හිරු මඬලක් සෙයින්, සඳ මඬලක් සෙයින් සසුනඹර ආලෝකමත් කළ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ

අපට ශාස්තෘන් වහන්සේ නමක් ඇත…

සියලු ශ්‍රී සම්බුද්ධ ගුණයන්ගෙන් යුතුව තුන්ලෝකාග්‍ර බවට පත්, පංච නේත්‍රයෙන් යුක්ත වූ, අසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ පන්සාළිස් වසක් පුරා දහම් අමා වර්ෂාවෙන් තුන්ලොව සනසා සියලු බුද්ධකෘත්‍යය මැනැවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයෙහි මලින් පිරී ගිය යමක සල්රුක් අතරේ පිරිනිවන පිණිස පැනවූ සයනයේ සැතැපී වැඩ හිදිමින් මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්ද, ඔබට මෙබඳු අදහසක් ඇතිවෙන්නට පුළුවනි. ‘දැන් අපගේ මේ ශ්‍රී සද්ධර්මය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේ නමකගේ ය. අප හට අදින් පසු ශාස්තෘන් වහන්සේ නැත්තේ ය’ කියා. ආනන්දය, එය එලෙසින් නොදැක්ක යුතුය. ආනන්දය, යම් ධර්මයක් මා විසින් දේශනා කරන ලද්දේ ද, යම් විනයක් පණවන ලද්දේ ද, අදින් පසු ඔබට ශාස්තෘවරයාණන් වන්නේ ඒ ධර්මයත් විනයත් ය.”

ඒ ධර්ම විනය නම් වූ පූජනීය ශාස්තෘවරයාණන්ව මුග්ධ වූ අධම වූ හිස් පුරුෂයෝ තම හිතුමනාපයට කටයුතු කරන්නට ගොස් කෙලෙසන්නට වුණා. ඒ සෑම අවස්ථාවක ම අධර්මය මැඬ ධර්ම විනය ඉස්මතු කරවන මහා පුරුෂෝත්තම ශ්‍රාවක රත්නයන් පහළ වී වදාළා.

ථේරවාදය

අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී චිතකයේ උණුසුම යාමටත් මත්තෙන් සුභද්‍ර නම් මුග්ධ චීවරධාරියාගේ අභද්‍ර වචනයෙන් සංවේගයට පත් මහා කස්සප මහරහතන් වහන්සේ මහා රහතුන් එක්කොට සංගායනාවක් සිදු කරනු ලැබුවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සතරවෙනි මාසයේ සිදුකළ මේ ප්‍රථම ධර්ම සංගායනාවට කියන්නේ ‘ථේරියා’ කියලයි. එහි අදහස තෙරුන් වහන්සේලාගේ දෙය කියන එකයි.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වෙන තුරුම පිරිසිදු ථේරවාදය පමණයි තිබුණේ. එහෙත් දස අකැප වස්තූන් නිසා හට ගත් අර්බුදය සංසිඳුවමින් කළ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ අන්‍ය ආචාර්යවාද රාශියක් හට ගත්තා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයක් ගත වන විට ථේරවාදයෙන් වෙන් වූ ප්‍රධාන ආචාර්යවාදයන් දාහතක් හටගෙන තිබුණා. ඊට අමතරව සුළු සුළු බෙදීම් රාශියක් ම හටගත්තා.

අනාගතේ සසුනට කුමක් වේවි ද?

දෙවැනි ධර්ම සංගායනාව සිදුකළ සබ්බකාමී සහ යස යන මහරහතන් වහන්සේ දෙනම ප්‍රධාන මහරහතන් වහන්සේලා අනාගතය ගැන විමසා බැලුවා. අනාගතයේ නානාලබ්ධීන් ගත් උදවිය පැවිදි වී මේ ශාසනයේ මහා ආරවුලක් හදනා බව ඒ ඉර්ධි වශීප්‍රාප්ත මහ තෙරුන් වහන්සේලාට දැක ගන්න ලැබුණා. ඒ උපද්‍රවය වෙනුවෙන් මැදිහත් වී ශාසනය බේරාගැනීමේ කටයුත්තට උරදෙන්නට හැක්කේ කවර කෙනෙකුට ද කියා ඒ රහතන් වහන්සේලා විමසා බැලුවා. සකල කාම ලෝකයේ ම එබඳු කටයුත්තකට බල පරාක්‍රම ඇති පුණ්‍ය තේජස් ඇති දෙවියෙක් සිටියේ නැහැ. නමුත් මහා පුණ්‍ය තේජස් ඇතිව බ්‍රහ්ම ලෝකයේ සිටින තිස්ස නම් බ්‍රහ්මරාජයා දැන් ගෙවී ගිය ආයුෂ ඇතිව සිටිනා බව උන්වහන්සේලා දුටුවා.

