පැහැදිලි ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනෑ
බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන විශාල අවබෝධයක් ශ්රාවකයාට ලබාදෙනවා. මේ නිවන් මඟ පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ව හඳුන්වා දුන්නේ කිසිවෙකු විසින් නූපදවූ නිවන් මග උපදවා දෙන කෙනා (අසංජාතස්ස මග්ගස්ස සංජනේතා) කියලයි. ලෝකයේ කිසිවෙකු විසින් දේශනා නො කළ මාර්ගය දේශනා කරන කෙනා (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා) කියලයි. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගය මනාකොට අවබෝධ කළා (මග්ගඤ්ඤූ). නිවන් මාර්ගය ගැන මනාකොට දන්නවා (මග්ගවිදූ). මේ නිවන් මාර්ගය පෙන්වා දෙන්න ඉතාමත් ම දක්ෂයි (මග්ගකෝවිදෝ). එම නිසා අපි මේ ඉගෙන ගන්න ධර්මය ගැන ඉතා හොඳ පැහැදීමක් ඇතිකර ගන්න ඕනෑ.
පංච උපාදානස්කන්ධය හඳුනාගනිමු…
පංච උපාදානස්කන්ධය කියන වචනය ඔබ අසා ඇති. භාග්‍යවතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ දී ම ඒ වචනය සඳහන් වෙනවා.
“පින්වත් මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය යනු මෙයයි. ඉපදීම දුකක්. ජරාවට පත්වීම දුකක්. ලෙඩ රෝග වැළඳීම දුකක්. මරණයට පත් වීම දුකක්. අප්‍රියයන් හා එක් වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය ම දුකක් (සංඛිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛා). එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අයිති දුකටයි. පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා කියන එකයි. පංචඋපාදානස්කන්ධ අනිත්‍ය භාවනාවේ දී කරන්නේ අවබෝධය ඇතිවන ආකාරයට ඒ කෙරෙහි සිහිය පිහිටුවීම යි.
විමසිය යුතු ආකාරය….
බුදුරජාණන් වහන්සේ වදාළා ශ්රාවකයා සන්සිඳුනු සිතකින් නුවණින් විමසනවා. මේකයි රූපය, මේකයි වේදනාව, මේකයි සඤ්ඤාව, මේකයි සංස්කාර, මේකයි විඤ්ඤාණය කියා. ඒ වගේ ම මෙහෙමයි රූපය හටගන්නේ, මෙහෙමයි රූපය අභාවයට පත්වෙන්නේ, මෙහෙමයි වේදනාව හටගන්නේ, මෙහෙමයි වේදනාව අභාවයට පත්වෙන්නේ, මෙහෙමයි සඤ්ඤාව හටගන්නේ, මෙහෙමයි සඤ්ඤාව අභාවයට පත්වන්නේ, මෙහෙමයි සංස්කාර හටගන්නේ, මෙහෙමයි සංස්කාර අභාවයට පත්වන්නේ, මෙහෙමයි විඤ්ඤාණය හටගන්නේ, මෙහෙමයි විඤ්ඤාණය අභාවයට පත්වන්නේ කියා පංච උපාදානස්කන්ධය ගැනත්, පංච උපාදානස්කන්ධය දිගින් දිගට ම හටගන්න ආකාරය ගැනත්, පංච උපාදානස්කන්ධය සදහට ම නැතිවෙන ආකාරය ගැනත් ශ්රාවකයා නුවණින් විමසයි.
මේ සඳහා ඔබ පංච උපාදානස්කන්ධය ගැන නිරවුල් දහම් දැනුමක් මුලින් ම ඇතිකර ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ විසින් තමයි පංච උපාදානස්කන්ධය කියන වචනය පැහැදිලිව විග්රහ කළේ.
පංචස්කන්ධය – පංච උපාදානස්කන්ධය අතර වෙනස…
මේ පංච උපාදානස්කන්ධයට ඇලී ගැලී වාසය කරන නිසයි, ‘සත්වයා’ කියන්නේ කියා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඉතින් යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා එයින් නිදහස් වුණොත් ඒ කෙනාට පංච උපාදානස්කන්ධයක් නැහැ. පංචස්කන්ධයක් විතරයි තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය සත්වයාට තියෙන්නේ පංචස්කන්ධයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ ඡන්දරාගයෙන් යුක්ත වූ, ආසාවකට බැඳිච්ච පංච උපාදානස්කන්ධය. ඡන්දරාගයෙන් හෙවත් ආසාවෙන් නිදහස් වෙච්ච ගමන් ඒ කෙනාට උපාදාන නෑ. පංචස්කන්ධය විතරයි තියෙන්නේ.
අවබෝධ කළ යුතු රූපය….
ශ්රාවකයා මුලින් ම කරන්නේ, රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ කියන මේ පහ තමන්ගේ ජීවිතය තුළින් බලා හොඳට අඳුනගන්න එකයි. ඉස්සෙල්ලා ම ශ්රාවකයා රූප උපාදානස්කන්ධය හඳුනාගන්නවා.
රූප කියා කියන්නේ නැසී වැනසී යන ස්වභාවයන් යුතු නිසයි (රුප්පතීති ඛෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති). ඒ තමයි සීතලෙන් නැසී වැනසී යනවා. උණුසුමෙන් නැසී වැනසී යනවා. බඩගින්නෙන්, පිපාසයෙන් නැසී වැනසී යනවා. රෝග පීඩාවලින් නැසී වැනසී යනවා. අතුරු ආන්තරාවලින් නැසී වැනසී යනවා. මොනව ද මේ නැසී යන දේ? ඒ තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතූත් ඒවායෙන් හටගත් දේවලුත්, එනිසා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයට කියන නමක් රූප.
ස්කන්ධය යනු කුමක් ද?…
එතකොට මේ රූප උපාදානස්කන්ධයේ ස්කන්ධ කියා කියන්නේ රූප ගොඩක් කියන අර්ථය නෙවෙයි. මහා පුණ්ණමා කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. දවසක් එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට ප්‍රශ්නයක් අහනවා.
“භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පංච උපාදනස්කන්ධයේ ස්කන්ධ කියා වචනයක් තියෙනවා. මේ ස්කන්ධ, ස්කන්ධ කියන වචනයේ නියම අර්ථය මොකක් ද?”
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
“පින්වත් භික්ෂුව, අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද, හටනොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද, හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද, තමාගේ යැයි සලකන යම් රූපයක් ඇද්ද, අනුන්ගේ යැයි සලකන යම් රූපයක් ඇද්ද, ගොරෝසු ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, සියුම් ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, හීන වූ රූපයක් ඇද්ද, ප්‍රණීත වූ රූපයක් ඇද්ද, දුර පවතින රූපයක් ඇද්ද, ළඟ පවතින රූපයක් ඇද්ද මෙන්න මෙයට කියනවා රූප උපාදානස්කන්ධය කියා.”
කාලය හා අවකාශය අතර පැවැත්ම…
එහෙනම් ස්කන්ධය කියන වචනයේ සැබෑ තේරුම එයයි. අතීත, අනාගත, වර්තමාන කියන කාලයත්, අධ්‍යාත්ම – බාහිර, ගොරෝසු – සියුම්, හීන – ප්‍රණීත, දුර – ළඟ කියන අවකාශයත් තුළ පවතින දෙයට තමයි ස්කන්ධ කියා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගන්නා රූපය ඒ කාලයත්, අවකාශයත් තුළ පවතිනවා. එනිසා කියනවා රූප ස්කන්ධය කියා. ඒ විදිහට ම ස්පර්ශයෙන් හටගත්තු විඳීම, හඳුනාගැනීම, සංස්කාර කාලය හා අවකාශය තුළ පවතින නිසා වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියා කියනවා. මෙතන දී සංස්කාර කියන්නේ චේතනාවට බව අපි හොඳින් මතක තියා ගන්නට ඕනෑ. ඒ වගේ ම නාම-රූපයන්ගෙන් හටගත්තු විඤ්ඤාණය කාලය හා අවකාශය අතර පවතින නිසා විඤ්ඤාණ ස්කන්ධය කියා කියනවා. මේ පංච උපාදානස්කන්ධ ගැන තමා තුළින් අවබෝධ කරගැනීම පිණිස සිහිය පිහිටුවීම තමයි පංච උපාදානස්කන්ධ භාවනාවේ දී සිදුකරන්නේ.
