ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

අපේ ජීවිතය සාර්ථක කර ගන්නට අත්‍යවශ්‍ය ම අංගයක් තමයි අප තුළ ඇතිකර ගන්නා වූ ප‍්‍රඥාව කියන්නේ. විශේෂයෙන් ම අපට ප‍්‍රඥාව ඇතිකර ගන්න උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් ජීවිතය තේරුම් ගන්න මහන්සි ගැනීමයි. ජීවිතය තේරුම් ගන්න නම් අපට ජීවිතය ගැන මමත්වයක්, එහෙම නැත්නම් අහංකාරකමක් තියෙනවා නම් එ්ක නැතිවෙන්න ඕන. ඊ ළඟට අප තුළ මනුස්සයා කෙරෙහි යම් අනුකම්පාවක් තියෙනවා නම් එ්ක වැඩිවෙන්න ඕන. කෙලෙහි ගුණ සැලකීම පිහිටන්න ඕන. මේවා තමයි ප‍්‍රඥාව මතුවීමේ සලකුණු.

ප‍්‍රඥාව කියන්නේ ස්මරණ ශක්තිය නෙවෙයි. ස්මරණය කියලා කියන්නේ මතකය. දෙයක් මතක තිබූ පමණින් එ්ක ප‍්‍රඥාව කියන්න බෑ. මොකද, මනුස්සයෙකුට ඕනතරම් මතක ශක්තියක් තියෙන්න පුළුවන්. නමුත් ප‍්‍රඥාව ඇතිවෙන්නේ නුවණින් විමසීමෙන්. අන්න එ් නිසයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතයට උපකාරී වෙන අභ්‍යන්තර කුසලතා අතර යෝනිසෝ මනසිකාරය අග‍්‍ර වන බව.

එහෙම නම් කෙනෙකුට ප‍්‍රඥාව ලබන්න අවශ්‍ය අභ්‍යන්තර සුදුසුකම වන්නේ නුවණින් විමසීමේ හැකියාවයි. හැබැයි, එ් ප‍්‍රඥාව මතුකරලා දෙන්න බාහිරින් අනුබලයක් ඕන. එ් බාහිරින් ලැබෙන උදව්ව තමයි කල්‍යාණ මිත‍්‍රයාගෙන් ආර්ය සත්‍යය අහන්න ලැබීම. ආර්ය සත්‍යය අහන්න ලැබුණා ම එයා ආර්ය සත්‍යය තේරුම් ගන්න මහන්සි ගන්නවා.

සත්‍යාවබෝධය ඉස්මතු කර ගන්න අපට අභ්‍යන්තර වශයෙන් උපකාර වෙන්නේ යෝනිසෝ මනසිකාරය. එයා යෝනිසෝ මනසිකාරය යොදවලා නුවණින් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. එ් ධර්මයෙන් මේ ලෝකය ගැන, ජීවිතය ගැන, සංසාර ගමන ගැන උගන්වනවා. මේ ඉගැන්වීම් ඇසුරෙන් එයා ‘අපි මේ යන්නේ සංසාර ගමනක්… අපට මේ මිනිස් ජීවිතය ලැබිලා තියෙන්නේ සුළු කාලයකට… අපට ලැබිලා තියෙන මේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස අපේ වසඟයේ පවත්වන්න බෑ… මේ රූපය අපේ වසඟයේ පවත්වන්න බෑ… අපට ඇතිවෙන සැප දුක් වේදනා අපේ වසඟයේ පවත්වන්න බෑ… චේතනා පහළ කරලා යම්කිසි දෙයක් කළාට පස්සේ එ්කේ විපාක ලැබෙන විදිහ අපේ වසඟයේ පවත්වන්න බෑ… අපි හඳුනාගන්න දේවල් අපේ වසඟයේ පවත්වන්න බෑ… විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය අපේ වසඟයේ පවත්වන්න බෑ…’ කියලා තේරුම් ගන්නවා.

එතකොට වසඟයේ පවත්වන්න බැරි දේවල් සකස් වෙලා තියෙන්නේ ස්ථිර දේවල් හැටියට නෙවෙයි. අස්ථිර, අනිත්‍ය දේවල් හැටියටයි. එ් නිසා අනිත්‍ය දේවල් අනිත්‍ය වෙද්දී අපි දුකට පත්වෙනවා. එ්ක වළක්වන්න නම් අනිත්‍ය දේ කෙරෙහි අපට යම් ඇල්මක් තියෙනවා නම් එ් ඇල්ම නැතිවෙන්න ඕන. ඇල්ම තියෙන තාක් මේ භව ගමන හැදෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි මේ දේශනා ශ‍්‍රවණය කරලා මේ කාරණා තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. එ් විදිහට තේරුම් ගන්න මහන්සි ගනිද්දී අපි ජීවිතයේ ඇත්ත දකින්න යම්කිසි හැකියාවක් ඇතිකර ගන්නවා ද අන්න එ් හැකියාව තමයි ප‍්‍රඥාව.

මේ උතුම් දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් වේවා!

මහාමේඝ 2015 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

– අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