බුදුරජාණන් වහනසේගෙන් බණ ඇසූ තරුණයෝ තිස් දෙනෙක් සසර කලකිරී ජීවිතයෙහි නිසරු බව දැනගෙන පැවිදි වූහ. ඔවුහු බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන බවුන් වැඞීම සඳහා පිටිසරබද ප‍්‍රදේශයකට වැඩියහ. එ් ආසන්නයෙහි පිහිටි මහා වනය මැද සේනාසනයක් තෝරාගෙන වස් විසූහ.

උන්වහන්සේලා මෙසේ කතිකා කර ගත්හ.

‘‘ඇවැත්නී, අපි තුන්යම් රාති‍්‍රය පුරා ම ශ‍්‍රමණ ධර්මය රකිමු. එකිනෙකා හමුවීමට නො එමු.”

ඉතා උනන්දුවෙන් භාවනා කරන උන්වහන්සේලාට පහන් වන විට දැඩි නිදිබර ගතියක් දැනේ. දිනක් පාන්දර යාමෙහි දරුණු ව්‍යාඝ‍්‍රයෙක් පැමිණ නිදිකිරා වැටෙමින් සිටින එක් හිමිනමක් ඩැහැගෙන ගොස් ඉරා මස් කෑවේ ය.

පසුව එ් ව්‍යාඝ‍්‍රයා මිනී මස්වල රස වැටී දිනපතා එක එක භික්ෂුනම බැගින් ඩැහැගෙන ගොස් ඉරා මස් කා තිබුණේ ය. පොහොය දිනයේ එක තැනකට රැස්වුන විට එක් හිමිනමක් ‘‘ඇවැත්නී, අනික් පහලොස් නම කොහිද?” යි විමසූහ. එවිට දරුණු ව්‍යාඝ‍්‍රයෙක් පැමිණ දවසට එකනම බැගින් පැහැරගෙන ගොස් මරා මස් කන බව දැනගන්නට ලැබිණි.

‘‘ඇවැත්නී, තව දුරටත් අප නිහඬව සිටියොත් අප සියලූ දෙනාම ව්‍යාඝ‍්‍රයා විසින් කා දමනු නිසැක ය. දැන් අපගේ පිළිවෙත වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. මීට පසු යමෙකුට ව්‍යාඝ‍්‍රයා පැන්නොත් වහා ම කි‍්‍රයාත්මක විය යුතුයි. ‘ව්‍යාඝ‍්‍රයෙක්, ව්‍යාඝ‍්‍රයෙක්’ කියා හඬ නගා කිව යුතුයි. එ් හඬ ඇසුණ වහා ම සියල්ලෝ ම පැමිණිය යුතුයි.” හිමියෝ පැවසූහ. පසුදාත් වෙනදා වේලාවට ම ව්‍යාඝ‍්‍රයා භික්ෂුනමක් වෙත පැන්නේ ය. අල්ලා ගත්තේ ය. විපතට පත් භික්ෂූන් වහන්සේ ‘‘ව්‍යාඝ‍්‍රයෙක් ඇවැත්නී, ව්‍යාඝ‍්‍රයෙක්” යයි හඬ නගා කීහ.

භික්ෂූහු හැරමිටි ගිනිහුල් රැගෙන එ් භික්ෂුව මුදාගැනීමට ව්‍යාඝ‍්‍රයා ලූහු බැන්දෝ ය. ව්‍යාඝ‍්‍රයා ගල් තලාවකට නැග අල්ලාගත් භික්ෂුවගේ පා ඇඟිලිවල සිට කන්නට පටන් ගත්තේ ය.

‘ආයුෂ්මතුනී දැන්නම් කළ යුතු කිසිවක් නොමැත.’ යි සිතා එ් භික්ෂුව ව්‍යාඝ‍්‍රයාගේ කටට අසු වූයේ ම වේදනාව යටපත් කොට ගෙන විදසුන් වඩන්නේ ය.

ගොප් ඇටය දක්වා කන කල සෝවාන් වූයේ දණහිස් දක්වා කද්දී සකෘදාගාමී වූයේ ය. නැඹ දක්වා කද්දී අනාගාමී ව, හෘදය වස්තුව කෑමට පෙර දී ම පිළිසිඹියා සහිත ව රහත් බවට පත්ව මේ පී‍්‍රති වාක්‍ය පැවසූහ.

‘‘සිල්වත් වූයේ, ව‍්‍රත සම්පන්න වූයේ, නුවණැත්තේ, සන්සුන් ඉඳුරන් ඇත්තේ මොහොතක පමාවෙන් ව්‍යාඝ‍්‍රයෙකු අල්ලා ගන්නා ලද්දේ ය. ශරීර පඤ්ජරය පිටින් ගෙන ගල් තලාවකට පැමිණවූයේ ව්‍යාඝ‍්‍රයා මනාප අයුරින් මාගේ ඇට නහර අනුභව කෙරේවා! කෙලෙසුන් හැර දමා මම මෝක්ෂය ලැබීමි.”

ඇසුර – අට්ඨකතා සාහිත්‍යය

සටහන
මානෙල් පොඩිමැණිකේ