සසුන රකින පින්වතෙක් සිටින්නේ…

පශ්චිම ජනයා කෙරෙහි අනුකම්පා ඇති ඒ රහතන් වහන්සේලා ඒ බ්‍රහ්ම ලෝකයට වැඩම කොට තිස්ස බ්‍රහ්මරාජයාට මෙසේ වදාළා.

“මහා පුණ්‍ය තේජස්වී තිස්ස බ්‍රහ්මරාජය, ධර්ම විනය වූ කලී ශ්‍රාවක අපගේ පරමෝත්තම ශාස්තෘවරයාණෝ බව තෙපි දන්නාහු ය. දැන් නම් ඊට කිසි උපද්‍රවයෙක් නැත්තේ ය. එනමුත් නානාලබ්ධීන්ට රුචි මුග්ධයෝ සිවුරු පොරවාගෙන අනාගත සසුන කෙළෙසන්නාහුය. ඒ උපද්‍රවයේ දී මැදිහත් වී අප ශාස්තෘන් වහන්සේගේ ධර්ම විනය සුරැකීමේ බලපරාක්‍රමයත්, පුණ්‍ය තේජසත් තොපට ඇති බැව් අප දනිමු. එනිසා ධර්ම විනය සුරකිනු පිණිස තොප ප්‍රතිඥා දිය යුතුය.”

ගෞතම සසුන බබුළුවනවා කියන කාරණයට තිස්ස බ්‍රහ්මයාගේ සිත අතිශයින් ම සතුටු වුණා. තමන් ඒ සඳහා මැදිහත් වන බවට ඒ රහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥා දුන්නා. තිස්ස බ්‍රහ්මයාගේ ප්‍රතිඥාව ලබාගත් ඒ රහතන් වහන්සේලා මීළඟට වැඩම කළේ සිග්ගව සහ චණ්ඩවජ්ජී යන තරුණ භික්ෂූන් වහන්සේලා සමීපයටයි.

මේ දෙනම වහන්සේලා අපගේ උපාලි මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පැවත එන මහා පින්වතුන් වහන්සේලා දෙනමක්. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් ස්ථවිර නමක් වැඩ සිටියා. ඒ දාසක ස්ථවිරයන්ට සෝණ නමින් ශිෂ්‍යයෙක් සිටියා. ඔය සෝණ තෙරුන් සමීපයේ ශිෂ්‍යයන් ලෙස ඒ වෙද්දී වයස අවුරුදු දහඅටක් වූ මේ සිග්ගව සහ චණ්ඩවජ්ජි කියන දෙනම වහන්සේ පැවිදි වුණා. මනා නුවණැති මේ තරුණ භික්ෂූන් දෙනම පැවිදි උපසම්පදාවෙන් ටික කලක් ගත වෙද්දී ම අභිඥාවන් සහිතව අරහත්වයට පත් වී වදාළා.

ඇවැත්නී, ඔබලා දඬුවම් ලැබුමට සුදුසුයි…

මේ පටිසම්භිදාලාභී අරහත් දෙනම වහන්සේලා කරා පැමිණි දෙවැනි ධර්ම සංගායනාව සිදුකළ රහතන් වහන්සේලා මෙසේ පැවසුවා.

“ඇවැත්නී, ඔබ දෙනම දෙවැනි ධර්ම සංගායනාවේ දී ඊට සහභාගී වෙමින් සහයෝගය දැක්වූයේ නෑ. එනිසා ඔබලා දඬුවමට සුදුසු යි. අපි ඔබලාට දඬුවමක් සිදු කරනවා. තව අවුරුදු එකසිය දහ අටකට පස්සේ ගෞතම ශාසනයට මහා උපද්‍රවයක් ඇති වෙනවා. ඒ වෙද්දී එය සංසිඳුවන්නට අප ජීවතුන් අතර සිටින්නේ නැහැ. ඒ ශාසනික අර්බුදය සංසිඳවිය හැකි මහා ප්‍රඥාවකින් යුතු තිස්ස නම් බ්‍රහ්මරාජයා නුදුරු දිනයක ම මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසේ පිළිසිඳ ගන්නවා. එතකොට ඔය දෙනමගෙන් එක නමක් සුදුසු කාලයේ දී ඒ පින්වන්තයාව පැවිදි කරන්ට ඕන. අනිත් නම ඉතා යහපත් ලෙස ශ්‍රී මුඛ බුද්ධ වචනය තිස්සයන් හට උගන්වන්ට ඕන.”

