තඹුත්තේගම තලාව පසු කරමින් කොළඹ සිට වවුනියාව බලා දිවෙන රජරට රැුජිණ දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදේ. දුම්රිය කව්ළුවෙන් ඈත බලා සිටින මට පෙනෙන්නේ ඈතට විහිද යන කෙත්වතු හා තැනිතලා බිම් ය. දුම්රිය ලතාවකට පැද්දෙද්දී ‘දුර පෙනෙන තැනිතලා – අනුරාධපුර දිහා’ ගීතය සිතට නැගුනේ නිරායාසයෙනි. අහස අඳුරු වලාවන්ගෙන් බරව ඇත. බටහිර ක‍්‍රිකට් විචාරකයන්ට නම් මෙය අයහපත් කාලගුණයකි. කෘෂිකාර්මික ජීවන රටාවකින් මුළු දැයක සාගිනි නිවන රජරට ගොවි දනට නම් මෙය ආශීර්වාදයකි. වැහිබර කාලගුණය විසින් හමන සුළඟට පවා සිසිලසක් එක් කොට ඇත. මම දුම්රිය අසුනට බර දී ථූපාරාම සෑ රදුන්ගේ අතීත අසිරිය සිහි කළෙමි.

මුළු අනුරාධපුර නගරය ම අලංකාර ලෙස සරසා ඇත. බැලූ බැලූ අත නේකවිධ ධජ පතාක ලෙළදෙයි. සතර දෙසින් සුදුවතින් සැරසුනු දහස් ගණන් සැදැහැවතුන් දෝතින් මල් මාලා රැුගෙන සන්සුන් ගමනින් මහානාග උයන දෙසට ඇදෙති. පංචතූර්ය නාදය මධ්‍යයෙන් අශ්වාරෝහකයන් පිරිවරාගෙන ගාම්භීර ලෙස පිය නගන්නේ අලංකාර ලෙස සරසන ලද රාජකීය හස්තියෙකි. රාජකීය පෙරහැර එන පෙරමග රන්වන් කරඬුවක් දෝතින් ගත්, භික්ෂු සංඝයා පිරිවරාගත් මහ තෙරුන් වහන්සේනමකි.

ඇතු පිට හිඳින දේවානම්පිය තිස්ස රජුගේ හිසට සෙවණ සලසන ධවල ඡත‍්‍රයකි. දේවානම්පිය තිස්ස රජු ඇතු පිට සිට ම අධිෂ්ඨානයක් කරයි. ‘ඉදින් මේ මිහිඳු මාහිමියන්ගේ ශ‍්‍රී හස්තයෙහි රැුඳුන රන් කරඬුවෙහි වැඩ හිඳින්නේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලොවෙහි අසහාය ශාස්තෘන් වහන්සේ වූ මාගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේනමක් නම් මාගේ හිසට ඉහළින් ඇති ඡුත‍්‍රය ධාතූන් වහන්සේ දෙසට නැමේවා.! මේ තෙදවත් මඟුලැතු ධාතූන් වහන්සේ අබියස දණින් වැටේවා.! ධාතූන් වහන්සේ සහිත රන් කරඬුව මා හිස මත පිහිටාවා.!’

එකෙණෙහි ම රජු හිසට සෙවණ දුන් ඡත‍්‍රය රන් කරඬුව දෙසට නැමී ගියේ ය. මඟුලැතු දණින් වැටුණි. ධාතූන් වහන්සේ සහිත රන් කරඬුව අහසට පැන නැගී රජුගේ හිස මත පිහිටියේ ය. අහස ගුගුරා ගියේ ය. මිහිකත කම්පා විය. අකල්හි වැසිපොද ඇද හැළුණි. විවෘතව තිබුණ දුම්රිය කවුළුවෙන් වැටෙන වැසිපොද මාගේ මනෝමය චාරිකාව බිඳ හෙළද්දී දුම්රිය මාගේ ගමනාන්තයට ළඟා වී ඇත.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් බැසගත් මට තේ කෝප්පයක අවශ්‍යතාවය දැනුණ ද ථූපාරාමය අසල ඇති රසවත් බෙලිමල් වීදුරුවකට එ් අවස්ථාව ලබා දීමට සිතා ත‍්‍රි රෝද රථයකට ගොඩවුණෙමි.

‘‘මට පුළුවන් ද බසවක්කුලම වැව අද්දර ථූපාරාම සෑය ළඟට යන්න?”

‘‘මහත්තය එහෙනම් අපි රුවන්වැලි සෑයට දකුණු පැත්තෙන් ඇති පාරෙන් යමු.”

ත‍්‍රි රෝද රථය පිටත් විය. හැමදාමත් අනුරපුර පූජනීය නගරයට එද්දී දුර සිට ම නෙත සොයන පූජනීය වස්තුව හමු විය. මම රථයේ සිට ම දෑත නළලේ තැබුවෙමි. එ් මහ සෑයේ කොත් කැරැල්ලයි. ථූපාරාම සෑයට දකුණු පසින් පාරෙන් අනෙක් පසට වන්නට දුටුගැමුණු විශ‍්‍රාම ශාලාවට නුදුරින් ථූපාරාම විහාරස්ථානයේ සංඝාවාසය පිහිටා ඇත. ථූපාරාම විහාරාධිපතීන් වහන්සේ වන ගල්කිරියාගම සෝරථ ස්වාමීන් වහන්සේ මෙහි වැඩ වසන්නේ 1971 වසරේ සිට ය. උන්වහන්සේට වන්දනා කොට මා පැමිණි කාරණය සිහිපත් කළ මම මෙසේ කථාවට මුල පිරුවෙමි.

‘‘ස්වාමීන් වහන්ස අකු ධාතූන් වහන්සේ යන්න තවත් පැහැදිලි කළොත්?”

‘‘පාලියෙන් අක්ඛකට්ඨි කියල කියන්නේ බෙල්ල පහළ සිට උරහිස දෙපසට විහිදෙන සිහින් අස්ථි යුගලටයි. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව නො විසිරී ඉතිරි වුණ ධාතූන් වහන්සේලාට මේ අකු ධාතූන් වහන්සේලා දෙනමත් අයත්.”

‘‘ස්වාමීන් වහන්ස අපට කොහෙන් ද මේ ධාතූන් වහන්සේලා ලැබුණේ?”

‘‘මෙහෙමයි. මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුට වදාළා ‘මහරජතුමනි, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් තිබුණා නම් යහපත්’ කියා. එවිට රජතුමා එවැනි පූජනීය වස්තුවක් ලබා දෙන්නේ නම් මහත් ගෞරවයෙන් සෑයක් කරවා වන්දනා කිරීමට සකස් කර දිය හැකි බව පැවසුවා. මිහිඳු හිමියන්ගේ උපදෙස් මත තව්තිසා දෙව් ලොවට වැඩි ඍද්ධි බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේ ලක්දිව තැන්පත් කිරීම සඳහා සිළුමිණි සෑයෙහි වැඩ සිටින දකුණු අකු ධාතූන් වහන්සේ ලබා දෙන ලෙස සක් දෙවිඳුන්ට දන්වා සිටියා. පිනට කැමති සක් දෙවිඳුන් රන් කරඬුවක තැන්පත් කොට සුමන සාමණේරයන් වහන්සේ වෙත දකුණු අකු ධාතූන් වහන්සේ ලබා දුන්නා. දේවානම්පිය තිස්ස රජතුමා සැරසී මංගල හස්තිරාජයා පිටින් යද්දී මිහිඳු හිමියන් දෝතින් දරා සිටියේ එ් කරඬුවයි.”

‘‘ස්වාමීන් වහන්ස ධාතු නිධානෝත්සවය ගැන සඳහන් කළොත්?”

‘‘රජතුමාගේ අධිෂ්ඨානය පරිදි හිස මත පිහිටි ධාතු කරඬුව මිහිඳු හිමිගේ අනුශාසනා පරිදි ඇතුගේ කුම්බස්තලය මත තබා රජු ඇතු පිටින් බිමට බැස්සා.

ධාතු කරඬුව ඇතු පිටින් ගන්නට උත්සාහ කළත් ඇතු එයට ඉඩ දුන්නේ නැහැ. තමන්ගේ උසට වඩා පහළින් ධාතු කරඬුව තබනවාට ඇතු නො කැමති බව මිහිඳු හිමියන් රජුට වදාළා. ලහි ලහියේ සෑයේ වැඩ ඇරඹුනා.
ඉක්මනින් ම ධාතූ ගර්භයේ වැඩ නිම වුණා. ධාතු නිධානෝත්සව දිනයත් ළඟා වුණා. සතරදිගින් මහ ජනතාව මෙතනට රැස්වුණා.

එක් වර ම ධාතු කරඬුව අහසට පැන නැංගා. තල් ගස් හතක් තරම් ඉහළ අහසේ සම්බුදු සිරුර මැවුනා. එදා ගණ්ඩබ්බ රුක අසල යමා මහ පෙළහර පෑවේ යම් සේක් ද එලෙස ම යමා මහ පෙළහර පා වදාළා. මේ සියල්ල ම වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට කළ අධිෂ්ඨානයක් අනුව යි. මේ අසිරිය දුටු ජනතාව කොතරම් පැහැදීමකට පත් වුණා ද කිව්වොත් ඇතුළු නුවර හා පිට නුවරින් පැමිණි තිස් දහසක් දෙනා ගිහි ගෙයින් නික්ම පැවිදි බව ලැබුවා. එදා ඉඳලා ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මේ සෑයට බොහෝ පිරිස් වන්දනා මාන කරලා පින් රැස් කර ගන්නවා.”

