එදා ආච්චි මාවත් නංගියාවත් ළඟට කැඳවා ගත්තා. “මයෙ දරුවනේ, ඔයාලා භාග්‍යවතුන් වහන්සේ ගැන නිතර නිතර සිතනවා නේ ද?”
“ඔව්.. ආච්චි… මං නම් අපේ බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා ම යි. ඇයි ආච්චිනේ අපට කියාදුන්නේ එහෙම හිතන්ට කියලා.”
“හරි පුතේ… මටත් අද බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කරද්දී මතක් වුණේ ‘හනේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ව සිහිකිරීමෙන් මොනතරම් ආරස්සාවක් ලැබෙනවා ද කියලයි. ඇයි අර දැරිවියක් මරන්ට ගොහින් දෙවිකෙනෙක් බේරාගත්තේ.”
“අනේ ආච්චි… මොකක්ද ඒ කතාව?”
“ඇයි දරුවෝ… මං ඔයාලාට ඒ කතාව කියාදුන්නේ නැද්ද?”
“අනේ ආච්චි කියා දෙන්ටකෝ ඒ කතාව.”
“හොඳයි පුතේ… ඕං එහෙනම් අහගන්ට හොඳේ. ඕන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ සැවැත්නුවර ‘සුමන කියලා සිටාණ කෙනෙක් උන්නා. ඒ සිටාණන්ට ‘සුජම්පතිකා’ කියලා සිටු බිරිඳකුත් හිටියා. මේ දෙන්නාට පුතෙකු යි දුවෙකු යි හිටියා.
ඉතිං පුතේ අපි කවුරුත් මැරී යනවා නොවැ. අන්න ඒ වගේ මේ සිටුජෝඩුවත් හදිසියේ රෝගාතුරව මැරෙන්ට ළං වුණා. ලොකු පුතා කැඳවා මෙහෙම කිව්වා. ‘අනේ පුතේ, මඟුල්තුලා කරලා හිටං ඔයාලව පිළිවෙළක් කොරන්ට අපට බැරිවුණා. ඒ නිසා පුතේ මේ සම්පත් ඔක්කෝමත්, ඒ වගේ ම නංගියාවත් උඹට භාරයි. මේ දූටත් අනාගතේ පිළිවෙළක් කර දීපං’ කියලා අවවාද කොට මරණෙට පත් වුණා.
මාපියන්ගේ අවසන් කටයුතු කළ පුත්‍රයා තමන්ගේ නංගිවත් පරෙස්සම් කරගෙන ජීවත් වුණා. ඊට පස්සේ සුදුසු පවුලකින් සොයා බලා නංගියා ව කසාද බන්දලා දුන්නා. තමනුත් කසාදයක් කර ගත්තා.
ටික කලක් ගියා පුතේ. පිට පළාතකට ගිය නංගීට අයියාව බලන්ට යන්ට ආසා හිතුණා. තමුන්නේ සැමියාට ඒ වග කියලා කැවිලි පෙවිලි හදාගෙන සැවැත්නුවර ආවා. මේ වෙද්දී ඒ දැරිවිගේ දරුගැබට පස්මාසයක් විතර වෙලා තිබුණා. ඉතින් මේ දෙන්නා සැවැත්නුවර එද්දී හරි අපූරු දෙයක් වුණා නොවැ.
එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬුසිඟා වැඩියා. බලන්ට ලස්සනේ බෑ පුතේ බුදුරැස් විහිදුවාගෙන එදා වැඩියේ. රන් පිළිමයක් වඩිනවා වගේ භාග්‍යවතුන් වහන්සේ වඩින දර්ශනේ දැක්ක ගමන් මේ දෙන්නා වශී වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එදා මේ දෙන්නා තෙරුවන් සරණ ගොහින් සිල් සමාදන් වුණා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. “දරුවනේ.. ඔයාලාට බැරිවෙලාවත් දුකක්, කරදරයක්, විපැත්තියක්, වින්නැහියක් වුණෝතින් ඒ වෙලාවට මා ගැන සිහිකරන්ට.” කියා අවවාදයකුත් කොට වදාළා.
පුතේ බලන්ට. අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොනතරම් හැබෑවක් ද! දැන් වුණත් අපේ රටේ මේ වෙන්නේ හිතපු දේවල් ද? ගංවතුර එන්නේ සුනාමි වගේ. වගා කොරපු ගොයම් නියඟෙට අහුවෙනවා. මෙහෙ ගංවතුර. එහෙ නියං. එහෙන් රෝග. යුද්ධ එන්ටත් බැරි නෑ. ඉතිං දැන් වුණත් තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ව සිහිකිරීම තමා.
