අන්තිම වතාවට හොඳට ම තරහ ආව දවස ඔබට මතක ද?
ඇඟ දරදඬු වෙලා, උණුසුම් වෙලා ගිහින්… දහදිය ගලන තරමට තරහව දරුණුයි. උන් හිටි තැන් අමතක වෙලා. ඇස් ගිනි ගන්නවා වගෙයි. වෙව්ලා වැටෙමින් වචනවලින්, අංග චලනයෙන් තරහව පිටට එනවා. දකින අයටත් අප‍්‍රසන්නයි. තරහ නිවුනට පස්සෙ මතක් කරල බැලූව ම තමන්ටත් අප‍්‍රසන්නයි. ඔන්න ඔය විදිහේ දරුණු තරහවක් අවසන් වරට ඇති වුණේ කවද ද කියලයි අපි ඇහුවේ…
එ් දවස, “කියතකින් කැබලි කපන කොට වුණත් තරහ හිතක් නම් ඇති කර ගන්න එපා..!” කියන ශාස්තෘ අවවාදය අපට අහන්නට ලැබුණු දවසට පෙර දවසක් වුණා නම් අපට අප ගැන සතුටු වන්නට පුළුවනි. හැබැයි, මේ අවවාදය අසන්නට ලැබුණාට පස්සෙත් අප තුළ යම් මොහොතක පාලනය කර ගන්නට බැරි තරමේ අතිශය දරුණු තරහවක් ඇති වුණා නම්… එ් තරහව අපි ක‍්‍රියාවෙනුත් එළි දැක්වුවා නම්… ඔන්න එක පාරක් නෙමෙයි, දෙතුන් පාරක් ම අප තුළ තිබෙන ශාස්තෘ ගෞරවය ගැන සිතා බැලිය යුතු වෙනවා. අපේ දියුණුව, යහපත කැමති වෙමින් අනුකම්පාවෙන් අපට අවවාද අනුශාසනා කළ අනුත්තරීය කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේගේ අවවාදයට කීකරු නො වන තැනට අප වැටුනොත් එතැන තියෙන්නේ අනතුරක් ම යි. එ් අනතුරේ අප සිටින වෙලාවේ අපේ මරණය සිදු වුණොත්…? එහෙම වෙන්න බැරි ද? එහෙම වෙන්න පුළුවනි. එ් වගේ වෙලාවක අපේ මරණය සිදු වුණොත් එ්ක අපට මහා අලාභයක් නො වී තියේවි ද?
ඇය දෙදරු මවක්. තරුණ වයසේ දරු දෙදෙනාත්, ස්වාමියාත්, ඇයත් ජීවත් වුණ නිවස පිහිටා තිබුණේ නගරාසන්නයේ. මේ නිවසේ පසෙකට වන්නට තැනූ ගොඩනැගිල්ලක නේවාසික පිරිස් ජීවත් වුණා. අගනුවරට සමීප වීම නිසාවෙන් ම මේ ආකාරයට නේවාසික පහසුකම් සපයා දීම ඔවුන්ගේ ආර්ථිකයට ලොකු අනුග‍්‍රහයක් වුණා.
අලූතින් ම මේ නේවාසික භූමියට පැමිණෙන කෙනෙක් සතියක් ගත වන්නට පෙර ලොකු කම්පනයකට පත් වෙනවා ම යි. හැබැයි මසක් දෙකක් ගත වන විට එ් කම්පනයට මුල් වන කාරණය ඔවුන්ටත් අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අවසානයේ අසල්වැසියන් වගේ ම නේවාසික ඔවුනුත් එ් කාරණය සිදු නො වූ දෙයක් සේ නො සලකා හරින්නට පටන් ගන්නවා…
ඔබට කුතුහලයක් ඇති අප මේ කියන්නේ මොන කාරණය ගැන ද කියලා. එය කිසිසේත් ම හොල්මන්, අවතාර වැනි අද්භූත සිදුවීමක් නෙවෙයි… අපේ කථාවේ කථා නායිකාවත්, ඇයගේ ස්වාමියාත් අතරේ හිටි හැටියේ ඇවිළ යන සංග‍්‍රාමය තමයි මේ ප‍්‍රදේශයේ අනෙක් සියලූ හඬවල් අබිබවා එහි පැමිණි සියලූ දෙනාව ම මුල් කාලයේ දී තිගැස්මට පත් කළේ.
ඔවුන් දෙදෙනාට තරහින් බැණ අඬ ගසා ගන්නට බොහොම පුංචි කාරණාවකුත් ප‍්‍රමාණවත්. සංසාරය පුරාවට වෛරය කර බැඳගෙන ආව තරහකාරයෝ දෙන්නෙක් වගේ තමයි එ් වෙලාවට දෙන්න දෙන්නාට දොස් පවරා ගන්නේ. මුල් ම වතාවට මේ අඩදබර අසන කෙනෙකුට හිතෙන්නේ කවුරුන් හෝ ගහ මරා ගන්නවා ඇති කියලයි. එ් තරමට ම දරුණු, කටුක වචනවලින් – හැසිරීම්වලින් ඔවුන් එකිනෙකාට නොරිස්සුම පෙන්නනවා. පැයක් හමාරක් වුණත් මේ ආකාරයෙන් රණ්ඩු සරුවල් වෙලා සන්සිඳීමක් නැති තැන ස්වාමියා නෝක්කාඩුවෙන් ම නිවසින් පිට වෙලා යනවා. නැවත ඔහු නිවසට එද්දි දෙදෙනාගේ ම තරහ මරහ අවසන්. ආයෙමත් බොහොම හොඳින් ඔවුන් එකිනෙකා සහයෝගයෙන් කටයුතු කරන්නේ කිසි ම දෙයක් සිදු නො වුණ විදිහටයි. මෙන්න මේ සිදුවීම් දාමය නිතර නිතර සිදු වුණ නිසා දරුවන්වත්, නේවාසිකයන්වත්, අසල්වැසියන්වත් මේ කලහකාරී යුවළගේ රණ්ඩු සරුවල් කොහෙත් ම සැලකිල්ලට ගත්තේ නැහැ. එ් දෙන්නා දෙන්නගේ පාඩුවේ අඩදබර වෙනවා. අනිත් හැම කෙනෙක් ම තම තමන්ගේ පාඩුවේ එ් දේවල් නෑසුනා වගේ වැඩ කටයුතුවල නියැළෙනවා. එපමණයි…!
එක්තරා දවසක සුපුරුදු ආකාරයෙන් ම දෙදෙනා අතර වාග් සංග‍්‍රාමයක් ඇවිළී ගියා. ටිකෙන් ටික දරුණු අතට හැරුණු මේ කලහය දෙන්නාව ම වෙව්ළුම් කන තරහවකට පත් කළා. සුපුරුදු විදිහට ම තරහෙන් ගිනි ගත්ත සිතක් ඇතිව ස්වාමියා නිවසින් පිට වුණා. තරහින් ගිනි ගත්ත සිතක් ඇතිව ඇය නිවසේ නතර වුණා. සිරුර ගිනියම් කළ, හදවත ගැහෙන වේගය අධික කළ තරහව ඉවසුම් නො දෙන ආකාරයට බුර බුරා නැගෙද්දී නිලංකාරව ගිය දෑසින් යුතුව ඇය බිම ඇදගෙන වැටුණා.
තරහ නිවී යන තුරු බැහැරට වී හිටපු ස්වාමියා නිවසට ආවේ පැය කිහිපයකට පස්සේ. නිවසට ඇතුළු වුණ ඔහු දකින්නේ නහයෙන්, කටින් ලේ පෙරාගෙන සිහි විසංඥව ඇද වැටී සිටින භාර්යාව. හැකි ඉක්මනින් අසල්වැසියන් කැඳවන ඔහු ඇයව රෝහල කරා රැගෙන යනවා. රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රතිකාර කරන්නට යුහුසුළු වනවා. ඇයව දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කෙරෙනවා.
“ලෙඩාගේ මොළයේ නහරක් පුපුරලා. අධික ලේ ගැලීමක් වෙලා තියෙනවා. මොළය මිය ගිහිල්ලයි තියෙන්නේ. ජීවිතය ගැන බලාපොරොත්තු තියා ගන්නට බැහැ. ඇය ජීවත් වෙන්නේ මැෂින්වල පිහිටෙන්. දින කිහිපයක් බලලා මැෂින් අයින් කරන්න වෙනවා.”
බොහොම කාරුණිකව වෛද්‍යවරයා රෝගියාගේ තත්ත්වය නිවැසියන්ට පැහැදිලි කර දුන්නා. කිවු ආකාරයට ම දැඩි සත්කාර එ්කකයේ දින කිහිපයක් ප‍්‍රතිකාර කෙරුණත් රෝගියාගේ තත්ත්වය සුව අතට හැරුණේ නැහැ. ජීවිතය ගැන කිසි ම බලාපොරොත්තුවක් ඉතිරි වී නො තිබුණ ඇය දින කිහිපයකට පස්සෙ නිවසට ආවේ සුදුවතින් සැරසී උඩුකුරුව සැතපිලයි. ඇයගේ මරණය සිදු වූ ආකාරය ගැන හැම දෙනාට ම තිබුණේ ලොකු කම්පනයක්. එ්ත්… එය කිසිසේත් ම ආපසු හැරවිය නො හැකි ඛේදනීය මරණයක් පමණක් ම වුණා…
එ් තමයි ඇගේ කථාව. මරණීය අවදානමක් ඇති කරවමින් ඇයගේ ශරීරයේ අභ්‍යන්තර අවයවවල ආබාධය උත්සන්න වුණ අවස්ථාවේ ඇය සිටියේ ලොකු තරහකින්, ලොකු ආවේගයකින්. වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබෙන්නේ තරහව, ආවේගය ඇති වන විට රුධිර පීඩනය ඉහළ යන බවත්, එවන් අවස්ථාවල දුර්වලතා ඇති රුධිර නාල පුපුරා යා හැකි බවත්. සිදු වී තිබුණේත් එය ම යි. ධර්මය තුළ පෙන්වා දෙන්නේ අපේ සිත්වල රාග, ද්වේෂ, මෝහ තිබිය දී මරණයට පත් වීම අනතුරක් කියලයි. එහෙම එකේ රාග, ද්වේෂ, මෝහ උත්සන්නව තිබිය දී මරණයට පත් වීම ගැන කවර කථා ද? සුගතිය වෙනුවට අපට බොහෝ කොට විවෘත වුණ දුගතියේ දොරටු හැර ගන්නට එය ම හේතුවක්.
දැන්… ඔබෙන් අසන්නට ප‍්‍රශ්නයක් තිබෙනවා. ඔබෙන් අප මුලින් ම අසපු ප‍්‍රශ්නය මතකයි නේ ද? “අන්තිම වතාවට හොඳට ම තරහ ආව දවස ඔබට මතක ද?” හිතන්න… අන්න එ් දවසේ දී, එ් මොහොතෙදි ඔබේ මරණය සිදු වුණා නම්….?
ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙළන්න කලින් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්… පහළට හෙළපු හුස්ම ටික ඉහළට ගන්න කලින් අපි මැරෙන්න පුළුවන්… මේ ජීවිතය නිත්‍ය නෑ. මේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. මොන ආකාරයකින් හරි අපි මැරෙනවා. එ් විදිහට අපි මැරෙන මොහොතේ අපේ හිත්වල රාග, ද්වේෂ, මෝහ තිබුණොත් එ්ක අපට හොඳ දෙයක් නම් නෙමෙයි. එ්ක අපට අනතුරක්. මහා අලාභයක්. අපේ මරණය සිද්ධ වෙන මොහොතේ අපේ හිත්වල රාග, ද්වේෂ, මෝහ නො තිබුණොත් එ්ක අපට හොඳ දෙයක්. ලොකු ලාභයක්. එ් නිසා, අපි රාග, ද්වේෂ, මෝහ දුරු කරගෙනයි වාසය කරන්න ඕන. අපි රාග, ද්වේෂ, මෝහ දුරු කරන වැඩපිළිවෙළකයි සිටින්න ඕන…
‘ඇගේ කථාව’ අපේත් කථාව වෙන්න ඉඩ ප‍්‍රස්තා ඕන තරම් තියෙනවා. අම්ම, තාත්තට, ස්වාමියාට, භාර්යාවට, දූ දරුවන්ට, නෑදෑ හිත මිතුරන්ට එ්ක නවත්වන්න බෑ. හැබැයි, එ් කථාව ‘අපේත් කථාව’ වීම නවත්වන්නට අපට පුළුවනි. එ් වෙනුවෙනුයි යානාවක් වගේ පුරුදු පුහුණු කළ මෙත් සිතින් ම අප වාසය කළ යුත්තේ…
“සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු…!”
“සියලූ සත්වයෝ සුවපත් වෙත්වා…!”
තෙරුවන් සරණයි!
මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි
සටහන
කලණ ගංගානාථ
Recent Comments