අසිරිමත් දේ ලොව කොතෙකුත් තිබිය හැකි ය. නමුත් එක ම එක පුද්ගලයෙකු තුළ මේ තරම් අපමණ ගුණ කඳක් එක් වීම පිළිබඳ සලකන විට අන් සියල්ලේ ඇති අසිරිය කුමක්දැයි සිතේ. ගිමනින් තැවුනු පුරුෂයෙකු රමණීය බිම්කඩෙක තුරු සෙවණේ සුදු වැලිතලා ඇති, සිහිල් වූ නිල් දිය පිරි සොඳුරු දිය විලක් දකී. එයට බැසීමට එක සේ යහපත් තොටුපළ නවයකි. දාහය දුරලා සිහිලැති දියෙන් කය සනසනු රිසියෙන් තමන් කැමති තොටකින් ඒ විලට බැස සැනහී යෙයි. මුළුමනින් ම සැනහී යෙයි. එසෙයින් ම කෙලෙස් ගින්නෙන් පීඩිත වූ සත් වග බුදු සසුන නම් අමා විලට බැස අමා පැනින් සැනහී යෙත්. නව අරහාදී බුදු ගුණයෝ එක් එක් තොටුපළක් වැනි වෙත්ක. එබැවින් මේ ගුණය ම අන් ගුණයන්ට වඩා “අග්‍ර වෙතැ” යි , “ශ්‍රේෂ්ඨ වෙතැ” යි බුදු ගුණයන් ගැන පවසනු නො හැකි ය. නුවණැත්තෝ කවර බුදු ගුණයක් අරමුණු කර ගත්ත ද දහම් සුව විඳිත්. එක එකක් බුදු ගුණය නුවණින් විමසත් විමසත් ම අන් බුදු ගුණයෝ ද එයට ඈඳී ඈඳී චිත්තප්‍රසාදය ම උපදවත්. ඒ නිසා සියල් ගුණ එක ම ගුණ කඳකි. එය චින්තාවිෂයාතික්‍රාන්ත ය. වාග්විෂයාතික්‍රාන්ත බව ගැන කියනු ම කිම.
ප්‍රථම දම්සක් දෙසුමටත් පෙර අමා බෙර වැයීමට ඇරයුම් කළෝ සහම්පතී මහ බඹහු ය. සියුම් වූ අරුත් ඇති ගාම්භීර චතුෂ්සත්යය තෘෂ්ණා භරිත ලෝ සත්හු කෙසේ නම් දකිත්දැයි අමා දම් දෙසුමෙහි බුදු සිත උකටලී වනු දුටු මහ බඹුහු “භවත්නී සැබැවින් ම ලෝකය නැසෙති” යි, “භවත්නි ඒකාන්තයෙන් ම ලෝකය වැනසෙති” යි සංවේගවැ දහම් දෙසීමට ආරාධනා කළෝ ය.
“දේසේතු භන්තේ භගවා ධම්මං. දේසේතු සුගතෝ ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛ ජාතිකා. අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ’ති”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ සිටින්නාහ. ඔවුහු දහම් ඇසීමට නො ලැබුවහොත් පිරිහී යන්නාහ. දහම් දෙසන කල්හී අවබෝධ කරන්නෝ පහළ වෙත් ම ය.”
මේ අයුරින් මේ මහා භද්‍රකල්පයේ සිව් වෙනි වරට තුන්ලොව සනහමින් පහළ වී වදහළ අපගේ ශාස්තෘන් වහන්සේ අන් සියලු නාමයන් ව්‍යවහාර වීමට ප්‍රථම මේ උතුම් භගවා යන ශ්‍රී නාමය ම උසුරුවමින් ඇරයුම් ලැබුවාහු ය.
රූපශ්‍රීයෙන් ගත්ත ද ඥානශ්රීයෙන් ගත්ත ද චරණශ්රීයෙන් ගත්ත ද පවසා අවසන් කළ නො හැකි තරම් වූ භාග්‍යයක් අප බුදුරජාණන් වහන්සේට තිබුණේ ය. භගවා යන ගුණයෙහි ප්‍රධාන මූලික අර්ථය භාග්‍යවන්ත වීම වුව ද පුරාණාචාර්යවරයෝ ශ්‍රද්ධා සිතින් යුතුව නොයෙක් අයුරින් භගවා ගුණය අරුත් ගැන්වූහ.
