එහි කෙලෙසී යාම ගැන විග්‍රහ කෙරෙන සූත්‍රය කුමක් ද?

“මිද්ධී යදා හෝති මහග්ඝසෝ ච
නිද්දායිතා සම්පරිවත්තසායී
මහාවරාහෝ ව නිවාප පුට්ඨෝ
පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ’ති”

(ධම්ම පදය – නාග වර්ගය)

‘යම් කලෙක පුද්ගලයෙක් නිදිමතින් යුක්ත වූයේ ත්, බොහෝ කොට අනුභව කරන්නේ, හිඳින සිටින තැනෙහි නිදනසුළු වූයේ, ඒ මේ අත පෙරලෙමින් නිදන්නේ ත් වෙයි ද, ඌරු කොටුවක හොඳින් කා තර වූ ඌරෙකු සෙයින් ඒ අඥාන තෙමේ නැවත නැවත ත් මව්කුසකට ම යයි.’

මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“චෝරෝ යථා සන්ධිමුඛේ ගහීතෝ
සකම්මුනා හඤ්ඤතේ බජ්ඣතේ ච
ඒවං අයං පෙච්ච පජා පරත්ථ
සකම්මුනා හඤ්ඤතේ බජ්ඣතේ චා’ති”

(මජ්ඣිම නිකාය – රට්ඨපාල සූත්‍රය)

‘ගෙවල් අතර සන්ධියෙහි සිටිය දී අල්ලා ගන්නා ලද සොරෙක් තමන්ගේ සොරකම හේතුවෙන් ම දඬුවමින් පෙළනු ලබන්නේ, සිරගෙයි බඳිනු ලබන්නේ යම් සේ ද, එසෙයින් ම මේ සත්ව ප්‍රජාව මිය පරලොව ගිය විට තම තමන්ගේ පාප කර්ම හේතුවෙන් අපා උපතින් පෙළනු ලැබෙයි. දැඩි දුක්වල බඳිනු ලැබෙයි.’

මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“ගුන්නං චේ තරමානානං
ජිම්හං ගච්ඡති පුංගවෝ
සබ්බා තා ජිම්හං ගච්ඡන්ති
නෙත්තේ ජිම්හගතේ සති”

‘ඉදින් නදියෙන් එතෙර වෙන ගවයන් අතුරින් ප්‍රධාන ගවයා ඇදයට යයි ද, නායක ගවයා එසේ ඇදයට ගිය කල්හී ඒ සියළු ගවදෙන්නු ඇදයට යති.’

“ඒවමේවං මනුස්සේසු – යෝ හෝති සෙට්ඨ සම්මතෝ
සෝ චේ අධම්මං චරති – පගේව ඉතරා පජා
සබ්බං රට්ඨං දුඛං සේති – රාජා චේ හෝති අධම්මිකෝ’ති”

(අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය – අධම්මික සූත්‍රය)

‘එසෙයින් ම මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ යැයි සම්මත යමෙක් වෙයි ද, ඉදින් ඔහු අධර්මයෙහි හැසිරෙයි නම්, අනෙක් ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජු අධාර්මික වෙයි නම්, මුළු රට ම දුක සේ වෙසෙයි.’
මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“ඵලං වේ කදලිං හන්ති – ඵලං වේළුං ඵලං නළං
සක්කාරෝ කාපුරිසං හන්ති – ගබ්භෝ අස්සතරිං යථා’ති”

(අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය – දේවදත්ත සූත්‍රය)

‘ඵලය හටගැනීමෙන් පසු ව ගසෙහි දළු කොළ නොහට ගන්නා හෙයින් ඒ හටගත් ඵලය ඒකාන්තයෙන් කෙසෙල් ගස වනසයි. හටගත් ඵලය උණගස ත් වනසයි. හටගත් ඵලය බටගස ත් වනසයි. කොටළුවාට දාව අශ්ව ධේනුවගෙන් උපන් අශ්වතරිය නම් වූ වෙළඹ එක් වරක් ගැබ්ගැනීමෙන් මිය යන හෙයින් ඇගේ ගර්භය ඈ මරයි. එසෙයින් ම හටගන්නා ලාභ සත්කාරය අසත්පුරුෂයා වනසයි.’

මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“කෝධමක්ඛගරු භික්ඛු – ලාභසක්කාර කාරණා
සුඛෙත්තේ පූති බීජං ව – සද්ධම්මස්මිං න රූහතී’ති”

‘ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කාරණය කොට භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත ව අනුන්ගේ ගුණ මකාදැමීම ප්‍රධාන කොට වාසය කරයි ද, ඔහු සාරවත් කුඹුරක වපුරන ලද කුණු වූ බීජයක් වැන්න. සද්ධර්මය තුළ ගුණධර්මයන්ගෙන් නොවැඩෙයි.’

මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“මහණෙනි, මම මෙහි ඉතා දූෂිත සිත් ඇති පුද්ගලයෙකු පිළිබඳ ව මගේ සිතින් ඔහුගේ සිත මෙසේ පිරිසිඳ දනිමි. ‘මේ පුද්ගලයා ඉරියව් පවත්වන්නේ යම් සේ ද, පිළිවෙතකට පිළිපන්නේ යම් සේ ද, මාර්ගයකට ගොඩවූයේ යම් සේ ද, මොහු මේ අවස්ථාවෙහි මරණයට පත්වන්නේ නම්, හිසෙන් ඔසොවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරින් ද, එසෙයින් ම නරකයෙහි උපදියි.’ එයට හේතුව කුමක් ද යත්; ඔහුගේ සිත ම ඉතා දූෂිත ව ඇති නිසා ය. මෙසේ මෙහි ඇතැම් සත්වයෝ සිත දූෂිත වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදිති.”

භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළ සේක. ඒ අර්ථය මෙසේ ත් කියනු ලැබේ.

“පදුට්ඨචිත්තං ඤත්වාන – ඒකච්චං ඉධ පුග්ගලං
ඒතමත්ථං වියාකාසී – බුද්ධෝ භික්ඛූන සන්තිකේ

‘මෙහි ඇතැම් පුද්ගලයෙකු ඉතා දූෂිත සිතින් යුතුව සිටිනා බව දැනගත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් හට මෙකරුණ වදාළ සේක.

ඉමම්හිචායං සමයේ – කාලං කයිරාථ පුග්ගලෝ
නිරයස්මිං උපපජ්ජෙය්‍ය – චිත්තං හිස්ස පදූසිතං
චිත්තප්පදෝස හේතූහි – සත්තා ගච්ඡන්ති දුග්ගතිං

ඉදින් මේ පුද්ගලයා මේ අවස්ථාවෙහි මරණයට පත්වෙයි නම්, නිරයෙහි උපදින්නේ ය. ඔහුගේ සිත ඉතා දූෂිත ව ඇති නිසා ය. සිත දූෂිත වීම හේතුවෙන් ම සත්වයෝ නරකයෙහි උපදිති.

යථාභතං නික්ඛිපෙය්‍ය – ඒවමේව තථාවිධෝ
කායස්ස භේදා දුප්පඤ්ඤෝ – නිරයං සෝ උපපජ්ජතී’ති”

(ඉතිවුත්තක පාළි – පදුට්ඨපුග්ගල සූත්‍රය)

හිසින් ගෙන ආ බරක් බිම තබන්නේ යම් සේ ද, ඒ අයුරු ම ය. එබඳු ම ය. ඒ දුෂ්ප්‍රාඥ වූ පුද්ගලයා කය බිඳී යාමෙන් පසු නරකයෙහි උපදින්නේ ය.’

අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.

මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ යැයි මෙසේ මවිසින් අසන ලද්දේ ය.

මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

සචේ භායථ දුක්ඛස්ස – සචේ වෝ දුක්ඛමප්පියං
මා කත්ථ පාපකං කම්මං – ආවී වා යදි වා රහෝ

‘ඉදින් දුකට භය වහු නම්, ඉදින් ඔබට දුක අප්‍රිය නම්, එළිපිට වේවා, රහසේ වේවා පාප කර්මයක් නොකරවු.

සචේ ච පාපකං කම්මං – කරිස්සථ කරෝථ වා
න වෝ දුක්ඛා පමුත්ත්‍යත්ථි – උපෙච්චා’පි පලායත’න්ති”

(උදාන පාළි – කුමාරක සූත්‍රය)

ඉදින් මතුවට ත් පව් කරන්නහු නම්, දැනුත් පව් කරහු නම්, උඩට ඉගිලී පලා ගියත් ඔබට දුක් විපාකයෙන් නිදහස් වීමක් නැත්තේ ය.’
මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“පුරිසස්ස හි ජාතස්ස – කුඨාරි ජායතේ මුඛේ
යාය ඡින්දති අත්තානං – බාලෝ දුබ්භාසිතං භණන්ති”

(සුත්ත නිපාතය – කෝකාලික සූත්‍රය)

‘නපුරු වචන කියන අඥානයා යම් පාපී වචනයෙන් තමාගේ කුසල් මුල් නසා ගනියි ද, උපන් පුරුෂයාගේ කටෙහි ම නපුරු වචනය නැමැති කෙටේරිය ත් උපදියි.

න හි සත්ථං සුනිසිතං – විසං හලාහලං ඉව
ඒවං විරුද්ධං පාතේති – වාචා දුබ්භාසිතා යථා’ති”

(ජාතක පාළි – කෝකාලික ජාතකය)

යම් සේ ආර්යයන් වහන්සේලාට උපවාද පිණිස කියන ලද පාපී වචනය එය කියූ විරුද්ධ පුද්ගලයා ව ම නරකයෙහි හෙළයි ද, පානය කළ සැනින් මිය යන හලාහල විෂක් බඳු ඒ නපුරු වචනය බඳු හොඳින් මුවහත් කරන ලද වෙනත් ආයුධයක් නැත්තේ ය.’

මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

“යෝ නින්දියං පසංසති
තං වා නින්දති යෝ පසංසියෝ
විචිනාති මුඛේන සෝ කලිං
කලිනා තේන සුඛං න වින්දති

‘යමෙක් නින්දා කළ යුතු තැනැත්තාට ප්‍රශංසා කරයි ද, ප්‍රශංසා ලැබිය යුතු යමෙක් සිටියි නම්, ඔහුට නින්දා කරයි ද, ඒ තැනැත්තා කටෙන් පව් රැස් කරයි. ඒ අපරාධය හේතුවෙන් ඔහු සැපක් නොවිඳියි.

සතං සහස්සානං නිරබ්බුදානං
ඡත්තිංසති පඤ්ච ච අබ්බුදාති
යමරියගරහී නිරයං උපේති
වාචං මනඤ්ච පණිධාය පාපක’න්ති”

(සුත්ත නිපාතය – කෝකාලික සූත්‍රය)

ආර්යයන් වහන්සේලාට ගරහන්නෙක් පවිටු වූ වචනයත්, පවිටු වූ සිතත් පිහිටුවාගෙන යම් පදුම නම් වූ නිරයකට පැමිණෙයි ද, එහි ආයුෂ නිරබ්බුද වර්ෂ වලින් ලක්ෂයක් ද, තිස් හයක් ද, අබ්බුද වර්ෂ වලින් පහක් ද වෙයි.’
මෙය කෙලෙසීයාම ගැන විග්‍රහ කෙරෙන සංකිලේස භාගිය සූත්‍රය යි.

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලට පරිවර්තනය කරන ලද නෙත්තිප්ප්‍රකරණය ග්‍රන්ථයෙනි.