ලෝකය ගැලී සිටින්නේ දුක්ඛ සමුදය මත ය. දුක අවබෝධ කොට නො ගෙන දුක්ඛ සමුදයේ ඇලී ගැලී ගත් ලෝකයට ‘ඉපදීමේ දුක’ නිතර නිතර සිහිපත් වන්නේ නැත. එනිසා මේ ලෝකයේ අති බහුතරයකට දුකින් නිදහස් වීම ගැන හැඟීම් මාත‍්‍රයකුදු නැත.
තුච්ඡු වූ, ජුගුප්සාජනක වූ මේ සසර අපව ඇද බැඳ තබන්නේ අප දුක අවබෝධ කොට නො ගන්නා නිසා ම නො වේ ද?
කලණ මිතුරු ඇසුරේ සුවපත් භාවය ලොවට දන් දෙන කසාවතේ මේ 15 වන දිගහැරුම බිනරට සේ ම අපට ද ප‍්‍රමාදී වූවන්ට උරුම ඛේදජනක ඉරණමෙන් නිදහස් වී දුක අවබෝධ කරන්නට වීර්යය උපදවනු පිණිස කෙරෙන උපකාරයක් වනු නිසැක ය.
**********************************************************
දහවල් දානයේ කටයුතු අවසන් වී භාජන ද පවිත‍්‍ර කොට බුදුන් වැඳ නිවසට පිටත්වන වේලාව වන විට පස්වරු දෙක පමණ වී තිබිණ. දිසානායක නැන්දා ඇතුළු නඩයට තම තමන්ගේ නිවෙස් අසලින් ම බැසගන්නට දී වෙල් යාය අසල තිබූ වගා ළිඳේ් මෝටරය ගලවන්නට පෙර වෑන් රිය ද සෝදාගෙන ඊට අවසරය ලබා දුන් බණ්ඩා මාමාට ද පින් දුන්නෙමි. විමලරත්න මාමාට වෑන් රිය භාර දී යාන්තමින් සවස හයට පෙර නිවසට ඇතුල් වූයෙමි. ආලින්දයේ කෙළවරක වූ පුටුවකට වී ජංගම දුරකථනය ඔබමින් කා සමග හෝ සංවාදයක යෙදී සිටි අක්කාට නම්, මගේ පැමිණීම නො දැණුනා සේ ය. කාමරයට ඇතුල් වී කර මල්ල ඇඳ උඩට විසිකොට තුවාය ද ගෙන ළිඳ අසලට ගියේ විඩාව සන්සිඳුවා ගැනීමට වතුර බාල්දියක පිහිට පතමිනි.
මුළුතැන්ගෙය හරහා නාන ළිඳ වෙත යමින් සිටිය දී, බත් මුට්ටිය කූරු ගාමින් සිටි අම්මා හැරී මා දෙස බැලූවේ ප‍්‍රිය මනාප දෑසකින් නම් නො වේ.
‘‘දවස ම ඉවරයි. මෙහෙමත් දානෙ දෙන සිරිතක් තියෙනව ද? දැන් බලන්න වෙලාව කීය ද කියල…!”
‘‘පාරට බැස්ස ම වෙලාවට එන්න පුළුවන් නං මොනව කරන්න බැරි ද අම්මා. අම්ම කලින් කිව්ව නං, මම එකසිය ගානට වෑන් එක අරන් එනවා. කොහෙද ඉතිං යනකොටත් කිව්වනෙ හෙමින් යන්න කියල. ඉතිං එනකොටත් මම හෙමින් ම ආවා…”
බාගෙට කපා තිබුණු කැරට් අලයක් කටේ දමාගනිමින් අම්මාගේ මුසුප්පු ප‍්‍රතිශතය අඩු කරන අදහසින් විසුළු ස්වරයෙන් ම පැවසුවෙමි.
‘‘ඔය ඉතිං. අමුවෙන් කෑවම උයන්න දෙයක් තියෙයි ද…! ඇයි දානෙ මදි වුණා ද? ගෙදර ඇවිල්ල අමුවෙන් ගිලින්නෙ…?”
‘‘අම්මට ඉතිං මං ගිල්ලොත් තමා වැරදි. අන්න අරයා තනියම ෆෝන් එක ඔබ ඔබ ඉන්නව… එ්ව ගැන හොයල බලන්නෙ නෑ…”
‘‘අක්කට ඔයාට තියෙන පිස්සුව නෑ. ඔයානෙ මේ අසපුවක් බදාගෙන දඟලන්නෙ. මිනිස්සු වුණා ම හැම දේක ම සීමාව දැනගන්න ඕන. ඉඳල හිටල දානයක් දෙන්න ගියාට කමක් නෑ. අපිත් දානෙ දෙනව. සීයගෙ උපන් දිනේටයි මැරුණ දිනේටයි හැම අවුරුද්දෙ ම. එ්ත් අපි පන්සලේ ම ලගින්න යනවැයි..! දානෙ දුන්නා ආවා… එච්චරයි. මේ යාළුවෙක් මහණ වෙන්න ගිය පලියට හැම එකා ම එහෙ රිංගුව කියල හරියනව ද? මේ වත්ත පිටිය බලාගන්නෙ කවුද? තාත්තට හැමදාම හම්බු කරන්න පුළුවන් ද? ඔයා නේ ද මේ බර කරට ගන්න ඉන්නෙ අපිව සෑල්ලූ කරල..? අක්ක බැඳල යයි. ඊට පස්සෙ මේ ගෙදර මැරෙන අපි දෙන්නගෙ කටට වතුර ටිකක් හරි දාන්න ඉන්න එක ම එකා අසපු ගානෙ රිංගුව ම හරියනව ද?”