“භගවාති වචනං සෙට්ඨං – භගවාති වචනුත්තමං
ගරුගාරව යුත්තෝ සෝ – භගවා තේන වුච්චති”
“භගවා යන වචනය ශ්‍රේෂ්ඨ ය. භගවා යන වචනය උත්තම ය. අතිශය ගෞරවයට යෝග්‍ය වූ උන්වහන්සේට භගවා යැයි කියනු ලැබේ.”
සුදොවුන් නිරිඳුන් හෝ මහමායා බිසොවුන් හෝ මහා ප්‍රජාපතී දේවීන් හෝ අසූ දහසක් ඥාතීන් හෝ, නිමිත්ත පාඨකයන් හෝ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හෝ ශක්‍ර, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්තී ආදී වූ දෙව් මහ රජුන් හෝ මේ නම තබන ලද්දේ නො වේ. විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර මනෝප්‍රනිධාන තැබූ දින සිට වැඩූ ගුණ මහිමෙන්, පිරූ සමතිස් පෙරුම් බලයෙන් අතිශය ගෞරවයට යෝග්‍ය වූ නිසාවෙන් ම ඒ මහා ගුණය ම නිමිති කොට “භගවා” යන නාමයෙන් දෙව් මිනිස් ලෝකයා ස්තූති ප්‍රශංසා කරති. යටහත් පහත් ව ආමන්ත්‍රණය කරති.
භගවා යන පදයෙහි තවත් බොහෝ අරුත් ප්‍රඥා මහිමයෙන් අග්‍රේෂ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශිත යැයි සැලකෙන ඛුද්දක නිකායෙහි මහා නිද්දේසපාළියෙහි දැක්වේ.
“භගවාති ගාරවාධිවචනං: අපිච භග්ග රාගෝති භගවා: භග්ග දොසෝති භගවා: භග්ග මෝහෝති භගවා: භග්ග මානෝති භගවා: භග්ග දිට්ඨීති භගවා: භග්ග කණ්ඨකෝති භගවා: භග්ග කිලේසේති භගවා….”
භගවා යනු අධික ගෞරවයෙන් යෙදෙන වචනයකි. තව ද භග්න කළ රාග ඇත්තේ භගවා නම් වේ. භග්න යනු බිඳින ලද යන අරුතයි. රාගය මුළුමනින් ම බිඳින ලද යන අරුතින් “භග්ග රාගෝ ” ලෙස යෙදෙයි. එලෙසින් ම ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, කෙලෙස් කටු, පාපී අකුසල ක්ලේෂයන් බිඳ දමන ලදී යන අරුතින් අපගේ බුදුරජාණන් වහන්සේට “භගවා” යැයි කියනු ලැබේ.
එපමණක් ද නොව අපගේ ශාස්තෘන් වහන්සේ චිත්ත සන්තානය අතිශයින් ම කිලිටි කරවන පවට ලැජ්ජාව නැති බව – පවට බිය නැති බව, ක්‍රෝධය – බද්ධ වෛරය, ගුණමකු බව – එකට එක කිරීම, ඊර්ෂ්‍යාව – මසුරු බව, මායා ඇති බව – කපටි බව, දැඩි බව – තරඟයට වැඩ කිරීම, මානය – අතිමානය, මදය – ප්‍රමාදය, අවිද්‍යාව, තණ්හාව, කාය/වචී/මනෝ දුෂ්චරිතය, කාම/ව්‍යාපාද/විහිංසා විතර්ක, ඡන්ද/ද්වේෂ/භය/මෝහ යන සතර අගති, කාමච්ඡන්දාදි නීවරණ, දස අකුසල කර්ම පථ ආදී අනේකප්‍රකාර වූ දැවිලි තැවිලි ඇති කරවන ක්ලේෂයන් බිඳලූ හෙයින් “භග්ගවා” යන අරුතින් භගවා නම් වන සේක.
“භජී, විභජී, පවිභජී ධම්මරතනන්ති භගවා” එසේ ම ධර්ම රත්නය භාග, විභාග, ප්රවිභාග කළ සේකැයි භගවා නම් වේ. තෘතිය ධර්ම සංගීතිය කිරීමට පෙර සිදු කළ ශාසන ශුද්ධියේ දී ලාභ, ලෝභ කැමතිව සිවුරු පොරවා ගත් ශ්‍රද්ධා රහිත වූවන් තේරීමේ දී අප ධර්මරාජයන් වහන්සේ කිනම් වාදී දැයි ඇසූවිට මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ අපේක්ෂා කළ පිළිතුර වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ විභජ්ජවාදී වූ සේක යන්නයි. විභජ්ජවාදී යනු ශ්‍රී සද්ධර්මය බෙද බෙදා දක්වමින් කරුණු ඉස්මතු කොට දේශනා කිරීම යි. මෙසේ උතුම් ධර්මය බෙදමින්, මනාව බෙදමින්, නැවත නැවතත් බෙදා දක්වමින් කරුණු දක්වන නිසාවෙන් අපගේ බුදුරජාණන් වහන්සේ භගවා නම් වන සේක.
