ලුම්බිණි පුදබිමේ සිට කි. මී. 15ක් දුරින් ඉන්දියාවේ පිප්රුවා නමින් හඳුනාගෙන ඇති කපිලවස්තුපුරයේ 1897-1898 කාලයේ දී ඩබ්. ඩී. පෙපේ සහ පී. ඩී. මුඛර්ජි යන මහත්වරුන් විසින් කැණීම් සිදු කරන ලදී. එහි ප්‍රධාන ස්ථූපයේ නටබුන්වල කරන ලද කැණීම්වල දී අඩි 18ක් පමණ යට තිබී ගලින් තිබී ගලින් කළ මංජුසාවක් හමුවී ඇත. එහි තුළ තිබූ කරඬු පහක් ද හමුවී තිබේ. එම එක කරඬුවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද පහත ලේඛනය ද හමු වී තිබේ.

ඉයං සලිල නිධරන බුදසභගවතා
සකියානං සුකිති භතානං සහභගිනිකානං-සසුන දලන

මෙහි තේරුම මෙසේ ය. “භාග්‍යවතුන් වහන්සේගේ මෙම ශාරීරික ධාතු නිධානය දැඩි භක්තියෙන් යුතු වූ උන්වහන්සේගේ ඤාති සහෝදර සහෝදරියන් සහිත ශාක්‍යයන් විසින් කරවන ලදී” මේ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ ව අවස්ථා (ස්තර) තුනක් ගැන පුරාවිද්‍යාඥයෝ කරුණු හෙළිකරගෙන ඇත. පළමු වන ස්තරය ධාතු නිධන් කළ ශාක්‍යයන්ගේ කාලය යි. දෙවැනි ස්තරය අයත් වන්නේ රාජ වර්ෂ 3වන සියවසට අයත් ධර්මාශෝක රජතුමාගේ කාලයට ය. මෙහි තෙවැනි ස්තරය ඉන් පසුව රජ වූ රාජවර්ෂ 2 වැනි සියවසේ කුශාන රාජවංශික යුගයට අයත් වෙයි. ඒ අනුව ධර්මාශෝක රජතුමා ද කශාන රාජ වංශික කනිෂ්ක රජතුමා ද මෙම ධාතු ස්ථූපය ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම ඉන්දියාවේ පිප්රුවාහි කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා 1978 අප්‍රේල් මස 28 දිනත්, 2012 වර්ෂයේදිත් මහත් හරසරින් යුතුව ලක්දිවට වඩමවා සැදැහැවතුනට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු සිදු කළ ආදාහන පූජාව පිළිබඳවත්, ඒ ආදාහන පූජාවෙන් පසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ධාතු චෛත්‍යයන් අටක් දඹදිව ඉදිවූ බවත් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් ය. ශාක්‍යයන්ට ලැබුණු ධාතු කොටස කපිලවස්තුවෙහි සාදන ලද ස්ථූපයක නිධන් කරන්නට යෙදුණි. ඉහත පුරාවිද්‍යාත්මක සොයා ගැනීමත් සමඟින් එහි සත්‍යතාවය මැනැවින් තහවුරු වන්නේ ය.

එමෙන් ම වර්ෂ 1978දී වර්තමාන නේපාල-ඉන්දීය දේශ සීමා ප්‍රදේශයේ කඳුගැටයක දී (පැරණි කපිලවස්තුපුර සමීපයේ දී) පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ සිදු කළ කැණීම්වල දී සර්වඥධාතූන් සහිත කරඬු සොයා ගැනින. මෙම ධාතූන් වහන්සේලා හමු වූයේ ශාක්‍යවරුන් විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් ලැබීමෙන් පසුව ධාතු නිධන් කර සාදනු ලැබූ චෛත්‍යයකින් බව හඳුනාගනු ලැබී ය.

“ඉයං සලිල නිධානේ
බුද්ධත්ව භගවතේ
සකියානං සනුත්ත ධලනේ”

වශයෙන් එහි සටහන් කර තිබී ඇත. එහි දී කපිලවස්තු පුරයෙන් හමුවූ ධාතූන් වහන්සේලා ගණන 22නමකි. 1982 දී ද 1987 දී ද එම ධාතූන් වහන්සේලා ලංකාවට වඩමවා ප්‍රදර්ශනය කොට ඇති අතර මේ දක්වා ම දිල්ලි කෞතුකාගාරයේ දැඩි රැකවරණ මධ්‍යයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා විරාජමාන ව වැඩසිටිති.