‘මෙතැනින් යන්න’ කිය වචනේ ලැබුණා…

ඒ වචනය හිස් මුදුනින් පිළිගත් ඒ රහතන් වහන්සේලා දෙනම කල් බලමින් වැඩ සිටියා. ඒ මහා පින් ඇති තිස්ස බ්‍රහ්මරාජයා මොග්ගලී බැමිණියගේ කුස පිළිසඳ ගත් බව සිග්ගව මහරහතන් වහන්සේ දැන ගත්තා. එදා පටන් උන්වහන්සේ නොකඩවාම අවුරුදු හතක් ඒ නිවසට පිණ්ඩපාතය පිණිස වැඩම කොට වදාළා. බ්‍රාහ්මණ නිවසක් වූ එහිදී පිණ්ඩපාතයක් තබා මෙතැනින් යන්න කියන වචනේවත් උන්වහන්සේට ලැබුණේ නෑ. එහෙත් සත්වෙනි අවුරුද්දේ දවසක ඒ නිවසෙන් ‘මෙතැනින් යන්න’ කියන වචනය ලැබුණා.

එදා මොග්ගලී බමුණා කිසියම් කටයුත්තකට නිවසෙන් බැහැර වෙලයි සිටියේ. සිග්ගව තෙරුන් වහන්සේට අතරමඟදී මොග්ගලී බ්‍රාහ්මණයාව හමු වුණා.

“කිම? අපගේ නිවසෙන් ඔබට කිසිවක් ලැබුනා දැ” යි බ්‍රාහ්මණයා තෙරුන් වහන්සේගෙන් විමසුවා. “එසේය බ්‍රාහ්මණය” කියා උන්වහන්සේ පිළිතුරු දී වැඩම කළා.

තමා නැති මොහොතේ අර මුඩු ශ්‍රමණයා හට තෙපි මොනවා හෝ මේ නිවසෙන් දුන්නා ද කියා මොග්ගලී බමුණා නිවැසියන්ගෙන් විමසුවා. කිසිවක් ම නොදුන් බව දැන පසුදින පිඬු පිණිස වැඩිය විට තෙරුන් වහන්සේට බොරු කීම ගැන ගරහන බලාපොරොත්තුවෙන් සූදානම්ව සිටියා.

මේ ශ්‍රමණයෝ සුළු දෙයකිනුත් තුටු වෙනවා නොවැ…

දෙවෙනි දවසේත් සිග්ගව තෙරුන් වහන්සේ ඒ නිවසට පිණ්ඩපාතය පිණිස වැඩම කළා. මොග්ගලී බ්‍රාහ්මණයා තම නිවසින් කිසිවක් නොලැබීත් ලැබුණා කියා බොරු කිව් බවට චෝදනා කළා.

“පින්වත් බ්‍රාහ්මණය, මේ නිවසට මම සත් අවුරුද්දක් පිඬු පිණිස වැඩම කළත් ‘මෙතැනින් යන්න’ කියන වචනයවත් මට ලැබුණේ නෑ. එහෙත් පෙර දිනයේ මට ‘මෙතැනින් යන්න’ කියන වචනය ලැබුණා. කිසිවක් ලැබුණා කියා මා පැවසුවේ ඒ නිසයි” කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා.

‘මේ ශ්‍රමණයෝ මෙබඳු සුළු දෙයකුත් ලැබ තුටු වෙනවා නොවැ. නිහතමානී ගුණ බබලනවා නොවැ.’ කියලා මොග්ගලී බ්‍රාහ්මණයා හරීයට පැහැදුණා. එදා තමා උදෙසා ම සකස් කළ ආහාරයෙන් පිණ්ඩපාතය පූජා කළා. දිනපතා ම තම නිවසේ උන්වහන්සේ වෙනුවෙන් පිණ්ඩපාත දානය දෙන්ට පටන් ගත්තා.

විශේෂ අසුන…

ඔය විදියට කාලය ගත වෙද්දී තිස්ස කුමාරයා වයසින් මෝරා දහසය වියැති තරුණයෙක් බවට පත් ව සිටියා. ඔහු ත්‍රිවේදය පරතෙරට ම ඉගෙන සිටියා. සිග්ගව තෙරුන් වහන්සේ දැන් කුමාරයා පැවිදි කිරීමට සුදුසු කාලය බව දැන ගත්තා. එදා උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස නිවසට වඩිද්දී නිවසේ ඇති සියලු හිඳගන්නා අසුන් නොපෙනී යන පරිදි ඉර්ධියක් සිදුකළා. පෙනෙන්ට තිබුණේ තිස්ස කුමාරයා හිඳගන්නා විශේෂ අසුන විතරයි.

බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි කෙනෙක් නිසා කුඩා කළ පටන් ම තිස්ස කුමාරයා පිරිසිදු බවට ප්‍රියයි. ඒ නිසා තමාට වෙන ම අසුනක් නිවසේ වෙන් කරගෙනයි සිටියේ. ඒ අසුනේ මොග්ගලී බ්‍රාහ්මණයාවත් හිඳගන්නේ නැහැ. කුමාරයා නිවසේ නැති විට ඒ අසුන වෙන ම පිරුවටයකින් වහලා එල්ලා තබනවා. තෙරුන් වහන්සේගේ ඉර්ධිය නිසා නිවැසියන් පෙනෙන්ට තිබූ ඒ ආසනේ ම උන්වහන්සේ වෙනුවෙන් පිළියෙල කළා. ඒ වෙලාවේ තිස්ස කුමාරයා නිවසට පැමිණුනා. තමන්ගේ ආසනේ තෙරුන් වහන්සේ වාඩි වූ බව දැක නොසතුටු වචන පිට කළා.

ඒ මන්ත්‍රය මටත් දෙනවා ද?

සිග්ගව තෙරුන් කිපුණු කුමාරයාගෙන් ‘මානවකය, කිම? තොප මන්ත්‍ර දන්නේ දැ’යි අසා සිටියා. තම උගත්කම නිසා කුමාරයාත් ‘කිම? ඔබ වහන්සේ මන්ත්‍ර දන්නේ දැ’ යි පෙරළා ඇසුවා. සිග්ගව තෙරුන් ගිහි කාලයේ ත්‍රිවේදයේ පරතෙරට ම ගිහිල්ලයි හිටියේ. ‘මමත් මන්ත්‍ර දන්නවා’ කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට තිස්ස කුමාරයා වේදයේ තිබෙන ගැටමුසු තැන්වලින් ප්‍රශ්න කරන්ට වුණා. සතර පටිසම්භිදාලාභී සිග්ගව තෙරණුවෝ ඒ සියල්ලක් ම හො`දාකාරව ම විසඳනු ලැබුවා. කුමාරයාගේ ප්‍රශ්න විස`දා අවසානයේ තෙරුන් වහන්සේ කුමාරයාට යමකප්‍රකරණයේ චිත්ත යමකයේ එන පැණයක් ඉදිරිපත් කළා.

යස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති
තස්ස චිත්තං නිරුජ්ඣිස්සති, න උප්පජ්ජිස්සති
යස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති, න උප්පජ්ජිස්සති
තස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී’ති.

“යම් රහතන් වහන්සේ නමකගේ සිත උපදී ද, එය නිරුද්ධ වෙන අවස්ථාවට පත් නොවී තිබෙන නිසා නිරුද්ධ නොවේය. නිරුද්ධ වෙන අවස්ථාවට පැමිණි විට යළි අනාගතයට සිතක් පහළ නොවන හෙයින් නූපදින්නේය. අනාගත අවස්ථාවේ නූපදින හෙයින් අනාගතයේ නිරුද්ධ වන්නට සිතක් නැත්තේය. එනිසා අනාගතයෙහි ඒ රහතන් වහන්සේට සිතක් නූපදින්නේය. නිරුද්ධ ද නොවන්නේ ය.”

මේ ප්‍රශ්නය ඇසූ විට තිස්ස කුමාරයාට කිසිවක් හිතා ගන්නවත් බැරුව ගියා. තමා උගත් යැයි තිබූ මාන්නය සිඳී ගියා. “භික්ෂුව, ඒ මන්ත්‍රය කුමක් ද?” කියා කුමාරයා විමසුවා.

“කුමාරයෙනි, එය බුද්ධ මන්ත්‍රයක්.”