එසේ ම “භවානං අන්තකරෝති භගවා” කාම, රූප, අරූප යන භවයන් කෙළවර කොට දැමූහ’ යි, ඉක්මවාලූහ’ යි යන අරුතින් ද භගවා නම් වන සේක.
එමෙන් ම “භාවිතකායෝ, භාවිතසීලෝ, භාවිතචිත්තෝ, භාවිතපඤ්ඤෝති භගවා” වඩන ලද මනා කායික ක්‍රියාවන් ඇති, වඩන ලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩන ලද ප්‍රඥා ඇති යන අරුතින් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
“භජී වා භගවා අරඤ්ඤේ වන පත්ථානි පන්තානි සේනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා”
ස්වභාවධර්මයත් සමඟ සබැඳියාවෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේ දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස ද (මේ ජීවිතයේ පහසුවෙන් සැපසේ වාසය කිරීම), පශ්චිම ජනතාවට අනුකම්පාවෙන් අනුග්‍රහ පිණිස ද (අපගේ භාග්‍යවතුන් වහන්සේ ද විවේක ඇති ආරණ්යාදී සෙනසුන් පරිභෝග කළේ නො වේදැයි පසුව සසුනට වන් කුලපුත්හු ද වන ගැබ් ඇසුරු කොට පහසුවෙන් ශ්‍රමණ ධර්මයන් පුරත්) ආරණ්‍ය වන සෙනසුන් ආදී නිහඬ හුදෙකලා තැන් ඇසුරු කළහ, භජනය කළහ යන අරුතින් ද අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
“භාගී වා භගවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චයභේසජ්ජ පරික්ඛාරානන්ති භගවා”
හිරුමඬල පෑයූ කල කඳෝපැණියන්ගේ බැබළීම ලොවට නොපෙනෙන්නා සේ මහා ගුණ මිණි ප්‍රභාවෙන් තුන් ලෝ අග මුනිඳාණෝ බැබළි බැබළී වැඩ හිඳිනා සඳ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරාදී සිව්පසයෙන් පුදා පින් රැස් කරනු රිසි සැදැහැතියෝ අප ශාස්තෘන් වහන්සේ ව ම අග්‍ර අයුරින් පිදූහ. මිනිසුන් පමණක් ද? විදුරසුන් අරා වැඩ සිට සම්මා සම්බෝධිය සාක්ෂාත් කළ ප්‍රථම මොහොතේ දී පවා මිහිකත දෙවියන්ගේ පටන් අකනිඨා බඹ ලොවෙහි මහ බඹුන් දක්වා දිව්‍ය බ්‍රහ්ම සමූහයා පිදූ පූජා ගැන කෙසේ පවසන්නට ද? නාග සුපර්ණාදීහු පවා අපමණ පූජා කළෝ නො වේ ද? මෙසේ සිව්පසය ලැබීමට තුන්ලොවෙහි අග්‍ර උත්තමයන් වහන්සේ වූ නිසාවෙන් ද භගවා නම් වන සේක.
“භාගී වා භගවා අත්ථරසස්ස, ධම්මරසස්ස, විමුත්තිරසස්ස, අධිසීලස්ස, අධිචිත්තස්ස, අධිපඤ්ඤායාති භගවා”
අපගේ භාග්‍යවතුන් වහන්සේ සිව්පසයට පමණක් හිමිකම් කියූවෝ නොවෙත්. අර්ථ රසය, ධර්ම රසය, විමුක්ති රසය, අධිසීල, අධිසමාධි, අධිප්‍රඥාව ආදී ලෝකොත්තර සංඛ්‍යාත අති උතුම් ගුණයන්ට ද හිමිකම් කියූ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
“භාගී වා භගවා චතුන්නං ඣානානං, චතුන්නං අප්පමඤ්ඤානං, චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා. භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං…. ආනාපානසති සමාධිස්ස, අසුභසමාපත්තියාති භගවා”
ධ්‍යාන සතර ය, මෙත්තා චේතෝ විමුක්ති ආදී අප්පමඤ්ඤා සතර ය, අරූප සමාපත්ති සතර ය, අෂ්ට විමෝක්ෂ ය, අභිභායතන අට ය, අනුපුබ්බවිහාර සමාපත්ති නවය ය, දස සංඥා භාවනාව ය, දස කසිණ සමාපත්තීන් ය, ආනාපානසති සමාධිය ය, අසුභ සමාපත්තිය ය යන තුන් ලොවෙහි මැනවින් සිත් වැඩූ යමෙක් ලද සියලු ම සමාධි සමාපත්ති ආදී ලොව්තුරා ගුණයෙන් ඒකාත්මික වූ සමාධි ක්‍රීඩායෙහි අත්‍යන්ත විසාරද ව හැමට ඉහළින් බැබළී යාමට තරම් හිමිකම් කියූ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
“භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානං, චතුන්නං සම්මප්පධානානං…. අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සාති භගවා”
බුදු සසුනෙන් පිට කිසිදු සසුනක දැකිය නො හැකි වූ සතර සතිපට්ඨානය ආදී වූ මහානීය වස්තු තිස් හතක් තමන් වහන්සේ විසින් ම සොයාගෙන එම මාණික්‍ය රත්නයන්ගේ අධිකාරීත්වයෙහි පිහිටි නිසා අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
දස තථාගත බල, චතු විසාරද ඤාණ, චතු පටිසම්භිදා, ෂඞ් අභිඥා ආදී අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් බැබළීමට තරම් භාග්‍යවන්ත වූ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
“විමොක්ඛන්තිකමේතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලේ සහ සබ්බඤ්ඤුත ඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති”
යම් භගවා යන නාමයක් වේ නම් එය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට මහා බෝධි මූලයේ දී සර්වඥතා ඤාණය ලැබීමත් සමඟ අරහත් ඵලය සාක්ෂාත් කිරීමෙන් උපන් ප්රඥප්තියක් ම වන්නේ ය. පැනවීමක් ම වන්නේ ය.
එසේ ම අපගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ, ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර වූ, තමන් වසන දිශාවට සැදැහෙන් වැන්දවුවන්ට පවා සගමොක් දීමෙහි පොහොසත් දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ : මහා ඉර්ධි බලයෙන් අග්‍රේෂ්වර වූ, ප්‍රසාද සිතින් තම නම කීවන් පවා සතර අපායෙන් ගලවන්නට සමත් දම් පුරෝහිත මහ මුගලන් මහරහතන් වහන්සේ : ධුතවාදී ගුණයෙන් අගතැන්පත් කුඩුමුසු කැඳිත්තක් පිදූ මැහැල්ලට දිව සැපත්, නිවන් සැපත් දී සැනහූ මහ කසුප් මහරහතන් වහන්සේ : දිවැස් ඇත්තවුන් අතර අග්‍ර වූ, ශක්‍රයාගේ මුදුනෙහි පා දූවිලි පිසින මහා බල ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ : ධර්ම කථිකයන් අතර අගතැන්පත්, සිතුවන් සිත් සනහන, පූර්ණ චන්ද්‍රයා වැනි මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ : සංක්ෂේපයෙන් කියූ දැයෙහි අර්ථ විස්තර වශයෙන් පහදන වියතුන් අතර වියත් වූ, සිහි කළවුන් සිත අමා ලන මහා කච්චාන මහරහතන් වහන්සේ : ලාභ ලබන්නවුන් අතරින් අග්‍ර වූ බුදු සසුන නැමැති රන් පියුමෙහි කර්ණිකාවක් වැනි වූ සීවලී මහරහතන් වහන්සේ : බහුශ්‍රැතයන් කෙරෙහි ද මනාව පිහිටි සිහි නුවණ ඇත්තවුන් කෙරෙහි ද වහා වැටහෙන නුවණ ඇත්තවුන් කෙරෙහි ද මතක ශක්තිය ඇත්තවුන් කෙරෙහි ද බුදුරදුන්ට උපස්ථාන කරන්නවුන් කෙරෙහි ද අගතැන්පත් වූ, බුදු සසුනට ජීවයක් බඳු වූ අනඳ මහා තෙරුන් වහන්සේ : විනයධරයන් අතර අග්‍ර වූ බුදු සසුන නම් කයට අයෝමය සන්නාහකයක් බඳු වූ උපාලි මහරහතන් වහන්සේ : අවවාද පිළිගන්නවුන් අතර අග්‍ර වූ, ශික්ෂාකාමී වූ, බුදු රුවින් ඔබාගත් සිතුවම් රුවක් බඳු වූ භද්‍ර වූ ගුණ ඇති රාහුල මහරහතන් වහන්සේ ආදී වූ අසූමහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා ඇතුළු ලක්ෂ කෝටි සංඛ්‍යාත අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා ලැබීමට තරම් භාග්‍යවන්ත වූ නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
එසේ ම ලොවෙහි උස්ව නැගී චිරාත් කාලයක් පටන් හැමදා පවතින, “නුවණින් මද අඟනන්” යන වදන මුළුමනින් ම හිස් බසක් කරලමින් පැණවත් වූ භික්ෂුණීන් අතර අග්‍ර වූ ඛේමා මහරහත් තෙරණින් වහන්සේ : ඉර්ධිමතියන් අතර අග තැන්පත්, දෙව් බඹුන් පවා විස්මයට නංවන උප්පලවණ්ණා මහරහත් තෙරණින් වහන්සේ : විනයධර භික්ෂුණීන් අතර අග්‍ර වූ, සුළු වරද ද වලාකුළක් සේ දැක අත්හළ පටාචාරා මහරහත් තෙරණින් වහන්සේ : ධර්ම කථිකාවන් අතර අගතැන්පත්, දහම් ගැට සැණින් ලිහාලන ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ : පෙර ජීවිත සිහිකරන්නියන් අතර අග්‍ර වූ, සොඳුරු ගුණැති භද්‍රකාපිලානි මහරහත් තෙරණින් වහන්සේ : මහා අභිඥාවන්ට පත් වූ භික්ෂුණීන් අතර අගතැන්පත්, රන් පැහැයෙන් බබළන භද්දකච්චායනා මහරහත් තෙරණින් වහන්සේ : ආදී මහා පින් ඇති, සුfදා් සුදු චරිත ඇති නොයෙක් ලක්ෂ ගණන් ශ්‍රාවිකා දියණිවරුන් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ බැවින් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
චිත්ත ගෘහපති, හත්ථාළවක උග්ග යන අනාගාමී උපාසක රත්නයන්, ඛුජ්ජුත්තරාවන්, වේළුකණ්ඨකී නන්දමාතාවන් යන අනාගාමී උපාසිකා රත්නයන් පෙරටු කොට ගත් මිනිස් ලොව සිල් රකිනවුන්, ගුණ පුරනවුන් අතරේ ප්රබලව ප්රකටව කිත් ගොස පැතිරී ගිය, බුදු සිරිපා එබූ බිම දුහුවිලි පවා සිරසින් ගෙන පුදන, මහා ගෞරවාභිවන්දනා දක්වන, ගණනයක් සංඛ්‍යාවක් නො පෙනෙන උවසු උවැසි පිරිවරක් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
සහම්පතී, සනංකුමාර, ඝටීකාර ආදි මහ බඹරජුන්ගෙන් ස්තූති ප්‍රශංසා ලබමින්, ශක්‍ර, සුයාම, සන්තුසිත ආදී දෙව් රජවරුන්ගෙන් අතවැසිකම් ලබමින්, දෙවියන්ට උතුම් දෙවි වෙමින්, බඹුන්ට උතුම් බඹු වෙමින් සත්‍ය වූ ම ගුණ කඳ හේතුකොට ගෙන තුන්ලොව එකපැහැර නැගී පැතිරී ගිය අතිශය නිර්මල යසස් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
දෑස් දල්වා කොපමණ වෙලාවක් බලා සිටියත් තවත් කල් බලා සිටීමට රුචි වන දෙතිස් මහා පුරිස ලකුණින්, අසූවක් අනුව්‍යංජන ලකුණින් සමන්විත වූ පින්වත් සිරුරක් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
සඳුන් කඳෙහි පවා බොරු සැස හරිති. නෙළුම් මල්හි පවා පිට පෙති හරිති. සුවඳැල් සහල්හි පවා කුඩු පොතු හරිති. මිහිරි මීයෙහි පවා වට ඉටි හරිති. මෙසේ සියලු ලොවෙහි සමහරක් ගත යුතු ය, සමහරක් නො ගත යුතු ය. හැම අතින් පරීක්ෂා කරත් කරත් හැරපිය යුතු දෙයක් නැතිව හැම ලෙසින් ම වැන්ද යුතු වූ, හැම ලෙසින් ම පිදිය යුතු වූ, භාග්‍ය ගුණ ඇති නිසාවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ භගවා නම් වන සේක.
