වර්තමාන ලෝකයේ ගමන් මග වැටී ඇත්තේ භයානක දිශාවකට බව කාටත් නොරහසකි. පිරිහීමේ දොරටු හාත්පසින් ම විවෘත කර ගනිමින් ඛේදනීය අවසානයක් කරා ලෝකය පිය නගන බව නම් ඉතා පැහැදිලි ය. දිනෙන් දින ස්වාභාවික විපත්, පරිසර හානි, යුද කෝලහාල මෙන් ම වංචා දූෂණ, මත්ද්‍රව්‍ය භාවිතය ආදියේ ප්‍රවණතාවය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සිදුරු වූ නැව සියලු දෙනාගේ ඇස් ඉදිරිපිට දී ම විකල්පයක් නොමැතිවම ගිලී යන්නේ යම් සේ ද වර්තමාන ලෝකය විනාශය කරා යන්නේ ඊට සාරවත් ස්ථිරසාර විසඳුමක් තිබිය දී ම වීම ශෝචනීය දෙයකි.
සම්බුදු බණ පද නොඇසෙන ලෝකය
වර්තමානයේ මිනිසා මිනිසාගේ ම විනාශයට මග පාදවයි. ඔවුහු කෲරත්වය, ප්රචණ්ඩත්වය, වස විස, අහිතකර විකිරණශීලී ද්‍රවයන් ආදි විනාශකාරී දෑ ඉවක් බවක් නොමැතිව මිහිමත වැගුරුවෝ ය. ‘මෙලොව පරලොව ජයගත් උතුමන් තම විශිෂ්ට වූ ප්‍රඥාවෙන් අවබෝධ කොට ධර්මය දේශනා කරනවා’ ය යන ලෞකික සම්මා දිට්ඨියෙන් තොර අසරණ ලෝකයා සාරධර්ම, ගුණධර්ම පසෙකලා භෞතිකවාදයට ම තම ලබ්ධිය ලඝු කළෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බටහිර ලෝකයේ ගුරුවරයා පන්ති කාමරයට පැමිණෙන විට ශිෂ්‍යයා නැගී සිටීම, ගෞරව කිරීම ආදිය නොකරති. ගුරුවරයාට ඔහුගේ නමින් ම ආමන්ත්‍රණය කරති. දෙමාපියන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම, ගෞරව කිරීම විහිළුවකි. යහපත පිණිස හෝ තම දරුවන්ට දඬුවම් කරන දෙමාපියන්ට එරෙහිව දරුවාට ඕනෑම වෙලාවක පොලීසියට පැමිණිලි කිරීමට අයිතියක් ඇත. ඒ පිළිබඳව පන්ති කාමරයේදී ගුරුවරු නිතර අවධානයෙන් පසුවෙයි. ඒ නිසා ම බටහිර රටවල දරුවන් තම දෙමාපියන්ට එරෙහිව කරන පැමිණිලි නිසා අනේක දඬුවම් විඳින දෙමාපියන් කොතෙකුත් දකින්නට ඇත.
කෙලෙසුන්ට වසඟ ව ලබන ස්වාධීනත්වය
ආදරය, අනුකම්පාව, පිදිය යුතු උතුමන් පිදීම, ගෞරව කළ යුතු උතුමන්ට ගෞරව කිරීම, ආශීර්වාද ලබාගැනීම ආදී මූලික මිනිස් සාරධර්මයන් නොමැතිව තම දෙමාපියන්, ගුරුවරුන් සමඟ හුදෙක් ගනුදෙනුවක් ලෙස මුල් වසර 18ක් ගෙවා දමන දරුවා ඉන් පසු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව අසීමාන්තරව තීන්දු තීරණ ගැනීමට නිදහස ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය, කල්‍යාණමිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සීල, සමාධි, ප්‍රඥා ආදී මිනිසාගේ මූලික හරපද්ධතිය පෝෂණය කරන සාරවත් වූ මහානීය රත්නයන් ඔහු අසල නැත.
විපත පිණිස පවතින දෑ තම අත ළඟ ය
ඒ වෙනුවට සිහිනුවණ බාල වූ පාපී මිතුරන්, මත්පැන් මත්ද්‍රව්‍ය, ගිනි අවි ආදි මෙවලම් ඔහු අසල ය. දැන් ඔහු ලැබූ නිදහස තුළ අසීමිත ලෙස තම ආශාවන් තෘප්තිමත් කිරීමට වෙර දරයි. විවිධාකාරයෙන් ඉඳුරන් පිනවා සෑහීමකට පත් වීමට උත්සාහ කරයි. ඊට හිරි ඔතප් ආදී ලෝක පාලක දේවධර්ම අදාළ නැත. දුස්සීලයාගේ විපත්ති, සීලානිශංස, සතර අපා බිය ඔහු කිසිදා නොඇසූ දෑ ය. නමුත් සත්‍යය වනාහි කිසිදා ජලයෙන් පුරවා අවසන් කළ නොහැකි සාගරය සේ මේ ඉඳුරන් පිනවා අවසන් කළ නොහැකි බව ය. කොතෙකුත් තෘප්තිමත් කොට අවසන් කිරීමට උත්සාහ කළ ද අතෘප්තිය ම ශේෂ වීම ය.
පිරිහුණු සිතේ ස්වභාවය
මේ වේගවත් සැඩ පහරේ ගසාගෙන යන මේ ජීවිත ඊළඟට ගමන් කරන්නේ භයානක දිශාවකට ය. එනම් තමාගේ ම දෙමාපියන්, ගුරුවරුන්, හිතවතුන් කෙරෙහි වෛරී සිතින් බැලීම ය. ඔහුත් දැන් මානසික බෙලහීනත්වයෙන් පෙළේ. මානසික පීඩාවන්ගෙන් දුක් විඳියි. විවිධාකාර කායික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙයි. එහි ප්‍රතිඵලය ලෙස වීමංසන බුද්ධියෙන් තොර තෘතීය මිනිසෙක් ලොවට බිහි වී අවසන් ය. මේ ඛේදනීය තත්ත්වයට වර්තමාන ලෝකයට විසඳුම් නොමැත. නීති රීති අණපනත් මගින් යම් පමණකට යම් පාලනයන් සිදු කළ ද මිනිසුන්ගේ ජීවිත තුළ ඇති මේ අභ්‍යන්තර කඩා වැටීම සුළුපටු නො වේ. තවමත් මෙය ලොවට වසන්වන්නේ මේ භෞතිකව මිනිසා ලද දියුණුව නිසා ම ය. වර්තමාන විද්‍යාවේ හා තාක්ෂණයේ හාස්කම් මිනිසා මවිත කරමින් සිටී. ඒ ඔස්සේ ම තම දියුණුව හා සැපය පතන ලෝකයා ආධ්‍යාත්මිකව ලබන සැනසීමෙන් දුරස් වී බොහෝ කල් ය.
අපි නොදකින අපේ උරුමය
ශ්‍රී ලාංකිකයන් වූ අපට උපතින් ම වටිනා දායාදයක් හිමි විය. උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තිය නිසා එය අපේ ජීවිතවලට සමීප විය. ඒ මෙලොව පරලොව තම විශිෂ්ට වූ නුවණින් අවබෝධ කොට සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් වදාළ ශ්‍රී සද්ධර්මය යි. ඒ ධර්මය තුළින් අප ඉගෙන ගත්, දැන කියාගත් දෑ අපමණ ය.
අද අප සිහිකර ගන්නා මේ සුන්දර බුද්ධ දේශනාව අපේ ජීවිත තුළ දියුණුකර ගත යුතු තවත් එක්තරා වටිනා පැතිකඩක් අපට විවර කර දෙයි. එනම් අප ජීවත් වන පරිසරයේ අපි ඇසුරු කරන අය සමඟ වගකීම් යුතුකම් ඉටුකරමින් සුහදව, මිත්රශීලීව සිටීමේ වටිනාකම පිළිබඳව ය. ඒ තුළින් අප ඇසුරේ සිටින අය හදවතින් ම සිදුකරන ආශිංසනය අපේ දියුණුවට පාදක වන ආකාරය පැහැදිලි වේ. බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවන් වගකීම්, යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නන් බවට මේ බුද්ධ දේශනාව කදිමට සාක්ෂි දරයි.
මුනිරජු වැඩ සිටින විශාලාවේ මහවනය
එදින විශාලා මහ වනය දෙවනත් කරමින් ලිච්ඡවී රජ කුමාරවරුන් දුනු ඊතල රැගෙන දඩයම් සුනඛ සමූහයත් පිරිවරාගෙන මහ වනයෙහි ඔබ මොබ ඇවිදින්නාහු එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේව දුටහ. දැක දුණු ඊතල ආදිය පසෙක තබා දඩයම් සුනඛ සමූහයා පසෙකට යවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්.
සුපුරුදු පරිදි එදින ද මහානාම ලිච්ඡවී රජු විශාලාවේ මහ වනයට පිවිසියේ ව්‍යායාමය පිණිස ය. කලෙක පටන් ලිච්ඡවී රාජ කුමාරයන් පිළිබඳ ව නොසතුටින් හේ පසු විය. මන්දයත් ලිච්ඡවී රාජ කුමාරයන්ගේ නොහික්මුණු කල්ක්‍රියාව පිළිබඳ ව ය. ඔවුන් චණ්ඩ ය, පරුෂ ය, දැඩි ගතියෙන් යුක්ත ය. උක්ගස් වේවා මසං ගෙඩි වේවා කැවුම් වේවා මුං කැරලි වේවා තල කැරලි වේවා ලිච්ඡවී පවුල්වලට තෑගි පිණිස යවත් නම් මොවුහු ඒවා පවා පැහැර පැහැර කති. කුල ස්ත්‍රීන් හට, කුල කුමාරිකාවන් හට පසු පසින් ගොස් පිටුපසින් පහර දෙති. එබඳු වූවන් දැන් උදවිය නිහඬව දෑත් ඇදිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කරත්. මෙය දුටු ලිච්ඡවී මහානාම රජු එකෙණෙහි ම මෙසේ උදන් ඇනී ය. “වජ්ජීහු දියුණුවට පත්වන්නාහු ය. වජ්ජීහු දියුණුවට පත්වන්නාහු” යැයි.
ඒ මොහොතේ සියලු තතු දැනගත් භාග්‍යවතුන් වහන්සේ මහානාම රජුට මෙසේ වදාළ සේක. “මහානාමය කරුණු පහක් ඇති රජෙකු වේවා, රට වැසියෙකු වේවා, සෙන්පතියෙකු වේවා, ගම් ප්‍රධානියෙකු වේවා, පිරිස් ප්‍රධානියෙකු වේවා, පවුල් ප්‍රධානියෙකු වේවා යම් පවුලක අධිපති බවක් කරයි ද ඔහු දියුණුවට පත් වීම කැමති විය යුතු ය. පරිහානියක් නො ලබන්නේ ය. ඒ කවර පසක් ද යත්….”
පූර්වාචාර්යයන් පිදීම
“මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් මව්පියන්ට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය. පුදන්නේ ය. දරුවන්ගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදිම් ලද මව්පියෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, මව්පියන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.
මහානාමය, මෙහිලා කුල පුත්‍ර තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව අත් පා වෙහෙසීමෙන් යුතුව ඩහදිය වැගිරීමෙන් යුතුව ධාර්මිකව උපයා සපයා ගත් භෝග සම්පත්වලින් අඹුදරු දාස කම්කරු පුරුෂයන්ට….
තම කුඹුරු වතුපිටි ආදියෙහි කටයුතු කරන්නන් හට….
පුජා පිළිගන්නා දේවතාවුන් හට….
ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට සත්කාර කරන්නේ ය. ගරු කරන්නේ ය. බුහුමන් දක්වන්නේ ය. පුදන්නේ ය. ඔහුගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදීම් ලද ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.
ගිහිගෙයි වසනා සැබෑ ශ්රාවකයා
“හැමකල්හි මව්පියන්ගේ කටයුතු සොයා බලන, අඹු දරුවන්ට හිතෛෂී වූ, ඇතුළු ජනයාගේ අර්ථ සිද්ධිය සලකන, තමා නිසා ජීවත් වෙන අන් අයට ද යහපත කරයි නම්,
නැණවතුන්ගේ වචනයෙහි අරුත් දන්නා, සිල්වත් වූ තැනැත්තා මිය ගිය ඥාතීන්ටත්, මෙලොව ජීවත්වන ඥාතීන්ටත් යන උභය පක්ෂයට ම යහපත සලසයි නම්,
ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද දෙවියන්ට ද යහපත සලසන නුවණැත්තා ධාර්මිකව ගිහිගෙයි වාසය කරමින් හැමට සතුට දනවයි.
හෙතෙම යහපත් කර්මයන් කොට ප්‍රශංසාවට නිසි වූයේ පිදුම් ලබන්නේ වෙයි. මෙහිදී ද ප්‍රශංසාවට බඳුන් වෙයි. පරලොව සුගතියේ ඉපිද සතුටුවෙයි…!”
ඇසුර – ලිච්ඡවී කුමාර සූත්‍රය – අං. නි. 03
මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments