උතුම් බුද්ධ ශාසනයක් තුළ තම තම නැණ පමණින් ධර්මාවබෝධ කරන ශ්‍රාවකයන් වනාහී යුගල වශයෙන් සතරනමක් වන සේක. පුද්ගලයන් වශයෙන් අටනමක් වන සේක. අරහත් මාර්ගස්ථ-ඵලස්ථ, අනාගාමී මාර්ගස්ථ-ඵලස්ථ, සකදාගාමී මාර්ගස්ථ-ඵලස්ථ, සෝතාපන්න මාර්ගස්ථ-ඵලස්ථ යනු ඒ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා ය. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ, ඒ සෝතාපන්න මාර්ගස්ථ- ඵලස්ථ ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ ව බුද්ධ දේශනාවේ විස්තර වී ඇති ආකාරය යි.
සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේලා මෙන් ම සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන්ගේ ස්වභාවය, උන්වහන්සේලා ලැබූ රැකවරණයේ ස්වභාවය මෙම බුද්ධ දේශනා තුළින් මනා ව පැහැදිලි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
“පින්වත් මහණෙනි, මං ඔය විදිහට ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු, අවිද්‍යා වැරහැලි ඉරලා දාපු, මේ ධර්මය තුළ (යේසං භික්ඛූනං තිණී සංයෝජනානි පහීනානි) සංයෝජන තුනක් ප්රහාණය වූ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. (සබ්බේ තේ සෝතාපන්නා) ඔවුන් සියලු දෙනා ම සෝතාපන්න වෙලයි ඉන්නේ. (අවිනිපාතධම්මා) කවදාවත් සතර අපායට වැටෙන්නේ නෑ. (නියතා සම්බෝධිපරායනා) නියත වශයෙන් ම නිවන අවබෝධ කරනවා.”
(අලගද්දූපම සූත්‍රය – ම. නි. 1)
උතුම් බුද්ධ දේශනාවට අනුව සෝතාපන්න ඵලයට පත් වූ ශ්‍රාවකයන් වහන්සේලා මුළුමනින් ම සතර අපාය ක්ෂය කරන ලද්දාහු ය. සතර අපායේ උපතට හේතුවන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන මුළුමනින් ම ප්රහාණය කරන ලද්දාහු ය. කිසිම දිනෙක (න තේ භවං අට්ඨමං ආදියන්ති) අටවන භවයකට නො පැමිණෙන උන්වහන්සේලා නියත වශයෙන් ම ආත්මභාව හතක් ඇතුළත නිවන් අවබෝධ කරන්නාහු ය. බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් ත්‍රිවිධ රත්නය පිළිබඳ ව වූ අවෙච්චප්පසාදයත්, ආර්යකාන්ත සීලයත් යන සෝතාපත්ති අංග තුළ නො පිරිහෙන ලෙසට පිහිටියාහු ය. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව සත්‍ය ඤාණයට පැමිණීම තුළින් සම්මා දිට්ඨියට පත්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයට සපැමිණෙන ලද්දාහු ය. (යං කිඤ්චි සමුදයධම්මං – සබ්බං තං නිරෝධධම්මන්ති) හේතූන්ගෙන් හට ගන්නා වූ යමක් ඇද්ද, හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන්නේ ය යන දහම් ඇස (යථාභූත ඤාණය) උපදවා ගත්තාහු ය. සතර අපායට වැටෙන්නා වූ යම්තාක් කර්මයන් ඇද්ද උතුම් සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේලා අතින් එබඳු කර්ම කිසිවිටෙකත් සිදු නො වන්නාහු ය. උන්වහන්සේලා කිසිදු සංස්කාරයක් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගන්නවා යන කරුණට කිසිම අවකාශයක් නැත්තාහු ය.
මෙවන් ආශ්චර්යවත් වූ රැකවරණයක් උතුම් තිසරණයේ පිහිට පිළිසරණ ලබා බුදු සසුනක පිළිවෙත් පිරීමෙන් තොරව ලබා ගත නො හැක්කේ ය. මහමෙරක් වන් වූ සසර දුක වෙරළු ගෙඩි හතක ප්‍රමාණයට ක්ෂය කර ගැනීමට භාග්‍යවන්ත වූවෝ ඒ උතුම් සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේලා ම ය.
උතුම් සෝතාපන්න ඵලයට පත් වූ ශ්‍රාවකයන් වහන්සේලා තරමට ම නැතත් සෝවාන් ඵලය පිණිස හික්මෙන සද්ධානුසාරි, ධම්මානුසාරි ශ්‍රාවකයන් වහන්සේලා ද උතුම් බුදු සසුනේ පිහිට පිළිසරණ ලද්දාහු ම ය.
