මේ සටහන අතීත දවස් කිහිපයක් වෙත ඔබ සමඟ යන්න සූදානමින් තබන සටහනක්…

අතීතයේ… එක දවසක, හරියට ම කියනවා නම් ඔබේ වයස ගණන් හැදෙන්න පටන් ගත්ත දවසටත් මාස නවයකට විතර කලින් දවසක… ඔබ මේ ලෝකයේ උපන්නා. මමත් එහෙමයි. අපි මව්කුසක පිළිසිඳ ගත්තා යම් දවසක. ඒ දවසෙ ම තමයි ඊට කලින් ගත කළ ජීවිතේ අපි මළෙත්…
දින මාස ගෙවිලා ගිහින් අපි මව්කුසින් බිහි වුණා. අම්මට තාත්තාට දුවෙක්; නැති නම් පුතෙක් ලැබුණා. අම්මා අප ව ඒ මේ අත හරව හරවා බැලුවා ඇස දිහා. කන දිහා. නාසය දිහා. කය දිහා… අඩුපාඩුවක් නැතිව තියෙනවා දැකලා සෑහීමකට පත්වෙන්නයි අම්මට වුවමනා වුණේ. අම්මට බැරි වුණාට දකින්න, අපට ක්‍රියාත්මක තත්ත්වයේ හිතක් ඒ වෙද්දිත් තිබුණා. ඉතින් ඔය විදිහට උපතත් එක්ක අපට ලැබුණා ඇසක්. කනක්. නාසයක්. දිවක්. කයක්. මනසක්. ඔබට මට විතරක් නෙමෙයි; මනුස්ස ලෝකයේ උපන්න කාටත් ලැබෙන්නේ ඔය දේ ම යි. මනුස්ස ලෝකයේ විතරක් නෙමෙයි; කොහේ උපන්නත් ලැබෙන්නේ ඔය දේවල් ම යි. අද උපදින හැම දරුව ම එක ම තැනක තියලා විමසිල්ලෙන් බැලුවොත් ප්‍රමාණයේ, වර්ණයේ, අඟ පසඟේ යම් යම් වෙනස්කම් තිබුණා වුණත් ඒ කාටත් ලැබිලා තියෙන්නේ ඒ දේවල් මිස වෙනස් දෙයක් කියලා නම් දකින්න වෙන්නේ නැහැ.

ඒ ඇස අපි සසරේ කළ කී දේවල, සිතූ පැතූ දේවල ප්‍රතිඵලයක්. ඒ නිසයි තථාගතයන් වහන්සේ එයට ‘පැරණි කර්මයක්’ කියා වදාළේ. ඇස වගේ ම කන, නාසය, දිව, කය, මනසත් පැරණි කර්මයන්. මිනිස් ලෝකයේ අපි උපදිද්දි, රූප දකින ඇහැ කර්මානුරූප ව සකස් වෙලා තිබුණා. ඒ දේ ලැබුණේ අපි හෝ අපේ අම්මා තාත්තා හෝ කැමති විදිහකට නෙවෙයි; පැරණි කර්මයෙන් තීරණය වුණු විදිහට. ඒ තමයි අප ‘ලබා උපන් හැටි’…
ඒ ඇහින් රූප බලන්න පුළුවන්. වෙන කිසිම දෙයක් ඇහින් කරන්න බෑ. ඒ නිසා කරන්න පුළුවන් එක ම වැඬේ අපි කරගෙන ආවා. නොයෙක් විදිහේ රූප එක්ක ගනුදෙනුවක් අපේ ඇහැට තියෙනවා. ඒ සමහර රූප ඇහේ පදිංචි වෙනවා. ආයේ ආයේ මතක් කර කර අපි ඒ රූපත් එක්ක දිගින් දිගට ම ගනුදෙනුව හදා ගන්නවා. අවුරුදු ගාණක් රූප බැලුවා කියලා, ආයෙ නම් බලන්න ඕන නෑ කියලා සෑහීමකට පත් වීමක් ඇසේ නෑ; අපෙත් නෑ… රූප බලලා බලලා ම කවදා හරි ඉවර කරනවා කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. ඇහින් රූප දකිද්දී, ඒ රූපයට අනුව විඳීම්, හඳුනාගැනීම් සිදු වද්දී, ඒ අනුව චේතනා පහළ වෙද්දී අපි ආයෙමත් රූප දැකීම පිණිස හේතුවක් හදා ගන්නවා. ඔය විදිහටයි අපි සසර පුරා ආවේ. ආයතන හය ඔස්සේ ම ඔය දේ සිද්ධ වුණා. දැනුත් ඒ දේ ම සිද්ධ වෙනවා.