‘‘හරි හරි ඉතිං. මේ මම ඉන්නෙ ගහක් ගලක් වගේ. මොකද ඔච්චර ආඩපාලි කියන්නෙ? අම්මල අපිට ආදරේ වුණාට කමක් නෑ. අම්මලට අපෙන් වෙන්න ඕන යුතුකම් ගැන හිතුවට කමකුත් නෑ. එ්ත් ඔහොම කතා කරන කොට බුද්ධ ධම්ම සංඝ කියන ත‍්‍රිවිධ රත්නයට නින්දාවක් අපහාසයක් වචනෙකින් හරි කියවෙන්න දෙන්න එපා. එ් කියන වචනයක් වචනයක් ගානෙ තමන්ගෙ ම ඔළුවට ඇණයක් ගහගන්නව කියල හිතාගත්ත නං හරි. අම්මලට ඕන මැරෙන වෙලාවෙ කටට වතුර ටිකක් දාගන්න නං, එ්කට ඕන තරම් ක‍්‍රම තියෙනව. වත්ත පිටිය බලාගන්නත් පුළුවන් පඩියට කෙනෙක් අරන්. තාත්තට හම්බ කරන්න නො දී ගෙදර තියාගන්නත් පුළුවන් පොඩි ව්‍යාපාරයක් හරි පටන් ගත්තොත්. මට ඕන එ්ක නෙවෙයි අම්මා. මට ඊට වඩා දෙයක් අම්මලට කරන්න ඕන. අම්මයි තාත්තයි වෙනුවෙන්. මම කල්පනා කරන්නෙ මේ ලෝකෙ අය නො කරන විදියකට ඔය දෙන්නට සලකන්න. උපරිමයෙන් ම. ඊ ළඟ ජීවිතේටත් මාව මතක් වෙන විදියට…!”
‘‘හා… බලමුකො. දැන් නාගන්න ගිහිං. සත්තු සර්පයො එළියට එන්න කලියෙං… මෙන්න ටෝච් එක…”
රාක්කය උඩ තිබූ ටෝච් එක මා අතට දුන් අම්මා නිහඬ ව ලිප දෙසට හැරුණි. අපේක්ෂා කළ පරිදි ම ඇය සන්සුන් විය. මව්පියන් කවුරුන් වුව කැමති වන්නේ දරුවන්ගෙන් උපරිම සතුට ලබමින් සිට ජීවිතය අවසන් කිරීමට යි. උපරිම සතුට ලැබෙන්නේ මෙලොව සැපය පිණිස කෑම බීම බේත්හේත් ඉඳුම් හිටුම් ලබා දීමෙන් පමණක් නොවන බව මම ඉඳුරා ම විශ්වාස කරමි. ඔවුන් හොඳින් කා බී සිට මරණින් මතු පේ‍්‍රතයන් බවට පත් වුවහොත්, නැති නම් නිරයගාමී වුවහොත්, අපේ සැලකිල්ලෙන් ඇති ඵලය කුමක් ද! යම් සැදැහැවත් දරුවෙකු විසින් මව්පියන් වෙත කළ යුතු උපරිම සත්කාරය වන්නේ තිසරණය කෙරෙහි සිත පහදවා දී සුගතිගාමී වීමටත්, නිර්වාණය සාක්ෂාත් කිරීමටත් මාර්ගය සකසා දීම යි. යමෙක් තමා ලද ශ‍්‍රද්ධා ලාභය මව්පියන්ටත් කෙසේ හෝ සමීප කරවීමෙන් ඔවුන් දරුවන් වෙනුවෙන් කළ සියල්ලේ ණය ගෙවා දැමිය හැකි ය. ණය ගෙවා මව්පියන්ට සමු දිය හැකි නම්, එය දරුවෙකු ලබන වාසනාවක් නො වේ ද!
ළිඳ ළඟ ගත වූ අඩ හෝරාව ම වැය වූයේ මව්පියන් තුළ ශ‍්‍රද්ධාව ඇති කරවන්නේ කෙසේ ද කියා සිතූ සිතුවිලි වැල වෙනුවෙන් ය. සිසිල් ජලයේ පහස විඳ විඩාබර කයට සමු දී, නිවසට පැමිණෙන විට අම්මා උණුසුම් තේ කෝප්පයක් ද පිළියෙල කොට තිබුණි. තේ කෝප්පය එක අතකින් ගෙන කාමරයට ඇතුළු වූ මා රූපවාහිනිය දමාගෙන සංගීත වැඩසටහනක් නරඹමින් සිටි අක්කාට ද ඇසෙන්නට මා සතු ව තිබූ කැසට් යන්ත‍්‍රයේ ගුරු දේවයන් වහන්සේගේ බණක් දැම්මෙමි.
‘‘ ඕක අඩු කරන්නකො… මම ටීවි බලනව පේන්නෙ නැද්ද?”
