සඳලතා අවදි වූයේ අල්ලපු ගෙදරින් ඇසුණ රතිඤ්ඤා හඬිනි. රාත්‍රිය පුරාවට අල්ලපු ගෙදරට රැස්වූවන් වෙතින් නැගුණු සිනාසීම්, විහිළු තහළු කිරීම් ඉවසාගත නොහැකිව නොසන්සුන් බවට පත් වූ සඳලතාට නින්ද පැමිණියේ රාත්‍රී එළිවෙන යාමයේ දී ය.

වේලාව උදෑසන අටයි විස්සට ආසන්න ය. ‘ලේලිගේ නම්බුව ගෙනත් වෙන්නැති’ සඳලතාට සිතුණි. කෝපයත්, ශෝකයත් එකවර ඇගේ සියොලඟ ම වෙලා ගත්තේ ය.

‘අපේ එකීලා දෙන්නට ම බැරි වුණානේ මනමාලියෙක් වෙලා මේ ගෙදරින් යන්න. හිතුවක්කාරෙට ම හැදුනා. පැනලා ගියා’ සඳලතාගේ හදවත වේගවත් විය. උණුසුම් විය.

ඇඳෙන් නැගී සිටි ඇය නාන කාමරයට ගියා ය. පෙරදා පෙඟෙන්නට දැමූ ඇඳුම් තවමත් බේසමේ ය. ඇය ඒවා ඕනවට එපාවට පොඩි කරන්නට වූවා ය. කුණු නම් ඉවත් නො වූ බව සක්සුදක් සේ සඳලතා දැන සිටියා ය. කිසිවක් කරන්නට තරම් ප්‍රබෝධවත් බවක් නො වේ. ගත ද සිත ද එක සේ පීඩාවට පත්ව ඇත. ‘මාවත් මේ මිනිහ වගේ මැරිලා ගියා නම් මේ කිසි දුකක් නැහැ’ ඇයට සිය ස්වාමියාව ද සිහි විය.

උදෑසන එකොළහ වෙත්දී වත්තට හැරෙන හන්දිය දෙසින් මඟුල් බෙර හඬ නැඟිණි. “මුං මඟුල් බෙරත් ගහනවා” සඳලතා තමාට ම කියා ගත්තා ය. ඊ ළඟ නිමේෂයේ ඇය ගුවන් විදුලිය ක්‍රියාත්මක කරන්නට වූවා ය. එකක බණකි. ඕ වෙනකකට මාරු කළා ය. වෙළඳ දැන්වීම් පෙළකි. ඊ ළඟට දෙමළ සේවයකි. කන්කරච්චල් සිංදුවකි. ගුවන් විදුලියේ හඬ උපරිම වැඩි කළ සඳලතා කුස්සියට වී සිටියේ ඉමහත් නොසන්සුන් බවකිනි.

මඟුල් බෙර හඬ ළං වත් ම කුස්සියට වී සිටින්නට ඕ සමත් නො වූවා ය. වසා තිබූ ඉදිරිපස දොරේ වූ යතුර ඉවත් කළ සඳලතා මඟුල් පෙරහැර දෙස බලා සිටියේ යතුරු හිලෙනි. පැහැදිලි ම නැත. මනමාලි ලස්සන ය. ‘නෑ… ඒකි කැතයි.’ අන්තිමට ඕ තීරණය කොට සැනසුනා ය.

සඳලතා යතුරු හිල ගාව පාත් වුණ වාර ගණන මතක නැත. හවස් වෙත්දී වෙන්දේසි වත්තේ සියල්ලන් ම පාහේ මඟුල් ගෙදර යනු ඕ බලාගත්තේ එලෙසිනි. දැන් ඇගේ බෙල්ලත්, කොන්දත් දෙක ම රිදේ. අඳුර වැටී ඇති නිසා පාර මඳක් අපහැදිලි ය. ඒ නිසා ඇය නිවසේ දොර විවෘත කළා ය. දවසේ පළමු වතාවට නැවුම් වාතයක් ගෙතුළට පිවිසිනි.

“නංගියේ… මොකද මේ දොර වහගෙන? යනකොටත් අපි බල බල ගියේ. මඟුල් ගෙදර ගියේ නැතෙයි?”

සෝමා අක්කා අනාරාධනයෙන් ම ගෙතුළට පිවිසෙමින් ඇසුවාය. ඇගේ දිලිසෙන සාරි පොටේ මුනුබුරා ද එල්ලී ආවේ ය.

“මනමාලි ලස්සන ද?”

සඳලතා ප්‍රශ්නය මග හැර වෙනත් ප්‍රශ්නයක් ඇසුවා ය.

“ඔව්, කොල්ලට හොඳට ගැළපෙනවා. හොඳ පින් පාටයි.”

සෝමා අක්කගේ නොමසුරු වචනවලින් සඳලතා නොසන්සුන් වූවා ය.

“මමත් දැක්කා. මහත වැඩියි. මෙන්න බඩ. සෝමක්කා ලස්සනයි ඊට වඩා.”

සඳලතා දෑත් විදහා කීවේ පිළිකුළෙනි. සෝමා අක්කා කිසිත් නො කීවා ය.

“මොකක්ද පුතේ මනමාලිගේ නම?” සඳලතා දරුවාගේ හිස අතගෑවේ කටින් වචනය ගන්නට ය.

“රෝසි”

පිළිතුර දුන්නේ සෝමක්කා ය. සඳලතා එන විදිහ හොඳ නැති බව තේරුම් ගත්තාක් මෙන් සෝමක්කා දරුවත් ඇදගෙන ගෙදරින් එළියට බැස්සාය.

“යන්නම් නංගියේ. රෑ වුණා දන්නේ ම නැතිව.”

“හොඳා හොඳා. හදිස්සියක් වෙච්ච වෙලාවට එන්නකෝ.”

සඳලතා ඇද පැද කීවේ ඇනුම් පදයකි. සෝමක්කා හදිසියකට අතමාරුවක් කර ගන්නේ සඳලතාගෙනි. සඳලතාට රාත්‍රිය දහවලට වඩා අසීරු විය. සංගීත සාජ්ජය පාන්දර වෙන තුරු ම පැවතිණි. පිරිමින් නැටූහ. ගැහැනුන් ද ඊට දෙවෙනි නැත. එක ම කෝලහලයකි. එහෙත් ඊට වඩා කෝලාහලයක් සඳලතාගේ සිත තුළ විය. සක්වළ සියලු යක්කු භූතයෝ ඇගේ සිත තුළ ගුස්ති ඇල්ලූහ.

රාත්‍රිය පුරා ම නිදිවැරූ සඳලතා උදෑසන මල්ලත් රැගෙන කඬේ ගියා ය. පාන් ගෙඩියක් මිල දී ගත් ඕ වටපිට බලද්දී කඬේ ළඟ දමා ගොස් සිටි බලු පැටව් හතර දෙනා ව දුටුවාය.

“මුදලාලි මේන්…”

“ඒක නේන්නම් නංගියේ අසමජ්ජාතියෙකුගේ වැඩක්. දැන් ඉතිං වාහනවලට යට වෙයි. මයේ මොකෝ. මට පවක් නැති නිසා මං මේ ඉවසගෙන ඉන්නේ.”

බලු පැටව් සුදු ය. වඩාත් ම සුදු එකී බැල්ලියක් බව දුටු සඳලතාට අදහසක් පහළ විය.

“මම එකෙකුව අරන් යනවා.” සඳලතා බලු පැටික්කි ව වඩාගෙන ම ගියා ය.

දහවල් වෙද්දි මනමාලි මිදුලේ සිටිනු සඳලතා දුටුවා ය. වහා ගෙතුළට දිව ගිය ඕ බලු පැටික්කි ව කාමරයකට දමා දොර වසා මිදුලට පැන ගත්තා ය.

“රෝසී… රෝසී… උ`ජු… උ`ජු… කොහේ ගියා ද මේ බැල්ලී? අයියෝ මේ වල් බැල්ලියෙකු ව ගෙනත් මං කරගත්ත කරදරයක්. අවලමේ ගිය එකීට අවලමේ යන්න නො දී. රෝසී… වල් බැල්ලියේ මෙහෙට වර…”

සඳලතා යටැසින් අල්ලපු වත්ත දෙස බැලුවා ය. මනමාලි පෙනෙන්නට නැත. ඇගේ සිතේ උණුසුම් සතුටක් පිරී ඉතිරිණ. ඈ හඬ පෙරටත් වඩා උස් කළා ය.

“රෝසී… රෝසී… උ`ජු… උ`ජු… එළියට වරෙන් වල් බැල්ලියේ… උඹ කොහෙද හැංගුනේ බැල්ලියේ… අවලමේ ගියා ද බැල්ලියේ…”

අදට ඔය ඇතැයි කියා සඳලතාට සිතුණි. ගෙතුළට ගිය සඳලතා පිරී ඉතිරෙන සතුටින් කාමරේ දොර ඇරියා ය.

මුළු කාමරේ ම ඉවසිය නො හැකි තරම් දුගඳින් පිරී ඇත. රෝසි බලු පැටික්කිය කාමරේ මළපහ කර තිබුණි. එතෙක් සඳලතාගේ සිතෙහි වූ සතුට දැඩි කෝපයකට පෙරළිණි. සඳලතාගේ වේගවත් පා පහර වැදුන අසරණ සතා ඇඳ යටට ම වීසි වී බිත්තියේ හැපිණ. අසරණ රෝසිගේ ජීවිතය නිමා විය. ඇඳ යට වූ බිම් කොටසේ වැකුණු ලේ පැල්ලම මකා දමන්නට සඳලතාට බොහෝ වෙහෙස මහන්සි වන්නට සිදු වනු නොඅනුමාන ය.

සම්පාදනය – චනුක මෙතුම්