බුදු සසුනෙහි ධර්මයේ හැසිරීම කළයුතු ආකාරය ගැන අගනා විස්තරයක් මෙහි ඇත්තේය. නුවණැත්තෝ ප්‍රයෝජන ගනිත්වා!
1. ශ්‍රාවකයා හට සම්මා දිට්ඨිය ඉපදීම පිණිස හේතු දෙකක් ඇත්තේය. ප්‍රත්‍ය දෙකක් ඇත්තේය.
2. පළවෙනි හේතු ප්‍රත්‍යය – (පරතෝ ච ඝෝසෝ සච්චානුසන්ධි) අන්‍යයන්ගෙන් අසනු ලබන චතුරාර්ය සත්‍ය ප්‍රකාශනයෙන් යුතු ධර්මය යි.
3. දෙවෙනි හේතු ප්‍රත්‍යය – (අජ්ඣත්තං ච යෝනිසෝ මනසිකාරෝ) තමා තුළ පවත්නා නුවණ යොදා මෙනෙහි කිරීමේ හැකියාව ය.
4. එහි පරතෝ ඝෝෂය යනු කුමක් ද?
අන්‍යයන්ගෙන් අසනු ලබන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත යම් දේශනාවක් ඇද්ද, යම් අවවාදයක් ඇද්ද, යම් අනුශාසනාවක් ඇද්ද, යම් චතුරාර්ය සත්‍ය කථාවක් ඇද්ද, යම් චතුරාර්ය සත්‍යයට අනුකූල වූ ධර්මයක් ඇද්ද, එයයි.
ආර්ය සත්‍යයෝ සතරකි. එනම්; දුකත්, දුක් උපදවන හේතුවත්, දුක් උපදවන හේතූන්ගේ නිරෝධයත්, ඒ නිරෝධය සඳහා ඇති මාර්ගයත් ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව යම් දේශනාවක් ඇද්ද, යම් සැසඳීමක් ඇද්ද, යම් විස්තර කිරීමක් ඇද්ද, යම් බෙදා දැක්වීමක් ඇද්ද, යම් ප්‍රකට කිරීමක් ඇද්ද, යම් ප්‍රකාශ කිරීමක් ඇද්ද, මෙය සත්‍යානුලෝම වූ ඝෝෂය යැයි කියනු ලැබේ.
5. එහි තමා තුළ පවත්නා යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද?
චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කල්හි එයට සවන් දෙන කෙනා බාහිර වෙනත් අරමුණකට සිත නොයොදා ධර්මයෙහි පැවසෙන ආකාරයට නුවණ මෙහෙයවා මෙනෙහි කරයි ද, මෙය තමා තුළ පවත්නා යෝනිසෝ මනසිකාරය යැයි කියනු ලැබේ.
6. උපමාව; යම් පුරුෂයෙක් ගින්න උපදවා ගැනීම පිණිස වියළී ගිය දර කැබැල්ලක් ගෙන ගිනි ගානා දඬු තලයෙහි දිගටම නොනවත්වා අතුල්ලන විට ගින්න උපදියි. ඒ මක් නිසා ද යත්; ගින්න ඉපිදවීම පිණිස නුවණින් කළ යුත්තේ එය නිසා ය.
එසෙයින් ම දුකත්, දුක් උපදවන හේතුවත්, දුක් උපදවන හේතූන්ගේ නිරෝධයත් ඒ නිරෝධය සඳහා ඇති මාර්ගයත් පිළිබඳව විකෘති නොවූ ධර්ම දේශනාවක් මෙනෙහි කරයි ද, මෙය තමා තුළ පවත්නා යෝනිසෝ මනසිකාරය යැයි කියනු ලැබේ.
7. ඉතා වැදගත් කරුණකි; එහි අනුන් විසින් දේශනා කරනු ලබන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයෙහි අර්ථය නොදැන අර්ථය විඳින්නේය යන කරුණ සිදු නොවේ. අර්ථය නොවිඳ නුවණ යොදවා මෙනෙහි කරන්නේය යන කරුණ සිදු නොවේ.
එහි අනුන් විසින් දේශනා කරනු ලබන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයෙහි අර්ථය දැන අර්ථය විඳින්නේය යන කරුණ සිදු වේ. අර්ථය විඳ නුවණ යොදවා මෙනෙහි කරන්නේය යන කරුණ සිදු වේ.
කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ශ්‍රාවකයාට උපකාරී වන හේතුව මෙයයි. අරමුණ මෙයයි. උපාය මෙයයි. වෙනත් උපායක් නැත්තේය.
8. මෙය ද ඉතා වැදගත් ය; තමා විසින් අසන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය මතක තබාගත් විට, වචනයෙන් පුරුදු කරගත් විට, සිතින් විමසූ විට, දැක්ම පැහැදිලි කරගත් විට එහි අනුසස් පසක් ඇත්තේය.
මේ බුදු සසුනෙහි ඇතැමෙකු විසින් බොහෝ කොට ධර්මය අසන ලද්දේය (බහුස්සුතා). මතක තබාගන්නා ලද්දේය (ධතා). වචනයෙන් පුරුදු කරන ලද්දේය (වචසා පරිචිතා). මනසින් විමසන ලද්දේය (මනසානුපෙක්ඛිතා). දැක්ම පිරිසිදු කරගන්නා ලද්දේය (දිට්ඨියා සුප්පටිවිද්ධා).
ඒ තැනැත්තා එසේ ඇතිකරගත් ධර්මයෙහි යෙදෙමින් එයට ම උත්සාහවත් වෙමින් වීර්යය කරමින් සිටිනා විට මේ ජීවිතයේදී ම නිකෙලෙස් බවට පත්වෙයි. එසේ කරගන්නට නොහැකි වුවහොත් තමා ගිලන් වූ අවස්ථාවෙහි නිකෙලෙස් බවට පත්වෙයි. ගිලන් වූ අවස්ථාවෙහිත් විශේෂ අවබෝධයක් නොලැබුවහොත් මරණාසන්න අවස්ථාවෙහි විශේෂ අවබෝධයක් ලබයි. මරණාසන්න අවස්ථාවෙහි විශේෂ අවබෝධයක් නොලද හොත් දෙව්ලොව උපතට පැමිණෙයි. දෙව්ලොවදී විශේෂ අවබෝධයක් නොලැබුවහොත් ධර්මාවබෝධය කෙරෙහි තමා තුළ ඇති දැඩි ඇල්ම හේතුවෙන්, ධර්මාවබෝධය කෙරෙහි ඇති සතුට හේතුවෙන් පසේබුදු බවට පත්වෙයි.
– උපුටා ගැනීම
පේටකෝපදේසය.
Recent Comments