තන යුගයේ ජීවත් වන ජනකාය වෙත අතීතයේ උරුම වූ අමූල්‍ය සම්පත් රාශිය අතර සම්භාව්‍ය ගද්‍ය පද්‍ය කෘති මෙන් ම ජනශ‍්‍රැති ඇතුළු ජන කාව්‍ය සාහිත්‍යය ද අති අනර්ඝ දායාදයක් ලෙස සැලකිය හැකි ය. වියත් පඬිවරුන් වූ රාජ්‍ය පාලකයන්ගෙන් උපශෝභිත වූ ජාතියක ජනකාය සාහිත්‍ය පේ‍්‍රමීන් හා රසිකයන් වීම අරුමයක් නොවේ. බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි ආදියෙන් ද පුස්කොළ පත් ඉරුමත පන්හිෙඳෙන් ලියූ අටුවා සාහිත්‍යයෙන් ද සීගිරි කැටපත් පවුරේ අසිරිමත් ගී කාව්‍යයන්ගෙන් ද අපගේ බස හා සාහිත්‍යය වැඞී ගියේ ය. මේ සමස්ත සාහිත්‍ය ප‍්‍රවාහයේ පසුබිම වූයේ මෙරට තිරසර ලෙස මුල් බැස ගත් බුදු සමය හා බෞද්ධ සම්ප‍්‍රදාය යි. බුදු සිරිත, බුදු ගුණ තෙවළා දහම් හා ජාතක කතා ඇසුරින් නිර්මාණාත්මක සාහිත්‍යයේ විෂය ක්ෂේත‍්‍රය පුළුල් වී යාම අපගේ සාහිත්‍ය වංශකාථාවේ අභිමානවත් පුරාවෘත්තය වෙයි.

ජාතක කතා කවියෙන් ලිවීම ඇරඹුණේ අනුරාධපුර යුගයේ මැද භාගයේ සිට බව දැනට විද්‍යමාන ලිඛිත සාධක අනුව පැහැදිලි ය. එළු සඳැස් ලකුණේ දක්නට ලැබෙන සඳැස් විරිත් නිදසුන් පාඨ අනුව පැරණි කුස දා කවක් හා අසක් දා කවක් පැවති බව අනාවරණයි වෙයි. 1 වැනි අග්බෝ රජුගේ කාලයේ සිටි දොළොස් මහා කවියන්ගෙන් කෙනෙකු වූ අසක් දා මල කවියා විසින් අසංකවතී ජාතකය ඇසුරින් අසක් දා කව ද තවත් කවියකු විසින් පැරණි කුස දා කවද ලියන ලද බව පෙනී යයි. මේ කාව්‍යයන් දෙක ම දැනට අභාවිත අතර නිදසුන් පද්‍ය පාද කිහිපයක් පමණක් ශේෂ වී ඇත.

පොළොන්නරු යුගයේ දී සකු කාව්‍ය සම්ප‍්‍රදායේ බලපෑම හේතු කොටගෙන සකු අලංකාර වාදයට නැඹුරුව මුවදෙව් දා වත හා සසඳාවත යන ජාතක කාව්‍යයන් දෙක බිහි විය. එහි අග‍්‍ර ඵලය වූයේ දඹදෙණි යුගයේ දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා ලියූ කව්සිළුමිණ කුසදාවයි. මෙසේ සකු අලංකාර වාදයේ බලපෑම නිසා පොදු ජනකාය වෙතින් ඈත් වූ සිංහල ජාතක කතා කාව්‍ය සම්ප‍්‍රදාය යළි පොදු ජන රීතියට නැඹුරු වන්නට පටන් ගැනුණේ කුරුණෑගල යුගයේ දී විල්ගම්මුල හිමියන් සඳකිඳුරු ජාතක කාව්‍යය රචනා කිරීමත් සම`ග ය. ඒ මඟ ගිය වෑත්තෑවේ හිමියෝ ගුත්තිල ජාතක කාව්‍යය ලියා සිංහල කවි මඟ බුදු පුදට පුදසුනක් කළහ.

පරසතු මලින් පුද
ලද මුනි සඳුට දිය නඳ
වනපස මලින් පුද
කළැයි පවසනු කවර වරදද

කුසදා කාව්‍යයක් යළිත් ලියූ අලගියවන්න මුකවෙටි කිවිඳුන්ගෙන් පසු වියත් කවි පරපුර අභාවයට ගිය කල්හි ඒ තැන ගත්තේ ජනකවියන් ය. ඔවුහු තමන්ට ආවේණික ජන බස් වහර උපයෝගී කොට ගෙන ජාතක කතා කාව්‍ය නිර්මාණය කළහ. වෙස්සරන්තර ජාතක කාව්‍යය, පදමානවක ජාතක කාව්‍යය, විදුර ජාතක කාව්‍යය ආදී කාව්‍ය ග‍්‍රන්ථ පොදුජන අයිතියට පත් වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. වර්තමාන යුගයේ ජන අයිතියට පත් කෙරෙන හෝ ජනගත කෙරෙන නිමැයුම් හා පොත පත වෙත ළඟා වීමටවත් පොදු ජනතාවට ඉඩක් නැත. එහෙත් පැරණි ජන කාව්‍ය රචනා කළ කවීහු එහි තම නම් ගම් හෝ වතගොත හෝ ඇතුළත් නො කොට එය ජාතිය සතු පොදු උරුමයක් බවට පත් කළහ. මෙයට අවුරුදු පනහකට හැටකට පෙර විසූ ගැමියන් හැමදෙනාටම පාහේ එම කාව්‍ය ග‍්‍රන්ථ කට පාඩමින් කීමට හැකි වූයේ එහෙයිනි. මේ ලිපියෙන් අප විමසුමට හසු කරන ‘විදුර ජාතක කාව්‍යය’ ද පොදු ජන උරුමයක් බවට පත් වූ බෝසත් සිරිත පිළිබ`ද අගනා කාව්‍ය සංග‍්‍රහයකි.

පන්සිය පනස් ජාතක පොතේ කතා රීතියට අනුවම සිය කාව්‍යය නිර්මාණය කර තිබීම විදුර ජාතක කාව්‍ය රචකයාගේ විශේෂත්වයයි. ඔහු පැරණි බණ පොත් ලියුවන් ගත් මඟ තමන් ද අනුගමනය කළ බව කාව්‍යාරම්භයේ දී ම පවසයි.

තොසන් වඩන බුදු බව ගන්ට ආ සැටී
වසන් නො කර බණ පොත් වල ලියූ සැටී
අසන් කන් යොමා දහමේ ගුණේ සැටී
කියන් විදුර ජාතක කවි කරපු සැටී

බුද්ධත්වය හෙවත් උතුම් සම්බෝධියට පත්වීම, දෙව් මිනිස් ලෝක වාසීන්ටම සැප සතුට එළවන, අසංඛෙය කල්ප ගණනාවකින් ලොවට ශ්‍රේෂ්ඨ මනුෂ්‍යරත්නයක් පහළ වන අසිරිමත් සංසිද්ධියකි. ‘තොසන් වඩන බුදුබව’ යන වදන් තුන තුළ කැටි වී ඇත්තේ ඒ උතුම් අරුතයි. ඒ සඳහා බෝධිසත්වයන් අනන්ත කාලයක් පුරා දැරූ වීර්යය සිහිපත් කරවමින් දහම් ගුණ ඇතුළත් කොට කවියෙන් නිම වු විදුර ජාතකය කන් යොමා අසන ලෙස ඇයැදීම සැදැහැ බැති සිත් වඩන්නකි.

පැරණියන් බණ පොත් ලියූවේ කියවීම සඳහා නොව කන් නමා ඇසීම සඳහා ය. ධර්ම සංවේගය ඇති වන්නේ ශ‍්‍රවණය කරන විට දී ය. මුද්‍රණ ශිල්පය ප‍්‍රචලිත නොවූ අතීත යුගයේ පැවතියේ පොතක සීමිත පිටපත් සංඛ්‍යාවකි. එක් අයකු කියවන විට පිරිසක් එය අසා සිටිති. ‘අසන් කන් නමා’ ‘කියත් විදුර ජාතක’ යන යෙදුම්වලින් එය මනාව පැහැදිලි ය.

ජාතක පොතේ වර්තමාන කතාවට පිවිසෙන කවියා දඹදිව ජේතවනාරාම පරිසරය වෙත ශ‍්‍රාවක පිරිස කැඳවා ගෙන යයි. එක්තරා සැන්දෑවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිවර කොටගත් භික්ෂූන් වහන්සේ පන්සිය නමක් ජේතවනාරාමයට රැුස් වී, බුදුරජාණන් වහන්සේ වැඩම කරන තුරු ධර්ම සාකච්ඡාවක නිරත වූහ. එම සාකච්ඡුාවෙහි මාතෘකාව වූයේ බෝධිසත්වයන් අතීත ආත්ම භාවයන්හී සපිරූ ප‍්‍රඥා පාරමිතාවයි. එපුවත කවියා සැකෙවින් ඉදිරිපත් කළේ මෙසේ ය.

වැඩ සිට අපේ මුනිරජ දෙව්රම් වෙහෙ ර
වැඩ සිට රහත් පන්සිය සම`ග පිරිව ර
වැඩ සිට එ මැද මහසුප් නම් තෙර පව ර
වැඩ සිට කීවෙ මුණිදුන්ගේ ගුණ එවර

මේ කවියේ ‘වැඩ සිට’ යන වදන සිව් වරක් යෙදීමෙන් දෙව්රම් වෙහෙර අවට පරිසරය සජීව ලෙස නිර්මාණය කිරීමට කවියා සමත් වී ඇත. බුදුරජාණන් වහන්සේට බාධාවක් නො වන අයුරින් රහතන් වහන්සේලා පන්සිය නමක් පසෙක රැුස්වී සන්සුන්ව මනා අවධානයකින් යුතුව සාකච්ඡුාවේ නිරතව සිටි අයුරු ද එම වැනුමෙන් ධ්වනිත වෙයි. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ සඟ පිරිස මැදට වැඩි අයුරු කවියා දැක්වූයේ ‘වැඩියේ පුන්ස`දක් සේ දම් සභාවට….’ යනුවෙනි.

භික්ෂූන් වහන්සේලා අතර පැවති සාකච්ඡාව පිළිබඳව විමසූ බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වය ලබාගැනීම සඳහා තමන් වහන්සේ සංසාරයේ දීර්ඝ කාලයක් දැරූ වීර්යය පැහැදිලි කරදුන් බව ‘කිව්වේ කරපු වීරිය බුදු බව ගන්ට’ යනුවෙන් දක්වා, ඊළඟ කවියේ පද්‍ය පාද තුනකින් එම මහත් පරිශ‍්‍රමයේ තරම පෙන්වා දෙයි.

ගණනක් නැත බැලූවොත් පොළොව පස් රැුස
ගණනක් නැත බැලූවොත් මුහුද ජල මිස
ගණනක් නැත බැලූවොත් අහස තරු රැස

භවයෙන් වැසුණ ඒ අතීත පුවත දැනගැනීමේ කුහුලක් භික්ෂූන් වහන්සේලා තුළ ඇතිවෙයි. එය පැහැදිලි කර දෙන ලෙස භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අයැද සිටි අයුරු කවියා දැක්වූ සැටි මෙසේ ය.

දෙන්ට අබය සතහට වෙන කෙනෙක් නැතේ
වෙන්ට ජය මඟුල් ආසිරි රුවන් වෙතේ
පස්වා දහස් පවතින මතු දහම් රතේ
දක්වා වදාලොත් යහපති අතීතේ

බෝධිසත්ව කාලයෙන් ප‍්‍රඥා පාරමිතාව පිරූ එක් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ හෙළි කර දුන් අයුරු ජාතක කතා පොතේ දැක්වෙන්නේ මෙසේ ය.

‘‘යටගිය දවස කුරු රට ඉඳිපත් නුවර ‘ධනඤ්ජය කෝරව්‍ය’ නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය විචාරණ කල්හී විදුර පණ්ඩිත නම් අමාත්‍යයෙක් ඒ රජ්ජුරුවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ය. ඒ විදුර පණ්ඩිත තෙම මිහිරි වූ කථා ඇත්තේ ය. මහා ධර්ම කථික ය. සියලූ ජම්බුද්වීපයෙහි රජ දරුවන් තමන් තමන්ගේ රාජධානිවලට යා නොදී සර්වඥ විලාශයෙන් මහාජනයාට ධර්ම දේශනා කරමින් මහත් වූ යසස් ශ‍්‍රී සමෘද්ධියෙන් යුක්තව ඒ නුවර වාසය කරන්නේ ය.”

මේ විස්තරය කවියකට කැටි කර දක්වන කවියා ‘කුරු රට වසන පණ්ඩිත කෙනෙකිය විදුර’ යයි දක්වා විදුර පණ්ඩිතයන්ගේ වරුණ මෙසේ පවසයි.

යොදුන් ගණන් මුළු දඹදිව පැතිර යෙතී
වැඳුන් පිදුන් නිතරම සිත සිල් රකිතී
සඳුන් රුකක් සේ රජවරු ගරු කරතී
බුදුන් සේම ඒ පණ්ඩිත බණ කියතී

විදුර ජාතකය පන්සිය පනස් ජාතක පොතේ එන ඉතා දීර්ඝ කතාවක් වුව ද කවියා එම කතා පුවතේ දැක්වෙන සියලූම විස්තර වර්ණනා නො අඩුවම තම කාව්‍යයට පිවිසවා ඇත.
‘‘යටගිය දවස කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය කෝරව්‍ය නම් රජ්ජුරු කෙනෙකුන් දාන, පි‍්‍රය වචන, අර්ථචරියා, සමානාත්මතා යයි කියන ලද සතර සංග‍්‍රහ වස්තූන්ගෙන් ජන රඤ්ජනය කෙරෙමින් අකොඡුය කොට රාජ්‍යය කරන කල්හී විදුර පණ්ඩිත නම් අමාත්‍යයෙක් ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ය.’’

ජාතක කථාවේ අතීත කතා වස්තුව ආරම්භ වන්නේ ඒ ආකාරයෙනි. එය විදුර ජාතක කාව්‍ය රචකයා ඉදිරිපත් කර ඇති අයුරු විමසීමෙන් ඔහු ජාතක කතාවට කොතරම් අනුගතව තම කාව්‍යය රචනා කර තිබේ ද යන්න වටහා ගත හැකිය.

පෙර සිට පැවති කුරු රට ඉඳිපත් නුවර
ඒපුර රජ කරන කෝරව්‍ය රජ වර
පවර දස දහමයෙන් රජ කරන වර
කුරු රට වසන පණ්ඩිත කෙනෙකිය විදුර

මුළු මහත් දඹදිව් තලයේ ම විදුර පණ්ඩිතයන්ගේ යශෝ කීර්තිය පැතිර පවත්නා බව පවසන කවියා සිල් රකිමින් වාසය කරන එතුමා රටේ බොහෝ දෙනාගෙන් වැඳුම් පිදුම් ලබන අතර ම රජවරුන්ගෙන් ද බුහුමන් ලබන බව කියයි.

සඳුන් රුකක් සේ රජවරු ගරු කරතී
බුදුන් සේම ඒ පණ්ඩිත බණ කියතී

ඉන් අනතුරුව කවියා විදුර පණ්ඩිතයන්ගේ ප‍්‍රඥා මහිමය කුළු ගැන්වෙන පසුබිම ජාතක කතාවට අනුුවම නිර්මාණය කරගනී. අඟුරට කාලචම්පා නුවර පිඬුසිඟා වැඩි තාපසයන් සතර දෙනෙකුට පැහැදුණ, එ නුවර කෙළෙඹි පුත‍්‍රයන් සිව් දෙනෙක් ඔවුන් ට දානමානාදියෙන් උපස්ථාන කළහ. ඒ තාපසවරු හතර දෙනා දිවා විහරණය පිණිස එක් එක් කෙනා පිළිවෙලින් තව්තිසා භවනට, නාග භවනට, ගරුඬ භවනට හා ධනඤ්ජය කෝරව්‍ය රජුගේ මිගාරුඩි උයනට වැඩ ආපසු පැමිණ ඒ ඒ භවනයන් හී ශ‍්‍රී විභූතිය තම උපස්ථායකයා හට වර්ණනා කරති. ඒ ඒ තැන් පතා පින් දහම් කළ කෙළෙඹි පුත‍්‍රයන් හතර දෙනාගෙන් එක් අයකු සක් දෙවිව ද දෙවැන්නා නා රජුව ද තෙවැන්නා ගරුඬ රජුව ද සිව්වැන්නා කෝරව්‍ය කුමාරව ද උපන්හ. එයින් කෝරව්‍ය කුමාරයෝ දැහැමෙන් රාජ්‍යය කරමින් විදුර පණ්ඩිතයන්ගේ අවවාදයෙහි පිහිටා දන් දෙමින්, සිල් රකිමින්, පෙහෙවස් සමාදන් වෙමින් කල් යවයි. එහෙත් ඒ රජු දාදු කෙළිය විනෝදාස්වාදයක් කොට පවත්වගෙන යයි.

එක් දිනක් රජු පෙහෙවස් සමාදන්ව තම උයනට ගොස් මහණ දම් පුරන කල්හි සක් දෙවි ද වරුණ නම් නා රජු ද ගරුඬ රජු ද මනුලොව කෝරව්‍ය රජුගේ උයනට පැමිණ මහණ දම් පුරා සවස මඟුල් පොකුණු තෙර රැස්ව ධර්ම සාකච්ඡාවක යෙදුණහ. එකල්හී සක්දෙව් ‘අප සතර දෙනාගෙන් කාගේ සීලය මහත් දැ’යි ඇසූ පැනය වාදයකට හේතු විය. එපුවත විදුර ජාතක කවියා දැක්වූයේ මෙසේ ය.

සතර දෙනම එක තැනකට එකතු වුණේ
සතර දෙනම සිල් රකිමින් අඹ උයනේ
සතර දෙනම සත් දිනකින් වැඩිය තැනේ
සතර දෙනම සීලේ ගැන දබර වුණේ

කෝරව්‍ය රජුගේ සීලය ගැන සෙසු තුන් දෙනාම පැහැදී ඔහුට අනුශාසනා කළ මහ බෝසතාණන් වූ විදුර පණ්ඩිතයන් වෙත ගොස් බණ අසා මහත් පුද පඬුරු පුද කළහ. නා රජු තම ඉන්ද්‍ර නීල මාණික්‍යය විදුර පණ්ඩිතයන්ට පිදීය. මේ සියලූම අවස්ථා වැනුම් පද්‍ය දාහතරකින් ඉදිරිපත් කරන කවියා තම මුඛ්‍ය කතා පුවතට පිවිසෙන්නේ නාග භවන තුළ හටගත් ප‍්‍රබල ගැටුමක් ගෙනහැර දක්වමිනි. එනම් නා රජුගේ ඉඳුනිල් මැණික නොමැති වීම පිළිබඳ පුවතයි.

මහාමේඝ 2012 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති