ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,
අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙදහස් පන්සියයකටත් වැඩියි. උන්වහන්සේ පිරිනිවන් පාන්නට කලින් ආනන්ද හාමුදුරුවන්ට මේ වගේ ප‍්‍රකාශයක් කළා.
‘‘පින්වත් ආනන්ද, ඔබට හිතේවි ‘තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්්සේ අපට දැන් පිළිසරණක් නෑ’ කියලා. එහෙම හිතන්න එපා! මා විසින් දේශනා කොට වදාළ ධර්ම විනය මාගේ ඇවෑමෙන් පස්සෙ ශාස්තෘන් වහන්සේ හැටියට පිළිගන්න.”
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධර්ම කාය, ධර්ම ශරීරය තවමත් ජීවමානයි. එහෙම නම් අපට උන්වහන්සේ ව එ් ධර්මකාය තුළින් දකින්න පුළුවනි.
බුදුරජාණන් වහන්සේව හඳුනගන්න තියෙන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුළින් විතරයි. උන්වහන්සේව ඇස් දෙකෙන් බලලා අපට හඳුනගන්න බෑ. බුදුරජාණන් වහන්සේව අපි හදුනාගන්නේ ධර්මයෙන් බලලා.
වක්කලී ස්වාමීන් වහන්සේ හොඳට ම අසනීප වුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කරලා ඇහුවා ‘‘හිතට මොකුත් තියෙනව ද පසුතැවිල්ලක්?” ‘‘අනේ, ස්වාමීනි, ලොකු පසුතැවිල්ලක් තියෙනවා, ලොකු දුකක් තියෙනවා” කිව්වා. ‘‘මොකක්ද ඔබට තියෙන දුක?” ‘‘මට බුදුරජාණන් වහන්සේව බලන්න එන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේව දකින්න විදිහක් නෑ, මේ අසනීපය නිසා.”
බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘පින්වත් වක්කලී, මොකක්ද මේ කුණු ශරීරයක් දිහා බලලා ඔබට ලබන්න තියෙන්නේ?” ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට කියනවා (යෝ වක්කලී, ධම්මං පස්සති, සෝ මං පස්සති) ”පින්වත් වක්කලී, යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් එයා දකින්නේ මාව. මාව දකිනවා නම් දකින්නේ ධර්මය.”
එහෙම නම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා. අපට උන්වහන්සේව එදා වගේ ම දකින්න පුළුවන් වෙනවා. කුමකින් ද? ධර්මයෙන්. ධර්මයෙන් දකින විදිහට අපිට අපේ ජීවිත හසුරුවගන්න පුළුවන් වුණොත් අපිට බුදුරජාණන් වහන්සේව දකින්න අපහසු වෙන්නේ නෑ.
ධර්මයෙන් දකින්න නම් එ්කට වුවමනා කරන සුදුසුකම තමයි එයා අසන්නා වූ ධර්මයට අනූව නුවණින් විමසීම. එ්ක බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නේ ‘යෝනිසෝ මනසිකාරය’ කියලයි. යෝනිසෝ මනසිකාරය නැති තැන ති‍්‍රපිටකධාරී වුණත් ධර්මය දකින්නේ නැහැ. කටපාඩම් කරයි, මතක තබාගනියි. නමුත් ධර්මය දකින්නේ නැහැ. ධර්මය දකින්න නම් නුවණින් විමසන්න ඕන.
එතකොට පින්වතුනි, මේ සුදුසුකම සම්පූර්ණයෙන් ම තමන්ගේ දක්ෂතාවය මත තියෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලෙ පැවිදි වෙච්ච සියලූ දෙනා රහත් වුණා ද? නෑ. තිිසරණයට ආපු සියලූ දෙනා මාර්ග ඵල ලැබුවා ද? නෑ. නුවණින් විමසීමේ දක්ෂතාවය තියෙන අය විතරයි ධර්මය අවබෝධ කළේ.
එතකොට පින්වතුනි, අපි කරන්න ඕන නුවණින් විමසන්න පටන් ගන්න එක. එතකොට අපට අපේ දක්ෂතාවය අවබෝධ කිරීමේ හැකියාව මතුවෙලා එන්න පටන් ගන්නවා. අපි නුවණින් විමසන්නේ නැතුව හිටියොත් කවදාවත් මතු වෙලා එන්නේ නෑ. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුවට පස්සේ මනුෂ්‍ය ජීවිතයේ සම්පූර්ණ දියුණුවක් ලබන්නේ නුවණින් විමසීම තුළයි.
අප සියලූදෙනාට ද නුවණින් විමසා ධර්මය තුළින් ම බුදුරජාණන් වහන්සේව හඳුනාගන්නට වාසනාව උදාවේවා!
මහාමේඝ 2016 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK
– අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –
Recent Comments