තමන් වහන්සේ දුටුවන් “පින් පිඬක් දුටුම්හ. රූපයෙහි සාරයක් දුටුම්හ. ගුණ බඳක් දුටුම්හ. කරුණායෙන් මැවී ගිය රූපයක් දුටුම්හ. නුවණ මුහුකුරා ගිය රූපයක් දුටුම්හ. සමතිස් පෙරුමන් එක්වමැ අඩු වැඩි බලා කොට නිම වූ සිත්තමක් දුටුම්හ. ලොවට පහළ වූ ඇසක් දුටුම්හ. මුළු ලොවට පෙලහර පුරා ලූ නිධානයක් දුටුම්හ. විස්මය පිරුණු කුල ගෙයක් දුටුම්හ. ළයට සැනසිල්ලක් දුටුම්හ. නිවනට දොරක් දුටුම්හ. ස්වර්ගයට හිණක් දුටුම්හ. අපායට හකුලක් දුටුම්හ. ගුණයෙහි ඔදක් දුටුම්හ. මිහිරෙහි නිමාවක් දුටුම්හ. වියත්කම්හි මුල් බට තැනැක් දුටුම්හ. පෙර ඇසූ ගුණයට සුදුස්සක් දුටුම්හ. අවීචියෙහි පටන් ගෙන භවාග්‍රය දක්වා මුළු ලොවැ සතුන් “ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා” යි එකපැහැර හඬ ගහාලූ කීර්ති ඝෝෂාවට සුදුස්සක් දුටුම්හ. ඇස් ලදුයෙහි, සිත් ලදුයෙහි, විද්‍යා ලදුයෙහි, ජාති ලදුයෙහි, ඵල ලදුම්හ යන පරිද්දෙන් දිව රෑ දෙක්හි කපක් මුළුල්ලෙහි ගුණ ගයතුදු ඒ භගවා ගුණය ගැන කෙසේ නිම කරන්නට ද බුදුවරයෙකුට ද තවත් බුදුවරයෙකුගේ ගුණ දෙසා නිමවිය නො හැකි කොට…
සඳුට වඩා සෞම්‍ය කෙනෙකු ව, හිරුට වඩා තේජස් ඇති කෙනෙකු ව, මුහුදට වඩා ගැඹුරු කෙනෙකු ව, මහමෙරට වඩා අචල කෙනෙකු ව: සියලු රුවන්හි, සියලු මල්හි, සියලු තරුවෙහි, සියලු විදුලියෙහි, සියලු දෙව්දුන්නෙහි, සියලු සන්ධ්‍යා වලායෙහි, සියලු සරත් වලායෙහි පැහැයන් ඇති තාක් එක්කොට තැන වූ දඹ රනින් කොට දිවි දළින් ඔපලූ පිළිමයක් ඇති නමුදු එයට වඩා සිය දහස් ගුණයෙන් ඒ බුදු බඳ ම බබළන රූප කයක් දරා වැඩ සිටි, උපමා රූපක නැති ධර්ම කයක් දරා වැඩ සිටි අපමණ භාග්‍ය ගුණයෙන් (භගවා ගුණයෙන්) තුන්ලොවෙහි පරම පූජනීය වූ නිසාවෙන් ම ඔබවහන්සේ වැනි වූ ශාස්තෘන් වහන්සේනමක් ලැබූ අප තරම් භාග්‍ය ඇත්තෝ අද ලොවෙහි තවත් සිටිත් ද?
දිස්සමානෝපිතාවස්ස – රූපකායෝ අචින්තියෝ
අසාධාරණ ඤාණඞ්ඪේ – ධම්මකායේ කථාවකාති
දකින පින් ලකුණු සිරුරෙහි – අසිරිමත් බුදු බඳ දෙසේ
නො හැකි වේ ම ය සිතා ගන්නට – දෙව්මිනිස් සතුනට කෙසේ
අසිරිමත් බුදු සිරුර – වැඩීගිය මහා ඤාණයෙන් යුතු
මුනිඳුගෙ දම් සිරුර ගැන – කෙලෙසින් සිතන්නට ද අප
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments