ඉර අව්ව දැඩිව දැනේ. හාත්පස අහස උසට තාප්පවලින් භූමිය වට වී ඇත. “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන පාඨය බන්ධනාගාරයේ තාප්පයේ සඳහන්ව තිබිණි. බන්ධනාගාරගත වීමට නම් කුමන හෝ වරදක් කර තිබිය යුතු ම ය.

වැරදිකරුවෝ දඬුවම් විඳින ප්‍රධාන තැන සිරගෙදර ය. අපේ සමාජයේ සිරගෙදර ගැනත්, සිරකරුවා ගැනත් පවතින්නේ පිරිසිදු මානසිකත්වයක් නො වේ. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන මට්ටමෙන් මැනීමට බොහෝ දෙනා මැලි වෙති. එයට හේතුව සිරකරුවා දරුණු පුද්ගලයෙකු යැයි සමාජයේ මතයක් ගොඩනැගී තිබීම ය.

බන්ධනාගාරගත වන සිරකරුවාගේ කතන්දරය දුක්මුසු වූවකි. ඒ අතරින් මරණීය දණ්ඩනය හිමිවූවන්ගේ කතාන්දරය ඊටත් එහා ගිය දුක්මුසු පැතිකඩකි.

පසුගිය දෙසැම්බර් 31 වෙනිදා මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීමෙන් මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා සහ තාවතිංස යාත්‍රා සංවිධානයේ දුවා දරුවන් විසින් කාලයකින් දැක ගත හැකි අපූර්ව අසිරිමත් පින්කමක් සංවිධානය කොට තිබිණි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ ය.

මේ බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳින 3200 කට ආසන්න පිරිසක් සිටිති. ඔවුන්ගෙන් දෙසිය පණහකට ආසන්න ප්‍රමාණයකට මරණ දඬුවම හිමි වී ඇත. ඉන් සමහර දෙනා අභියාචනා ඉදිරිපත් කර ඇති අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින පිරිසක් ඒ අතර සිටින බව අපව මේ අවස්ථාවට සම්බන්ධ කළ වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා පැවසී ය. බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ මේ අසිරිමත් පින්කම බන්ධනාගාර කොමසාරිස් නිශාන් ධනසිංහ, වැලිකඩ ජේ්‍යෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක, බන්ධනාගාර නියාමක එච්. ඒ. ජානක, පුනරුත්ථාපන නිලධාරී ඒ. ටී. යූ. කේ. රත්නායක, පුනරුත්ථාපන නිලධාරී ඩබ්. ඩී. එල්. ගුණසේකර සහ තවත් නිලධාරීන්ගේ කැපකිරීම සහ සහභාගීත්වය නිසා සාර්ථක වූවකි. එසේ ම එම වැඩසටහන ඉතාමත් සංවිධානාත්මක ව, දැඩි උනන්දුවෙන්, පිළිවෙළකට මහමෙව්නාව අසපුවේ තාවතිංස යාත්‍රා සංවිධානයේ තරුණ පිරිස විසින් සිදුකර තිබූ බව ද ඒ මහතා පැවසී ය.

පසුගිය දෙසැම්බර් 31 වෙනිදා බොහෝ රැඳවියන්ගේ ජීවිතවලට යම් වෙනසක් එක් කළ දිනයක් විය. මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ එදින සුවිශේෂී දිනයක් වන්නේ කරුණු කිහිපයක් මුල්කර ගෙන ය. ඒ ඔවුන්ට ප්‍රණීත ආහාර වේලක් ලබා දීමත්, ඔවුන් ධර්මයෙන් පෝෂණය කිරීමත්, ඔවුන්ගේ ජීවිතයේ ඇති බොහෝ ගැටලුවලට ධර්මයෙන් අවවාද ලබා දීමත් ආදී කරුණු මුල්කර ගෙන ය.

