණ්ඩු වෙනවා. එයාලා අඬද්දි අපිත් අඬනවා. ඒ අය සිනාවෙද්දී අපිත් සිනහා වෙනවා. ඒ නාට්‍යවල සිටින අය මුදල් උපායගෙන යනවා. අපි අපේ කාලය වනසා ගන්නවා. ඊට පස්සේ හෙට වෙන තුරු කල්පනා කරන්නේ ‘මොකක් වෙයි ද දන්නේ නැහැ. හෙට කොටසේ මෙහෙම තිබුණොත් හෙඳයි’ කියලා චිත්තරූප මවාගෙන කල්පනා කරමින් තමන්ගේ කාලය අපතේ හරිනවා. සිතින් තර්ක විතර්ක කරමින් සිටිනවා. තමන්ගේ ප්‍රශ්න මදිවට අනුන්ගේ ප්‍රශ්නත් තමන්ගේ කර ගන්නවා.

එසේ නොකොට එහි ඇති නිස්සාර බව දකින්න. සිත ඒවාට යට වෙන්න නො දී සරු දේ, නිසරු දේ හඳුනා ගන්න. බොහෝ දෙනාට නිසරු දේ සරු දේ ලෙස පෙනෙනවා. නිසරු දෙයට ආශා කරනවා. එහෙම වුණොත් තමන් නිකම් ම ප්‍රමාදයට පත් වෙනවා. සරු දේ නිසරු දේ හඳුනාගෙන නිසරු දේ බැහැර කරන්නට හිතට හයිය තිබෙනවා නම්, නුවණින් කල්පනා කරන්න ප්‍රඥාව තිබෙනවා නම්, නිසරු දෙයින් ඈත් වෙන්න ශක්තිය තිබෙනවා නම් ඇයට ධර්මයේ හැසිරෙන්න හොඳ විවේකයක් ලැබෙනවා.

අද අපි දන්න සමහර කාන්තාවන් සිටිනවා උදේ ම අවදි වෙලා බුදු ගුණ අසා දවස පටන් අරගෙන එදිනෙදා දරුවන්ගේ ස්වාමියාගේ කටයුතු කරනවා. රැකියාවත් කරනවා. සවසට නිවසට ආ පසු නිවසේ සියලු වැඩ කරලා පසුව තමන් පිරිසිදු වෙලා හොඳින් බුදුන් වඳිනවා. රාත්‍රි 9.00 දේශනාවත් අසනවා. ඉන් පසුව කියපු ධර්මය මතක ද බලන්න කොළයක සටහන් කර නින්දට යන අම්මලා අද ඉන්නවා. අවුරුදු පහකට පමණ පෙර එසේ පුරුදු කරන්න පටන් ගත් අම්මා කෙනෙක් හමු වුණා. අදටත් ඇය එසේ ම ඒ කොටස කරනවා. අවුරුද්දට දින 365 යි. මේ අවුරුදු පහට ඇය කෙතරම් ධර්මය අසා තිබෙනවා ද? කී වතාවක් බුද්ධ වන්දනාව කර තිබෙනවා ද? ඒ වෙලාව ඇය රෑපවාහිනියට යට වෙලා හිටියා නම් මේ තාක් ඇසූ ධර්මය ඇයට ඇසී නැහැ. මේ තාක් සුව සේ බුදුන් වැඳලා සිතට ගත් සහනයත් නැහැ. අනවශ්‍ය විකාර දර්ශනයක් බලලා තමන්ගේ සිතත් අවුල් කරගෙන ඉතිරි ටිකේ නිදා ගැනීමයි කර තිබෙන්නේ. එයින් මිදෙන්නට නම් නිසරු බව පෙනෙන්නට ම ඕන.

එනිසා නිවසේ අම්මා රූපවාහිනියට වහල් වෙලා නම් ඒ නිවසේ දරුවන් බේරන්න බැහැ. අම්මා කියන්නේ පරිණත තැනැත්තියක්. නිස්සාර දෙයක ආදීනව දකින්න ඇය දක්ෂ විය යුතු ම යි. එනිසයි නිතර ම ඇය ආදර්ශවත් විය යුත්තේ. අම්මා දානය පූජා කරනවා නම්, දරුවොත් දන් පූජා කරනවා. අම්මා සිල්පද රකිනවා නම්, දරුවොත් සිල්පද රකිනවා. අම්මා සංවර නම්, දරුවොත් සංවරයි. ඒකට අම්මා හරි පාර පෙන්නාගෙන, නිවැරැදි ව, ‘මම පසු පස්සේ තව කොටසක් එනවා’ කියල සිහියෙන් ඉන්න ඕනෙ. අම්මා තාත්තාට ගරු කරනවා නම්, දරුවෝ තාත්තාට එකටෙක කියන්නේ නැහැ. අම්මා තාත්තාගේ වැරදි ප්‍රසිද්ධියේ කියා කෑ ගසන්නේ නැත්නම් දරුවෝ තාත්තාට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. දරුවෝ තාත්තාට අම්මාට කෑ ගසන්නේ ළමයි ඉදිරියේ අම්මා තාත්තා එකිනෙකාට චෝදනා කරන නිසයි. මවුපියන් අතරේ යම් ප්‍රශ්නයක් වුවත් එය දරුවන්ට නෑසෙන අයුරින් බේරා ගැනීමට මවුපියන් දක්ෂ විය යුතුයි. ළමයෙක් තාත්තාට මොනවා හරි කිවුවොත් “එපා පුතේ ඒ ඔයාගේ තාත්තානේ” කියලා අවවාද කරන්න පුළුවන් නම්, දරුවෝ අම්මාට සැර වෙද්දී “එහෙම කතා කරන්න එපා. මේ ඔයාගේ අම්මානේ.” කියලා තාත්තාට කියන්න පුළුවන් නම් එතැන ගොඩනැගෙන්නේ සමඟියක්.

සමහර අම්මලා ඉන්නවා තමන්ගේ වැඩ කර ගන්න දරුවාට රෑපවාහිනිය දාලා දෙනවා. ෆෝන් එක අතට දෙනවා ගේම් ගහන්න. අවුරුදු දෙකේ තුනේ දරුවා දක්ෂයි ගේම් එකක් හොයාගෙන ගහන්න. ඒක හරියට දරුවක් හතුරෙක් ළඟට යොමු කළා වගේ වැඩක්. ධර්මය අධර්මය හොයා ගන්න බැරි උපකරණයක් ළං කිරීම භයානකයි. එදා තමන්ගේ ලෙහෙසියට ඒ අම්මා එහෙම කළාට දවසක් එනවා විඳවන්න, අඬන්න වෙන දවසක්. එදාට ඒ අම්මා ගොඩාක් ප්‍රමාදවෙලා. ඒ නිසා අම්මාට හොඳ නුවණක්, දරුවන් ගැන අවබෝධයක් වගේ ම මහත් වූ සෙනෙහසකුත් අවශ්‍ය වෙනවා. ඒ වැඩිහිටියොත් සත්පුරුෂ ආශ්‍රයට ළං වෙලා දරුවොත් සත්පුරුෂ ආශ්‍රයට යොමු කිරීමයි අද දවසේ කළ යුතු වන්නේ. එතකොට ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් නිරන්තරයෙන් ධර්මය ඇසෙනවා. මවුපියන්ට ගෞරවය කරන හැටි, තිසරණයෙහි පිහිටන හැටි, සිල්පද රකින හැටි, දන් දෙන හැටි, සිල් රකින හැටි ඒ දරුවා ඉගෙන ගන්නවා. ධර්මය තුළ සිටින මව්පියන් දෙන අවවාද දරුවෝ පිළිගන්නවා. ලෝකය යන රටාව මේකයි, අනෙක් ළමයි ළඟත් දුරකතන තිබෙනවා කියා තමන්ගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දීම නො වේ කළ යුත්තේ. ඒ ලෝකය යන රටාවෙන් තමන්ගේ දරුවා බේරා ගැනීම යි. යම් ගුණයක් දියුණු කර ගන්නට පිනක් අවශ්‍ය ම යි. ඒ බව නිතර ම දරුවන්ට පහදා දීම වැඩිහිටියන්ගේ යුතුකමක්.