“භික්ෂුවට පුළුවනි ද මා හටත් ඒ මන්ත්‍රය ලබා දෙන්නට?”

“අප වගේම වුණෝතින් ඒ මන්ත්‍රය ලබා ගන්ට පුළුවනි.” කියන වචනයෙන් සිග්ගව තෙරුන් වහන්සේ කුමාරයාගේ සිතේ පැවිදි බවට කැමැත්ත ඇති කළා. මන්ත්‍රය ඉගෙන ගන්නා අදහසින් මේ පින්වන්ත කුමාරයා මව්පියන්ගේ අවසර ලබාගෙන සිග්ගව තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වුණා.

තිස්ස භික්ෂුවගේ අරහත්වය…

සිග්ගව තෙරුන් වහන්සේ තිස්ස සාමණේරයන් හට මුල් කර්මස්ථානය ලෙස අසුභ කර්මස්ථානය කියා දුන්නා. දිගටම දෙතිස් කුණුප භාවනාව සිදු කරද්දී මහානුවණැති තිස්ස සාමණේරයෝ ටික කලකින් ම සෝවාන් ඵලයට පත් වුණා. තම ශිෂ්‍ය නම සෝවාන් වූ බව දැන සිග්ගව තෙරුන් වහන්සේ වැඩිදුර උගැනීම පිණිස තිස්ස සාමණේරයන්ව චණ්ඩවජ්ජී තෙරුන් සමීපයට පිටත් කළා. චණ්ඩවජ්ජී තෙරණුවෝ සූත්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් තිස්ස සාමණේරයන් හට මැනැවින් ප්‍රගුණ කරවනු ලැබුවා.

සිග්ගව තෙරුන් වහන්සේ තිස්ස සාමණේරයන් උපසම්පදා කරවා විනය පිටකය මැනැවින් උගන්වා, තුන් පිටකයේ ම හොඳින් ප්‍රගුණ කරවනු ලැබුවා. මෙසේ ත්‍රිපිටකධාරී බවට පත් ඒ තරුණ භික්ෂුව විදර්ශනා භාවනාව දියුණු කොට නොබෝ කලෙකින්ම අභිඥා සයකින් යුත් අර්හත්වය සාක්ෂාත් කළා. මහා නුවණැති ඒ තෙරණුවෝ මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන් නමින් එකල දෙව්මිනිසුන් අතරේ ප්‍රකට වුණා. ඒ පිළිබඳ මහාවංශය පවසන්නේ මේ අයුරින්.

අතීව පාකටෝ ආසි – චන්දෝ’ව සුරියෝ’ව සෝ
ලෝකෝ තස්ස වචෝ’මඤ්ඤී – සම්බුද්ධස්ස වචෝ විය

‘ඒ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සඳ මඬලක් සෙයින්, හිරු මඬලක් සෙයින් අතිශයින් ම ප්‍රසිද්ධියට පත්වුනා. ලෝකයා උන්වහන්සේගේ වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයක් ලෙසින් මහත් හරසරින් පිළිගත්තා.’

ධර්මාශෝක අධිරාජයා…

ඔය අයුරින් අපගේ මහතෙරුන් වහන්සේ ඉතා ප්‍රකටව සම්බුදු සසුන් කෙත බබුළුවන සමයේ අහසේත් අණසක ඇතිව, පොළොවේ ද යොදුනක් අණසක ඇතිව, මහා පුණ්‍ය ඉර්ධීන්ගෙන් යුතුව දඹදිව ඒකච්ඡත්‍ර කළ අශෝක නම් මහාරාජයා නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේගෙන් බණ අසා සම්බුදු සසුනේ පහන් සිත් ඇත්තෙක් වුණා. දිනපතා භික්ෂූන් හැටදහසක් මාළිගයට වැඩම කරවා දන්පැන් පුදන්නෙක් වුණා. මේ රජතෙම ඉතා ගෞරවයෙන් අපගේ මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන්ව ඇසුරු කළා. රජුගේ මළණුවන් වූ යුවරාජ තිස්සයන් පැවිද්දට අවසර ඉල්ලද්දී රජු මහා පෙරහරින් විහාරයට ගෙන ගොස් ඔහුව සම්බුදු සසුනේ පැවිද්ද පිණිස භාර කළා.

