අප කිසිවෙකුත් නො දන්නා කොහේ හෝ තැනක කවරෙකු හෝ වී සිට කුමන හෝ ක්‍රමයකින් පෙර ජීවිතයේ මරණයට පත් වූ අපි කර්මානුරූප ව ලක්වැසි මවකගේ කුස පිළිසිඳ ගත්තෙමු. මවගේ කුස තුළ ඇස කන නාසය ආදි ඉඳුරන් ක්‍රමයෙන් මෝරා ගොස් අප මෙලොවට බිහි වද්දී අපට ජාතියක නමක් හිමි විය; ආගමක නමක් හිමි විය; අපට කියා වෙන ම නමක් ද හිමි විය. උපතත් සමඟ අප ශ්‍රී ලාංකිකයන්, සිංහලයන්, බෞද්ධයන් සහ අසවල් කෙනා වූයේ ඒ අයුරෙනි. මේ සියල්ල ම අපට හිමි වූයේ තාවකාලිකව ය. මරණයත් සමඟ; නැති නම් ඊට පෙර ම අන්‍ය වූ රටක පුරවැසියෙකු වීම නිසා හෝ අන්‍ය වූ දර්ශනයක අනුගාමිකයෙකු වීම නිසා හෝ වෙනත් නාමයක් භාවිතයට යොමු වීම නිසා හෝ අපට මේ තාවකාලික උරුමයන් එකින් එක අහිමි වේ. ඊට පසු යන්නේ කොතැනට ද කියා අප දන්නේ නැත.
උපතින් ලැබූ මේ උරුමයන් නිසා අප සතු වූයේ ලොව අන් කිසිවෙකුට හිමි නොවන අපූර්ව රැකවරණයකි. ලොව ඇති තතු ඒ අයුරින් ම අවබෝධ කොටගෙන ලොවෙන් නිදහස් වී පිරිනිවී වදහළ, පිරිනිවීම පිණිස දෙව් මිනිස් ලෝකයට ධර්මය දේශනා කොට වදහළ සම්බුදුරජාණන් වහන්සේනමකගේ බුද්ධ රාජ්‍යයේ පුරවැසි බව අප ලැබුවේ උපතිනි. ඒ ධර්මය දේශනා කරන සඟරුවන වැඩ සිටින රට අපගේ මව්රට වූයේ උපතිනි. උපතින් ම ලද මේ භාග්‍යයන් ගැන අපි කොතෙකුත් අභිමානයෙන් කථා කොට ඇත්තෙමු. එහෙත්, මෙලොව පරලොව යහපත පිණිස ධර්මය දේශනා කොට වදාළ ශාස්තෘන් වහන්සේනමකගේ දුර්ලභ දහම උපතින් ම උරුමයක් කර ගත් අප මේ තාවකාලික උරුමයන් අහිමි වූ විට යන තැන ද මෙතෙක් නො දන්නේ නම් එතැන කවර හෝ වරදක් තිබෙන බව සැක නැත. සැබැවින් ම අපට වැරදුනු තැන කුමක් ද? උපතින් ම ලද භාග්‍යයෙන් ඵල නෙළා ගන්නට ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක්, වීර්යයක් අප තුළ නොවීම හැර අන් වරදක් මෙහි නැත.
මිනිසෙකු ශ්‍රේෂ්ඨත්වයට පමුණුවන්නේ මෙලොවත්, පරලොවත් ශ්‍රේෂ්ඨ වූ දෙයක් තුළිනි. සැබෑ බස් පවසන සම්බුදු සමිඳුන් මෙලොව ද පරලොව ද ශ්‍රී සද්ධර්මය ම ශ්‍රේෂ්ඨ වන බව වදාළ සේක. ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මය අනුගමනය කරන කවරෙකු වුව ද කවර ජාතියක් වුව ද කවර රටක් වුව ද ලෝකයෙහි ශ්‍රේෂ්ඨත්වයට පත් වීම වළක්වන්නට නො හැකි ය. ධර්මය හුදු ඇදහිලි මාත්‍රයක් කොට ගැනීමෙන් නම් ඒ ශ්‍රේෂ්ඨත්වය අත්පත් කර ගත හැකි නො වේ. ධර්මය යනු ප්‍රතිපදාවකි, අනුගමනය කළ යුත්තකි. ඒ තුළ සිදු වන්නේ ගුණධර්මයන්ගේ වැඩී යාම මිස, විපුල බවට – අභිවෘද්ධියට පත් වීම මිස පිරිහී යාමක් නො වේ.
එහෙත් අද අපට සිදු ව තිබෙන්නේ අනෙකකි. අනෙක් ජාතීන්ට, අනෙක් ආගමික ඉගැන්වීම්වලට ඇඟිලි දිගු කරමින්, චෝදනා කරමින් අපි නොයෙක් දේ සමාජගත කරන්නෙමු. ගුණධර්ම දියුණු කරවන ධර්මය නො ලද අන්‍යාගමිකයන් අඳුරේ අතපත ගාමින් ලොවට කරන අයහපත අපේ නිරන්තර දෝෂදර්ශනයට ලක් වේ. ලොව අවිදු අඳුර බිඳලූ ප්රඥාලෝකයේ සිංහනාදය වූ සම්බුදු ධර්මය අප හමුවේ විවෘත ය. එනම්, ආලෝකය අප අසල ය. එහෙත් අප කටයුතු කරන ආකාරය අනුව පෙනී යන්නේ අප ආලෝකය හමුවේ දෑස වසාගෙන අතපත ගානා අයුර නො වේ ද?
අනෙකෙකු දියුණු වන ආකාරය දැක සතුටු වන සිත් අප බොහෝ දෙනෙකුට නැත. තමනට වඩා අනෙකා ඉදිරියට යන්නේ කවර මඟකින් ද ඒ මඟ කෙසේ හෝ අහුරාලන්නට ක්‍රම සහ විධි සොයාගන්නට අපට හැකි ය. ඒ ක්‍රම සහ විධි තුළ කේළාම් කීම, බොරු චෝදනා කිරීම, අනවිණ කොඩිවිණ කිරීම, අසත්‍ය ප්‍රචාර ගෙන යෑම, අපහාසයට හෝ උපහාසයට ලක් කිරීම ආදියේ අඩුවක් නැත. මේ කිසිවකට මුල් වන්නේ අලෝභය, අද්වේෂය හෝ අමෝහය නො වේ. ධර්මය තුළ පවත්නේ අලෝභය, අද්වේෂය, අමෝහය තුළ පිහිටමින් අනුගමනය කෙරෙන ප්‍රතිපදාවකි. එසේ නම්, අනෙකාගේ දියුණුව වළකන්නට සිදු කරන මේ සියල්ල තුළ ක්‍රියාත්මක වන්නේ අධර්මය මිස ධර්මය නො වේ.
අප අද අත්විඳින සැබෑ සමාජ තත්ත්වය විමසා බලන්නේ නම් සිංහල බෞද්ධයන් අතර බොහෝ බෙදී යාම් දැකිය හැකි ය. පක්ෂ වශයෙන්, දේශපාලනික මත වශයෙන් බෙදී සසරේ බොහෝ කලක් එකිනෙකා මරා ගනිමින් පළි ගත් සතුරන් පරිද්දෙන් ගහබැණ ගන්නා සිංහලයන් සිටී. අගතියෙන් අගතියට ම පත් වෙමින් මෙසේ පක්ෂ පාට වශයෙන් බෙදී යාම ධර්මය නො වේ; අධර්මය යි. වෙනෙකක් තබා උසස් ආකාරයෙන් සම්බුද්ධ පූජාවක් සිදු කෙරෙන කල්හි එය පවා දොස් නගමින් විවේචනය කරන්නට, ගරහන්නට පෙළඹෙන පිරිස් මෙහි සිටී. තුන්ලෝකාග්ර වූ, අග්‍ර දක්ඛිණෙය්‍ය වූ සම්බුදුරජාණන් වහන්සේ වෙත අග්‍ර වූ පූජෝපහාරයක් කෙරුණේ ය කියා සිත පහදවා ගන්නට අදක්ෂ වීම අධර්මය මිස ධර්මය නො වේ.
අනුන්ගේ යහපත දැක සතුටු වීම ධර්මය යි, ඊර්ෂ්‍යා කිරීම අධර්මය යි. සමඟිය ඇති කරවමින් කටයුතු කිරීම ධර්මය යි, බිඳුවීම අධර්මය යි. ඉවසීම ධර්මය යි, ක්‍රෝධ කිරීම අධර්මය යි. ගුණ දන්නා බව – දකිනා බව ධර්මය යි, ගුණමකුකම අධර්මය යි. ත්‍යාගශීලීත්වය ධර්මය යි, මසුරුකම අධර්මය යි. ධර්මය තුළ පිහිටන්නට පිහිටන්නට අප එකිනෙකා සාමූහික ව කටයුතු කරමින් රටක් වශයෙන් ද ජාතියක් වශයෙන් ද අභිවෘද්ධිය කරා යොමු වේ. අධර්මය තුළ පිහිටන්නට පිහිටන්නට අප පොදුවේ පරිහානිය කරා ම ගමන් කරයි.
ගුණධර්මයන් දියුණු කිරීම පිළිවෙතක් බවට පත් කරලූ අන් කිසිදු දහමක් ලොව හමුවන්නේ නැත. අධර්මය අඳුරක් වද්දී ධර්මය ආලෝකය වගට පත් වන්නේ සිත්හි නිවීම, සන්සිඳීම, සැපය ඇති කරවමින් ධර්මය තුළ ගුණධර්ම වැඩී යන නිසාවෙනි. යළි සිහිපත් කරමි, අධර්මය යනු අඳුර යි – ධර්මය යනු ආලෝකය යි. අඳුරේ කටයුතු කිරීම සහ ආලෝකය හමුවේ දෑස වසාගෙන කටයුතු කිරීම අතරින් හාස්‍යජනක වන්නේ ආලෝකය හමුවේ දෑස වසාගෙන කටයුතු කිරීම නො වේ ද? ඉදින්, ධර්මය ඇතැයි කියමින් ක්‍රියාවට නගන්නේ අධර්මය ම නම් ධර්මය තිබීමේ හා එය උපතින් ම උරුමයක් ද වීමේ ඇති ඵලය කුමක් ද?
මින් වසර 2605කට පෙර එළඹි දුරුතු පුන් පොහෝ දිනයේ අපගේ ශාස්තෘන් වහන්සේ අප රටට වැඩම කොට වදාළේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ධර්ම භාණ්ඩාගාරය වගට මේ රට පත් වන ධර්මතාවය දැකීමෙනි. උරුවෙල් දනව්වේ ජටිලයන් ව විසූ කාශ්‍යප නම් ඇති සහෝදරයන් තිදෙනා දමනයේ යෙදෙමින් වැඩ සිටි එකල ලක්දිව වැඩම කොට මෙබිම පාරිශුද්ධ කරවාලූ ඒ ලොව දමනය කරලන ගුණ ඇති මුනිඳාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිද්දෙන් ම ගෞතම සසුන් කෙත ශෝභමාන කරවන පින්බිම බවට මේ රට පත් විය. ඒ දහම තුළ දමනය වන්නට අපට ලැබුණු ඉඩ තරම් ඉඩක් නම් මේ ලෝකයේ අන් කිසිදු රටක වැසියෙකුට විවෘත වී නැත. එසේ නම් පමා වන්නේ ඇයි?
අප වනාහී ජාතියක් ලෙස ශ්‍රේෂ්ඨත්වයට – විශිෂ්ටත්වයට පත් වන්නට වුවමනා මූලික ම අවශ්‍යතාවය උරුමයක් කොට ගත්තවුන් ය. කඳු මුදුනක් ලෙසින් එකිනෙකා පරයා නොනැගී සඳ එළියක් ලෙසින් සියලු තැන සියලු දෙය සම සිතින් – සම මෙතින් දකින්නට අප පුරුදු පුහුණු වන්නේ කවර ශීඝ්‍රතාවයකින් ද ඒ ශීඝ්‍රතාවයෙන් ම අප ජාතියක් ලෙස දියුණුව කරා ගමන් කරන බව නිසැක ය. කන්දට ද ලන්දට ද තැන්නට ද ඇළට ද දොළට ද මුහුදට ද කෙතට ද පුරන් බිමට ද නිල් තුරු වදුලට ද කටු පඳුරට ද වැටෙන්නේ එක ම සඳ එළියකි. ඒ කවර තැනක වුව ද සඳ එළියේ ද එහි තෙතමනයේ ද වෙනසක් නැත. ඒ කවරක් අබියස වුව ද සඳ එළිය බෙලහීන ද නැත. ලොවට එය නොපෙනෙනවා වන්නට පුළුවන. එහෙත් ලොව සියලු තන්හි සඳ එළිය පතුරුවන්නේ එක ම ආධිපත්‍යයකි.
ධර්මය යනු සම්පූර්ණයෙන් ම ගුණධර්මයන්ගේ වැඩී යාමකි. ගුණධර්මයන් යනු සිතෙහි පිරිසිදු බව ඇති කරවන දෙයයි. ගුණධර්ම දියුණු කිරීම කිසිසේත් ම පහසු කටයුත්තක් නො වේ. කුඩා කුඩා ගුණධර්ම පවා දියුණු කර ගත යුත්තේ වීරියෙනි. ඒවා ඉබේ දියුණු වන්නේ ද නැත. ප්‍රතිපදාවකින් ම දියුණු කර ගත යුතු ය. අප දියුණු කරන ඒ සෑම ගුණධර්මයක් පාසා ම අප යොමු වන්නේ සසරේ මෙතෙක් අප ගමන් නො කළ මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙතට ය. ඒ මඟට පිවිසි කෙනා එහි අවසානයට පැමිණෙනවා යන්න ආපසු හැරවිය නො හැකි ධර්මතාවයකි. මේ මාර්ගය තුළ ඇත්තේ ඍජු බවයි, බෙලහීන ඇදවැටීම් එහි නැත.
ජාතියක් ලෙස අප ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරලූ සම්බුදු දහම අපට ඉලක්කය කරලූයේ දිව්‍ය බ්‍රහ්ම ලෝක පවා ඉක්මවා ගිය ඒ ශාන්ත වූ, ප්‍රණීත වූ නිර්වාණය යි. ඒ වෙත කේන්ද්‍ර වූ ගමනක යෙදෙන කල්හි පින මුහුකුරා යාමත්, සිත වැඩී යාමත් සිදු වේ. රටක දියුණුව යනු පිනෙන් මෝරා ගිය, වැඩුණු සිත් ඇති ජනතාවකගේ වාසනා සම්පත්තිය නො වේ ද? ඒ වාසනා ගුණයෙන් ලක්මව බබළවන්නට ජීවය ලබා ශ්‍රී සද්ධර්මය තුළ වැඩෙන බොදුනුවන් ලෙස අප සැබෑ කොට ම තිසරණයේ පිහිටන්නේ කවදා ද? මේ ආලෝකය අප පිළිසරණක් කර ගන්නේ කවදා ද?
සටහන – උදුලා පද්මාවතී
Recent Comments