පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ මාතෘකාවක් තමයි ආදරය කියන්නේ. ඊට හේතුව මොකක්ද? ඔබ දන්නවා. ඒ තමයි බටහිර සංස්කෘතියත්, වාණිජවාදී ආර්ථිකයත් සමාජගත කළ ආදරවන්තයන්ගේ දිනය, නැතහොත් පෙම්වතුන්ගේ දිනය පසුගිය පෙබරවාරි 14 වැනි දිනට යෙදී තිබීම. ඒ හේතුවෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, ඒ වගේ ම අනෙකුත් ජනමාධ්‍යයන් පවා පෙම්වතුන් වෙනුවෙන් බොහෝ ඉඩකඩක් ලබා දුන් බව ඔබ දකින්නට ඇති. ඉතින් ඒ නිසා අපත් කල්පනා කළා ආදරය සහ එයට සම්බන්ධ අදහස් කිහිපයක් ඔබ හා කථා කරන්න.

ආදරය, ප්‍රේමය යන වදනේ සැබෑ අරුත කුමක් දෝ..?
ඔබෙන් ඇහුවොත් කෙනෙක් මොකක්ද මේ ආදරය කියන්නේ කියලා, මොකක්ද ඔබ දෙන පිළිතුර? ඔව්. ඔබ හිතුවා හරි කියලා මාත් හිතනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු ගොඩාක් තියෙනවා කියන්න පුළුවන්. මොනව ද ඒ?

කෙනෙක් කියාවි ආදරය කියන්නේ දෙදෙනෙක් අතර විශ්වාසය සමඟ ඇතිවන බැඳීම කියලා. සමහරු කියනවා ආදරය කියන්නේ සුන්දර වරදක් කියලා. ඒ වගේ ම සතුට, සැනසුම, ආස්වාදය හා දුක සුසුම කඳුළ අතර දෝලනය වන පුළුන් රොදක් බඳු දෙයක් කියා ද ඇතැමුන් කියාවි. ඒත් සමහරු නම් මෙහෙමත් කියනවා. ආදරය කියන්නේ පිස්සු ලෝකයක් කියලා. ඒ වගේම ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි කියලත් කියන අය ඉන්නවා.

හරි, ඒ කොහොම නමුත් පසුගිය පෙම්වතුන්ගේ දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට ඔබත් අමතක නොකිරීම ප්‍රසිද්ධ රහසක් බව මම හොඳාකාරව ම දන්නවා. ඔබ ඇයත් සමඟ එදා ගිය ගමන අතර මඟ බොහෝ දේ කථා කළා. සිද්ධස්ථාන වන්දනා කළා. එමෙන් ම උද්‍යාන සිරි නරඹන අතරතුර මැවූ සිහින මාලිගාව නම් හරි විශාලයි. ඒ සිහිනය සැබෑවක් වන දිනය එනතුරු ඔබ මඟ බලාගෙන ඉන්නේ.

මම හිතනවා ඔබ ගැන කිවුවා හරි කියලා. හොඳයි, හොඳයි… ඒකට කමක් නෑ. මම තව දුරටත් ඔබව අපහසුතාවයට පත්කරන්න කැමති නෑ. මට තව කෙනෙකුගේ වැදගත් ආදර කථාවක් ගැන කථා කරන්නත් තියෙනවා. හැබැයි ඒ කථාව නම් එතරම් සුන්දර එකක් නො වෙයි. නමුත් මම හිතනවා කථාව අවසානයේ ඒක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කථාව මම කෙටියෙන් කියන්නම්.

ඔහුටත් ඔබට වගේ ම සුන්දර ආදරයක් තිබුණා. ඒත් ඒ ආදරය ඔහුට දැන් අහිමි වෙලා. ඒ නිසා ඔහුට මම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියා සිතනවා. ඒකට කමක් නෑ නේද? ඔව්… මම දන්නවා ඔබ එයට එකඟයි කියලා. ඔබ හිතනවා වගේ ම මමත් හිතන දෙයක් තමයි ගං ඉවුරේ තියෙන තුරුලතාවන්ට දිය දෙනවට වඩා වටින්නේ කාෂ්ඨකයේ වියළී මියැදෙන්නට බලා සිටින ගසට පැන් පොදක් ලබා දීමයි කියලා. ඔව්… ඔබත් එයට එකඟ නිසා මට යන්න අවසරයි.