ඉතිං පුතේ මේ දරුවෝ දෙන්නා ඕං තමන්නේ මහසිටු ගෙදරට ආවා. මේ බඩදරු අම්මා ගෙදර නවතා තමන් ඉක්මණින් වැඩකටයුතුවලට යන්ට ඕනෑ කියලා සැමියා පිටත් වුණා. සහෝදරයාත් තමුන්නේ බිරිඳට මෙහෙම කිව්වා. “හාමිනේ… අපේ මේ නඟා කාලෙකින් නොවැ ආවේ. ඒ නිසා නඟාට හොඳට සලකන්ට ඕනෑ” කියලා. ඉතින් ඒ ගෑනු කෙනාත් ආදරයෙන් සැලකුවා. මාසයක් හමාරක් යද්දී ඒ ගෑනු කෙනාගේ හිත වෙනස් වෙන්ට පටන් ගත්තා.
‘හප්පේ… මෙයා පැලඳ ඉන්න මාලයේ ලස්සන. මෙවැනි මුතු කරාබු, මේ වගේ මැණික් ඔබ්බා තියෙන වළලු, මිණිමෙවුල්, පා සළඹ මට නෑ නොවැ. ම්… මේකිගේ ආභරණ මට ඕනෑ ය කීවොත් වස ලැජ්ජාව නොවැ. එහෙම නොවෙයි, දොළදුකක් හැටියට කියලා මේකි ව මරවා ගත්තොත් ආභරණ ටික මට ගතහැකි.’ කියා හිතුවා.
ටික දවසක් යද්දි ගෑනි ලෙඩ ගාණට ඉන්නා බව පෙන්නුවා. ඇඳට වැටුණා. දැන් ඈට මොකවත් කන්ට බොන්ටත් බෑ. එතකොට සැමියා ගිහින් ඇඳ ළඟින් වාඩිවුණා. ඇගේ හිස අතගාමින් අසන්ට පටන් ගත්තා. “ඇයි සොඳුරී, ඔයාට මක් වුණා ද? හොඳටෝ ම සුදුමැලි වෙලා. කෑමකුත් බීමකුත් නෑ.”
එතකොට ඈ කඳුළු වගුරුවාගෙන වචන ගිල ගිල හිටියා. කටින් වචනයක් පිට කළේ නෑ.
“ඇයි අනේ තතන තතනා ඉන්නේ? කියන්ට දෙයියනේ… මං ඔයා වෙනුවෙන් නො කරන දෙයක් තියෙනවා ද?”
“ම්… එහෙම… බෑ… මට කියන්ට බෑ මයෙ දෙයියෝ…” කියා ඉකිගසා හඬන්ට පටන් ගත්තා. සැමියා තවත් භය වුණා.
“අනේ සොඳුර… මේ… මොනා ද ඔයාට මේ වෙලා තියෙන්නේ? ඔයාට තමන්ගේ සැමියා ව අවිශ්වාස ද? ඇයි… මට නො කියන දෙයක් තියේ ද?”
“ම්… මගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන ඉන්නවා. අනේ…” කියා ආයෙමත් හඬන්න ගත්තා. “කෝ… ඉතිං… මේ අහන්ට… ඉතිං ඒක හොඳ දෙයක්නේ. ඉතිං ඒක සතුටු වෙන්ට කරුණක් මිස හඬා වැළපෙන්ට කරුණක් ද?”
“නෑ… මෙයා… මං ඒකට නො වෙයි මේ හඬන්නේ…” කියලා ආයෙමත් හඬන්ට පටන් ගත්තා.
“හරි… මොකක්ද වදේ මේ… මං ඔයා වෙනුවෙන් පණ වුණත් දෙන්නම්. කෝ.. ඉතින්… මට කියන්ට.”
“අනේ… එහෙනම්… අපි දෙන්නා විතරයි… මේක… මේක… දැනගන්ට ඕනෑ.”
“එතකොට සැමියා බිරිඳට ළං වුණා. බිරිඳ රහසේ මුමුණා කීවා. “අනේ… මෙයා… මේ ඉල්ලීම මං කොහොමද දෙයියනේ ඉල්ලන්නේ…. හැබැයි මෙයා, මට මේ කියන දේ නැති වුණොත් මං මැරිලා යාවි. ඔයාට දරුපැටියා විතරක් නො වේ මාවත් නැති වේවි.”
“ඇයි අනේ ඔයා මට මෙහෙම දුක් දෙන්නේ. මං ඔයාට කීවනේ. ඔයා වෙනුවෙන් මට කරන්ට බැරි දෙයක් නෑ. දෙන්ට බැරි දෙයක් නෑ කියලා.”
“ඔය ඇත්ත ම ද ඔයා මට කියන්නේ?”
“මේක හරි පුදුම කතාවක්නේ. ඇයි සොඳුරී ඔයා මා එක්ක මෙහෙම සැකෙන් කතා කරන්නේ. සත්තක් ම යි දෙයියනේ මං මේ කියන්නේ. සත්තක් ම යි.”
“එහෙනම් මගේ අතට අත ගසා දිවුරන්ට මාව අසරණ වෙලා මැරිලා යන්ට දෙන්නේ නෑ කියලා.”
එතකොට පුතේ මේ ස්ත්‍රී මායමට සැමියා අහුවුණා. අතට අත තියා දිවුරා හිටියා. එතකොට ඈ කෙඳිරි ගගා මෙහෙම කිව්වා.
“ම්හ්… හනේ මන්දා… මට වගේ දොළදුකක් ලෝකේ කාටවත් ඇතිවෙන්ට එපා කියලයි මං කියන්නේ.”
“හරි සොඳුරී… ඒ උනාට ඒ දොළ දුක ඔයාට ඇතිවුණානේ. ඉතිං කියන්ට… මං කොහෝම හරි ඒ දොළදුක ඉෂ්ට කරන්නම්.”
“ඕ… හ්… හනේ… මෙයා මට ම පුදුමයි. ඇයි මට මෙහෙම හිතුණේ කියලා. අනේ… මේකයි මට ඇති වූ දොළදුක. මට මස් වෑංජනයක් එක්ක බත් කන්ට ඕනෑ.”
“අනේ… කෙල්ලේ… මේක ද ඔයා හඬා වැළපි වැළපී කිව්වේ. සුළු දෙයක්නේ. මං හෙට ම ඔයාට දඩමස් හදලා ඇල්හාලේ බත් දෙන්නම්.”
“නෑ… අනේ… මට ඕනෑ ඒ මස් නො වේ…?”
“හා… එහෙනම් කියන්ට… මොන මස් ද ඕනෑ. හඳේ හාවාගේ මස් ද?”
“අනේ නෑ අනේ… මට ඕනෑ… ඔයාගේ නංගිගේ හදවතයි, කැවුතු මසුයි උයාපු මස් වෑංජනේත් එක්ක බත් කන්ටයි.”
එතකොට පුතේ ඒ සැමියට නිකම් ම හිටගැනුනා. ආයෙමත් වාඩිවුණා. ගොළුවෙක් වගේ නිශ්ශබ්දව උන්නා. එතකොට ඒ නපුරු ගෑනි ආයෙමත් හඬන්ට පටන් ගත්තා.
“ඉහි… ඉහි… ඒකනේ මං කීවේ…. කමක් නෑ මෙයා… ඔයාලා හොඳින් ඉන්ට. මං මැරිලා යන්නම්… හැබැයි තමුන්නේ ආදර බිරිඳගේ දොළදුක ඉෂ්ට නො කළ ශාපය ඔයාට බලපාවි…. මට කරන්ට දෙයක් නෑ. මං මැරිලා යනවා.” කියලා ඈ ඇඳේ වැතිරී අමාරුවෙන් හුස්ම ගන්ට වුණා.
එතකොට පුතේ ඒ මිනිහා හොඳටෝ ම අසරණ වුණා. ඒ වැඬේ නං කරන්ට බෑ ම යි කියලා කිව්වා. නමුත් ඒ ගෑනි කියන්නේ නඟාගේ මස් නො ලැබුණොත් මැරෙනවා ම කියලයි. මේ ගෑනි දිගින් දිගට ම කියද්දි මිනිහා ටිකෙන් ටික වෙනස් වෙලා ගියා.
මේ බන්ධනයන්ගේ භයානකකම බලන්ට පුතේ. ආදරයෙන් අන්ධ වූ මේ අසත්පුරුෂයා තමුන්නේ බිරිඳ සතුටු කරන්ට තමුන්නේ එක ම නඟා ව මරන්ට තීරණය කළා. මේ නඟාගේ කුසේ පිළිසිඳගෙන ඉන්නේ ඒ ආත්මේ ම රහතන් වහන්සේනමක් වෙන්ට පින් තියෙන උත්තමයෙක් කියා අයියා දන්නේ නෑ. නංගියාට මෙහෙම කීවා.
“අනේ නඟෝ මේ අහපන්. අපේ දෙමාපියන්ගෙන් ණය මුදලක් ගත්තු පිරිසක් ඉන්නවා. එයාලා මං ගියොත් විතරක් දෙන්නේ නෑ. ඒ නිසා අපි දෙන්නා ම යං.”
“අනේ අයියණ්ඩි මං කොහොමෙයි යන්නේ මේ බඩකුත් උස්සාගෙන.”
“ආ… ඒකට මක් වෙනව ද නඟා. මං ඉන්නවා නොවැ” කියලා පුතේ බඩදරු නංගියා ව කරත්තයක තියාගෙන ගෑනු මායමට හසු වූ මේ අසත්පුරුෂ සහෝදරයා කැලෑ පාරක් මැදින් කරත්තේ පදවාගෙන ගියා. වනාන්තරේ මැද දී කරත්තේ පාරෙන් අයින් කරවාගෙන කැලේට දැක්කුවා. නංගියා ව කරත්තෙන් බිමට ඇදලා ගත්තා. කෙස් වැටියෙන් අල්ලා ඇද හිස බිමට නැමුවා.
එතකොට පුතේ ඒ දැරිවිට දරුවා බිහිවෙන ලකුණු පහළ වුණා. හඬ හඬා වැඳ වැඳ කිව්වා. “හනේ මයෙ බුදු අයියණ්ඩි… මට දරුවා ලැබෙන්ට යන්නේ. එතකං මට නිවී හැනහිල්ලේ මොහොතකට ඉන්ට දෙන්ට. අනේ… මාව මරන්ට එපා!” කියලා.
ඒ පව්කාරයා ඇගේ කෙහෙවල්ල අත්හැරියේ නෑ නොවැ. බලන්ට පුතේ නපුරුකොම. හනේ හපොයි සහෝදරකම් නැතිවෙච්චි හැටි. ඒ දැරිවි මොරගාමින් හඬද්දී ම කොලු පැංචෙක් හම්බ වුණා.
එතන ම නුග ගහක් තිබුණා. අර අයියා සිඟිත්තා තුරුලු කරගෙන ඉන්න මේ අම්මාව එතනට ඇදගෙන ගියා. ඈ හඬ හඬා මෙහෙම කිව්වා.
“අනේ මයෙ බුදු අයියණ්ඩි… මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට.” කියා වැඳ වැඳ උන්නා. ඒත් මේ පවිටා හදන්නේ පුතේ තමුන්නේ නඟා ව මරන්ට ම යි. අන්තිමේ ඈ මෙහෙම හිතුවා. ‘හනේ මං හඬන එකේ තේරුමක් නෑ. මේ ශබ්දේ අසා කවුරු හරි ඇවිත් අයියණ්ඩිට කරදරයක් කළොත් මට සහෝදරයෙක් කොයින් ද? මං මෙත් සිත ම පතුරනවා.’ කියා සිතනකොට එදා භාග්‍යවතුන් වහන්සේ “දරුවෙනි, කරදරයක් වුණොත් මාව සිහි කරන්ට.” කියා වදාළ කරුණ මතක් වුණා. භාග්‍යවතුන් වහන්සේට ජීවිතය පුදා ඒ අසරණ තරුණ අම්මා දරු පැටියත් තුරුලට ගෙන බිම වැතිරුනා.
එදා පුතේ ඒ දැරිවි වැටී උන්නේ නුග රුකක් සෙවණේ. ඔය නුග රුකේ උන්නු දෙවියා මේ විපැත්තිය බලාන උන්නේ. භාග්‍යවතුන් වහන්සේව සිහි කරගෙන, තමාව මරන්ට මාන බලන තමුන්නේ සහෝදරයාට මෙත් සිත පතුරුවාගෙන බිම වැටී සිටින අසරණ ගැහැනිය දැකලා මෙහෙම හිතුවා.
‘හපොයි… හපොයි… මා වැනි දෙවියෙක් මෙතැන ඉන්නැද්දි මේ වගේ තුනුරුවන්ට දිවි පුදා මෙත් සිතින් ඉන්න ගුණසම්පන්න ඉස්තිරියාවක් රැක නොගත්තොත්, දේව සභාවෙන් මටත් අච්චු කරාවි.’ කියලා ඒ දැරියගේ සැමියාගේ වේශයෙන් කෑ ගසාගෙන ඇවිත් අර සහෝදරයා ව භය කොට පළවා හැරියා.
“සොඳුරී, ඔයා භය ගන්ට කාරි නෑ. මං ඉන්නවා නොවැ” කියා සිඟිත්තාවත් අරගෙන තමන් ආ කරත්තේ ඇයවත් නංවාගෙන සැවැත්නුවර ඇවිදින් මං එනකල් ඉන්ට කියා ශාලාවක නවත්වා ගියා.
එදා ඒ දැරිවිගේ ස්වාමි පුරුෂයාටත් හදිසියේ ම කිසියම් කටයුත්තකට සැවැත්නුවරට එන්ට සිද්ධ වුණා. ඇවිදින් නගරයට ආ විට ශාලාවක දරු සිඟිත්තාත් එක්ක ඉන්න බිරිඳ දකින්ට ලැබුණා.
“හෑ… සොඳුරී… මොකොද මේ… දරු සිඟිත්තාත් තුරුලු කරගෙන අයියාගේ ගෙදර නො සිට මේ කොහි ද මේ ඔයා ඉන්නේ?”
“ඇයි අනේ… පුදුම කතාවක්නේ ඔයා කියන්නේ. අද වෙච්චි දේවල් දන්නෑ වගේ මොනා ද ඔයා මේ කියන්නේ? ඔයා ම නේ මාව බිහිසුණු මරණයෙන් බේරාගෙන කරත්තේ නංවාගෙන ඇවිත් මෙහෙට බස්සලා ගියේ.”
“ම්… ඒ මොකක්ද ඒ කතාවේ තේරුම. මං මේ දැනුයි නගරෙට ආවේ…. මට මේ අගක් මුලක් නැති කතාව තේරෙන්නේ නැ… බොරු කියන්ට එපා. ඔයාගේ ම සහෝදරයාගේ ගෙදර ඔයා ව මං නවතා ගියේ… ඇත්තට ම මොකද වුණේ?”
එතකොට පුතේ ඈටත් තේරුණා මොකාක් හරි විශේෂ දෙයක් සිද්ධ වෙලා තියෙන වග. ඈ තමුන්නේ එක කුස උපන් සහෝදරයා, තමුන්නේ මව්ට පියාට හිටිය සහෝදරයා වෙනස් වෙලා තමා ව මරන්ට වළි කෑ හැටි කීවා. “ඒ වෙලාවේ ඔයා ඇවිත් නො වේ ද මාව බේරාගෙන මෙතෙන්ට ගෙනාවේ?” කියලා ඇහැව්වා.
එතකොට මේ කතාව ඇසූ ඒ මනුස්සයා වතුරේ ගිලී උඩට ආපු කෙනෙක් වගේ හොඳටෝ ම භය වුණා. “හප්පේ හරි පුදුමයි නොවැ මේ උන දේ” කියලා බිරිඳයි දරුවයි එක්කරගෙන තමුන්නේ ගෙදර ගියා. ටික දවසකින් ඒ දෙන්නා භාග්‍යවතුන් වහන්සේ ව තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කර ගත්තා. පුතේ, එදා ඒ දැරිවි තමන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අනුහසින් මරණින් බේරුන අසිරිමත් ආකාරය කියා සිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එදා දෙවියෙක් මේ අම්මාට පිහිට වූ හැටි කියා දුන්නා. ඊට හේතුව වුණේ සරණ ශීලයේ පිහිටා සිටීම බවත් කියා දුන්නා. ඉතින් ඒ දෙන්නා දරු සිඟිත්තා ලවා භාග්‍යවතුන් වහන්සේගේ පාකමල් වන්දවා තම සිඟිත්තාට ‘සරණ කුමාරයා’ කියා නම් තැබුවා. එදා පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දුන් ඒ දෙන්නා ම සෝවාන් ඵලයට පත් වුණා.
ඊට පස්සේ පුතේ සරණ කුමාරයා විසිවැනි වියේ තරුණයෙක් ව සිටිද්දී බුද්ධ ශාසනයේ පැවිදි වුණා. නිකෙලෙස් රහතන් වහන්සේනමක් බවට පත්වෙලා ‘සරණ මහා තෙරණුවෝ’ කියා ප්‍රසිද්ධ වුණා.
බලන්ට පුතේ, එදා ඒ බැරෑරුම් අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ව සිහි කරගෙන, මෙත් සිතින් සිටිය හේතුවෙන් ඒ සිටු දියණිය මරණයෙන් බේරුන හැටි. මේ නිසා පුතේ, අපිත් ඕනෑම බැරෑරුම් අවස්ථාවක දී භාග්‍යවතුන් වහන්සේව සිහි කරගෙන තරහා සිත බැහැර කොට මෙත් සිතින් ම වාසය කරන්ට ඕනෑ. ඒක ම යි ආරස්සාව!”
(සද්ධර්මාලංකාරය ඇසුරෙනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Recent Comments