නිදහස ලැබෙන දිනයක්, වේලාවක් නො දන්නා බොහෝ සිරකරුවන් සමඟ කෙටි කතාබහක් සිදු වුණි. ඒ බොහෝ දෙනාගේ කතා සිත සංවේදී කරයි.

“මගේ වයස අවුරුදු 36යි. මම මරණීය දඬුවමට යටත් වෙලයි ඉන්නේ. ඒ අතර අවුරුදු 56ක සිරදඬුවමක් විඳිනවා. දැනට මම බන්ධනාගාරගත වෙලා අවුරුදු 6ක් වෙනවා. අපි නොදන්නකමට, නොවැටහුනුකමට යම් යම් වැරදි සිදු කළා. එදා අපිට අකුසලයේ විපාක තේරුණා නම් බොහෝ විට ඒ වරද නොකර ඉන්න තිබුණා. සිල්පද පහෙන් එකක්වත් හරියට රකින්න බැරි වූ නිසා මෙසේ සිර මැදිරියක සිර වෙන්න සිදු වුණා.

ඒත් බන්ධනාගාරය තුළ ටික කලක් ජීවත් වෙනකොට යා යුතු රටාව මට තේරුණා. මනුසත් බව ලැබීම දුර්ලභයි. ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා තේරුණා. පසුගිය 31 වෙනිදා අපේ ජීවිත බොහෝ සේ වෙනස් වුණා.

එළියෙ වැරදි කරලා ඇතුළට ඇවිත් නැවතත් වැරදි කිරීමේ තේරුමක් නෑ. ඒක ජීවිතයේ වෙනසක් නො වෙයි. අප ළදරුවෙක්, ළමයෙක්, තරුණයෙක්, වැඩිහිටියෙක් සේ වෙනස් වුණා. ඒ වගේ අපේ මනසිනුත් මෝරපු චරිත බවට අප පත්වෙන්න ඕන. සෑම බ්‍රහස්පතින්දා ම උදේට මහමෙව්නාව අසපුවෙ ස්වාමීන් වහන්සේනමක් බන්ධනාගාරයට වැඩම කරලා අපේ ජීවිතේ හික්මවා ගත යුතු ආකාරය කියා දෙනවා. ඒ වැඩසටහන මගේ ජීවිතේ අලුත් කළා. අපට බොහෝ ම සරල ව ධර්මය කියා දෙනවා. වුණ දේ ගැන පසුනොතැවී ඉදිරියට පසුතැවෙන දේ නොකර ඉන්න හැටි කියා දුන්නා. පැය දෙකහමාරට අපි ජීවිතේ ගැන ලස්සන පාඩමක් ඉගෙන ගන්නවා. මේ වැඩසටහන්වලින් සුන්දර ගුණවත් මිනිසෙක් සමාජෙට බිහිකරන්න පුළුවන්.

මම හිතන්නේ මේ ජීවිතය ලැබුණේ විඳවන්න හෝ විඳින්න නො වේ, අවබෝධයෙන් ධර්මයේ හැසිරිලා සංසාරයෙන් එතෙර වෙන්න කියලා. සිල්පද පහ රකින්න අමාරු වුණත් පුළුවන් තරම් සිල් රැක ගන්න අප උත්සාහ කරන්න ඕන. අගය කළ යුතු පුද්ගලයා අගය කරන්න. සමාජයට කරන්න පුළුවන් සේවයක් තිබෙනවා නම් එය නොපැකිලව කරන්න. ඒ වගේ ම නරකයි කියා සම්මත කුඩා හෝ වරදක් නොකර ඉන්න උත්සාහ කරන්න. කිසිදු වැරදි වැඩකට උදව් කරන්න එපා කියලයි මට සමාජයේ තරුණ පිරිසට කියන්න තියෙන්නේ. මම දැන් ජීවිතයට ආදරය කරනවා. පන්සිල් පද රකින්න. එතැන ජීවිතය මුණගැහෙනවා.”

දෙවෙනියට අපට මුණගැසුන පුද්ගලයා බන්ධනාගාරය තුළ බොහෝ සේ ධර්මයේ හැසිරෙන කෙනෙක්. ඔහුගේ කතාව ඉතා ම සංවේදියි.

“මට කුඩා අවධියේ ඉඳලා තිබුණ ප්‍රශ්නයක් එක් දිනකදි පුපුරා ගියා. ඒ නිසයි අද මම රැඳවියෙක් ලෙස ජීවත් වෙන්නේ. පසුගිය 31 වෙනිදා මේ බන්ධනාගාරය තුළ විශාල සීල සමාදාන වැඩසටහනක් පැවැත්වුණා. මේ ස්ථානයේ වෙනදටත් සිල් වැඩසටහන් තිබෙනවා. ඒ වගේ එකක් බලාපොරොත්තුවෙන් තමයි මං ආවේ. නමුත් අප එතනට එනකොට විශාල ස්ටේජ් එකක් නිර්මාණය කර, එය බොහෝ සුන්දර ව සරසා එතනට බුදුරජාණන් වහන්සේත් වඩම්මවා තිබුණා. පළමුව මගේ සිත පැහැදුනේ එවෙලෙයි. ඊට පස්සේ මහ සඟරුවන වඩින ආකාරය බලන්න ඉන්න බැරි තරම් ම සංවේගයි. මහා හඬින් අපි සාදු නාද පැවැත්වූවේ හිතේ නැගුන ප්‍රීතිය නිසා ම යි. ත්‍රිපිටකයේ සමහර සූත්‍රවල සඳහන් වෙනවා, ශ්‍රාවක පිරිසගේ සංවර ගමන ගැන. අප ඒ දෙය දෑසින් ම දුටුවා. අප ඉන්නේ හිරගෙදරක කියා මොහොතකට අපට අමතක වුණා.

මම දැන් අවුරුදු 12කට ආසන්න කාලයක් මෙහි රැඳී ඉන්නවා. මට මරණ දඬුවම හිමියි. නිදහස් වන දිනයක සේයාවක්වත් මම දන්නේ නෑ. මේ අවුරුදු ගණනාවට ම මම මෙවැනි පින්කමක් දුටුවේ එදා. මම බන්ධනාගාරගත වීමට පෙර ඉහළ පෙළේ රැකියාවක් කළේ. නමුත් නො සිතූ ලෙස වරදක් වුණා. එයට දඬුවමක් ලැබුණා. මගේ හිත හදාගන්න මට බුදු දහම හුඟක් උපකාර වුණා. සුන්දර ගමනකට මංපෙත් විවර වුණා. 31 වෙනිදා මුළු බන්ධනාගාරය පුරා ම තිබුණේ ස්වාමීන් වහන්සේ හිමිදිරියේ අප ව සිල් සමාදන් කරන හඬ පමණයි. එය තවමත් මගේ මතකයේ fදා්ංකාර දෙනවා. හිත ප්‍රීතියට පත්වෙනවා. මේ වැඩසටහනෙන් පස්සේ ගොඩක් අය කතාබහෙන් පමණක් නොව ගමනෙන් බිමනෙන් පවා සංවර වුණා. මගෙන් සිදු වූ වරදට මම කනගාටු වුණා. මම හිතුවේ ඒක මගේ කරුමෙට වුණා කියලයි. නමුත් දැන් මම එහෙම හිතන්නෙ නෑ. දැන් මට හිතෙන්නේ ඒක මට වෙස්වලා ගත් ආශීර්වාදයක් කියලයි. මැරි මැරී යන සසර ගමන කෙටි කර ගන්නට මම උත්සාහ කරනවා. මේ ජීවිතේ දී නිවන අවබෝධ කර ගන්න නො හැකි වුණත් දිව්‍ය ලෝකයකට හෝ ගොස් ධර්මය පුරුදු කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ.

උදේ සහ දවල් බොහෝ වටිනා ප්‍රණීත ආහාර වේලක් අපට ලැබුණා. සිර ගෙදරට ආවට පස්සෙ ම බිත්තර ආප්ප, අයිස්ක්‍රීම්, චීස් කෑවා. මැකරෝනි, රොටී, ප්‍රයිඞ්රයිස් කෑවා. අපට කාලා ඉවර කර ගන්න බැරි තරම් කෑම තිබුණා. මම හිතන්නේ මෙවැනි ප්‍රණීත ආහාර වේලක් දුන්නේ සිරකරුවන්ට නෙමෙයි. එදා අටසිල් සමාදන් වූ සිල්වත් පිරිසකට යි. මට බන්ධනාගාර නිලධාරීන්ගෙන් දැන ගන්න ලැබුණේ වැලිකඩ බන්ධනාගාර ඉතිහාසය පුරා ම පළමු වරටයි මෙතරම් ප්‍රණීත ආහාර වේලක් සහ දවස පුරා මෙතරම් මානසික වර්ධනයක් ඇති කරන වැඩසටහනක් පැවැත්වුණේ කියලා.

දිව්‍ය ලෝකෙට හෝ නිවනට යන්න පිළිවෙළක් තියෙන්න ඕන. නිවනට සංවර සීලය අත්‍යවශ්‍ය යි. මම එදා වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලාගෙන් පමණක් නොවෙයි ඒ තරුණ පිරිසගෙනුත් සංවර භාවය දුටුවා. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දවල් දේශනාවට වඩින විට උන්වහන්සේ පිටුපසින් මහ සඟරුවන ඉතාමත් හික්මීමෙන් වැඩියා. සූත්‍ර දේශනා කියවනකොට මම දැකලා තිබෙනවා සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා පෙරටු කොටගෙන මහසඟරුවන වඩින බව. මෙතැනදීත් මට එවැනි හැඟීමක් තමයි දැනුණේ. සිහිපත් වුණේ. ඒ රූප සටහන් මගේ මතකයේ හැමදා ම තියේවි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ දේශනාවෙ ඉතාමත් සුන්දර වචන කිහිපයක් තිබුණා. ඒ තමයි, “වරදක් කර හෝ නොකර අපි සමාජයෙන් ගැරහුම් ලබනවා. ඔබ ලෝකයෙන් සාධාරණය හොයන්න යන්න එපා. වැරැද්ද නිවැරැද්ද හොයන්න යන්න එපා. ඔබ කවුද? කරන්නේ මොනවා ද? කියලා පමණක් සොයන්න මහන්සි ගන්න.” කිව්වා.”

මේ කතා කරන රැඳවියා සමාජය විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙකි. නමුත් ඔහු ජීවිතය ජයගෙන හමාර ය.

“මම බන්ධනාගාරගත වෙලා අවුරුදු 12ක් වෙනවා. විවාහකයි. දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මරණ දඬුවම ලැබුණට පස්සේ බිරිඳ මගෙන් වෙන් වුණා. දරුවන් ව අවුරුදු 12ට ම මම දැකලා නෑ. ඒ අය මා ව බලන්න එන්නෙත් නෑ.

මගේ නැන්දා කෙනෙක් විතරයි මා ව බලන්න එන්නේ. මම ඒ දේවල් ගැන හිතන්නේ නෑ. මම හිත හදාගෙන ඉන්නේ. ජීවිතේ කියන්නේ මොකක්ද කියලා මට දැන් හොඳට තේරෙනවා.

මම සෑහෙන වැරදි කළ කෙනෙක්. මගේ ජීවිත කාලෙට ම සිල් වැඩසටහනකට මම සහභාගි වුණේ පසුගිය 31 වෙනිදා. මට මරණ දඬුවම හිමිවෙලා තියෙන්නේ. බන්ධනාගාරගත වුණත් මම වැරදි කළා. ඒ නිසා නිතර ම මා ව තැනින් තැනට මාරු කළා. මම පන්සිල් පද පහවත් දැනගෙන සිටි කෙනෙක් නෙමෙයි. නමුත් බන්ධනාගාරයෙන් පුනරුත්ථාපන වැඩසටහන්වලට සහභාගී වෙලා ජීවිතේ යහපත් පැත්තට යොමුකරගෙන යනවා. ධර්ම මාර්ගයට යොමු වෙලා තවම වසරක් වැනි කාලයක්. දැන් අනෙක් පිරිසටත් මම පොඩි පොඩි ධර්ම කරුණු කියා දෙනවා.

මේ ධර්මය නිසා මට ලැබුණ දේ, මට දැනෙන දේ ඒ අයට මම කියනවා. මම දන්නවා මට ජීවිතේ වැරදුනා. නමුත් ඒ බොහෝ දේ මම නිවැරදි කරගෙන ඉන්නේ. ඉස්සර මම එනකොට මිනිස්සු මාව ප්‍රතික්ෂේප කළා. අද ඒ තත්ත්වය බොහොම වෙනස් වෙලා. මට ඒ ගැන සතුටුයි. අපි වගේ නොමඟ ගිය අයත් යහමඟට ආවා නම් පිටත ඉන්න කෙනෙකුට වැරැද්දක් කරනවා නම් එයින් නිවැරදි වෙන්න කොතරම් අවස්ථාව තියෙනව ද? අපි මේ මාර්ගය කලින් දැනගෙන හිටියේ නෑ. කවුරුත් කියන අවවාදයක් අපි පිළිගත්තේ නෑ. මේ වගේ සාකච්ඡාවකට මම කවදාවත් කතා කරලත් නැහැ. දැන් මගේ යහපත් ගතිගුණ තියෙනවා නම් ඒ බුදු දහම නිසා කියලයි මම හිතන්නේ.”

“මගේ වයස අවුරුදු 36යි. මම බන්ධනාගාරගත වෙලා තවම මාස 6යි. මරණීය දණ්ඩනය නියම වුණේ. එදා නියෝගය දුන්න අවස්ථාවේදී මට දැනුණේ සියල්ල ම අහිමි වුණා කියලයි. නමුත් මේ ස්ථානයට ආවට පස්සේ එළියෙ තියෙන ප්‍රතිරූපය නො වේ තිබෙන්නේ. සෑම බ්‍රහස්පතින්දා දවසකට ම උදේ වරුවෙ මහමෙව්නාව අසපුවෙන් වඩිනා ස්වාමීන් වහන්සේගේ වැඩසටහනට මම සම්බන්ධ වෙනවා. ඒ වැඩසටහන නිසා මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් වුණා.

31 වෙනිදා පැවති වැඩසටහනේ දී බන්ධනාගාරයේ ඉන්න බවක් අපට දැනුණෙ නෑ. එදා බුදුරජාණන් වහන්සෙත් හිරගෙදරට වැඩලයි හිටියේ. එදා ලැබුණ ප්‍රණීත ආහාර වේලට අපි ණයකාරයෙක් වෙන්න හොඳ නැති බවයි මට හිතෙන්නේ. එදා දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මට හිතෙන්නේ මහමෙව්නාවේ ධර්ම ප්‍රචාරය බොහෝම සරලයි. අපට හොඳින් තේරෙනවා. නැවත නැවතත් අහන්න හිතෙනවා. උන්වහන්සේලා වදාළා “මේක ආශ්චර්යයක්! ඔබ ධර්මයේ හැසිරෙන්න, ධර්මය අහන්න, ඒක විඳින්න” කියලා. මම දැන් ධර්ම රසය විඳින කෙනෙක්. මගේ ගෙදරින් මාව බලන්න ආවම ඒ අය අහනවා කොහොමද ඔහොම සතුටින් ඉන්නේ කියලා. මම ඒ අයට කිව්වා මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා කියලා, සිල්පද රකින නිසා කියලා. මට එක සැරයක් ජීවිතේ වැරදුනා. ඒ තැන මම දැන් හදාගෙන ඉන්නේ ධර්මය නිසයි. මට එළියට එන්න පුළුවන් වුණොත් මම තුනුරුවන්ට ජීවිතය පූජා කරලා මීටත් වඩා ධර්මයේ හැසිරෙන්න කල්පනා කරනවා.

මම එළියෙ ඉන්න පිරිසට කියන්නේ ළඟ ම තියෙන මහමෙව්නාව අසපුවකට ගිහින් ධර්මය නිවැරදිව ඉගෙන ගන්න. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ජීවිතය බොහෝ සේ වෙනස් කරනවා. මහමෙව්නාව අසපුවට මම අනේක වාරයක් පින් දෙනවා.”

මේ රැඳවියා බොහෝ උගත් කෙනෙකි. නමුත් කොතනක හෝ ඔහුට වැරදිණි.

“මගේ ජීවිතය ගුරුවරයෙක් විදිහටයි පටන් ගත්තේ. මම රැකියා 8ක් කළා. ඊට අමතරව ටියුෂන් ගුරුවරයෙක් ලෙස බොහෝ කල් සේවය කළා. මම බන්ධනාගාර ගතවෙලා වසර දෙකහමාරක් වෙනවා. වයස 47යි. මගේ නඩුව නැවත විභාගයට ගනිමින් තියෙන්නේ. මම මෙහි සිට කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විෂය යටතේ ඵ් එක කරනවා.

මගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් කළේ බන්ධනාගාරය තුළ පැවැත්වෙන දහම් පන්තිය යි. පසුගිය 31 වෙනිදා මෙහි පැවැත්වූයේ සාම්ප්‍රදායික වැඩසටහනක් නො වේ කියන එකයි මගේ හැඟීම. බන්ධනාගාරය තුළ දහම් පාසලක් පැවැත්වෙනවා. මෙතෙක් කල් එයට සම්බන්ධ වුණේ 25 දෙනෙක් පමණයි. නමුත් 31 වෙනිදායින් පසුව බොහෝ දෙනෙක් දහම් පාසලට සම්බන්ධ වෙනවා. මම දහම් පාසලේ උගන්වනවා. අපි පසුගිය වසරේ දහම්පාසල් අවසාන විභාගයට 20 දෙනෙක් පෙනී සිටියා. ඉතිහාසයේ පළමු වතාවට එයින් 19දෙනෙක් සමත් වුණා.

සාම්ප්‍රදායික දහම් වැඩසටහන්වලට රැඳවියන් යොමු කිරීම අමාරු යි. මොකද ඒ අයට ආවේණික වූ බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා බොහෝ විට කළය මුනින් හැරෙව්වා වගේ සමහර වැඩසටහන්. ඒවා ප්‍රායෝගික මදි. නමුත් 31 වෙනි දින පැවැත්වූ වැඩසටහන සාර්ථක වන්නේ අපේ ජීවිතයේ තිබෙන ප්‍රශ්නත්, බුදු දහම තුළින් ඒවාට විසඳුමත් අපට පෙන්වා දුන් නිසයි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී සුමට කරදර බාධා වලින් තොර මාවතක් නො වේ තිබෙන්නේ කියා උන්වහන්සේ කියූ දේ මට හොඳින් මතකයි. කොහොම වුණත් බන්ධනාගාරය අපි එන්න සුදුසු තැනක් නො වේ කියලයි මට කියන්න තියෙන්නේ.”

(මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ තාවතිංස යාත්‍රා සංවිධානය මගින් පසුගිය 31 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ පැවති සීල සමාදානයෙන් පසුව එහි ගොස් නැවත කළ සමාලෝචනයෙන් පසු සැකසූ ලිපියකි.)

සටහන – නයනා නිල්මිණි