ලැබුණු විවේකය රසවත්ව ගත කරන්න කියලා හිතාගෙන රසවත් තේ කෝප්පයක් හදා ගත්තා. බිස්කට් පැකට් එකක් ළං කරගෙන ම පුටුවක වාඩි වුණා. ‘ම්… තේ එක නම් රසයි. ඒත් හිතට මොකක්දෝ පාළුවක් දැනෙනවා. ආ… සිංදුවක් ඇහුවා නම් පාළුව මැකෙනවානේ.’ රේඩියෝව ක්‍රියාත්මක වුනා. ෂා… මං ආසම සිංදුවක් යනවා. ඒ සිංදුව කී පාරක් ඇහුවත් ඇති වෙන්නේ නෑනේ. මං කැමති සිංදු කීපයක් ම තියෙනවානෙ. අනේ ඒවත් මේ වැඩසටහනේ දැම්මොත් ෂෝක්….’ මට එහෙමත් හිතුණා.
ඇත්තෙන්ම අපි කැමති ගීතයක් එක වරක් අසා සෑහීමකට පත් වෙන්නේ නෑ. ඒ ගීය නිතර නිතර අහන්නයි කැමති. අපිත් මුමුණ මුමුණ හරි ගීය ගයනවා.
ඒ විතරක් ද ගීත අහන එක පමණක් නො වේ. අපේ හිත ගිය ලස්සන දෙයක් දුටුවොත් අප එය නිතර පෙනෙන ලෙස ගෙනත් තබා ගන්නවා. කැමති ම සුවඳ නිතර නිතර විඳින්න ආසයි. ඒකට සාක්ෂියි කණ්ණාඩි මේසේ උඩ තියෙන සුවඳ විළවුන් බෝතලය. “අනේ.. කාලෙකින් අර කෑම හැදුවේ නෑ. අදවත් හදන්න ඕනෙ” කියලා ඒ රසවත් කෑම හදන්න සූදානම් වෙන්නෙ විඳපු රසය නැවත නැවතත් විඳින්න ඕන වෙලා. අප හොයන සැප පහසුවත් නැවත නැවත විඳින්න ඕන වෙලා. සිත සතුටු කරන, කුල්මත් වන සිතුවිලි නැවත නැවත සිතන්න අපි කවුරුත් කැමතියි නේ ද?
කැමති ම දෑ නිතර නිතර ලැබෙනවාට කැමති වුණාට අපි විවිධත්වයක් සොයනවා නේ ද කියලා වෙලාවකට හිතෙනවා. ඒකාකාරී බව හරිම කම්මැලියි කියලා හිතෙනවා. ඔය කැමති දේවල් නිතර නිතර ලැබෙන විට ඒවත් එපා වෙලා යන කාලයක් එනවා නේ ද?
ඒකාකාරී බව මඩින්නට ලොව බොහෝ දෙනා තරඟකාරී උත්සාහයන්වල නිරත වන අතරේ වටිනාකම කටින් කියා, අතින් ලියා ගුණ වයා නිම කළ නො හැකි – තුන්ලොවට ඇති එක ම සත්‍යාලෝකය නම් වූ ශ්‍රී සද්ධර්මය තුළ ඇති විවිධත්වය පිළිබඳව ද සොයන ගවේෂකයන් සිටින බව මා හට විවිධ අවස්ථාවල දී පසක් වුණා. මා සදහම් ග්රන්ථයක් යමෙකුට දෙන්නට උත්සුක වන විට හෙතෙම පැවසුවේ “මේ හැම පොතක ම එක ම දෙයක්නේ අනේ තියෙන්නේ” යන්නයි. එවිට මා නිහඬව එම ග්රන්ථයන් රැගෙන ආපසු පැමිණි අවස්ථා තිබෙනවා. යම් අවස්ථාවන්වල දී “ඒ ස්වාමීන් වහන්සේලා එක ම දෙයයි බණට කියන්නේ… උදේ බණටත් හවස බණටත් එක ම දේනේ.. අපි වෙන….”
ඇත්තෙන්ම කුමක් ද මේ එකම දෙය බොහෝ අය හට එපා වූ? ඒ වගේ ම යි එක වරක් අහපු ධර්ම දේශනාවක් නැවත අපට ඇසෙන විට ම සිතට නැගෙන්නේ ‘මං මේ දේශනාව කලින් අහලා තියෙනවා’ යන්නයි. ඉන් මත්තට අපේ සිත දේශනාවට යොමු වෙලා නෑ. ඇයි? අපි හිතනවා ‘මං මේ දේශනාව අහලා තියෙනවා. මං දන්න කරුණු ටික තමා ආයෙ ආයෙමත් කියන්නේ’ කියලා නේ ද?
ඔව්… ඔබ හරි. සියලු ධර්ම දේශනාවල මුඛ්‍ය අරමුණ වනුයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම සඳහා මඟ පෙන්වීම. සියලු ගංගා මුහුදට වැටෙන්නා සේ සදහම් පර්යාය නම් වූ ගංගාවන් නිවන නම් වූ සාගරය වෙතයි පිවිසෙන්නේ.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා…!”
(සළායතන සංයුත්තය – උද්දාන ගාථා)
නිවන කරා යා යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ එක ම මාර්ගය ඔස්සේයි. එබැවින් අප ශාස්තෘන් වහන්සේ නිවන පිණිස දේශනා කොට වදාළ උතුම් ධර්ම දේශනාවන්හි අන්තර්ගතය වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කර ගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන ආකාරය ම යි. ඒ උතුම් ධර්ම කාරණා නැවත නැවත ඇසීමට නොකැමති වන්නේ අප සතු ශ්‍රද්ධාවෙහි අඩුපාඩුවක් නිසා ම යි.
ඒ වගේ ම යි සිංදු ඇසීම යි, ධර්ම දේශනා ශ්‍රවණය යි කාරණා දෙකක්. අපි ගීයක් ශ්‍රවණය කරන්නේ ආස්වාදය පිණිසයි. ධර්ම කාරණා ශ්‍රවණය කරන්නේ අවබෝධය පිණිසයි. ධර්ම දේශනා තුළිනුත් ළාමක ආස්වාදයක් බලාපොරොත්තු වුවහොත් එය ඔබට කවදාවත් ම නොලැබෙන දෙයක්. ආස්වාදය පිණිස ධර්ම දේශනා අහන්නත් එපා. කියවන්නත් එපා. ඔබ ඒ තුළ සොයන්නේ ළාමක දෙයක්. ඒ දෙය නොලැබුණ විට ධර්මයට ගරහලා බොහෝ අකුසල් කර ගන්නවා. උතුම් ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙහි වපසරිය පිළිබඳව අපට අදහස් දක්වන්නවත් බැහැ. “ඒ දේශනාව ලස්සනයි… අද නම් දේශනාව හරි නෑ. තේරුනෙත් නෑ. නින්දත් ගියා…. අප්පේ ෂෝක් බණ ටික… ආ.. මං ඔය කාරණාව දන්නවා. එදත් ඔය දේශනාවමනේ කළේ…”
මෙවැනි දේ ඔබටත් ඇහිලා ඇති… ඔබත් කියා ඇති මේ කතා.
කල්ප ගණනකින් ලොව පහළ වන්නා වූ, ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේ විසින් දේශිත කවර වදනක් වුව ද අතිශයින් ම විශ්මිතයි, අද්භූතයි, ආශ්චර්යයි. සසරින් නිදහස් වීම පිණිස ම යි උපකාරී වන්නේ.
ඔබට ම මෙය අත්දකින්න පුළුවනි. ඔබ උතුම් දේශනාවක් තෝරා ගන්න. එය එක් වරක් කියවන්න. පසුවදාත් නැවත කියවන්න. දින දෙකකින් පසුත් නැවත කියවන්න. ධර්ම ගෞරවයෙන් යුතු ව ම තවත් වරක් කියවන්න.
ඔබට ම අවබෝධ වේවි, කියවන අසන වාර ගණන වැඩිවන විට උතුම් ධර්ම කාරණා ඉතා හොඳින් තේරුම් යන වග.
අප සැමට උතුම් ධර්ම ගෞරවයෙන් යුතුව දහමේ හැසිරෙන්නටත්, උතුම් නිවන සාක්ෂාත් කර ගන්නටත් වාසනාව ලැබේවා!
සටහන – උත්පලා නඳුනි ලියනගේ
Recent Comments