‘ඉවසීමත්…’ – ‘නොඉවසීමත්..’ කියන වචන දෙකේ ඇත්තේ එක ම එක අකුරක පුංචි වෙනස්කමක්. නමුත් ඉවසීමත් නොඉවසීමත් ජීවිතයට ඇතිකරන බලපෑමේ පරතරය නම් ඒ වගේ සුළුපටු එකක් නෙවෙයි. සමහර විට මෙලොවට පමණක් නො වෙයි. පරලොව දක්වා ද සසරේ බොහෝ වාර ගණනක් පුරාවට ද එහි බලපෑම පැමිණෙන්න පුළුවන්. එනිසා මෙලොව පරලොව යහපත – අයහපත තීරණය කෙරෙන ඉවසීමත් – නොඉවසීමත් ගැන අපි ටිකක් කතාකරමු.
ඉවසීම යනු ලොව සැමදා ප්රශංසා ලබන්නක්. “ඛන්තී පරමං තපෝ තිතික්ඛා” “ඉවසීම තමයි උතුම් ම තපස…” යන්නයි, සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. එය ලොව සෑම කාලයකට ම අයිති සුභාෂිතයක්.
ඇත්තටම සියලු බුදුරජාණන් වහන්සේලා ඉවසන්න කියලා දේශනා කළේ මොනවා ද…? සෑම අවස්ථාවක දී ම… සිදුවන සෑම දෙයක් ම… සිතට එන සෑම සිතුවිල්ලක් ම අපි ඉවසා දරා ගත යුතු ද? එහෙම නැත්නම් ඉවසීම කියල කියන්නෙ “වෙන දෙයක් වුණාදෙන්…” කියල කිසිවක් නො කර ඔහේ සිටීම ද..? එසේ සිටීම තුළ ජීවිතයක් දියුණුව කරා යාවි ද..? මේ ගැටලුවලට විසඳුමක් බුද්ධ දේශනාව තුළින් ම ඉවසීමෙන් යුතුව සොයා ගනිමු.
“නුවණ නැති කෙනා ඉවසන්ට ඕනෙ තැන කලබල වෙනවා. කලබල වෙන්ට ඕන තැන ඉවසනවා. අන්තිමේ දී වැරදි විදියට කටයුතු කරලා දුකට පත්වෙනවා.
එයාගේ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත්වෙලා යනවා. යහපත් මිතුරන් අමනාප වෙනවා.
නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕන තැන ඉවසනවා. කලබල වෙන්න ඕන තැන කලබල වෙනවා. නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත්වෙනවා.
එයාගෙ දියුණුව වැඩෙන්නෙ පිරීගෙන යන සඳක් වගේ. කීර්තිය පැතිරෙනවා. යහපත් මිතුරන් ද අමනාප වෙන්නෙ නෑ.”
(සම්භූත මහරහතන් වහන්සේගේ ගාථා)
මේ උතුම් අවවාදයට අනුව එසේ නම් අපේ ජීවිතය තුළ ඉවසිය යුතු අවස්ථා තිබෙනවා. නොඉවසා ඉක්මනින් බැහැර කළ යුතු අවස්ථා ද තිබෙනවා. මේ කාරණා දෙක පිළිබඳ ව අවස්ථානුකූලව නිවැරදි විසඳුම ලබාදීම නුවණැත්තන්ගේ ක්රියාවක්. එසේ නොමැතිව මේ කාරණා දෙක පටලවාගෙන පරස්පර විරෝධී විසඳුම ලබාදීමෙන් සිදුවන්නේ කළුවර වේගෙන යන සඳක් මෙන් ජීවිතය පිරිහිලා යාමයි. දුකට පත් වීමයි. අපකීර්තියට පත් වීමයි. යහපත් මිතුරන්ගෙන් වෙන්වන්ට සිදු වීමයි. එම නිසා මේ කාරණාව සම්බන්ධයෙන් යහපත කැමති කෙනා දක්ෂ විය යුතුයි නේ ද? බලන්න මේ උතුම් අවවාදය දෙසත්…
“පින්වත් මහණෙනි, මේ විදියට (ඉවසිය යුතු දේවල්) වීරියෙන් යුක්ත වෙලා ඉවසා ගන්න බැරි වුණොත් අන්න ඒ කෙනාට පීඩාකාරී ප්රශ්න හැදෙන ආශ්රව හටගන්නවා. නමුත් යම් කෙනෙක් වීරියෙන් යුක්ත ව මේ විදියට ඉවසනවා නම් පීඩාකාරී ප්රශ්න හැදෙන ආශ්රව හටගන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණ පාවිච්චි කරලා (නොඉවසා) දුරු කළේ නැත්නම් පීඩාකාරී ප්රශ්න හැදෙන ආශ්රවයන් හටගන්නවා. නමුත් යම් දෙයක් නුවණ පාවිච්චි කරලා (නොඉවසා) දුරු කළොත් පීඩාකාරී ප්රශ්න හැදෙන ආශ්රව හටගන්නේ නෑ.”
(සබ්බාසව සූත්රය – මජ්ඣිම නිකාය 01)
කල්පනා කරලා බලන්න, අපේ ජීවිත තුළ හට අරගෙන තිබෙන බොහෝ අර්බුදවලට මෙය හේතුවක් නේ ද? “අනේ එදා මම ටිකක් ඉවසුවා නම් අද මේ ප්රශ්නය නෑ…” කියලා සමහර පීඩාවන් ගැන ඔබ ම හිතනවා ඇති. ඒ වගේ ම ‘අනේ මම එදා ඒ දේ ඉවසන්නේ නැතුව ඉක්මනින් දුරුකරලා දැම්මා නම් මේ ප්රශ්නය නෑනේ…” කියල පසුතැවෙන ප්රශ්නත් ජීවිතවල නැතුවා නොවෙයි. බලන්න, තැන නොතැන නො බලා ඉවසීමටත් නොඉවසීමටත් යෑමෙන් හටගන්නා අර්බුද නේ ද මේ? සියලු අර්බුද සඳහා නො වරදින විසඳුම් ලබා දුන් ආශ්චර්යවත් බුදු නුවණ කොයිතරම් අසිරිමත් ද? ඒ උතුම් බුදු නුවණ තුළින් ම දැන් අපි තෝරා බේරා ගනිමු, ජීවිතයේ දියුණුව කැමති කෙනා ඉවසිය යුත්තේ මොනවා ද කියා.
“පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුත්තේ මොන ආශ්රව ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණින් සලකලා වීරිය ඇතිකරගෙන ඉවසනවා. භික්ෂුව සීතලත් ඉවසගෙන ඉන්නවා. රස්නෙත් ඉවසගෙන ඉන්නවා. බඩගින්නත් ඉවසගෙන ඉන්නවා. පිපාසයත් ඉවසගෙන ඉන්නවා. මැස්සන්ගේ කරදරයත් ඉවසගෙන ඉන්නවා. මදුරු කරදරත් ඉවසගෙන ඉන්නවා. සර්පයන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. නපුරු වචනවලින් බැණුම් අහන්න ලැබෙනකොට ඒකත් ඉවසගෙන ඉන්නවා. ගොඩක් දරුණු, කර්කශ, නපුරු, අමිහිරි, අකමැති, මාරාන්තික දුක් වේදනා ශරීරවලට ලැබෙනවා. එතකොට ඒ භික්ෂුව නිශ්ශබ්දව ඉවසගෙන ඉන්නවා.”
(සබ්බාසව සූත්රය – මජ්ඣිම නිකාය 01)
එසේ නම්, අප ඉවසීමෙන් යුක්තව රැකගත යුත්තේ කුසල් සිතයි. කුසල් සිතට අනතුරු විය හැකි දේවල් අබියස කුසල් සිත රැකගැනීම පිණිස ම අප අප්රමාණ ලෙස ඉවසිය යුතුයි. සීමාවක් නොමැතිව ඉවසිය යුතුයි. මන්ද එසේ ඉවසාගන්න බැරිවුණොත් අපට අහිමි වී යන්නේ කල්ප ගණනකින් මුණගැසුනු උතුම් ලාබයක් වෙන්න පුළුවනි. කුසල් සිත රැකගැනීම උදෙසා අප කෙසේ ඉවසිය යුතු ද? යන්න පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මිනුම්දණ්ඩ ඔබට මතක ද?
“පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කර ගනී නම්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙවෙයි. එවැනි අවස්ථාවක වුණත් පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදිහටයි. ‘මගේ සිත වෙනස් කර ගන්නේ නෑ. මං පාපී වචන කියන්නේ නෑ. හිතානුකම්පී ව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්රියෙන් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා කෙරෙහි මගේ මෙත් සිත වෙනස් කර ගන්නේ නෑ. මං පාපී වචන කියන්නේ නෑ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්රියෙන් ඉන්නවා’ කියලා. ‘ඒ පුද්ගලයා කෙරෙහි මගේ මෙත් සිත පතුරුවාගෙන වාසය කරනවා. ඒ වගේ ම අප්රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන වාසය කරනවා’ කියල. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.”
(කකචූපම සූත්රය – මජ්ඣිම නිකාය 01)
කුසල් සිතක් වෙනුවෙන් වූ මෙපමණ ඉවසීමක් ගැන බුදු සසුනකින් පිට කෙසේ නම් අසන්න ද? ඉවසිය යුතු තැන ගැන අපි දැන් දැනගත්තා. ඊ ළඟට නොඉවසීම ගැනත් දැනගන්න ඕන නේ ද? නොඉවසීම ජීවිතයට කෙසේ යහපතක් උදාකරයි ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ පිළිබඳ ව ඔබේ නොඉවසීම දුරු කොට ඉවසීමෙන් බලන්න මේ බුද්ධ වචනය.
“පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවට කාම සිතුවිලි ඇති වුණා ම ඉවසන්නේ නෑ. නුවණ පාවිච්චි කරලා අත්හරිනවා. දුරුකරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. තරහා සිතුවිලි ඇති වුණා ම ඉවසන්නේ නෑ. නුවණ පාවිච්චි කරලා ඒ තරහ සිතුවිලි අත්හරිනවා. දුරුකරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. හිංසා සිතුවිලි ඇති වුණා ම ඉවසන්නේ නෑ. නුවණ පාවිච්චි කරලා ඒ හිංසා සිතුවිලි අත්හරිනවා. දුරුකරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා. ඇතිවෙන සෑම පාපී අකුසලයක් ම ඉවසන්නේ නෑ. නුවණ පාවිච්චි කරලා ඒ පව් සිතුවිලි අත්හරිනවා. දුරු කරනවා. අයින් කරනවා. නැත්තට ම නැති කරනවා.”
(සබ්බාසව සූත්රය – මජ්ඣිම නිකාය 01)
උතුම් බුද්ධ වචනයට අනුව අප නොඉවසිය යුත්තේ අකුසල් සිතයි. මන්ද අකුසලය ඉවසාගෙන සිටීම තුළ අපට අහිමි වී යන්නේ මෙලොව පරලොව යහපතයි. අපේ ජීවිත ගැන බැලුවොත් හිතක උපන් අකුසලය ඉවසමින් අකුසලයට පවතින්නට ඉඩහැරීම තුළ හටගත් අර්බුද ප්රමාණ කරන්න පුළුවන් ද? කාම සිතුවිලි ඉවසමින්, තරහා සිතුවිලි ඉවසමින්, හිංසා සිතුවිලි ඉවසමින් සිටීමේ ඇතැම් අර්බුද ඉවර වෙන්නේ ආනන්තරීය පාප කර්මවලින් වෙන්න පුළුවන්. ඒ නිසා ම යි, හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන ලෙස අකුසල් සිත බැහැර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
මොහොතකට සිතා බලන්න, අනුන්ගේ එක රළු කර්කශ වචනයක් ඉවසගන්න බැරිව පීඩා විඳපු අපි ම නේ ද අපේ හිතේ අනුන් කෙරේ උපදින තරහ සිත පෝෂණය කරමින් පැය ගණන්, සති මාස ගණන් ගත කළේ. එයිනුත් උරුම වුණේ පීඩාව ම මිස අනෙකක් නො වේ. ඒ වගේ ම එක මදුරුවෙක් නිසා උපදින අල්ප දුක ඉවසන්න බැරුව බණ භාවනා කිරීම් පවා අත්හරින අපි ම නේ ද මහ පාරවල මංමුළා වෙමින් අනන්ත දුක් ගැහැට විඳිමින් කාමයන් සොයා යමින් ඉවසුවේ.
ඒ කියන්නේ අපිට ඉවසගන්න බැරිවුණේ ඉවසිය යුතු දෙයයි. අපි ඉවසුවේ නොඉවසිය යුතු දෙයයි. ඒ දෙකෙන් ම ජීවිතයට උදාවුණේ අයහපතයි. අහිමි වී ගියේ යහපතයි.
ඒ නිසා තවදුරටත් ඉවසීමත් නොඉවසීමත් පටලවාගෙන අර්බුද උපදවා ගන්නේ නැතුව ඉවසිය යුතු තැන ඉවසමින්, නොඉවසිය යුතු තැන නොඉවසමින්, කුසල් සිත් රැකගනිමින් අකුසල් සිත් දුරු කරමින්, යහපත උදාකර ගන්ටත් අයහපත දුරුකර ගන්ටත් මේ උතුම් බුද්ධානුශාසනාවන් අපට උපකාරී වේවා!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments