ලෝ අන් රටවල ජනකාය අත්පත් කර නො ගත් අදීන චින්තනයක් ලාංකේය අපට උරුම වූයේ බුදු දහමේ නිමල ආස්වාදය, අවුරුදු දෙදහසකට පෙර ලබන්නට අප වාසනාව ලද හෙයිනි. සාහිත්‍යය, කලා ආදියේ පමණක් නො ව මූර්ති හා කැටයම් කලාවන්හි ද ස්වාධීනත්වයක් බුදු සමය ඇසුරෙන් අපි ලදුයෙමු. මේ ස්වතන්ත‍්‍ර උරුමය සදා නො නැසෙන සේ මුළු ලොවට ම ආස්වාදනය කළ හැකි අයුරින් සටහන් කර තැබීම ආරම්භ කරන ලද්දේ මින් වසර දෙදහස් දෙසියකට පෙර විසූ සිංහල කිවීන් විසිනි. එයිනුත් වැඩි පිරිසක් බුදු සමය වැළඳගත් රාජකීයයන් වීම ලෝක සාහිත්‍යයේ ම අනුස්මරණීය සනිටුහනක් වන්නේ ය.

සිංහල පද්‍ය සාහිත්‍යයේ පැරණිතම නිර්මාණ වශයෙන් ඉදිරිපත් කළ හැකි පi නිර්මාණ දක්නට ලැබෙනුයේ සෙල්ලිපි ස්වරූපයෙනි. මේ පද්‍ය වැඩි සංඛ්‍යාවක් ලියා ඇත්තේ රජුන්, බිසෝවරුන්, කුමාරවරුන් සහ රජ පවුල්වලට සම්බන්ධ අය විසිනි. මහ සඟනට පුදබිම්, ලෙන් වෙහෙර විහාර පූජා කරමින් කටාරම්, ටැම් හිස් හා සෙල් පුවරු මත ඔවුහු කාව්‍යමය බසින් සන්නස් ලියා තැබූහ. අප රටේ දැනට විද්‍යාමාන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු පැරණිම සෙල් පැදි හමු වන්නේ ව්‍යවහාර වර්ෂ පූර්ව තුන් වැනි සියවසේ මිහි`දු මහ රහතන් වහන්සේගේ ආගමනයෙන් පසු ව ය. ගී විරිත් අනුව ලියැවුණු සෙල්ලිපිවලින් නිගමනය කළ හැක්කේ සිංහල කවිය හා පැවති රාජකීය සම්බන්ධය, සිංහල සාහිත්‍යය ස්වාධීන ව හා සුහුඹුල් ව වැඞී යාමට සවිමත් අඩිතාලමක් ව පැවති බවයි.

කාව්‍යය වූ කලි දෙවියන්ගේ මැවීමක් ලෙස ආදි භාරතීය කවීහු විස්වාස කළහ. භාරතයේ විසූ පැරණිත ම කවියා වශයෙන් සැලකෙන වාල්මිකීන්ගේ රාමායනය හුදෙක් දේව විශ්වාසයන් වටා ගෙතුණු වර්ණනා කාව්‍යයකි. ඉන් අනතුරු ව බිහි වූ භාරතීය කවීන්ගේ නිර්මාණවල ද දැක්ක හැක්කේ වැඳුම් පිඳුම්, යාදිනි යැඳුම්, කන්නලව් ස්ත්‍රෝත‍්‍ර, වේද මන්ත‍්‍ර ආදි මානසික ආවේග කුළු ගන්වන පද්‍ය බන්ධනයන් ය. එහෙත් එ දවස ලංකාවේ ලියැවුණු කාව්‍යයන්ගෙන් පිළිබිඹු වන්නේ බුදු ගුණයෙන් ඇලළී ගිය ස්වාධීන චින්තාවලියක ප‍්‍රසාද මාධුර්‍යය යි. සිත් සතන් නිවා සනහන මුදු ලාවන්‍යය යි.

මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහතන් වහන්සේලා දේශනා කොට වදාළ බුුදු වදන් අමා දහරක් පරිද්දෙන් ලක්දිව ගම් නියම් ගම් පුරවර සිසාරා පැතිර ගියේ එකල විසූ ජනකායගේ සිත් සතන් තුළ මහා පෙරළියක් ඇති කරවමිනි. මේ මහා වෙනස, ලක් දෙරණ පවත්නා තාක් කල් නො නැසී රැකෙන සේ සෙල් ටැම් හා ලෙන් කටාරම් මත කොටා තබන්නට රාජකීයයෝ පියවර ගත්හ. ව්‍යවහාර වර්ෂ පූර්ව තුන් වැනි සියවසේ සිට දක්නට ලැබෙන, කොස්සගම කන්ද, කිරින්ද, තිස්සමහාරාම, අකුරුගොඩැල්ල, හබුතගල, කුසලාන්කන්ද, කරඳහෙළ, කොරවන්ගල, මුල්ගිරිගල ආදි ස්ථානවලින් හමුවී ඇති කාව්‍යමය රචනා අන්තර්ගත සෙල් ලිපි කොටා ඇත්තේ බ‍්‍රාහ්මී අක්‍ෂරයෙනි. මේ හැම ලිපියකින් ම කියැවෙන්නේ බුදු සමය වැල`ද ගැනීම නිසා එකල ජන සමාජය තුළ ඇති වූ මහා වෙනසයි.

දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරා වූ මහානාග යුවරජු අනුරාධපුරයේ සිට රෝහණ දේශයට අවුත් මාගම රාජ්‍යයේ අධිපතිකම ලබා ගැනීමෙන් පසු බුද්ධාගම වැලඳ ගෙන බෞද්ධෝපාසකයෙකු බවට පත්විය. මෙයින් පෙනී යන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදි ම බුදු දහම ලක්දිව පුරා පැතිර ගිය බවයි. බුද්ධාගම වැලඳ ගැනීම නිසා තමන් තුළ පහළ වූ හැඟීම මහානාග යුවරජතුමා උදානයක් පරිද්දෙන් කිරින්දේ ගලක කොටා තැබුවේ මෙපරිද්දෙනි:

‘‘අපරිමිත ලෝකෙහි බුධ
සමෙනති අධාන පරම දුලබෙ
සමඤුුත පතෙ අනුතර සතෙ
මහ සරන ලොක චක බුධ නම සයභු
මෙගලෙහි විහර නක
උවරජ තම බුධ සරණෙ ගතෙ
මිචිය දිටික බිදිය
යහ මගපරයන භූතෙ”
බුදු දහම පිළිබඳ ව ඇසූ පමණින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැරණියන් තුළ ඇති වූ අප‍්‍රමාණ ශ‍්‍රද්ධාව කොතෙක් ද යන්න මේ සෙල්පැදියෙන් වටහාගත හැකි ය. මිථ්‍යාදෘෂ්ටික අඳුරේ ගැලී සිටි මහානාග යුවරජතුමා අනුරාපුරයේ වැයෙන දහම් බෙරය අසා දකුණේ මාගම් පුරවරයේ සිට සම්මා දිට්ඨිය නමැති හිරු එළිය දුටුවේ මෙපරිද්දෙනි:

‘‘අපරිමිත වූ ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ හා සමාන වූ උතුමෙක් නැත. උන්වහන්සේ දැක ගැනීම පරම දුලබ ය. සර්වඥ වූත් අනුත්තර වූත් මහා සරණය වූත් බුදුරජාණන් වහන්සේ නියත වශයෙන් ම ස්වයම්භූ වන සේක. මේ ගල් විහාරයේ දී නාග යුවරජු බුදුන් සරණ ගියේ ය. මිථ්‍යාදෘෂ්ටිය බිඳ යහමඟට පැමිණියේ ය.”