“පින්වත් මහණෙනි, මම ඉතා යහපත් ලෙසට දේශනා කරපු, මතුකොට දක්වපු, විවෘත කරපු, කියා දීපු අවිද්‍යා වැරහැලි ඉරලා දාපු මේ ධර්මය තුළ (යේ තේ භික්ඛූ ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ) ධම්මානුසාරී, සද්ධානුසාරී භික්ෂූන් වහන්සේලා ඉන්නවා. (සබ්බේ තේ සම්බෝධිපරායනා) ඒ සියලු දෙනා ම නිවන් අවබෝධ කරනවා.”
(අලගද්දූපම සූත්‍රය – ම. නි. 1)
එසේ නම්, තථාගත බුද්ධ වචනයට අනුව සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් වහන්සේලා ද උතුම් නිවන උරුම කොට ඇති සේක. නමුත් නියත වශයෙන් ම ආත්මභාව සතක් ඇතුළත නිවන් අවබෝධ කරන තත්ත්වයට පත්වෙන්නේ උතුම් සෝතාපන්න ඵලයට පත්වීමෙන් ම ය. එමෙන් ම සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් වහන්සේලා ද නිරයට නොවැටෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.
“මහානාමයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් (සෝතාපන්න ශ්‍රාවකයෙක් මෙන්) බුදුරජුන් කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත නො වූයේ වෙයි. ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි ඒකාන්තයට ගිය බලවත් පැහැදීමකින් යුක්ත නො වූයේ වෙයි. (අරහත්, අනාගාමී ශ්‍රාවකයන් මෙන්) සතුට බහුල ප්‍රඥාවෙන්, වේගවත් ප්‍රඥාවෙන් යුක්ත නො වූයේ වෙයි. (රහතන් වහන්සේ මෙන්) විමුක්තියෙන් යුක්ත නො වූයේ වෙයි. එනමුදු ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය යන මේ ධර්මයෝ ඇත්තාහ. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මයෝ ඔහු විසින් ප්‍රඥාවෙන්, සිය නැණ පමණින් අවබෝධ කරන ලද්දාහු වෙති. මහානාමයෙනි, මේ පුද්ගලයාත් නිරයට නො යන්නෙකි. තිරිසන් යෝනියට නො යන්නෙකි. ප්‍රේත විෂයට නො යන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.”
(දුතිය සරකානි සූත්‍රය – සං. නි. 5)
ඉහත බුද්ධ වචනයෙන් දැක්වූයේ ධම්මානුසාරී ශ්‍රාවකයන් පිළිබඳ ව ය. එසේ ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්රිය ධර්මයන්ගෙන් යුතුව තථාගතයන් වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව, පැහැදීම, ප්‍රේමය නිසා සද්ධානුසාරී බවට පත් ශ්‍රාවකයන් වහන්සේලා ද සතර අපායට නො යන බව එම දේශනාවේ ම සඳහන් වී තිබේ.
එසේ නම් මෙම බුද්ධ දේශනාවන්ට අනුව සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේලා මුළුමනින් ම සක්කාය දිට්ඨිය ප්රහාණය කළ බවත්, ධම්මානුසාරී ශ්‍රාවකයන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෝ ප්‍රඥාවෙන් සිය නැණ පමණින් අවබෝධ කරන ලද බවත්, සද්ධානුසාරී ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මය අදහාගෙන සිටින බවත් පැහැදිලි ය. මෙම කරුණ මනාව තේරුම් ගැනීමට හැකිවන්නේ සං. නි. 3 පොත් වහන්සේ තුළ ඇතුළත් ඔක්කන්ති සංයුත්තය කියවීමෙන් ය.
“පින්වත් මහණෙනි, ඇස යනු අනිත්‍ය දෙයක්. වෙනස් වෙන දෙයක්. අන්‍ය ස්වභාවයට පත්වෙන දෙයක්. කන යනු… නාසය යනු… දිව යනු… කය යනු… මනස යනු අනිත්‍ය දෙයක්. වෙනස් වෙන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත්වෙන දෙයක්.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් ම (සද්දහති අධිමුච්චති) අදහා ගනී නම්, ශ්‍රද්ධාවෙහි බැස ගනී නම් (අයං වුච්චති සද්ධානුසාරී) ඔහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලයි. නිවන් මඟට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත ලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්ට ඔහුට පුළුවන්කමක් නෑ. (අභබ්බෝ ව තාව කාලං කාතුං යාව න සෝතාපත්ති ඵලං සච්ඡිකරෝති) යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”
(චක්ඛු සූත්‍රය – සං. නි. 3)
එසේ ම ධම්මානුසාරී ශ්රාවකයා ලද අවබෝධය පිළිබඳවත් එම දේශනාව තුළින් ම අපට දැනගැනීමට ලැබේ.
“පින්වත් මහණෙනි, යමෙකුට මේ ධර්මයන් ඔය ආකාරයෙන් (පඤ්ඤාය මත්තසෝ නිජ්ඣානං ඛමන්ති) ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් තියෙනවා නම් (අයං වුච්චති ධම්මානුසාරී) මොහුට කියන්නේ ‘ධම්මානුසාරී’ කෙනා කියලයි. නිවන් මඟට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත ලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්ට ඔහුට පුළුවන්කමක් නෑ. (අභබ්බෝ ව තාව කාලං කාතුං යාව න සෝතාපත්ති ඵලං සච්ඡිකරෝති) යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”
(චක්ඛු සූත්‍රය – සං. නි. 3)
මෙම දේශනාවේ සඳහන් වන අන්දමට එසේ නම් සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් හට ද ආර්ය න්‍යාය පිළිබඳ ව, චතුරාර්ය සත්‍ය පිළිබඳ ව යම් යම් ආකාරවලින් දැනුමත්, වැටහීමත් තිබිය යුතු ය. අෂ්ට ආර්ය පුද්ගල ශ්‍රාවක සංඝ රත්නයට ඇතුළත් වන, සෝතාපන්න ඵලය උරුමකොට ඇති ඒ උතුම් සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්රාවකත්වය සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා යන්නේ ඒ නිසා ය. සතර අපායේ උපතට හේතුවන කර්ම සිදුනොවන්නේ ද ඒ උතුම් වැටහීම නිසා ම ය.
“පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් (ඒවං ජානාති, ඒවං පස්සති) ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම්, ඔය ආකාරයෙන් දකිනවා නම් (අයං වුච්චති සෝතාපන්නෝ) මොහුට කියන්නේ සෝවාන් කෙනා කියලා. (අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝ) අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම ඒ අමා නිවන පිහිට කොට සිටින කෙනා කියලයි.”
(චක්ඛු සූත්‍රය – සං. නි. 3)
මෙසේ ස්පර්ශ, ආයතන සම්බන්ධයෙන් පමණක් නො ව ධාතු ස්කන්ධ ආදී ධර්මයන් ඔස්සේ ද සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේලාගේ අවබෝධය පිළිබඳ ව ඔක්කන්ති සංයුත්තයේ විස්තර සඳහන් වී ඇත.
ඒ අනුව බුදු සසුනක පිහිටා උතුම් තිසරණය පිළිබඳ ව, ආර්ය න්‍යාය පිළිබඳ ව ශ්රද්ධාවට පත් වීම පවා බොහෝ යහපත පිණිස පවතිනු ඇත. ඒ උතුම් ධර්මයන් පිළිබඳ ව තම නැණ පමණින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් ලබා ගැනීම ඊටත් වඩා බොහෝ යහපත පිණිස පවතී. උතුම් තෙරුවන් පිළිබඳ ව අවෙච්චප්පසාදය උපදවාගෙන ආර්යකාන්ත සීලයෙහි පිහිටා සම්මා දිට්ඨියට පත්වීමට හැකියාව ලදහොත් එහි වටිනාකම ගැන කවර කතා ද?
“පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්ති ඵලං වරං”
මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වනවාටත් වඩා සෝවාන් ඵලයට පත් වීම ම යි උතුම්.
(ධම්ම පදය- ලෝක වග්ගය)
එම නිසා සෝතාපන්න, ධම්මානුසාරී, සද්ධානුසාරී වශයෙන් දහමේ රැකවරණ සලසා ගැනීමට කැමති සියල්ලෝ ම අප්රමාදී ව ජීවිතයට පුරුදුකර ගත යුත්තේ මෙම කරුණු හතරයි.
“පින්වත් මහණෙනි, සෝතාපන්න වීම පිණිස උපකාර වන කරුණු හතරකි. ඒ කවර සතරක් ද යත්, සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්‍රවණය ය. යෝනිසෝමනසිකාරය ය. ධම්මානුධම්ම ප්‍රතිපදාවය ය. පින්වත් මහණෙනි, මේ වනාහි සතරක් වූ සෝතාපත්ති අංගයෝ ය.”
(අංග සූත්‍රය – සං. නි. 5)
“ආයුධයකින් පහර කෑවා වගේ, හිස ගිනි ගත්තා වගේ ඒ භික්ෂුව සක්කාය දිට්ඨීය නැති කරලා දාන්නයි සිහි නුවණින් ඉන්න ඕන.”
(සන්ති සූත්‍රය – සං. නි. 1)
මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි
Recent Comments