නුඹ අහසේ කියා දුන්න ආදරය ද මේ…?

යාළුවා, ගී පද වැලක් ශීර්ෂයේ තබාගෙන මම පැමිණියේ ඔබ සමඟ මඳක් කථා කරන්න හිතාගෙන. නමුත් අතරමඟ දී වෙන කෙනෙක් මුණ ගැසුණු නිසා ටිකක් ප්‍රමාද වුණා. ඒකට මට සමාවෙන්න. ඔව්… මම දන්නවා ඔබ මට සමාව දෙනවා කියලා.

හොඳයි… කොහොමද මේ දවස්වල සැප දුක්? හා… හා… ඒක තමයි මට තේරෙනවා, මට තේරෙනවා. ඒකට කමක් නෑ. අපි ටිකක් කථා කරමුකෝ බලන්න. ඔය දුක යාළුවා, ඔබට විතරක් උරුම දෙයක් නො වෙයි. මේ දුක සමස්ත ලෝක සත්වයාට ම උරුම දෙයක්. අද ආදරයේ මිහිර විඳින අනිත් අයටත් හෙට එය ම විරහ ගීයක් වෙන්නට පුළුවන්.

යාළුවා, ඔබට දැන් ඔබේ අහිමි වූ ආදරය ගැන මොනවද හිතෙන්නේ? ඔව් මම හිතුවා ඔබේ හිත ඔබට ඔහොම කියනවා ඇති කියලා.

මට එපා ඇගේ හසරැල් පොදක් හද වේදනා දෙනවා…

යාළුවා, ඔබේ හිත කියූ පලියට ඒ නැති වුණ ආදරේට වෛර කරන්න හිතුවා කියලා, එහෙමත් නැත්නම් පලිගන්න හිතුවා කියලා, එහෙමත් නැත්නම් මේ සියල්ල අමතක කරලා මනුලොවින් සමුගන්න හිතුවා කියලා ඒක ප්‍රශ්නයට පිළිතුර නොවෙයි යාළුවා. එහෙම කළොත් ආයෙ ආයෙමත් දුක කරා ම යි යන්නේ.

එහෙම කියල මටත් ඔබේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්කමක් නෑ. ඒත් යාළුවා මේ ප්‍රශ්නය අනිවාර්යයෙන් ම විසඳන්න පුළුවන් කෙනෙක් නම් ඉන්නවා. ඒ තමයි අපේ ශාස්තෘන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ.

උන්වහන්සේ අවබෝධයෙන් ම යි ධර්මය දේශනා කරන්නේ. උන්වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල දක්නා සේක. උන්වහන්සේ මේ දුක, දුකේ හට ගැනීම, දුක නැති කිරීම හා එයට යන මාර්ගය අවබෝධ කරගෙන ලෝක සත්වයාට ඒ දුක නිරුද්ධ කිරීමට මාර්ගය කියා දුන් සේක. එනිසා අපට එන කරදර දුක් දොම්නස් මේ සියල්ලට ම උන්වහන්සේගේ ධර්මයේ පිළිතුරු තියෙනවා.

“සොයා ආයෙමි පොළෝ තලයේ… අනේ පිහිටක් නොමැති වූ කල….

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්…”

ඔව්… මම කලින් ම හිතුවා ඔබේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විසඳුමක් ලබාගන්නේ කොහොමද කියලා මගෙන් අහයි කියලා. හොඳයි… මම පුළුවන් විදියට කියා දෙන්නම්.

ලොවේ ඇති දුක නිවූ මුනිඳුනි, වඳින්නම් පා බැති සිතින්….

යාළුවා, ඒ කාලේ භද්‍රක ගාමිණී කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ව බැහැ දකින්න ඇවිත් වන්දනා කරලා උන්වහන්සේට කියා සිටියා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දුකේ හට ගැනීමත්, නැති වීමත් දේශනා කරනවා නම් ඉතා මැනවි” කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වේලාවෙදි තමයි මේ දේශනය වදාළේ.

“පින්වත් ගාමිණී, මම ඔබට දුකේ හට ගැනීමත්, නැති වීමත් ගැන අතීතය අරඹයා දේශනා කළොත් ඔබට විමතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මම මෙතන ම ඉඳගෙන මෙතන ම වාඩි වී සිටින ඔබට දුකේ හට ගැනීමත්, නැති වීමත් දේශනා කරන්නම්. එය කන් යොමා අසන්න. මම කියා දෙන්නම්.”

බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ගාමිණීගෙන් ප්‍රශ්න විචාරමින් ඒ ඔස්සේ දහම් කරුණු ඉස්මතු කළ සේක. මුලින් ම උන්වහන්සේ ගාමිණීගෙන් මෙසේ විමසූ සේක.

“පින්වත් ගාමිණී, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? යම් කෙනෙකු මරණයට පත් වුණොත්, පිරිහී ගියොත්, නින්දාවකට පත් වුණොත් ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවා නම් ඔබට එබඳු වූ මිනිසුන් මේ උරුවෙල කප්ප ගමේ ඉන්නවා ද?”

“එසේ ය ස්වාමීනී. එවැනි අය මේ උරුවෙල කප්ප ගමේ සිටිනවා.”

“මේ ගමේ අයෙක් එවැනි කරදරයකට පත් වූ විට ඔබට දුකක් ඇතිවෙන්නේ නැති නම් එබඳු අයත් මේ ගමේ සිටිනවා ද ?”

“ස්වාමීනී, එවැනි අය ද මේ උරුවෙල කප්ප ගමේ සිටිනවා.”

ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ නැවතත් ගාමිණීගෙන් මෙලෙස විමසූ සේක.

“පින්වත් ගාමිණී, උරුවෙල කප්ප ගමේ ඇතැම් මිනිසුන්ට යම් කරදරයක් වූ විට ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා නම් ඒකට හේතුව මොකක්ද? ප්‍රත්‍ය මොකක්ද?

පින්වත් ගාමිණී, මේ ගමේ ඇතැම් කෙනෙක්ට කරදරයක් වූ විට ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදින්නේ නැත්නම් එයට හේතුව මොකක්ද? ප්‍රත්‍ය මොකක්ද?”

“ස්වාමීනී, උරුවෙල කප්ප ගමේ ඇතැම් කෙනෙක්ට කරදරයක් වූ විට ඒ ගැන මා තුළ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා නම් ඒ උදවිය කෙරෙහි මා තුළ ඡන්දරාගය තියෙනවා. ඇතැමෙක්ට එවැනි කරදරයකට පත් වුණොත් ඒ ගැන මා තුළ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදින්නේ නැත්නම් ඒ උදවිය කෙරෙහි මා තුළ ඡන්දරාගය නෑ.”

උන්වහන්සේ දේශනාවට ප්‍රවිෂ්ට වීමේ දී ම ගාමිණීට වදාළා, “අතීතය අරබයා හෝ අනාගතේ අරබයා හෝ ධර්මය දේශනා කළොත් ඔබට සැක ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔය ආසනයේ දී ම තමා තුළින් දැකගන්න ධර්මය දේශනා කරන්නම්” කියා. බලන්න යාළුවා එය කොතරම් සුන්දර ද? එය කොතරම් සාර්ථක ද? ගාමිණී අවබෝධ කළා.

බුදුරජාණන් වහන්සේ ඉන් පසුව ගාමිණීට මෙසේ දේශනා කරනවා.

“පින්වත් ගාමිණී, ඔබ දැක ගත්, අවබෝධකර ගත් අකාලික වූ, පැමිණියා වූ, බැසගත්තා වූ මේ ධර්මය තුළින් අතීතයට හා අනාගතයටත් දහම් න්‍යාය අනුව ගළපා බලන්න.”

ඒ වේලාවේ ගාමිණී තමන්ගේ ජීවිතය දෙස බලා ඒ ධර්මයේ ආශ්චර්යය ගැන මෙසේ පැවසුවා.

“අතීත කාලයේ යම් දුකක් උපන්නා නම් ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වුණා. කැමැත්තයි මූලික කාරණය වුණේ. දුකේ මුල වනාහි ආශාව ම යි. අනාගත කාලයේ යම් දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වෙනවා. කැමැත්තයි මූලික කාරණය වෙන්නේ. දුකේ මුල වනාහි ආශාව ම යි.

ස්වාමීනී ආශ්චර්යයි, ස්වාමීනී පුදුම සහගතයි. සෑම දුකකට ම කැමැත්ත මුල් වෙනවා, කැමැත්තයි මූලික කාරණය වෙන්නේ. දුකේ මුල වනාහී ආශාව ම යි කියලා මේ වදාරණ ලද්දේ මොන තරම් සුභාෂිතයක් ද!”

ඉන් පසු ව අපගේ බුදුරජාණන් වහන්සේ චිරවාසී නම් පුතු අරබයා ද මෙසේ දුක හටගැනීම ගැන දේශනා කළ සේක.

“පින්වත් ගාමිණී, ඔබ මේ ගැන කුමක් ද සිතන්නේ? චිරවාසී කුමරුට එවැනි කරදරයක් වුණොත් ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදිනවා ද?”

“ස්වාමීනී, එහෙම වුණොත් මගේ ජීවිතයට වුණත් කරදරයක් වෙන්නට ඉඩ තියෙනවා. එහෙම එකේ ශෝක වැළපීම් නූපදීවි ද?”

“පින්වත් ගාමිණී, මේ ක්‍රමයෙනුත් යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකක් ම ආශාව මුල්කරගෙනයි තියෙන්නේ, ආශාව මූලික කාරණය වෙලයි තියෙන්නේ. ආශාව ම යි දුකට මුල කියන ඔය කාරණය ම යි අවබෝධ කර ගත යුත්තේ.”

එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ…

ඉන් පසු චිරවාසී කුමරුගේ මව අරබයා ද සුගත වූ බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.

“පින්වත් ගාමිණී, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඔබ යම් දවසක චිරවාසීගේ මව් ගැන දැක හෝ අසා තිබුණේ නැති නම් ඔබට චිරවාසීගේ මව් ගැන කැමැත්තක් හෝ ප්‍රේමයක් හෝ ඇති වුණා ද?”

“ස්වාමීනී එය නො වේ ම යි.”

“එසේ නම් පින්වත් ගාමිණී, චිරවාසිගේ මව කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වීම යන කරුණ ඔබ තුළ ඇති වුණේ එක්කෝ ඇසීමකට ඇවිල්ලා, එක්කෝ දැකීමකට ඇවිල්ලා නේ ද?”

“එසේ ය ස්වාමීනී…” කියා ගාමිණී පිළිතුරු දුන්නා.

යළිත් වරක් බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් මෙසේ ද විමසූ සේක.

“පින්වත් ගාමිණී, චිරවාසිගේ මවට කරදරයක් වුණොත් ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම් හට ගන්නවා ද?”

“ස්වාමීනී එහෙම වුණොත් ඒ ගැන මගේ ජීවිතයට වුණත් කරදරයක් වෙන්නට පුළුවන්. එහෙම එකේ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නූපදීවි ද?”

“පින්වත් ගාමිණී, මේ ක්‍රමයෙනුත් යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකක් ම ආශාව මුල් කොට තියෙන්නේ, ආශාව මූලික කාරණය වෙලයි තියෙන්නේ. ආශාව ම යි දුකට මුල. කියන ඔය කාරණය ම යි අවබෝධ කර ගත යුත්තේ.”

යාළුවා… මම හිතනවා ඔබට මේ දේශනය ශ්‍රවණය කළ විට දුකට හේතුව කුමක්ද කියා වැටහෙන්නට ඇති කියා…

එසේ නම් මේ දුක දෙවියන් දුන්නා නො වෙයි. වෙන කෙනෙක් දීලා ගියා නො වෙයි. අප තේරුම් ගත යුත්තේ කුමක් ද? අපි යම් දුකක් විඳිනවා ද එය හේතුවක් නිසාම හටගත් එකක් බව. මේ දුකින් නිදහස් වීමට කළ යුත්තේ කුමක් ද? හේතුව නැති කිරීම යි. එනම් ඡන්දය දුරු කිරීම යි. ඡන්දය දුරු වූ දාට දුක ද දුරු වෙනවා.

“පේමතෝ ජායතී සෝකෝ – පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං”

ආදරය කරන දෙයින්මයි ශෝකය උපදින්නෙ. ආදරය කරන දෙයින්මයි බිය උපදින්නෙත්. ආදරයෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ධම්මපදය – සුඛ වර්ගය)

එසේ නම් ඔබ ද අවිද්‍යා අන්ධකාරයේ තවමත් පසුවන්නේ ඇයි?

දල්වා ගනු මැනව නැණ පහන්.

එසේ නම් අපි ඔබට ආශීර්වාද කරනවා, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ ලැබේවා කියා…

ප්‍රදීප් කුලවංශ