මහානාග යුවරජතුමාගේ ඊළ`ග උදානය සහිත ශිලා ලේඛනය වූ කලි බුදු දහම හදාරා ඔහු ලබා තිබූ ධර්මඥනය හෙළි කරන්නකි. එය නම් තිස්සමහාරාමයේ අකුරුගොඩැල්ලේ ටැම් ලිපියයි. සඳගිරි වෙහෙරටත් තිස්ස වැවටත් අතර ඇති භූමි භාගයේ එම ටැම් ලිපිය පිහිටා තිබේ.

ගී විරිතෙන් ගලේ කොටා තිබූ එම ටැම් ලිපිය මෙසේ ය:
‘‘සිද්ධම්
යගෙධම සෙ බයෙ නාම
සගවඩමනෙ නාම මිච දිටික
ජන අමතයනෙ හතියෙ සග
ආසාති සොහ රජිකිය ගාමෙ
මිච දිටි බිනක අටි
මථිම බුධ සරණෙ ගතෙ
නාග උවරාජ නාම
කඩ උවරාජ කාලෙහි”
එම ගීය වත්මන් බස් වහර අනුව මෙසේ වෙයි. ‘‘යහපතක් වේවා! යම් තෘෂ්ණාවක් වේ ද භයට හේතුව එය ම වෙයි. ඇලීම වර්ධනය කිරීම මිථ්‍යාදෘෂ්ටියකි. ඇලීමෙන් හා තෘෂ්ණාවෙන් ජනයා වෙන්කළ නො හැකි ද? මෙසේ සිතා රාජකීය ග‍්‍රාමයෙහි මිථ්‍යාදෘෂ්ටිය බැහැරීම පිණිස නාග නම් යුවරජු වූත් නුවණැත්තෙකු වූත් මම මගේ් යුවරාජ කාලයෙහි බුදු රජාණන් වහන්සේ සරණ ගියෙමි.”

අනුරාධපුර රාජධානියෙහි රාජ්‍යය විචාළ දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම ලක්දිව පුරා පතුරුවා හැරීමට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කළ බව පෙනී යයි. ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල පිහිටා තිබූ ප‍්‍රාදේශය රාජ්‍යයන්හි පාලකයන් ද එයට සම්බන්ධ කරගෙන තිබේ. ශ‍්‍රි මහා බෝධි රෝපණ පුණ්‍යෝත්සවයට කාචරග‍්‍රාමයෙහි හා චන්දනග‍්‍රාමයෙහි ක්‍ෂතී‍්‍රය කුමාරවරුන්ට ඇරයුම් කර තිබීමෙන් එය සනාථ වෙයි. සෙසු ප‍්‍රාදේශීය පාලකයන් ද එම උතුම් පිංකමට සම්බන්ධ කරගන්නට ඇති. මෙසේ රාජ්‍ය පාලකයන් බුදුදහම පිළිගෙන ඊට කීකරුව කටයුතු කිරීම නිසා කෙටි කාලයක් තුළ දී ම බුදුදහම රට පුරා ව්‍යාප්තව ගොස් මහ සඟරුවන බිහිවන්නට විය. රාජකීයයන් ද ඇතුළු ව සාමාන්‍ය ජනතාව පැවිදි ජීවිතයට පිළිපන්හ. සියවසක් දෙකක් ගතවන විට රහතන් වහන්සේලා දහස් ගණනින් ලක්දිව ගම් නියම් ගම් පුරා සැරිසැරූ බවට ග‍්‍රන්ථාගත තොරතුරු සාක්‍ෂි දරයි. ව්‍යවහාර වර්ෂ පූර්ව පළමු වැනි සියවස වනවිට වැඩසිටි භික්‍ෂු සංඝයා ගැන කියැවෙන සාහිත්‍යමය මූලාශ‍්‍රයන්හි සඳහන් වන්නේ වී පැදුරක් වේලා ගැනීමට නො හැකි වන අන්දමටද රහතන්වහ්සේලා අහසින් වැඩම කළ බවයි. ඉහතින් සඳහන් කළ පරිදි මහානාග යුවරජු කෙටි කලෙකින් අවබෝධ කොටගත් ධර්මඥනය ගැන සිතන විට ඒ සා විශාල සංඛ්‍යාවක් රහතන් වහතන් වහන්සේලා එකල බිහිවීම අරුමයක් නො වේ.