දිනක් අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය අසූහාරදහසක් බව ඇසූ අශෝක මහාරාජයා තමන් ඒ වෙනුවෙන් දඹදිව් තලයේ අසූහාරදහසක් විහාර කර්මාන්ත කරවන බවට මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් හට ප්‍රතිඥා දුන්නා. ඔය විදියට අශෝක රජු ධර්මාශෝක බවට පත් වුනා.

ලෝක විවරණ මහා පෙළහර…

ඒ අසූහාරදහසක් විහාර කර්මාන්තයන් තුන් අවුරුද්දකින් ම අවසන් වුනා. මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් ප්‍රධාන මහා සඟරුවනත්, භික්ෂුණීනුත් එක්ව අසූ කෝටියක් මහාසංඝයා වහන්සේ රජුගේ මේ විහාර පූජා පින්කමට අශෝකාරාමයට එක් වුනා. එහි රැස්වූ ක්ෂීණාස්‍රවයන් වහන්සේලා රජු හට සම්බුදු සසුනේ චිත්තප්‍රසාදය දියුණු කරවන අදහසින් ලෝක විවරණ නමින් මහා පෙළහරක් සිදුකළා. ඒ නිසා රජු එක ම මණ්ඩපයක හිඳ දඹදිව පිහිටි අසූහාරදහසක් විහාර පූජාවන් සියැසින් ම දැක ගත්තා.

අතිශයින් ම සතුටට පත් රජු අපගේ මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් වහන්සේගෙන් “ස්වාමීනී, මේ සුගත ශාසනයෙහි පරිත්‍යාගයන් සිදුකළ අය අතරේ අග්‍ර කවුරුන් ද?” කියා අසා සිටියා.

“මහරජ්ජුරුවෙනි, අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීවත් ඔබට සමාන වූ ත්‍යාගවන්තයෙක් බුදුසසුනේ සිටියේ නෑ.”

“එසේ වී නම් ස්වාමීනී, මා වැනි කෙනෙක් මේ බුදුසසුන් දායාදය ලැබුවෙක් නොවේද?”

එතකොට මහා නුවණැති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුගේ පුත්‍රරත්නය වූ මිහිඳු කුමරුගේත්, දියණී වූ සංඝමිත්තාවගේත් මහා පුණ්‍ය තේජානුභාවය දැක ඒ පැණයට මෙසේ පිළිතුරු දුන්නා.

මහරජ්ජුරුවෙනි, ඔබ මහා ත්‍යාගවන්තයෙක් වුනත් බුදුසසුන් දායාදය ලැබූවෙක් නම් නොවේ. ඔබ සිවුපසය පුදන දායකයෙක් පමණයි. නමුත් යමෙක් තම පුතු හෝ දියණිය බුදු සසුනේ පැවිදි කරවනවා නම් මේ සසුන් දායාදය ලැබූ කෙනා වන්නේ ඔහුයි.”

මේ වචනය නිසා රජුට සම්බුද්ධ ශාසන දායාදයට හිමිකරු වීමේ ආසාව උපන්නා. ඒ නිසාවෙන් ම මහා පින්ඇති මිහිඳු කුමරුටත්, දියණී සංඝමිත්තාවන්ටත් පිය රජුගේ කැමැත්තෙන් පැවිදි වීමේ අවස්ථාව උදා වුණා. පසුකලෙක ඒ සංඝමිත්තා භික්ෂුණිය සඳරේඛාවක් සෙයින්, මහා මහින්ද භික්ෂුව සූර්ය මණ්ඩලයක් සෙයින් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය නම් ගගන තලයේ සෝභමානව වැඩ සිටියා. අප ලක්දෙරණට අනුබුදුවරයාණන් වහන්සේ වූ ඒ මහා මහින්ද තෙරුන් හට තුන්පිටකය ප්‍රගුණ කර වූ පරම පූජනීය උපාධ්‍යායෝත්තමයාණන් වහන්සේ වුණේ අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ම යි.

අප ශාස්තෘවර ගෞතම බුදුරජුන් විසින් දායාද කළ, සියලු සන්තාපයන් නිවා සැනසීම ඇති කරවන සොඳුරු ධර්මය සුරැකීම පිණිස මේ පුරුෂෝත්තම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ කළ මෙහෙවර මෙබඳු කෙටි දහම්ලිපි ගතකට කෙසේ නම් ගොනු කරන්න ද… ඒ මහා මෙහෙවර මීළඟ මහාමේඝ කලාපයේ පළ වී ඔබේ සිත්සතන් තෙමා සනසනු ඇත.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි