ඇත්තටම සයිකෝසියාව යනු එක් මනෝ රෝගයක් නොව රෝග කිහිපයක එකතුවකි. ස්කිට්සොෆ‍්‍රීනියාව හෙවත් භින්නෝන්මාදය, ඩිලූෂනල් ඩිස් ඕඩර් හෙවත් මායා විශ්වාස රෝගය මින් කිහිපයකි. වෙනත් සමහර මනෝ රෝග ඇති විටක දී ද මෙම සයිකෝසියාවේ ලක්ෂණ පහළ විය හැක.

එහෙනම් අපි මුලින් ම බලමු සයිකෝසියාවේ මූලික ලකුණු මොනවාදැයි කියා.

මායා විශ්වාස

මෙය විශ්වාසයකි; එනම් සිතුවිල්ලකි. නමුත් මෙහි විශේෂත්වය නම් පුද්ගලයා එම සිතුවිල්ලේ තදින් ම එල්බගෙන සිටීම යි. ඇත්තටම එම එල්බ ගැන්ම මොහොතකටවත් සෙලවිය නො හැකි තදබල එල්බ ගැනීමකි. තව කෙනෙකු මොන තර්ක ගෙන ආවත්, සිතුවිල්ල වෙනස් කිරීමට මොන සාක්කි ගෙන හැර පෑවත් පුද්ගලයා සිතුවිල්ල වෙනස් නො කරයි.
උදාහරණයක් වශයෙන් සුමුදු නම් කෙනෙකු සේවායතනයේ තම ප‍්‍රධානියා තමාට විරුද්ධ ව ක‍්‍රියා කරන බවත්, තමන් ව නො කළ වරදකට හසු කරවීමට යන බවත් විශ්වාස කරනවා කියමු. දිනක් මෙම ප‍්‍රධානියා සුමුදු ගැන තවත් කෙනෙකු සමග ප‍්‍රශංසා කරන හැටි සුමුදුට අහම්බෙන් ඇසුණා යැයි සිතමු. එවිට සුමුදුට ‘මා සිතූ සිතුවිල්ල ඇත්තටම වැරදි නේ’ දැයි සිතෙනු ඇත. එසේ නම් මෙය නීරෝගී සිතුවිල්ලකි. නමුත් මෙය මායා විශ්වාසයක් නම් සුමුදු කෙසේවත් තම මතය වෙනස් නො කරයි. ‘ඔය හොඳ කියනවා ඇත්තේ මා අසා සිටින බව කෙසේ හෝ දන්නා නිසා’ යැයි කියමින් තම කලින් විශ්වාසයේ ම එල්බගෙන සිටියි.

මායා විශ්වාසයක අනෙකුත් ලකුණ වන්නේ එම විශ්වාසය සාධාරණ හේතුවක් නැතිව එළැඹි තීරණයක් වීමයි. සුමුදු මෙන් සේවකයන් පෙළන ප‍්‍රධානීහු කොතෙකුත් සිටිති. එසේ තම ප‍්‍රධානියා ගැන සිතීම මායා විශ්වාසයක් නො වෙයි. එහෙත් සුමුදු තම ප‍්‍රධානියා තමනට අහිතක් කිරීමට යන බව දැන ගත්තේ කෙසේදැයි විමසූ කල ඔහු මෙවැනි පිළිතුරක් දුන්නොත්:
‘‘මගේ ප‍්‍රධානියා මෑතක සිට නිතර එයාගේ පුද්ගලික ජංගම දුරකතනයෙන් කාර්යාලයේ දී ඇමතුම් ගන්නවා. එ් හැම විට ම එයා ඇස් කොණෙන් මා දෙස බලනවා. එ් කියන්නේ අනිවාර්යයෙන් ම මට විරුද්ධ ව කුමන්ත‍්‍රණයක් තමයි.”

මේ කියන ලෙස කාර්යාලයේ දී දුරකතන ඇමතුම් ගැනීම සත්‍යයක් වුවත් එම නිසා ප‍්‍රධානියා සුමුදුට විරුද්ධව කුමන්ත‍්‍රණ කරන්නේ යැයි නිගමනය කිරීම සාධාරණ නො වෙයි.

මෙසේ සාධාරණ නො වන තීරණවලට එළැඹීම මායා විශ්වාසයක ලකුණක් විය හැක. නමුත් එ් නිසා ම පමණක් සුමුදුට ඇත්තේ මායා විශ්වාසයකැයි නො කිව යුතු ය.

මෙසේ අන් අය තමනට හානි කරනවා යන තේමාවට අමතරව, අන් අය වට පිට තැන තැන සමහර විට මාධ්‍ය තුළත් තමන් ගැන ම කතා කරන්නේ ය යන තේමාව ද සුලබ මායා විශ්වාස තේමාවකි.

භ‍්‍රාන්ති

මායා විශ්වාසයක් යනු සිතුවිල්ලක් නම් භ‍්‍රාන්තියක් යනු සංවේදනයකි. පංචේන්ද්‍රිය අනුව භ‍්‍රාන්ති වර්ග පහකි. එනම් ශ‍්‍රව්‍ය (කනට ඇසෙන), ගන්ධ (නහයට දැනෙන), රස (දිවට දැනෙන), ස්පර්ශ (සිරුරට දැනෙන) සහ දෘශ්‍ය (ඇසට පෙනෙන) වශයෙනි. මෙයින් වඩාත් ම සුලබ වන්නේ ශ‍්‍රව්‍ය (කනට ඇසෙන) භ‍්‍රාන්ති වන අතර දෘශ්‍ය (ඇසට පෙනෙන) භ‍්‍රාන්ති වඩාත් ම දුලබ ලෙස දක්නට ලැබෙන භ‍්‍රාන්ති වර්ගය වෙයි.

යමෙකු කතා කරන විට අපට එම කටහඬ ඇසෙයි. එම පුද්ගලයා කතා කරනවා පෙනෙයි. නමුත් ශ‍්‍රව්‍ය භ‍්‍රාන්තියක දී සිදු වන්නේ ඇත්ත ලෝකයේ එසේ හඬක් නො ඉපදී කෙනෙකුට එවැනි හඬක් ඇසීමයි.

උදාහරණයක් ලෙස සුමුදුට තම ප‍්‍රධානියා තමන් ගැන අගතිගාමී දේ දුරකතනයෙන් කියනවා ඇසෙනවා කියමු. එහෙත් ඔහු සිටින්නේ සුමුදුට සෑහෙන දුරකින් වීදුරු කුටියක් තුළයි. එසේ නම් මේ සුමුදුට ඇසෙනවා ඇත්තේ ඇත්ත හඬ නො විය හැක. එය ශ‍්‍රව්‍ය භ‍්‍රාන්තියක් විය හැක.

මීටත් වඩා සුලබ ව දක්නට ලැබෙන උදාහරණයක් නම් සුමුදුට පෙනෙන තෙක් මානයේ තම ප‍්‍රධානියා නැති විටක දී ඔහු තවත් කෙනෙකු සමඟ සුමුදුට විරුද්ධව කුමන්ත‍්‍රණ කරන අයුරු ළඟ සිට අසා සිටින විට ඇසෙන අයුරින් සුමුදුට ඇසීම යි. එවැනි අත්දැකීමක් දැනුණු පළමු දිනයේ දී සමහර විට සුමුදු කලබල වී මෙසේ ඇසෙන්නේ කෙසේදැයි වට පිට බැලූවා විය හැක; කාමරය තුළ ඇති යම් ශබ්ද උපකරණයකින්, නැති නම් දුරකතනයකින් මෙසේ හඬ පිට වේදැයි පරීක්ෂා කර බැලූවා විය හැක. එසේ ම මෙම ඇසෙන හඬට තමන් නැවත කතා කරමින් ප‍්‍රතිචාර දැක්වීමට ද ඉඩ ඇත. එවිට අන් අයට එම පුද්ගලයා තනිව ම කතා කරනවා හෝ සිනහා වෙනවා යැයි පෙනෙනු ඇත.

ආහාරයක් කට තුළ නැතිව නොයෙකුත් රසයන් ද අන් අයට නො දැනෙන නොයෙකුත් ගඳ සුවඳ ද මෙසේ දැනීමට ඉඩ ඇත. එසේ ම සම මත යම් යම් සංවේදන ද සිරුර ගැඹුරින් යම් සංවේදන ද ලෙසින් සමහර විට භ‍්‍රාන්ත ඇති විය හැක.

මායා විශ්වාස සහ භ‍්‍රාන්ති ගැන පුද්ගලයා තුළ ඇතිවන අවබෝධය

මෙම විශ්වාස සහ සංවේදන එ්වා අත් දකින පුද්ගලයා තුළ ඇති වන්නේ ඉතාමත් යාථාර්ථවාදී ලෙසයි. එනම් සුමුදුට තමන්ට මෙසේ කට හඬ ඇසෙන බවට හොඳට ම විශ්වාස ය. මන්ද එ්වා ඔහුගේ දෙසවනට සත්‍ය කට හඬ ඇසෙන ලෙසට ම ඇසෙන නිසා ය. එම විශ්වාස සත්‍ය ලෙස ම දැනෙන නිසා ය. එම නිසා සුමුදු සමඟ කොතරම් වාද කළත් සුමුදුට එම අත්දැකීම් සත්‍ය නොවන බවට එ්ත්තු නො යයි.

සටහන
වෛද්‍ය මහේෂ් රාජසූරිය
මනෝ වෛද්‍ය විශේෂඥ
MBBS (කොළඹ), MD (මනෝ වෛද්‍ය)
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය (මනෝ චිකිත්සාව ඇතුළු