ඇස, ඇසක් පිණිස ම සකස් වෙනවා. එය තමයි නව කර්මය. ඉතින් ඒ කර්මය ඔස්සේ විපාක විඳින්න ආයෙමත් අපට ඇසක් ලැබෙනවා. ඒ ඇස කොහේ උපන්නත් මේ විදිහට ම රූප එක්ක ගනුදෙනු හදා ගන්නවා. ආයෙ ආයෙමත් සිද්ධ වෙන්නේ මේ කතන්දරේ ම යි. වෙන වෙන නම්වලින්, වෙන වෙන තැන්වල, වෙන වෙන ස්වරූපවලින්, වෙන වෙන කාලවල එක ම දේ එක ම විදිහට එක ම කාරණය වෙනුවෙන් සකස් වෙමිනුයි අපි සසරේ ගමන් ගන්නේ.

මේ ඇස සසරේ පුරුදු වුණු රටාවේ පවතිනවා මිස අමුතුවෙන් හිතා මතා වෙනස් වෙන්නේ නැහැ. හිතා මතා ඇස වෙනස් කිරීම කළ යුත්තේ අප විසින්. ඇසේ ස්වභාවය තමයි දකින රූප ඔස්සේ ඇලීම්, ගැටීම්, මුළා වීම් ඇති කර ගැනීම. රූපයට ඇලීම නිසාත්, රූපයට ගැටීම නිසාත්, රූපයට මුළා වීම නිසාත් සිතින්, කයින්, වචනයෙන් අප අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ දේ පවතින්නේ සසරේ දුක සකස් වීම පිණිස. දුක් විඳින්න අකැමැති නම්, ඇසේ සැකැස්ම වෙනස් කරන්න වෙනවා. ඔව්…! ‘ලබා උපන් හැටි’ වෙනස් කරන්න වෙනවා.

ස්මාර්ට් දුරකථන දැන් සුලබ දෙයක්. එවැන්නක් තමන් සතු වුණ හැටියේ අපි කැමති ම රූපයක් තිරයට දා ගන්නවා. කැමති ම නාදයක් රිංගින්ග් ටෝන් එක විදිහට දානවා. කැමති කැමති විදිහට හඬේ උස් පහත් බව හදනවා. අපට වුවමනා විදිහට වෙනස්කම් කරනවා.

අපි ඉන්න කාමරය පවා අප කැමති විදිහටයි සකසා ගන්නේ. මේසය, පුටුව, ඇඳ ආදිය තබන්නේ අප කැමති පිළිවෙළට. කැමති වර්ණ තමයි ඇඳ ඇතිරිල්ලට පවා තෝරාගන්නේ.

හැමදේ සම්බන්ධයෙන් ම අපට තිබෙන්නේ එවැනි හැසිරීමක්. අපි ඒ විදිහට වෙනස්කම් කර ගන්නේ අපට සැපය පිණිස, පහසුව පිණිස, හිතසුව පිණිස. වටපිටාව සහ භෞතික පරිසරය අපට සැපය උපදවන අයුරින් වෙනස් කර ගන්නට මේ තරම් උනන්දු වන අප ඇයි සැපය පිණිස පවතින විදිහට ඇස වෙනස් කර ගන්න උනන්දු නොවෙන්නේ? දුක පිණිස සකස් වුණ ඇස ඇයි අපි ආයෙ ආයෙමත් දුක පිණිස ම සකසන්නේ? ඇස් කන් ආදී මේ ඉන්ද්‍රියයන්ට යම් පැවැත්මක් උරුමය කොටගෙන ද මේ ලෝකයේ උපත සකස් වුණේ එවැනි ම උරුමයක් ඇති ඇසක් ම නම් මරණින් මතු ලැබෙන්නේත්, සසර පෝෂණය කිරීම ම හැර වෙන දෙයක් අප මේ ජීවිතයේත් සිදු කරගෙන නැහැ නේ ද?

ඉපදුණා. වැඩුණා. ලොකු මහත් වුණා. ඉගෙන ගත්තා. විවාහ වුණා. රස්සා කළා. දරු මල්ලො හැදුවා. ගේ දොර හදා ගත්තා. දරුවන්ට ඉගැන්නුවා. ඒ අය විවාහ කරවලා දුන්නා. වයසට ගියා. කලින් කලට ලෙඩ වුණා. ඇහැ කන පේන්නෙ නැතිව ගියා. මැරුණා. ඒ වෙලාවෙ ම ඉපදුණා…

ඔය කතාවේ හැම දෙයක් ම පිහිටා තියෙන්නේ දුක මතයි. මව්කුසේ පිළිසිඳ ගත් මොහොතේ පටන් දුක් විඳීම ඇරඹුනා. හැබැයි… මොන තරම් ආදරයෙන් ඉන්න කෙනෙකුටවත් ඒ දුකෙන් කොටසක් අරගෙන අපේ දුක අඩු කරන්න බැහැ. ඒ අය මොන තරම් කැමති වුණත් අපේ දුක අඩු කරන්න, ඒ අයට පුළුවන් අපි දුක් විඳින බව දැකලා දුක් වෙන්න විතරයි. උරෙන් උර ගැටිලා හිටියත්, හිසට හිස තබාගෙන හිටියත්, ඇකයේ හොවාගෙන හිටියත්, ජීවිතය වුණත් දෙන්න සූදානමින් හිටියත්, තුරුලු කරගෙන හිටියත් අපේ දුක තව කෙනෙකුට ගන්න බෑ. ඒ දුක උහුලන්න වෙන්නේ අපට තනිව ම යි. ඒ දුක දරා ගන්න වෙන්නේ අපට තනිව ම යි. ‘දුක බෙදා ගැනීම’ කියා ව්‍යවහාරයක් අපට තිබුණට ඇත්තට ම සිද්ධ වෙන්නේ අප දුක් විඳිනවා දැක අප කෙරෙහි බැඳීම ඇති අන් අයත් දුකට පත් වීම පමණයි. ඒත්… අපි හැමවෙලේ ම හිතන්නේ අපේ දුක බෙදාගෙන අප ව සතුටින් තබන්න කවුරු හෝ කෙනෙක්, කවුරු හෝ පිරිසක් අපට සසර වාසනාවකින් ම උරුම වේවි කියලයි. සසර වාසනාවකින් එවැන්නක් කවදාකවත් ම උරුමයක් නොවන බව තේරුම් ගන්න මුහුකුරා ගිය නුවණක් අපට නැහැ. හැබැයි එවන් අසිරිමත් නුවණකින් යුතු ව සිත මෙහෙයවූ උතුමෙක් ලෝකයේ පහළ වුණා… දැන් ඔබ සමඟ යනවා ඒ දවසට!

අතීතයේ… එක්තරා දවසක… වසර 2613කට පළමු උදා වූ බක් පුන් පොහෝ දවසේ… ශාක්‍යවරුන්ගේ කිරුළ හිමි කුමාරයා, මතු සක්විති රජ වන්නේ ය යැයි අනාවැකිකරුවන් සපථ කොට ඉරණම් පැවසූ කුමාරයා ස්වකීය සහායකයා සමඟින් උද්‍යානය වෙත යමින් සිටියා. ලෝකයේ යහපත හිතසුව සලසන සම්මා සම්බුදුවරයෙකුගේ පහළ වීම අතිශයින් කැමති වූ දෙවිවරු ඒ මාර්ගය අයිනේ ජරපත් මහල්ලෙකුගේ රුවක් පෙනෙන්නට සැලැස්වූවා. කෙස් පැහුණ, හම රැලි වැටුණ, දත් හැළුණ, ලොම් ගඳ ගසන, ඇස්වල කබ පිරුණ, ඇස් කන් නෑසෙන මහල්ලන් කොතෙකුත් දකිද්දී “ඒ කවරෙක් ද?” කියා අප කාගෙන්වත් අසන්නේ නැහැ. නමුත් ඒ ශාක්‍ය කුමාරයා ඒතාක් ම දැක නොතිබුණු ඒ රුව දැක “ඒ කවරෙක් ද?” කියා විමසුවා. “මහල්ලෙක්” කියා පිළිතුරු ලැබුණා. කවුරුන් ද කියා නොවිමසා ම, ‘මහල්ලෙකි’ ය කියා දැනගන්නා අප කිසි විටක නොසිතූ විරූ ආකාරයේ සිතුවිල්ලක් ඒ මොහොතේ සිද්ධාර්ථ ගෞතම කුමරුට පහළ වුණා. ‘මටත් එහෙම වෙනවා ද?’… එය ම යි ඇසූ පැනය. පිළිතුර අද අප එය ඇසුවත් ලැබෙන පිළිතුර ම යි. “ඔව්… ඔබටත් එය ම වෙනවා…”