අපි දන්නවා සමහර දරුවෝ ඉන්නවා පිනට බොහෝම ලැදියි. අම්මා වාඩිවෙලා ඉන්නවා නම් ඊට ඉහළ පුටුවක ඒ අය වාඩිවෙන්නේ නැහැ. එතරම් ගරුසරුයි. එහෙම වෙන්නේ ඒ අම්මා තමන්ගේ මවට, ස්වාමියාගේ මවට බොහෝම ගරුසරුයි. මව්පියන් ලෙඩ වුණා ම ඒ අම්මලා ඒ අයගේ හිස අතගාමින් බුදු ගුණ කියනවා. දරුවොත් ආච්චි, සීයා ළඟ බුදු ගුණ කියනවා. ඒ ආභාෂය දරුවන්ට ලැබිය යුත්තේ මව්පියන්ගෙන් ම යි. අම්මා, තාත්තා තමන්ගේ මව්පියන්ට වෙනස්කම් කරනවා නම් මුණුපුරෝ සලකන්නෙත් නැහැ.

එනිසා පවුලක අම්මා ආදර්ශවත් වීම ඉතා වැදගත්. මේ ලෝකය යන්නේ කාම රැල්ලකට. නමුත් ධර්මයේ හැසිරෙන්නා උඩුගං බලා පිහිනීමට කැමැති විය යුතු කෙනෙක්. ඒ කාම රැල්ලට හසු නො වී උඩුගං බලා දරුවා පිහිනීම සඳහා පුරුදු කිරීමට අම්මාට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඒක අම්මාගේ යුතුකම. හැමදාම බුදුන් වැඳලා, මව්පියන්ට නමස්කාර කරලා නින්දට යන දරුවෙක් හදාගන්න පුළුවන් නම් ඒක උතුම්.

අපි ජීවත්වෙන්නේ සදාචාර සම්පන්න, ගුණධර්මවලින් පෝෂිත ඉතිහාසයක් තිබෙන ධර්මදීපයක. ඒ නිසා දරුවන් සුමගට ගැනීම එතරම් අපහසු නැහැ. නිවසේ පරිසරය තමයි එයට බොහෝ විට බලපාන්නේ. ධාර්මික පරිසරයක ජීවත්වෙන, හැදෙන වැඩෙන දරුවා කවදාවත් ම රූපවාහිනියක් ඉල්ලා අඬන්නේ නැහැ.

ඒ නිසා අම්මා පෝයට සිල් සමාදන් වෙනවා නම්, නිතර ම දන් දෙනවා නම්, ඉඩ ලැබෙන අවස්ථාවට හෝ ධර්ම දේශනාවක් අසනවා නම්, ඒ අනුව හැඩ ගැසෙනවා නම් ඒ පසුපස්සේ එන දරුවන් නිකම් ම හැඩ ගැසෙනවා. ආදර්ශය තමයි නිතර ම උතුම් වෙන්නේ.

දරුවා හොඳින් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුණත්, ඉංජිනේරුවෙක් වුණත්, වෙනත් ඉහළ රැකියාවක් කළත් දරුවා සත්පුරුෂයෙක් නො වේ නම් ඒ අම්මාට තාත්තාට විඳවන්න වෙන දවසක් උදාවෙනවා. ඒ නිසා දරුවා පළමු පියවර සත්පුරුෂයෙක් කොට දෙවැනි පියවර ඉගෙනීමට තබනවා නම් ඒ අම්මාට තාත්තාට කවදාවත් අඬන්න වෙන්නේ නැහැ. එනිසා ඔබත් තරගයකට දරුවා හුරු නොකොට යම් ගුණයකට හුරු කරන්න උත්සාහ කරන්න.”

සාකච්ඡා සටහන – නයනා නිල්මිණි