‘‘ ඕක ඉතිං හැම සතියෙ ම බලන එකනෙ. සිංදු දහයෙ උඩ යට මාරු කරල ආයෙ එ්ක ම අහනව. විකාරයක් මේ චාට් ෂෝ නම්. ඕව හදල තියෙන්නෙ අපායට මිනිස්සු අඩුවෙයි කියන බයට…”
‘‘අනේ මල්ලි මේ! ඔයාගෙ දිව්‍ය ලෝකෙට වඩා මගෙ අපාය සැපයි හරි ද? ඔන්න ටීවි එක වැහුවා. දැන් නාකි සීයා බණ ටික අහගන්නකො.”
වාසනාවට මෙන් ඇය රූපවාහිනිය අක‍්‍රිය කොට මුළුතැන්ගේ දෙසට ගියා ය. නිදහසේ බණ අසන්නට ලැබීම පෙර පිනක් සේ සලකා සම්පූර්ණ දේශනාව ම ශ‍්‍රවණය කළෙමි.
රාත‍්‍රී ආහාරයෙන් පසු, කාමරය තුළට වැදුණු මා නිවැසියන්ගේ හඬ ද අඩු වී ගිය පසු, යම් කටයුත්තක් වෙත යොමු වුණෙමි. එ් වෙන කිසිවක් හෝ නොව, කන්ද උඩ කුටියේ වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු සටහන් කොළ ටික කියවීම යි. එ් සඳහා සුදුසු නිසල මොහොතක් පැමිණෙන තුරු මා සිටියේ සිතත් කයත් එ්කාග‍්‍ර කරගෙන එ් උතුම් රසය විඳගනු රිසියෙනි.
කඩදාසි මිටියක් ම එහි විය. බ‍්‍රවුන්පේපර් කවරයක දමා තිබූ එ් කොළ කැබලි සියල්ල පිළිවෙළින් ගළපා කියවීමට සූදානම් වුණෙමි. එ් සියල්ල පින්වත් ස්වාමීන් වහන්සේ පැවිදි දිවිය ඇරඹූ සමයේ තැබූ දින සටහන් ය. එහි ඉහළින් ම වූ සටහන මෙසේ ය.
සටහන 1
අලූත් පාඩමක් ඉගෙන ගත්තා. නවක පැවිද්දෙක් වශයෙන් ජීවිතය අලූතෙන් ආරම්භ කරපු මට මේක හොඳ තෑග්ගක්. අද උදේ දානෙන් පස්සෙ කුටියට ඇවිත් බණ පොතක් බලන්න හැදුවත් නිදිමතයි. පාන්දර පූජාවට ගිය නිසා. ඉතින් දවල් දානෙට කලින් එලාම් එක තියල සැතපුණා. දවල් දානෙත් වළඳලා කුටියට ඇවිත් පාත‍්‍රය වේළෙන්න තියල ටිකක් විතර සක්මන් භාවනාව කළා. කුටියට ගිහින් ඇඳේ ඉඳගෙන භාවනා කරන්න ගත්ත ම ආයෙත් නිදිමත ආවා. මට මතක හවස පූජාවට ගෙඩිය ගහන එක විතරයි. (ගෙඩිය – භාවනා අසපුවල වේලාව නාද කරන්නට පවතින උපරකණය). එතකම් ම සැතපිලා. පූජාවට යන්න බෑ. කම්මැලියි. මෙහෙම්ම සැතපෙනවා කියල හිතාගෙන ආයෙත් පැයක් දෙකක් සැතපුණා. රෑ අටට විතර අවදි වෙලා බඩගින්නටත් එක්ක ගිලන්පසක් වළඳන්න ආවාසය පැත්තට ගියා. යනකොට ම විනයාචාර්යයන් වහන්සේ මූණට ම මුණගැහුනා.
‘‘ආයුෂ්මතුන්… මොකද මූණ තඩිස්සි වෙලා… අසනීපයක් ද?”
‘‘නෑ ස්වාමීන් වහන්ස. අසනීපයක් නෑ…”
‘‘එහෙනම්…?”
‘‘සැතපුණා ස්වාමීන් වහන්ස…”
‘‘කීයෙ ඉඳන් ද?”
‘‘දවල් දානෙ ඉඳන්…”
‘‘පැය අටක්…!!!”
‘‘එහෙමයි…”
‘‘හ්ම්. බොහොම හොඳයි. නිදාගත්ත කියල ආනන්තරීය පාප කර්මයක් වෙන්නෙත් නෑනෙ. හැබැයි කුසල් වැඩෙන්නෙත් නෑ. කුසල් දහම් වඳයි නින්දෙදි. ආයුෂ්මතුන්… හැබැයි එක දෙයක් නම් ස්ථිර ව ම වෙන්න පුළුවන්… දැනගන්න කැමති ද එ් මොකද්ද කියල.”
‘‘එහෙමයි… ස්වාමීන් වහන්ස…”
‘‘වඩින්නකො මේ පැත්තෙන්…”
උන් වහන්සේ මාව ආලින්දය වෙතට රැගෙන ගියා. මුවග රැුඳි සෑම වචනයක් ම ධර්මයෙන් පරිබාහිර වචනයක් නො වූ විනයාචාර්යයන් වහන්සේ දෙතිස් කතාවෙන් කල් යවන කෙනෙක් නම් නෙවෙයි.
‘‘පේනව ද ආයුෂ්මතුන්ට අර අම්ම ව?”