තමන්ටත් එය ම සිදු වනවා නම්, කිසි ම ආකාරයකින් එය වළක්වන්නට ද පුළුවන්කමක් නැති නම් සක්විති රාජ සැපය හෝ ඵලක් තිබේවි ද? ජරා ව්‍යාධි මරණ ඉක්මවන්නට බැරි රජකම කුමට ද? නොමැරෙන මිනිසුන් ලෙසින් සැප සම්පත් ලුහුබඳින සෙසු ලෝකයෙන් වෙනස් වූ සිතුවිලි ඒ බෝසත් හදවතේ උපන්නා. මැරෙන ජීවිතයකට යස ඉසුරෙන් කවර නම් රැකවරණයක් ද? මහලු රුවක් දුටු පමණින් බෝසතාණන් වහන්සේගේ සිත වේගයෙන් යථාව දැකීම වෙත නැඹුරු වුණා. රාහුල කුමරුන් උපන් දවසේ දී තමන්ට සේ ම සහජාත ඒ පුතණුවන්ටත්, සංසාරගත පැතුමක් දරා සෙවණැල්ල සේ පැමිණි ප්‍රිය සහකාරිය වූ යශෝදරාවටත්, මාපියනටත්, අන් සියලු දෙනාටත් එකසේ ම උරුම වුණ ජරා, ව්‍යාධි, මරණ දුක අබිබවන මාර්ගයක් සොයා ඒ බෝසතාණන් වහන්සේ ශ්‍රමණ භූමියට පත් වුණා…

උන්වහන්සේ සොයා ගියේ දුකින් නිදහස් වුණ තැනක්. නොයෙක් ශ්‍රමණවරු අතරේ නොයෙක් ආකාරයේ තපස් රකිමින් ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් ඉක්මවා යන්නට උන්වහන්සේ අඛණ්ඩ ව වීරිය කළා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වූයේ ඒ ඉලක්කය මුදුන් පැමිණීමෙන්. දුකින් නිදහස් වූ උත්තමයාව යි අපි, ‘බුද්ධ රත්නය’ කියා සැදැහැයෙන් සරණ යන්නේ…

ඒ දුක් ඉක්මවාලන ප්‍රතිපදාව උන්වහන්සේ විසින් දෙව්මිනිස් ලෝකයාට දේශනා කොට වදාළා. ඇසළ පුන් පෝ සඳ නැගුන උතුම් දිනයක බරණැස ඉසිපතන මිගදායෙන් ඒ මිහිරි දම්සර නැගෙද්දී දෙව්මිනිස් ලෝකයා දුකින් නිදහස් වන මාර්ගය දැන ගත්තා. අප ‘ධර්ම රත්නය’ කියා සැදැහැයෙන් සරණ යන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවාලීම පිණිස මඟ පෙන්වාලූ ධර්ම පර්යායනුයි.

ඒ ධර්මය අසත් අසත් ම සසරෙන් ගෙනා ඇස වෙනස් කර ගත්ත පිරිසක් සිටියා. සසරෙන් ගෙනා ඇස ඔවුන් සංවර කර ගත්තා. දමනය කළා. දොරටු වසා ගත්තා. ඇස සදහට ම රැක ගත්තා. ඇස ඔස්සේ අනවබෝධයෙන් සකස් වන දුක නම් වූ ලෝකය ඔවුන් නිරුද්ධ කළා. ඒ නිසා ම සියලු දුකින් නිදහස් වුණා. ‘ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය’ ලෙසින් අප සැදැහැයෙන් සරණ ගියේ ඒ දුකින් නිදහස් වූ මුනිවරුන්ව යි. දැන් ඔබ සමඟ යනවා ඒ පරම ලාභය අපට උරුම වූ උතුම් දවසට…

ශ්‍රී බුද්ධ වර්ෂ 237 පොසොන් පුන් පොහොය දවසේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ පරමෝත්තම තිසරණ ලාභය හෙළදිව වැසියන්ට උරුම කරලමින් මෙහි වැඩම කොට වදාළා. බොහෝ දේ අසා තිබුණ ද දුක නම් වූ ආර්ය සත්‍යය අසා නො තිබූ, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය අසා නො තිබූ, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය අසා නො තිබූ, දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් වූ ආර්ය සත්‍යය අසා නො තිබූ මෙබිමවැසි රජුන් ප්‍රමුඛ ලක් වැසියන් ආර්ය සත්‍යයන් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොටගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූ මුනිරජාණන් වහන්සේගේ දහම තුළ දමනය වූවා. රජුන්ට සේවය කරමින් හුන්, දඩයම් කරමින් හුන්, දිය කෙළි උත්සවශ්‍රීයෙන් පවත්වමින් හුන්… ගස් ගල් පර්වත ඉර හඳ වන්දනාමාන කරමින් හුන් ජනකායක් එක්වර ම තම ජීවිත වෙනස් කර ගත්තා. ප්‍රියමනාප රූපය ඔස්සේ බැඳි බැඳී යන ආකාරයට ඇස ලබා උපන් හැටිය ඒ අය වෙනස් කර ගත්තා. ඇස රැක ගත්තා. ඇස වසා ගත්තා. ඇස සංවර කර ගත්තා. ඇස දමනය කර ගත්තා. මහරහත් පරපුරක් බිහි වුණා. මග ඵලලාභී ශ්‍රාවක පිරිසක් බිහි වුණා. ‘ලබා උපන් හැටි’ ඔවුන් වෙනස් කළා…

ඒ කිසිවෙකුත් උපතින් බෞද්ධයන් නෙවෙයි. ඔවුන් බෞද්ධ වත් පිළිවෙත්වලට අනුගත වූයේ “බුද්ධං සරණං ගච්ඡාමි” කියා සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ ධර්මයට අනුගත වීමෙනුයි. ඔවුන් තෙරුවන් සරණ යාම තුළ දුකින් නිදහස් වීම වෙත ගමන් කළා.

අප තෙරුවන් සරණ ගියේ කුමක් වෙනුවෙන් ද කියා අප පැහැදිලි කර ගත යුතුයි. ලොව අන් සියල්ලෙන් ම ත්‍රිවිධ රත්නය වෙනස් වන්නේ ඒ උතුම් රත්නයන්ගේ පහළ වීම දුකින් නිදහස් වීම ම මුල් කොටගෙන තිබෙන නිසයි. එහෙම නම් අප තෙරුවන සරණ යා යුත්තේත් දුකින් නිදහස් වීම වෙනුවෙනුයි… ප්‍රාණය සම ව ආදරෙයි කියා, අම්මාටවත් බෙදා හදා ගන්නට බැරි දුක සදහට ම නැති කර දමන දෙයක් දුක මත පිහිටි ජීවිත ඇති අප සෙවිය යුතු නැති ද? ලොව අන් කිසිවෙකුට හෝ කිසිවකට හෝ ජීවිත හා සබැඳුන දුකට නොවරදින පිළියම් යොදන්නට බැහැ. ඒ පිළියම පවත්නේ තෙරුවන මුල් කොටගෙනයි…

අප සියල්ලෝ ම පාහේ උපතින් ම බෞද්ධ උරුමය ලැබූවන්. ඒ නිසා ම පන්සලට යාම, මල් පහන් සුවඳ දුම් පූජා කිරීම, බෝධීන් වහන්සේලාට වන්දනා කිරීම, දන් පැන් දීම, පොහොය සිල් සමාදන් වීම අපට ජීවිතය හා සමීප දේවල්. බොදු ජීවිතයක ඒ සිරිත් විරිත් දැකිය හැකියි. අප ලබා උපන්නේ ඒ උරුමය. හැබැයි, මල් පහන් පූජා කළා කියා, වන්දනාමාන කළා කියා, පන්සලට ආවා ගියා කියා, බෝධීන් වහන්සේට වන්දනා කළා කියා ඇස වෙනස් වෙන්නේ නැහැ. ඇස පුරුදු විදිහට ම ප්‍රියමනාප රූප ඔස්සේ නිමිති අනුනිමිති සටහන් අල්වා ගනිමින් සසර ගමන පෝෂණය කරනවා. එය වෙනස් කළ හැක්කේ ඇස සන්සිඳුවන ප්‍රතිපදාවකින්. ඒ ප්‍රතිපදාවටයි ‘ධර්ම මාර්ගය’ කියා කියන්නේ…

බෞද්ධ පවුලක උපදින්න අපට සසර වාසනා තිබුණා. මිනිස් ලෝකයේ බොහෝ දෙනෙකුට වඩා අප ලබා උපන් හැටිය වෙනස් වුණේ ඒ සසර වාසනාවෙන්. අන් සියල්ලන්ට ම වඩා අපට විපුල ලෙස, මහත්ඵල ලෙස පින් කර ගන්නට ලැබුණා. හේතුව වුණේ ලබා උපන් ජීවිතය තුළ අපේ වටපිටාව සමීප වී තිබුණේ ලොව පහළ වූ අග්‍රතම මනුෂ්‍ය රත්නයටත්, උන්වහන්සේ වදහළ ලොව අග්‍රතම ධර්මයටත්, උන්වහන්සේ සරණ ගොස් ඒ ධර්මයේ සියලු පිහිට ලැබූ අග්‍රතම පිරිසටත් වීම යි. ඒ නිසා අප උපතින් ම අග්‍ර වූ තැන්හි පුද පූජා පැවැත්වීමේ වාසනාව උරුම කර ගත්තා. එයින් ම අපේ පුණ්‍ය විපාකයනුත් අග්‍ර වූවා. ඉතින් ඒ ඇති ද???

තවමත් අප තුළ තිබෙන්නේ වහා ඇලෙන, වහා ගැටෙන, වහා මුළා වෙන පරණ ස්වභාවය ම නම්…. තිසරණ සරණයේ පිහිටි අප ඒ සරණාගමනයේ මුදුන් ඵලයට මඳක්වත් සමීප වී නැහැ නේ ද? තෙරුවන් සරණ ගිය අප තුළ වැඩී ගත් ගුණයක් නැති නම්, ‘මේ නම් තෙරුවන් සරණ යාමෙන් මා දියුණු කර ගත් ගුණධර්මයක්’ කියා වෙන් කොට දැකිය හැකි සොඳුරු කරුණක් නැති නම්… අප ලබා උපන් හැටි වෙනස් කොටගෙන නැති බවයි පිළිගත යුත්තේ…

ලබා උපන් හැටියට ම මියැදෙන ස්වභාවය ඇති අන් සියලු දේ අතරින් සහමුලින් ම වෙනස් වන්නට ඉඩහසර සදාලන උත්තම ධර්ම මාර්ගය තුළ අප පැමිණි ගමන යළි යළිත් ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළයි අප සිටින තැන හඳුනාගත හැක්කේ. සිත රවටා ගන්නට නොවේ; සසර දුකෙන් නිදහස් වීම පිණිස ම වූ අවංක සහ බලවත් කැමැත්ත වෙනුවෙනුයි එය කළ යුත්තේ… නිරයේ දුක, ප්‍රේත ලෝකයේ දුක, තිරිසන් අපායේ දුක මගනොහැරුණු සසර ගමනක අපට මොන සැනසීමක් ද බලාපොරොත්තු විය හැක්කේ…?

හැරී බලමු ජීවිතය දිහා… සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම නිධානය උරුමය කර ගත් අප ඒ ගුණ සාගරයෙන් අප තුළ උපදවාගෙන තිබෙන්නේ කවර සොඳුරු ගුණයන් ද…! කය සංවර ව සන්සිඳුන, වචනය සංවර ව සන්සිඳුන, සිත සංවර ව සන්සිඳුන, නිවී සැනසුන ජීවිතයක ලකුණු අප තුළත් පිරිපුන් වනවා ද…! එසේ වී තිබෙනවා නම්…., සතුටු වන්න… සැබැවින් ම අප සිටින්නේ ‘ලබා උපන් හැටි’ වෙනස් කරමින්… සම්බුද්ධ ශාසනයක පිළිවෙත් පුරමින් ලබා ගන්නා මේ අභිවෘද්ධිය කිසිසේත් ම හිස් දෙයක් නො වෙයි. ඒ මෝරා යාම විසින් අප ව පුණ්‍ය විපාකයෙන් සාංසාරික වැඩිමහල්ලන් බවට පත් කරලනවා. සසරින් එතෙර වන්නේ එසේ වැඩිමහලු වූවන් ම යි…

…………………………

දැන් හිස්තැනක් තියෙනවා… ඒ, ඔබ ‘ලබා උපන් හැටි’ වෙනස් කරන්න පටන් ගත්ත දවස වෙනුවෙනුයි…!!!

සටහන – උදුලා පද්මාවතී