වේදනා උපාදානස්කන්ධය….
වේදනාව කියන්නේ සැප, දුක්, උපේක්ෂා වශයෙන් හටගන්නා විඳීමටයි. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය බාහිර රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, අරමුණු හා විඤ්ඤාණයත් සමඟ එකතුවීම කියන ස්පර්ශයක් යම් තැනක ඇද්ද එතන තමයි විඳීම හටගන්නේ.
සඤ්ඤා උපාදානස්කන්ධය…
සඤ්ඤා කියන්නේ හඳුනාගැනීම යි. ඒ කියන්නේ ඇස් දෙකෙන් රූප හඳුනාගන්නවා. කන් දෙකෙන් ශබ්ද හඳුනාගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනාගන්නවා. දිවෙන් රසය හඳුනාගන්නවා. කයෙන් පහස හඳුනාගන්නවා. මනසින් අරමුණු හඳුනාගන්නවා. හඳුනාගැනීමක් ඇතිවෙන්නේ කොහොම ද? ඇහෙන් රූපයක් හඳුනාගන්නේ, ඇස තියෙනවා, ඇස ඉදිරියට රූපයක් එනවා. ඇසේ විඤ්ඤාණය ඇතිවෙනවා. එතකොට ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවෙනවා. එහෙමයි රූපය පේන්නේ. ඒකට කියනවා ඇසේ ස්පර්ශය කියා. එහෙනම් ඇසෙන් රූප හඳුනගන්නේ ඇසේ ස්පර්ශය නිසයි. කනින් ශබ්ද හඳුනාගන්නේ කනේ ස්පර්ශය නිසා, නාසයෙන් ගඳ සුවඳ හඳුනාගන්නේ නාසයේ ස්පර්ශය නිසා. දිවෙන් රස හඳුනාගන්නේ දිවේ ස්පර්ශය නිසා, කයින් පහස හඳුනාගන්නේ කයේ ස්පර්ශය නිසා. මනසින් අරමුණු හඳුනාගන්නේ මනසේ ස්පර්ශය නිසා. මේ විදිහට ස්පර්ශය නිසා හය ආකාරයක හඳුනාගැනීමක් තියෙනවා කියා ශ්රාවකයා තේරුම් ගන්නවා.
සංස්කාර උපාදානස්කන්ධය….
පංච උපාදානස්කන්ධයේ දී සංස්කාර කියන්නේ චේතනාවටයි. චේතනා ඇති වෙනවා ඇසෙන් දකින රූපය ගැන. චේතනා ඇතිවෙනවා කනින් අහන ශබ්දය ගැන. චේතනා ඇතිවෙනවා නාසයට දැනෙන ගඳසුවඳ ගැන. චේතනා ඇතිවෙනවා දිවට දැනෙන රස ගැන. චේතනා ඇතිවෙනවා කයට දැනෙන පහස ගැන. චේතනා ඇතිවෙනවා කනින් අහන ශබ්දය ගැන. මනසට සිතෙන අරමුණු ගැන. චේතනා කියල කියන්නේ කර්මය. කර්මය කියල කියන්නේ විපාක දීම පිණිස සකස් වෙන දේ. එහෙම නම් අපි හැම මොහොතකම ඇසින් රූපයක් දැකල චේතනාවක් පහළ කරල හිතින් හිතන කොට, වචනයෙන් ක්‍රියාත්මක වෙන කොට, කයින් ක්‍රියාත්මක වෙන කොට විපාක පිණිස සකස් වෙනවා. මේකට තමයි චේතනාව කියල කියන්නේ. මේකට ම තමයි සංස්කාර කියල කියන්නෙත්. එතකොට සංස්කාර ඇතිවෙන්නේ ස්පර්ශයෙන්.
විඤ්ඤාණ උපාදානස්කන්ධය….
විඤ්ඤාණය කියන්නේ දැනගැනීමට. (විජානාතීතී ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති) විඤ්ඤාණය හටගන්නෙ ආයතන හයේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඇහැත් රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හටගන්නවා. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හටගන්නවා. නාසයත් ගඳසුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය හටගන්නවා. දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය හටගන්නවා. කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණය හටගන්නවා. මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය හටගන්නවා. මේ විඤ්ඤාණය හටගන්නේ නාමරූප ප්‍රත්‍යයෙන්.
නාම කියල කිව්වෙ වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියන පහ. රූප කියල කිව්වෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත්, සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත්. ඒවයින් තමයි මේ ඇස හැදිල තියෙන්නෙ. කන හැදිල තියෙන්නෙ නාමරූප වලින්. නාසය හැදිල තියෙන්නෙ නාමරූප වලින්. දිව හැදිල තියෙන්නෙ නාමරූප වලින්. කය හැදිල තියෙන්නෙ නාමරූප වලින්. මනස හැදිල තියෙන්නෙ නාමරූප වලින්.
බුදුරජාණන් වහන්සේ වදාළා “කවුරු හරි කියනවා නම් මම රූපයෙන් තොරව, වේදනාවකින් තොරව, සඤ්ඤාවකින් තොරව, සංස්කාර වලින් (ඒ කියන්නේ චේතනාවකින්) තොරව විඤ්ඤාණයක් එනවා කියල හෝ විඤ්ඤාණයක් යනවා කියල හෝ විඤ්ඤාණයක් චුත වෙනවා කියල හෝ විඤ්ඤාණයක් වැඩෙනවා කියල හෝ විඤ්ඤාණය උපදිනවා කියල හෝ ඒක කිසි දවසක වෙන්න බැරි දෙයක්” කියලා. ඒ අනුව ඉතා ම පැහැදිලියි මේ පංච උපාදානස්කන්ධයේ හුදෙකලා විඤ්ඤාණයක් නෑ. විඤ්ඤාණය හැම වෙලේ ම තියෙන්නේ රූපයේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සඤ්ඤාවේ බැසගෙන, සංස්කාරයේ බැසගෙන.
පංච උපාදානස්කන්ධයේ හටගැනීම…
ශ්රාවකයා ඉන් පසු නුවණින් විමසන්නේ මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොම ද කියලයි. පංච උපාදානස්කන්ධය හටගන්නේ පටිච්චසමුප්පාදය තුළයි. මේ ගැන ඉතා පැහැදිලි විස්තරයක් ‘සමාධි භාවනා’ නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා.
“පින්වත් මහණෙනි, කුමක්ද මේ රූපය, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ සමුදය? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව රූපය, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ (මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන්) සතුටින් පිළිගනී (අභිනන්දති). එහි ගුණ කියයි (අභිවදති). එය වැළඳගෙන සිටී (අජ්ඣෝසාය තිට්ඨති). මෙසේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, සතුටින් පිළි අරගෙන, එහි ගුණ කියන, එය වැළඳගෙන සිටින තැනැත්තා හට ඒ කෙරෙහි ආශාව උපදී (උප්පජ්ජති නන්දි). ඒ ආශාව උපාදානය බවට පත් වේ (යා නන්දි තදුපාදානං). උපාදානය නිසා විපාක විඳීම පිණිස කර්ම සකස් වේ (තස්ස උපාදාන පච්චයා භවෝ හෝති). විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදීම සිදු වේ (භව පච්චයා ජාති). ඉපදීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත් වීම, ශෝක, වැළපීම්, දුක් fදාම්නස් උපායාස හටගනිත්. මේ ආකාරයෙනි මේ සමස්ත දුක් ජාලය ම හට ගන්නේ.
පින්වත් මහණෙනි, මෙය වනාහී රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ සමුදයයි. මෙම දේශනාව අනුව ‘සමුදය’ යනු දුකේ පැවැත්ම නම් වූ සංසාරයේ පැවැත්ම සකස් වීම බව ඉතා පැහැදිලි ය.
පංච උපාදානස්කන්ධයන් අනිත්‍යයි….
එහෙම නම් අපට ඉතා ම පැහැදිලි ව තේරුම්ගන්න පුළුවන්, මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ පටිච්චසමුප්පාදය නිසා. මේ පංච උපාදානස්කන්ධය හැදෙන එක නවතිනවා පටිච්චසමුප්පාදය හැදෙන එක නැවතිච්ච ගමන්, අවිද්‍යාව මුළුමනින් ම ප්රහාණය වෙච්ච දවසට, චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ වෙච්ච දවසට, පටිච්චසමුප්පාදය නැවත සකස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා ධම්මානුපස්සනාව වඩද්දී පටිච්චසමුප්පාදය තුළින් පංච උපාදානස්කන්ධය හටගන්නා ආකාරයත් දකිනවා. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන ආකාරයත් දකිනවා. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන්නේ, අවබෝධය තුළින් එය නොපිළිගැනීම තුළයි.
පංච උපාදානස්කන්ධයේ අස්තංගමය….
සමාධි භාවනා සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කරනවා.
“පින්වත් මහණෙනි, මේ රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ අස්තංගමය හෙවත් අභාවයට යාම කුමක් ද? මෙකරුණෙහිලා භික්ෂුව (අවබෝධ ඤාණයක් තුළින් කෙලෙසුන් ප්‍රහීණ වී යන පරිදි යථාර්ථය දැකීම නිසා) රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ (මම ය, මගේ ය, මාගේ ආත්මය ය වශයෙන්) නො පිළිගනී (අනභිනන්දති). එහි ගුණ නො කියයි (අනභිවදති). කැමැත්තෙන් නො වැළඳ ගනියි (අනජ්ඣෝසාය තිට්ඨති). එසේ නො පිළිගෙන සිටින, එහි ගුණ නො කියන, කැමැත්තෙන් නො වැළඳගෙන සිටින, ශ්රාවකයාට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි තිබුණා වූ යම් ආසාවක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. ආශාව නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරුද්ධවීම නිසා විපාක පිණිස කර්ම සකස් නො වේ. භවය නිරුද්ධ වීම නිසා උපතක් සකස් නො වේ. උපතක් සකස් නොවීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත්වීම, ශෝක, වැළපීම්, දුක් fදාම්නස් උපායාස නිරුද්ධ වී යයි. මේ ආකාරයට පැතිර පවත්නා වූ මුළු මහත් දුක්ඛ ජාලය නිරුද්ධ වී යයි. පින්වත් මහණෙනි, රූපයේ වේදනාවේ සඤ්ඤාවේ සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ අස්තංගමය හෙවත් අභාවයට පත් වීම යනු මෙයයි.”
එසේ නම් අස්තංගමයට පත් වීම යනු මුළුමනින් ම සංසාරික පැවැත්ම සකස් නොවීමෙන් අභාවයට පත්වීමකි.
උපාදානස්කන්ධ පහ මේ විදිහට දැක්කොත්….
සතර මහා ධාතූන්ගෙන් හටගත්තු රූපය පෙණ ගුලියක් වගේ කෙනෙකුට අවබෝධ වුණා නම්, ස්පර්ශය නිසා හටගන්නා විඳීම දිය බුබුළක් වගේ අවබෝධ වුණා නම්, ස්පර්ශයෙන් හටගන්නා සඤ්ඤාව මිරිඟුවක් වගේ අවබෝධ වුණා නම්, ස්පර්ශය නිසා හටගන්නා චේතනා හෙවත් සංස්කාර (පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙඤ්ජාභි සංඛාර) ගැන අරටුවක් සොයාගෙන ගිය කෙනෙක් අරටුව අඳුනගන්න බැරිව, කෙහෙල් ගහක පට්ට ගලවනවා වගේ කියා අවබෝධ වුණා නම්, ඊ ළඟට විඤ්ඤාණය මායා ස්වරූපී දෙයක්, මැජික්කාරයෙක් හතරමං හන්දියක මැජික් පෙන්වනවා වගේ කියා අවබෝධ වුණා නම්, අන්න ඒ ශ්රාවකයා පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා එය පිළිගන්නැතිව යනවා කියා භාග්‍යවතුන් වහන්සේ ඵේණපිණ්ඩූපම සූත්‍රයේ දී වදාළා. නොපිළිගැනීම තුළ ඒ කෙරෙහි බැඳෙන්නේ නැතිව යනවා. නොබැඳීම තුළ ඒ කෙරෙහි ඇල්ම නිරුද්ධ වෙනවා. ඇල්ම නිරුද්ධ වීම තුළ භවය හැදෙන්නේ නැතිව යනවා. එවිට උපතක් සකස් නො වී පටිච්චසමුප්පාදයෙන් නිදහස් වෙනවා.
වෙනස් වෙලා යන හැටි දකිනවා
එහෙම නම් ශ්රාවකයා මේ ධර්මතාවය නුවණින් විමසා බැලීම තමයි පංච උපාදානස්කන්ධ භාවනාවේ දී කරන්නේ. නුවණින් විමසා බලනකොට ශ්රාවකයා පංච උපාදානස්කන්ධය අනාත්ම හෙවත් තමාගේ වසඟයේ පවත්වන්න බැරි අයිතිකාරයෙක් නැති දෙයක් හැටියට අවබෝධ කර ගන්නවා. සතර මහා ධාතූන්ගෙන් හටගත්තු රූප සතර මහා ධාතූන් වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා විඳීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා.
ස්පර්ශයෙන් හටගන්නා හඳුනාගැනීම, ස්පර්ශයේ වෙනස් වීමෙන් වෙනස්වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා චේතනාව ස්පර්ශය වෙනස්වීමෙන් වෙනස් වෙලා යනවා. නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය නාමරූප වෙනස්වීමෙන් වෙනස් වෙලා යනවා.
අවබෝධයෙන් ම නිදහස් වෙනවා…
එහෙනම් මේ හේතූන්ගෙන් හටගන්නා ඵල හේතු නැතිවීමෙන් නැති වී යන ධර්මතාවයෙන් යුක්තයි. එමෙන් ම මේ අවබෝධය ශ්‍රාවකයාගේ ජීවිතයට ලැබෙන කොට ඔහු අනාත්මය දකිනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා ගන්නේ නෑ. එයින් නිදහස් වෙනවා. එම නිසා අපි පංච උපාදානස්කන්ධ අනිත්‍යය භාවනාව මේ අයුරින් පුරුදු පුහුණු කර ගනිමු.
අනිත්‍ය (ස්කන්ධ) භාවනාව
රූප ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
වර්තමානයේ හටගෙන තිබෙන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
අනාගතයේ හට නො ගත්තා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගන්නා හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
තමා යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
අනුන් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතරමහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
ගොරෝසු යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
සියුම් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
යහපත් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
අයහපත් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
දුර තිබෙන්නා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
ළඟ තිබෙන්නා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු රූප මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
වේදනා ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් වේදනාවක් ඇද්ද, ඒ සියලු වේදනා ස්පර්ශය නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු වේදනා මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නො ගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන….
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ….
සඤ්ඤා ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් සඤ්ඤාවක් ඇද්ද, ඒ සියලු සඤ්ඤා ස්පර්ශය නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු සඤ්ඤා මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නො ගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන….
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ….
සංස්කාර ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා ස්පර්ශය නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු චේතනා මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නො ගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන….
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ….
විඤ්ඤාණ ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණ නාමරූප නිසා හටගත් හෙයින් ද වහා වෙනස් වී යන හෙයින් ද අනිත්‍යය යි…. අනිත්‍යය යි…. අනිත්‍යය යි…. ඒ සියලු විඤ්ඤාණ මම නො වේ…. මගේ නො වේ…. මගේ ආත්මය නො වේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නො ගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන….
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ….
මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි
ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ “ඒ අමා නිවන් සුව බොහෝ දුර නො වේ” සදහම් ග්‍රන්ථය සහ “සිතට සුව දෙන භාවනා” ග්‍රන්ථය.
Recent Comments