ස්වාමීන් වහන්සේ තරමක් අසනීපයෙන් වැඩ වසන හෙයින් තවදුරටත් උන්වහන්සේ වෙහෙස කරවීමට නො සිතූ මම උන්වහන්සේට නැවතත් වන්දනා කොට සංඝාවාසයෙන් පිටතට පියමැන්නෙමි.
දුම්රිය ස්ථානයේ දී මතක් වූ බෙලිමල් වීදුරුව යළි මතකයට ආවේ පැය කීපයකට පසුව ය. හකුරු සමග බෙලිමල් වීදුරුවකින් පවස නිවාගත් මම ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ථූපාරාම සෑ රජු වන්දනා කිරීම පිණිස සුදු නෙළුම් මල් පොකුරක් මිල දී ගතිමි. එකෙණෙහි ම නිල් මානෙල් මල් මිටියක් ද ගන්නා මෙන් මා වෙත දිව ආ දැරියක් ඇවටිලි කළා ය. හදිසියේ ම ආ අදහසක් නිසා මම නැවතත් රතු නෙඵම් මල් මිටියක් හා ඕලූ මල් මිටියක් ද සොයා ගොස් මිල දී ගත්තෙමි. මල් දෝවනය කරන්නට මෙන් පොද වැස්සක් පතිත වන්නට විය. මා අත කුඩයක් ද නැත. කුඩයක් අතකින් රැුගෙන වන්දනා කිරීම ද කළ නො හැකි ය. මම වැස්සේ ම සෑය වෙත පියමැන්නෙමි.

සෑය අසල ම වම් පසින් ගඩොලින් කරන ලද කුඩා සෑයකි. මෙය පාද ලාංඡුන චෛත්‍යය ලෙස හඳුන්වයි. සම්බුදුන්ගේ සිරිපා සටහනක් මැදි කොට සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා විසින් මෙය කරවන ලදැයි සැලකේ.

ථූපාරාමය අසල ම පාද ලාංඡුන චෛත්‍යයට මඳක් ඔබ්බෙන් තවත් පූජනීය ස්ථූපයක නටබුන් දක්නට ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට මෙය තනවන ලද්දේ
බු. ව. 236 දී උත්තිය රජතුමා විසිනි.

මල් මිටි හතර ද රැුගෙන මම ථූපාරාම සෑ රදුන්ගේ සලපතළ මළුවට පිවිසුනෙමි. බුදු ගුණ මෙනෙහි කරමින් සෑය පැදකුණු කළෙමි. පොද වැස්ස අහස ගුගුරා වැටෙන මහ වැස්සක් වී ඇත. සෑ මළුවේ වන්දනා කරන අය නො තෙමෙන්නට පෙර කල පියස්සකින් මුළු සෑය ම ආවරණය කර තිබූ නිසා මෙය ථූප ආරාමය වී ඇත. මෙම පියස්සට ආධාර කර ගත් ගල්කණු නම් තවමත් සෑය වටා පිහිටා ඇත. මොර සූරන වැසි ඇද හැළේ. අද මා හිසට ඉහළින් එ් පියස්ස නැතත් නො සැලී වන්දනා කිරීමට ශ‍්‍රද්ධාව ඇත.

‘ස්වාමීනී, කකුසඳ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ භූමියේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ දිය බඳුන පෙර කල මෙහි නිදන් කොට තිබී ඇත. ඔබ වහන්සේ උදෙසා මේ නිල් මහනෙල් මල් පූජා කරමි. පූජා වේවා.!

ස්වාමීනී, කෝණාගමණ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ බිමේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ පටි ධාතූන් වහන්සේ පෙර කල මෙහි නිදන් කොට තිබී ඇත. ඔබ වහන්සේ උදෙසා මේ ඕලූ මල් පූජා කරමි. පූජා වේවා.!

ස්වාමීනී, කාශ්‍යප බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ භූමියේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ ජල සාටිකා ධාතූන් වහන්සේ පෙර කල මෙහි නිදන් කොට තිබී ඇත. ඔබ වහන්සේ උදෙසා මේ රතු නෙළුම් මල් පූජා කරමි. පූජා වේවා.!

මේ සියලූ ම බුදුරජාණන් වහන්සේලාගේ අතීත තොරතුරු පෙන්වා වදාළ මාගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ බිමේ සමවත් සුවයෙන් වැඩහිඳ ඇත. ඔබ වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ මා නුදුරෙහි මේ සෑ ගැබ තුළ රැස් විහිදුවමින් තවමත් වැඩ වෙසෙති. ඔබ වහන්සේ උදෙසා මේ සුදු නෙළුම් මල් පූජා කරමි. පූජා වේවා.!

සසර කතරින් වහ වහා එතෙර වීම පිණිස ම මේ පින් හේතු වේවා.!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