‘‘අර ආච්චි ද ස්වාමීන් වහන්ස…? අර දානෙ පිරිසගෙ බණට වඩින ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න ඇවිල්ල ඉන්න ආච්චිනෙ…”
‘‘ඔව්. මේ ආච්චි නිතර අසපුවට එන කෙනෙක්. වෙන අයගෙ දානවලටත් එනවා. හිතුණ හිතුණ හැම පිනක් ම කරනවා. පාන්දර නැගිටලා දානෙ උයනවා. පාන්දර නැගිටලා සිල් ගන්න එනවා. පෝය දවසට එළිවෙනකම් ම ඇහැරලා ධර්ම ශාලාවෙ පිරිත් කියනවා. නැත්තං පොතක් හයියෙන් කියවනවා. නැත්තං භාවනා කරනවා. මම හිතන්නෙ මේ ආච්චිට දැන් අසූවත් පැනලා අනූවට කිට්ටු ඇති. පුදුම විදියට පින් කරන කෙනෙක්. ආයුෂ්මතුනුත් දැකල ඇති…”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මම දැකල තියෙනව. ගොඩක් පින් කර ගන්නවා තමයි. මගෙනුත් දවසක් ගුරුදේවයන් වහන්සේගෙ පොතක තිබුණු කරුණක් තේරෙන්නෙ නෑ කියල අහගත්තා. මට මතකයි මේ ආච්චි ව…”
‘‘ආයුෂ්මතුන් කණගාටු වෙන්න එපා මම මෙහෙම කීවට. ආයුෂ්මතුන් දවසක මේ ආච්චිට විවාහ යෝජනාවක් කරනවා. මේ ආච්චිගෙ රූපෙට වශී වෙලා මේ ආච්චිව ම ඉල්ලනවා. මේ ආච්චි ආයුෂ්මතුන්ගෙන් බණත් අහපු කෙනෙක්. මේ ආච්චිට ම ආදරේ කරන්න පටන් ගන්නවා. මොකද කියන්නෙ…? ආයුෂ්මතුන් ලෑස්ති ද…!”
මගේ ඇඟ කිළිපොලා ගියා. හත්දෙයියනේ මොකද්ද මේ මගෙ කන් දෙකට ඇහුණෙ. මට දානෙ පූජා කරපු වයසක ආච්චි කෙනෙක්නෙ මේ… මගෙන් බණ අහපු වයසක ආච්චි කෙනෙක්නෙ මේ… මොන හිතකින් මම එහෙම හිතන්න ද? මේ වගේ දෙයක් නම් මට හීනෙකින් වත් වෙන්නෙ නෑ.
‘‘අනේ ස්වාමීන් වහන්ස. මේ මොකද්ද කිව්වෙ. ලස්සන කෙල්ලෙක් පෙන්නල කීවනං කමකුත් නෑ. මට නං මේ ආච්චි ගැන හීනෙන්වත් කැමැත්තක් ඇති වෙන්නෙ නෑ. එහෙව් හිතකින් පෙම් කරන්නෙ කොහොම ද. එ්ක නං වෙන්නෙ නැති දෙයක් ස්වාමීන් වහන්ස. මගෙ හිත මේ නාකි ආච්චිට බැඳෙන්නෙ නෑ…”
විනයාචාර්යයන් වහන්සේ සිනහමුසු මුහුණින් අසල වූ අසුනේ හිඳගත්තා. උන් වහන්සේට වඩා මම ගොඩක් බාලයි. උන් වහන්සේට වන්දනා කරල මම බිමින් ඉඳගත්තෙ එ් නිසයි.
‘‘ආයුෂ්මතුන්… ආයුෂ්මතුන්… මේ සංසාරෙ හරි තුච්ඡුයි ආයුෂ්මතුන්. එ්ක ගැන දන්නෙ නැති ව තමයි ආයුෂ්මතුන් මේ විදියට කතා කළේ. හොඳයි මට මේකට උත්තර දෙන්න. මේ ආච්චි මැරුණ ම කොහෙ යයි කියල ද ආයුෂ්මතුන් හිතන්නෙ…?”
‘‘කතා දෙකක් නෑ ස්වාමීන් වහන්ස. දිව්‍ය ලෝකෙ තමයි. මේ තරම් පින් කරල මනුස්ස ලෝකෙටවත් එන එකක් නෑ. දේව ගති තියෙන්නෙ මේ ආච්චිගෙ…”
‘‘දිව්‍ය ලෝකෙ ඉපදුණා ම මේ ආච්චිගෙ ආයු, වණ්ණ, සැප, බල කොහොම වෙයි කියල ද හිතන්නෙ…?”
‘‘මේ ආච්චි සංඝයාට ගොඩක් දන් දීල තියෙන නිසා ආයු, වණ්ණ, සැප, බල දන් දීල තියෙනව ස්වාමීන් වහන්ස. එ් නිසා එ්කාන්තයෙන් ආච්චිට දීර්ඝායුෂ ලැබේවි. ලස්සන වර්ණයක් ලැබේවි. හොඳ සැප තියෙන දිව්‍ය මාළිගා ලැබේවි. දිව්‍යමය කෑම බීම ලැබේවි. දිව්‍යමය ඇඳුම් ආභරණ ලැබේවි. පිරිසත් එක්ක එකතු වෙලා පින් කළ නිසා හොඳ පරිවාර දෙව් පිරිසකුත් ලැබේවි. නිදි මරාගෙන ධර්මයේ හැසිරුන නිසා හොඳ බල සම්පන්න ආත්ම භාවයක් ලැබේවි. මම හිතන්නෙ ස්වාමීන් වහන්ස, එසේ මෙසේ දිව්‍යාංගනාවක් නෙවෙයි… දිව්‍ය රාජිණියක් වෙයි මේ ආච්චි නම්…”
‘‘හරියට හරි…. කළ පිනට අනුව ඊට වැඩි මිසක් අඩුවක් නෑ. ඉතින් ආයුෂ්මතුනුත් සිල් රකිනවා. දවස ම නින්දෙන් හිටියත් සිල් ටිකක් රැුකල පොඩි වත්පිළිවෙත් ටිකක් කරල පින් ටිකක් රැස් කරගෙන අපවත් වුණොත් ආයුෂ්මතුන්ටත් පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. හැබැයි බොහොම අඩු ආයු, වණ්ණ, සැප, බල සහිත ව. ඉතින් ඔන්න මේ දිව්‍ය රාජිණී ආයුෂ්මතුන් ව දැකල ළඟට එනව. ආයුෂ්මතුන් මේ බව දන්නෙ නෑ, ‘ෂාහ් ලස්සන දිව්‍යාංගනාවක්’ කියල ආයුෂ්මතුන් වශී වෙනවා. සූරියවච්චසා දැකල ආදරෙන් බැඳුනු පංචසිඛ වගේ. දිව්‍ය රාජිණී ළඟට එන්නෙ ආයුෂ්මතුන් බණ පදයක් හරි කියල උදව් කරපු නිසා පින් දෙන්නයි. එ්ත් මිනිස් ලෝකෙදි ආයුෂ්මතුන්ගෙන් බණ අහපු වයසක ආච්චි අම්මට ම දැන් ආයුෂ්මතුන් වශී වෙලා. ආදරෙන් බැඳිලා. එ් ආච්චි අම්ම කියල එකපාරට ම අඳුරගන්න බැරි වෙච්චි නිසා…. ඉතිං ආයුෂ්මතුන්…! මොකද කියන්නේ…? මේ ආච්චි ව බඳිනව ද?”
මම අප‍්‍රාණික වී ගියා. අහෝ… මට වැඳපු ආච්චියෙකුට ම ආදරේ කරන්න තරම් මේ හිත තුච්ඡ ද! හීනෙකින්වත් නො පැතූ දෙයක්. ලෝක දෙක මාරු වුණ ගමන් ඕන ම අනතුරක් විය හැකි බව නේ ද මේ පෙන්වා දුන්නේ…?
‘‘අනේ පින්වත් ස්වාමීන් වහන්ස. මට සමාවෙන්න. මට නම් බෑ මට වැඳපු, මට කන්න දීපු, මගෙන් බණ පදයක් අහපු ආච්චියෙකුට ආදරේ කරන්න. මේ බලන්න… මම එ් දේට කොච්චර ලැජ්ජ ද කියන්නෙ මෙඟ ඇඟත් සීතල වෙලා. අනේ ස්වාමීන් වහන්ස. මට ඕන මේ ගිහි අයට වඩා උසස් දෙවියෙක් වෙන්න. එහෙමත් නැත්තං… මේ ගිහි අය කිසි කෙනෙක් ගැන රාගය ඇති නො වෙන්න ම මට බ‍්‍රහ්ම ලෝකෙ යන්න ඕන. බ‍්‍රහ්ම ලෝකෙ කාම රාගය නෑනෙ. නිවන් දැකගන්න බැරිවුණොත්, මට නං බෑ කාම ලෝකෙට වැටිල මගෙ පාත්තරේට කන්න දීපු ආච්චිල එක්ක ම කාම සේවනේ කරන්න. අනේ ස්වාමීනී, මාව බේරගන්න….! මට ප‍්‍රමාද වෙන්න දෙන්න එපා. මට ඕන මේ නාකි ආච්චි කෙනෙක්ට වුණත් බැඳිල යන හිතෙන් නිදහස් වෙන්න….”
‘‘හොඳයි… හොඳයි… ආයුෂ්මතුන්ට සිහිය ඉපදුණා. මම උත්සාහ කළේ එ්කට යි. දැන් ආයුෂ්මතුන්ට තියෙන්නෙ පැවිදි ජීවිතේට හිත සකස ගන්න එකයි. ආයුෂ්මතුන්ගෙ කය පැවිදි වුණාට හිත පැවිදි වෙලා නෑ, හිත පැවිදි වුණා නම් අප‍්‍රමාදී වෙනවනෙ. ප‍්‍රමාදී වෙලා නින්දේ ඇලිලා, හිස් කතා කිය කිය, විහිළු තහළු කර කර කාලෙ කන පැවිද්දාගෙ හිත පැවිදි වෙලා නෑ. හිත පැවිදි වෙලා නැත්තං ඉක්මනින් ම දස මාර සේනාවට යටත් වෙන්න වෙනවා. මොකද්ද මම කිව්වෙ…?”
‘‘හිත පැවිදි වෙලා නැත්තං ඉක්මනින් ම දස මාර සේනාවට යටත් වෙන්න වෙනවා ස්වාමීන් වහන්ස…”
‘‘ඔව්. හිත පැවිදි වෙලා නැත්තං, මුලින් ම වෙන්නෙ කාමයට කැමැත්ත එන එක. එ් කියන්නෙ කාම සේවනේ ම නෙවෙයි. ලස්සනට කැමති වෙනවා. ගීත ස්වරයට කැමති වෙනවා. කුටිය සුවඳ කරගෙන ඉන්න කැමති වෙනවා. දානෙ රසට තියෙනවට කැමති වෙනවා. රස්නයක් සීතලක් ඉවසන්න බෑ. හොඳ ෆෑන් එකක්, පහසු සිවුරක් ඕන වෙනවා. භික්ෂුවක් මුලින් ම පංච කාමයට ඇදිල යන්නෙ ඔය විදියට යි. ඊට පස්සෙ එන්නෙ දෙවෙනි සේනාව. එ් තමයි අරතිය. අරතිය ආවම භාවනා ශාලාවට යන්න හිතෙන්නෙ නෑ. පොදු වත පිළිවෙත කරන්න හිතෙන්නෙ නෑ. බුද්ධ වන්දනාවට යන්න හිතෙන්නෙ නෑ. පොදුවේ දාන ශාලාවට යන එකත් වදයක් වෙනවා. බණක් කියන්නවත් කැමති නෑ. බස් ටිකට් අරගෙන රවුම් ගහන්න කැමති වෙනවා. නිතර නිතර ගෙදර යන්න හිතෙනවා. ගෙදර අයට, යාළුවන්ට ධර්මය දෙන මුවාවෙන් පරණ ඇසුර ආයෙත් ජීවිතේට ළං කර ගන්න උත්සාහ කරනවා. මේ විදියට ගියා ම කුසල් දහම්වලට අකමැත්තක් ම යි උපදින්නේ. මේ තමයි දෙවෙනි මාර සේනාව…”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”
‘‘තුන් වෙනි මාර සේනාව තමයි, පිපාසයයි බඩගින්නයි. දැන් තිබහ ඉවසන්න බෑ. ඉතින් වතුර නෙවෙයි හොයන්නෙ. කොකාකෝල වගේ බීම. බඩ ගින්න දරාගන්න බෑ. ඉතිං කෑම ගැන ම හිතන්න පටන් ගන්නවා. නොයෙක් කෑම වර්ග ගෙන්නගෙන කන්න හිතනවා. මේව භික්ෂුවකට ගැළපෙන දේවල් නෙවෙයි. ඉතින් මේ දේවල්වලට පෙළඹෙන්නෙ පිපාසය, බඩගින්න මාර සේනාවක් බවට පත්වුණ නිසයි. හතරවෙනි මාර සේනාව තමයි තණ්හාව. දැන් ගිහි ගෙයින් එද්දි සියලූ ගිහි උපකරණ, කටයුතු කෙළ ගහනව වගේ අතහැරල ආපු කෙනා එ්වට ම එකින් එක ඇලෙන්න පටන් ගන්නවා. එ් දේවල් හොයනවා. බහුභාණ්ඩික, එ් කියන්නෙ බොහෝ බඩු බාහිරාදිය ගොඩ ගසාගන්න කෙනෙක් බවට පත්වෙනවා. පස්වෙනි මාර සේනාව තමයි ථීනමිද්ධය. එ් කියන්නෙ නිදිමත, අලසකම, කුසීතකම, බත් මතය වගේ ගති. මේ දේවල් හැම එකකට ම යට වෙනවා. මේ දේවල් පරාජය කර ගන්න බෑ. හයවෙනි මාර සේනාව තමයි, හිතේ හැදෙන බය තැතිගැනීම්. දැන් තනියෙන් ඉන්න බයයි. වනගත දුර ඈත හුදෙකලා කුටි මඟහරිනවා. පිරිසත් එක්ක ම ඉන්නවා. තනියම ඇවිදින්නෙවත් නෑ. බයෙන් ම කල් ගෙවනවා. මේ සියල්ල ම තියෙන සිතට දැන් ටික ටික සැකය එනවා. එ් තමයි හත්වෙනි මාර සේනාව. දැන් ගුරුවරයාගේ අඩුපාඩු පේන්න ගන්නවා. උන් වහන්සේ කියන දේවල් ගැන සැක කරනවා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා බාල ස්වාමීන් වහන්සේලා ගැන සැකයි. එ් අය දෙන දෙයක්වත් කන්නෙ නෑ. පුළුවන් තරම් සංඝයාව සැක කරනවා. වැඩපිළිවෙළ සැක කරනවා. මීට වඩා දෙයක් තව තියෙන්න පුළුවන් කියල හිතනවා. මේ සියල්ල එන්නෙ මාර සේනාව නිසා. අවසානෙ මේ නිසා ම අසපුව දාල යන්න වුණත් හිතෙන්න පුළුවන්. මොකද දැන් මාර සේනා හයකින් ම පහර කාලා හිත දුර්වල වෙලා ඉන්න නිසා. ඉතින් ඊට පස්සෙ කරන්නේ, ගුණවතුන්ගේ ගුණ මකනවා. ‘ඔහොම කීවට එයා මෙහෙමයි. අපි දන්නැද්ද එයා ගැන.’ මෙහෙම කිය කිය තමයි ගුණ මකන්නේ. එ්කට තමයි ගුණමකුකම කියන්නේ. ගුණමකු කෙනා හරි දැඩියි. ‘ඔයා වැරදියි, ඕක නෙවෙයි හරි. මේකයි හරි.’ කියල කෙනෙක් කීවට ගණන් ගන්නෙ නෑ. එ්කට කියන්නේ ‘ථම්භ’ කියල. එ් කියන්නේ දැඩි බව. ගුණමකුකම සහ දැඩි බව තමයි අටවෙනි මාර සේනාව. පැහැදිලි ද?”
‘‘හොඳට ම පැහැදිලියි ස්වාමීන් වහන්ස…”
‘‘හොඳයි. ගුණමකු කෙනාට ඊ ළඟට වෙන්නෙ මොකක් ද? බොහොම පැහැදිලියි. අනුන්ගේ ගුණ මකන කෙනා ලාභ සත්කාරවලට හසු වෙනවා. එයා කල්පනා කරනවා ‘එ් අයට වඩා, මගේ ගුරුවරයාටත් වඩා මමයි ගුරුවරයා. ගුරුවරයාට වැරදුනා. මම යි නියම දේ දන්නෙ. මම විවේකයක් ලැබුණ ම පෙන්වන්නං මගේ දක්ෂකම. ගුරුවරයාට වගේ ම මටත් පුළුවන් එ්ක ම කරන්න. ඊටත් වඩා හොඳට. එන්න මගෙ ළඟට. මට ම දෙන්න හැම උපකාරයක් ම.’ මෙන්න මේ විිිදියට කියන්න පටන් ගන්නවා. මේ කෙනා ලාභ සත්කාර හොයනවා. අසපුවේ ගුණ මකල දාල මෙතනින් පැනල ගිහින් හුදෙකලාවේ ඉඳගෙන බණ භාවනා කරන්නෙත් නෑ. පිරිසෙන් වෙන්වෙලා පාඩුවේ ඉන්නෙත් නෑ. ලාභ සත්කාර ගොඩගහගන්න පුළුවන් විදියේ දැවැන්ත ආයතන ගොඩ නගන්න හදනවා. පුංචි කුටියක ගුණ දහම් වඩනවා වෙනුවට මිනිස්සු එකතු කර ගන්න මෙයත් අඩි සීයෙ වගේ ශාලා හදනවා. ලොකු ලොකු සැලසුම් තමයි තියෙන්නෙ. ගුරුවරයා කරපු දේ ම යි කරන්න හදන්නෙ. මේකට තමයි කියන්නෙ ලාභ සත්කාර කියන මාර සේනාවට යට වෙලා ගියා ගියල. ලාභ සත්කාරවලට යටවුණා ම වෙන ඊ ළඟ අනතුර තමයි, තමන්ට අර හිතන තරම් පිරිවර නැති වෙන කොට, තමා ගැන අනුකම්පාව ඇතිවෙන මායා බස් දොඩන්න පටන් ගන්නවා. තමාට වෙච්චි අසාධාරණ ගැන කියන්න පටන් ගන්නවා. කෙලින් ම කියන්න බැරි නම්, වෙන අය දාලා හරි කියවනවා. මිථ්‍යා ක‍්‍රමවලින් කීර්තිය සොයන්න පටන් ගන්නවා. ඔළු ගෙඩි එකතු කරගෙන මිථ්‍යාවෙන් ම පිරිස වැඩි කර ගන්න බලනවා. හරියට දේවදත්ත කළා වගේ. එ්කට තමයි කියන්නේ ‘මිච්ඡුා ලද්ධෝ ච යෝ යසෝ’ කියල. මෙන්න මේ ලාභ සත්කාරවලට යට වීමත්, මිථ්‍යා ක‍්‍රමවලින් කීර්තිය සොයා යාමත් කියන කාරණා තමයි නවවැනි මාර සේනාව බවට පත්වෙන්නේ. මොකද කියන්නෙ ආයුෂ්මතුන්..? වෙන්න බැරි ද මේක…!”
‘‘පුළුවනි ස්වාමීන් වහන්ස. මේ සිත එ් තරම් ම තුච්ඡයි…”
‘‘දස මාර සේනාවේ අන්තිම සේනාව. එ් තමයි, ‘අත්තානං සමුක්කංසේ පරේ ච අවජානති’. එ් කියන්නේ තමා ව උසස් කොට හිතල අනිත් අය ව දෙකේ කොළේට දාල පහත හෙළන එක. මේ සේනාවට හසු වුණා ම කිසි කෙනෙක්ගෙ උපදෙසක් ගණනකටවත් ගන්නෙ නෑ. හරි ම දැඩියි. ගුරුවරයාවත් අමතක කරල තමන්ට ගුණ දහම් වඩන්න මුල් වූ සියලූ උපකාරවලට පයින් ගහල එ්වා මාන්නයෙන් විවේචනය කරල තමන්ගෙ ගමන තමන් තනිය ම යනවා. ‘ආලාර කාලාමගෙන් ගන්න ඕන ටික අරන් සත්‍ය සොයා ගියා වගේ අපිත් එක තැනක රැුඳෙන්නෙ නැති ව තැන් තැන්වලින් එකතු කරගෙන යමු’ කියල කිසි කෙනෙක් ව ගණං ගන්නෙ නැති මානසිකත්වයකට පත්වෙනවා. එයාට ගුරුවරයෙක් නෑ. ‘මගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන ගුරුවරු මට නෑ.’ කියල මාන්නෙන් කියවනවා. බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ යි, ධර්මය කියා දෙන කල්‍යාණ මිත‍්‍රයා යි ගුරුවරයා කියල එයාට අමතක වෙලා යනවා. අන්තිමේ දී බුද්ධ ශාසනය සම්පුර්ණයෙන් ම රඳා පවතින කල්‍යාණ මිත‍්‍ර ඇසුර එයාට නෑ. ඉතින් මේක මාර සේනාවක්. දහවෙනි මාර සේනාව. මේ මාර සේනාවන්ට කෙනෙක් හසු වෙලා ඉන්න බව පිටට පේන්නෙ නෑ ආයුෂ්මතුන්. බොහෝ වෙලාවට තමන්ට තේරෙන්නෙත් නෑ. තමන් හරියි කියල හිතාගෙන කරන්නෙ සතර අපාගත වෙන දේ ම යි. මේ හැම දේකට ම හේතු ව හිත පැවිදි නො කිරීම යි. කයෙන් ධර්මයට සමීප වුණත්, හිතෙන් ධර්මයට සමීප නො වීම යි. පැහැදිලි ද?”
‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මගෙ වාසනාවක් අද ස්වාමීන් වහන්සේ මුණගැහුණු එක…”
‘‘මතක තියාගන්න ආයුෂ්මතුන්. අද අද ම ඔය ප‍්‍රමාදය දුරු කරන්න ඕන. එ් තරම් ම අපි ව විනාශ කරන දෙයක් ප‍්‍රමාදය කියන දේ. අප‍්‍රමාදී වෙන්න ඕන. අප‍්‍රමාදී කියන්නෙ ගිහියෙකුට නම් ඉක්මනින් අවශ්‍ය වැඬේ කරන එක. ධර්මය තුළ එ්ක නෙවෙයි විස්තර වෙන්නේ. ශාසනය තුළ අප‍්‍රමාදය හඳුන්වන්නේ… ‘අප්පමාදේසු කුසලේසු ධම්මේසු’ යන ආකාරයෙන්. ‘අප‍්‍රමාදී වෙනවා කුසල් දහම් වෙනුවෙන්’ කියන තේරුමයි එ් කියැවෙන්නේ. ඉතින් අපි ප‍්‍රමාද කරන්න ඕන අකුසල්. කුසල් නෙවෙයි. අකුසල් කරන එක පමා කරලා කුසල් කරන එක අද අද ම කරනවා. දැන් දැන් ම කරනවා. එ්කට තමයි අප‍්‍රමාදය කියන්නේ. දැන් අද වෙන්නේ කුසල් පමා කරලා අද අද ම අකුසලය කරනවා. අවසානයේ කුසල් කරන්න වෙලාවක් ඉතිරි වෙන්නෙ නෑ. අන්න එ් නිසා අකුසල් ම යි පමා කරන්න ඕන. කුසල් ම යි ළඟට ගන්න ඕන. එතකොට ආයුෂ්මතුන් කවදාවත් දස මාර සේනාවට හසුවන්නෙ නෑ….”
‘‘සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. මම අද ඉදන් අප‍්‍රමාදී ව කුසල් ම වඩන්න මහන්සි ගන්නවා. අකුසල් සියල්ල මම පමා වෙන්න හරිනවා. උපන් කුසලයෙන් ම උපන් නූපන් අකුසල් නසල දාන්න මහන්සි ගන්නවා…”
සතුටු සිතින් පින්වත් විනයාචාර්යයන් වහන්සේ වන්දනා කොට සමුගත්තා. මේ සිදුවීම සිදු වෙලා දැන් පැය කීපයක් වෙනවා. මම ගිලන්පසත් නො වළඳා ම, කුටියට ඇවිත් භාවනා කළා. මෛත‍්‍රී භාවනාව තුළ සිත හොඳින් පැවතියා. සමාධියක් නැතත් හිත එක අරමුණේ තියන් ඉන්න පුළුවන් වුණා. අද මගේ දවස විශේෂයි. මට මේ තුච්ඡු හිතෙන් නිදහස් වෙන්න ඕන. උතුම් සිතක් උපදවගන්න ඕන. ආච්චිගෙ පාඩම මගේ පැවිදි ජීවිතේ වෙනස් කරයි කියල මම හිතනවා. මේක සුන්දර ආරම්භයක් වේවි. දිනපතා මම කුසලයට මුල් තැන දීල අකුසලය පමා කළ ආකාරය මේ විදියට ලියන්න කල්පනා කළා. මොකද මට මගේ වැරදි හො`දට දැකගන්න පුළුවන්. සිහි කර ගන්න පුළුවන්. මේ උතුම් දිනසටහන් මගේ යහපත පිණිස ම යි. වැඩි වැඩියෙන් කුසල් රැුස් කොට වැඩි වැඩියෙන් එ් ගැන සටහනක් තබන්නට මට හැකි වේවි යැයි සිතනවා. අනාගතය අවිනිශ්චිතයි. කවුද දන්නෙ කුමක් වෙයි ද කියා. මරණය ඊ ළඟ මොහොතේ වුණත් මා කරා ආ හැකියි.
රාත‍්‍රියේ රැස් කළ පින් ධර්මකාමී දෙවියන්ටත්, ගුරුදේවයන් වහන්සේටත්, මට මේ පැවිද්ද සාර්ථක කර ගන්න උදව් උපකාර කරන සබ‍්‍රහ්මචාරින් වහන්සේලාටත් අනුමෝදන් වේවා…!
මතු සම්බන්ධයි….
ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.
මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK
මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68
Recent Comments