මුල් කායේ දී සංඝයා වහන්සේලා සඳහා විහාරාරාම ඉදිවී නො තිබුණු හෙයින් උන්වහන්සේ වැඩ විසුවේ ලෙන් සහිත පරිවත ආශ‍්‍රය කොටගෙන ය. එහෙයින් ජලය ඇතුළට ගලා නො එන පරිදි කටාරම් කොටා වාසයට සුදුසු සේ ලෙන් සකසා මහ සඟනට පූජා කිරීම ඇරඹුණි. මෙම ලෙන් පූජා කරන ලද්දේ රජුන්, බිසෝවරුන්, කුමරියන්, සෙන්පතියන් විසිනි. මෙම ලෙන් පිදූ අයගේ නම, වගතුග ආදිය සහිත ව ලෙන් කටාරමට යටින් බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් කෙටූ වාසගම් කාව්‍යමය ස්වරූපයක් ගනී. මේ සෙල් පැදි උද්ගීති, යහගී, ඈ විරිතින් ලද නිර්මාණ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු කියති.

දේවානම්පියතිස්ස රජතුමාට පසු ව රජ පැමිණි එතුමාගේ සොහොයුරු උත්තිය රජුගේ දියණියන් දෙදෙනෙකු විසින් මහ රහතන් වහන්සේලා උදෙසා පූජා කරන ලද ලෙන් දෙකක් මිහින්තලා කන්දේ දක්නට ලැබේ. (උත්තයි රජතුමා භාරතයේ අශෝක අධිරාජයාට සමකාලීනයෙකි.)

ඉහතින් දක්වන පළමු වැනි ලිපිය මෙසේ ය:
‘‘ගමණී උති දෙවන පිය
මහ රඣහ ඣය
ශුමන දෙවිය ලෙණෙ
අගත අනගත චතුදිස ”
(දේවනපිය ගාමී උත්තිය මහ රජුගේ දූ වූ සුමනා දේවියගේ ලෙන ආ නොආ සිවුදිගින් වඩින මහා සංඝයාට පූජා කරන ලදි.)

උත්තිය රජුගේ අනික් දියණිය කරවූ මිහින්තලා කන්දේ පිහිටි ඊසාන ලෙනෙහි දැක්වෙන සඳහන කවියක් ලෙසින් කොටා ඇත්තේ මෙසේ ය.

”ගමණි උති මහරජහ ඣිත
අබි තිශය ලෙණෙ
දශ දිගශ සගයෙ දිනේ
මත පිතශ අටය”
(දේවානම්පිය ගාමිනී උත්තිය මහ රජුගේ දියණිය වූ තිස්සා කුමරියගේ ලෙන මව හා පියාගේ අධිෂ්ඨානය පරිදි දසදිගින් වඩින මහා සංඝයා උදෙසා පූජා කරන ලදි.)

බුදු දහම කෙරෙහි හටගත් අචල ශ‍්‍රද්ධාවෙන් හා පැහැදීමෙන් ඇලළී ගිය රජවරුන් බිසෝවරුන් හා ඔවුන්ගේ දරුවන් එක්සිත් ව එහි ව්‍යාප්තිය උදෙසා කටයුතු කළා පමණක් නො ව තම අධ්‍යාත්ම ප‍්‍රීතිය ගලෙහි කොටා තැබූ අයුරු ද මෙම සෙල් පැදිවලින් පෙනී යයි.

රුහුණේ මාගම රජ කළ මහනාග යුවරජු විසින් කොටන ලද ඉහතින් සඳහන් කළ සෙල් පැදි දෙක ඇතුළත් කිරින්දේ පර්වතයට දකුණු පැත්තේ පිහිටි ලෙනක පi ස්වරූප ගත් වාසගම් දෙකක් දක්නට ඇත. බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් කොටා ඇති ඒ සෙල් පදි දෙක ව්‍යවහාර වර්ෂ පූර්ව යුගයට අයත් වෙයි. එම පi දෙපාදයෙහි සඳහන් වන පුවත පැරණි විහාරාරාම ගොඩනැගිලි කර්මාන්තන් හා සම්බන්ධ වෙයි.

එම පද්‍ය පද දෙක මෙසේ ය:
‘‘මචුලි රඣස මිණි කරශෙ
ශිල ඉටුක කටය අගතශෙ මඩුගතශෙ”
ගඩොල් කපනු පිණිස මේ ස්ථානයට පැමිණි මහා චූලිත රජුගේ ගල්කරුවෝ මෙහි දී මරු වසඟයට පත්වූහ. යන්න එම කවියේ දැක්වෙන සඳහන යි.

එදවස මහා ස්ථුප ඇතුළු විහාර කර්මාන්තයන් ගොඩනැගීම සඳහා විශාල සංඛ්‍යාවක් ගඩොල් අවශ්‍ය වූ හෙයින් ගඩොල් කපන්නන් භාණ්ඩ වශයෙන් ඒ ඒ දිශාවන්ට යවන්නට ඇත. ඉහත කවියෙන් කියැවෙන පරිදි මහා චූලිත රජු යැවූ ගඩොල් කපන්නන් පිරිස කිසියම් අනතුරක් සිදුවී මරණයට පත්ව ඇත. එකී සෙල්පැදිය ඔවුන් උදෙසා ගලේ කොටා තැබූ ශෝකාලාපයක් වැන්න.

මොණරාගල දිස්ති‍්‍රක්කයට මායිම් වන හුලංනුගේ හන්දියෙන් කිලෝමීටර් දෙකක් පමණ යාල අභයභූමිය දෙසට යන විට හමුවන කරඳහෙළ පාමුල ඇති ගල්ලෙනක කටාරමට පහළින් ඇති සෙල්ලිපිය පද්‍යයක් ලෙසට පරණවිතාරන මහතා නිගමනය කොට ඇත.

යහගී විරිතෙන් පියැවී ඇති එම පද්‍ය මෙසේ ය:
‘‘හබුත ගල විහරෙහි
කකවණතිස මහරජහ
උවසික මත තමහ වවි
සග දිනෙම (හ) ව…”
එම පද්‍යය වත්මන් බසින් මෙසේ වෙයි.

කාවන්තිස්ස මහ රජුගේ හබුතගල විහාරයෙහි වැඩවසන සංඝයාට මාතා උපාසිකාව තමාගේ වැව පූජා කොට දුන්නා ය.

අනුරාධපුරයේ පාලනය කරන රජු මුළු රටේ ම පාලකයා ලෙස සැලකුණ ද මේ අවධිය වනවිට රුහුණේ පාලකයන් ස්වාධිනව පාලනය ගෙනගිය බව කකවනතිස මහරජ යන යෙදුමෙන් පැහැදිලි වෙයි.

හබුතගල විහාරයේ ම වෙසෙන මහා සංඝයාට තවත් වැවක් පිදූ බවට කවක් කරඳහෙළ වෙනත් කටාරමයක් යටින් දැක්වේ.
‘‘හබුතගල විහරහි
උවසික පුස තුමහ
හමණවිර වවි
සගස දිනේ”
‘‘පුස නමැති උපාසිකාව තමන් සතු හමණවීර නම් වැව හබුතගල විහාරයෙහි සංඝයා වහන්සේලා සඳහා පිදුවා ය.”

තෙරුවන කෙරෙහි ළෙහි හටගත් පැහැදීමෙන් යුතුව වැව් ආදි තමන් සතු දේපළ පමණක් නො ව ශ‍්‍රමය ද වැය කොට වෙහෙර විහාර තනා මහා සංඝයා වෙත පොදුවේ පූජා කිරීම පිළිබඳ ව සෙල් හිස් හි ලියැවුණ මේ කවි අපේ පද්‍ය සාහිත්‍යයෙහි අල්පත් බඳු විය. මරඳන්කඩවල ප‍්‍රදේශයේ කොස්සගම කන්දෙන් හමුවූ පහත දැක්වෙන සෙල්ලිපිය අපූරු කාව්‍ය ප‍්‍රබන්ධයකි.

‘‘මහ රජහ ගමණි
අභයහ දෙවනපියතිශ
රම’ බරිත මිලකතිශ
විහාරෙ කාරිතෙ කතිය”
දෙවියන්ට පි‍්‍රය වූ ගාමිණි අභය මහ රජුගේ භාර්යාව වූ කතී විසින් මිලක්ඛතිස්ස විහාරය කරවන ලදි. යන්න එහි වත්මන් වහරයි.

මෙම කවිය සඳහන් රජු දුටුගැමුණු රජතුමා බවට පරණවිතාන මහතා හඳුනා ගෙන ඇත. දුටුගැමුණු රජුගේ අගබිසව කව්රුන්දැයි දැනගන්නට හැකිවීම මෙම කොස්ගම කන්ද සෙල්ලිපියේ ඇති වටිනාකමයි. බිසවගේ සම්පූර්ණ නාමය රමණී කතිය යන්න සැලකුවහොත් රන්මැණිකා යන ගැමි ව්‍යවහාරයේ ඡුායාව එහි දැක හැකි බව පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

පැරණි රුහුණු මාගම රාජධානියට අයත් වැලඑලලූ ගොඩකන්දේ දක්නට ලැබෙන කාව්‍යමය වූ වගන්ති රැුගත් ලෙන් ලිපිි දෙක, බුදු සසුන කෙරෙහි පැහැදුණ උපාසිකාවක් පසු ව භික්‍ෂුණියක් බවට පත්වූ පුවත ගෙනහැර දක්වන දුර්ලභ අවස්ථාවකි. ලෙන් (කවි) දෙකේ සඳහන් නාගා උවැසිය – නාගා මෙහෙණිය වූ කලි දුටුගැමුණු මහරජුගේ ඵුස්සදේව සෙනවියාගේ (යෝධයාගේ) දියණියයි.

නාගා උපාසිකාවගේ ලිපිය මෙසේ ය:
‘‘ දිනේ
ශෙනපතිපරුමක පුශදෙනහ ජිතය
උපශික නගය ලෙණ
තිශ මහරජහ ශෙනපිතිය
අගිදතහ බරියය”
වත්මන් බස් වහරට අනුව ලිපිය මෙසේ වෙයි.

සේනාපති ප‍්‍රමුඛයා වූ ඵුස්සදේවගේ දියණිය වූ ද තිස්ස මහරජුගේ සේනාපති වූ අග්නිදත්තගේ භාර්යාව වු ද නාගා උපාසිකාවගේ ලෙන සංඝයාට පූජා කරන ලදි.
පැවිදි බවට පත්වූ නාගා මෙහෙණියගේ දෙවැනි ලෙන් පූජාව මෙසේ සනිටුහන් කෙරිණි:

‘‘ශෙනපති පරුමක ප‍්‍රශදෙවහජිත
නග ශමණිය මහ ලෙණ ”
(සේනාපති පරුමක පුස්සදේවගේ දූ වූ නාගා මෙහෙණියගේ මහ ලෙන සංඝයාට පූජා කරන ලදි.)

ගිහි ව සිටිය දී ලෙනක් සකස් කොට පුදා පසු කලෙක ගිහිගෙය අතහැර භික්‍ෂුණියක බවට පත්ව සිටිය දී මහ ලෙනක් අරමක් බවට පත් කර සඟ සතු කොට පූජා කිරීම කවර නම් ආශ්චර්යයක් ද? බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා පැරණියන් කළ කැපකිරීම කෙතෙක්දැයි උදන් වැකි බ`දු මෙවැනි සිය ගණන් ලෙන් කවි සටහන්වලින් සනාථ වෙයි.
භික්‍ෂුන් වහන්සේලා ද කුටි හා ලෙන් සකසා සිවුදිගින් වැඩි සංඝයාට පූජා කළ බව කාව්‍යමය බසින් සටහන් තැබූ පහත දැක්වෙන නිදසුන්වලින් පෙනේ.
දමරකිත තෙරහ කුටි – චතුදිශ ශගශ නියතෙ
(මුල්ලිකුලම්මලෙයි ලිපිය)

සිද්ධම්
වෙස තෙරහ ලෙණෙ සඝ නියතෙ
(වෙස්ස තෙරුන්ගේ ලෙන සංඝයා වෙත පැවරිණි)
සිද්ධම් මහ විහර වසික දිතිම අපය තෙරහ ලෙණෙ
අගත අනගත චතුදිස සහස නියතෙ
(යහපතක් වේවා! මහ විහාර වාසී දිතිම අබය තෙරුන්ගේ ලෙන ආ නො ආ සිව් දිගින් වැඩි සංඝයා උදෙසා ය)
(කඳුරුවැව ලෙන් ලිපි.)

‘‘උති තෙරහ ලෙණ
සමනති කනටය නියතෙ
සගහඨය වසවසික
සහඨකෙ අතිරෙක
භිකු සඟ පරිගුජිත
දකබරි ගමක වජිය උවසක
දතහපති ඉම ලෙණෙහි උවනිකිතෙ”
උත්තිය තෙරුන්ගේ ලෙන සියලූ ඥතීන්ට පින් පිණිස පමුණුවන ලදී. සංඝයාට වස්සාවාසික සාටක ද අතිරේකය භික්‍ෂු සංඝයාගේ පරිභෝජනය සඳහා ද වේවා. ගමේ වැවේ උපාසක තැන මේ ලෙනෙහි දායක භාරකරු වේ.
(කොතලකිඹියාව සෙල්ලිපිය)

තෙරුන් සහ තෙරණියන් ද රාජ්‍ය පවුල්වල උදවිය හා සෙන්පතියන් ද රාජ්‍ය නිලදරුවන් හා ගම්පතීන් ද උවසු උවැසියන් ඇතුළු එ දවස සිටි සැදැහැති ජනකාය ද ව්‍යවහාර වර්ෂ කි‍්‍රස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට ව්‍යවහාර වර්ෂ තුන් වැනි සියවස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එක් දහස් දෙසිය තිස් පහක් ලෙන් සකසා මහා සංඝයා වහන්සේට පූජා කොට එහි කටාරම් යටින් කාව්‍යමය වූ වැකි සටහන් කර තැබූ බවට ලංකා ශිලා ලේඛන සංග‍්‍රහය සාක්‍ෂි දරයි.

තෙරුවන් ගුණ සිහිකරමින් මෙසේ සියවස් හයකට වැඩි කාලයක් ගලේ කෙටූ ගීයෙන් සිංහල කවියේ බස, ආකෘතිය, සන්දර්භය, පමණක් නො ව මානව භාවාවේගයන් පළ කිරීමේ සංවේදී භාවය ද අත්පත් කරගත් බව ඉතා පැහැදිලි ය. මෙම ගී කවිවල ආභාසය වෙනත් ක්‍ෂේත‍්‍රයන් කරා ද විහිද ගොස් එදිනෙදා ජීවන වෘත්තීන් හා සම්බන්ධ වෙමින් තාලයකට ගායනා කිරීම ඇරඹිණ. සුත්ත නිපාතයට ලියන ලද පරමත්ථජෝතිකා අටුවාවේ සුභාසිත සූත‍්‍ර වර්ණනාවේ සඳහන් වන පහත දැක්වෙන පාඨය ඊට නිදසුනක් කොට දැක්විය හැකි ය.

‘‘සීහළ දීපෙ මග්ග පස්සේ සස්සං රජඛන්තියා සීහළ වෙටිකය සීහළ කෙනෙව ජාතිජරාමරණ පටිසංයුත්තං ගීතං ගායන්තියා සුත්වා මග්ගං ගච්ඡන්තා සට්ඨිමත්තා විපස්සක භික්‍ඛුවෙත්ථ අරහන්තං පත්තා”

සීහළ දීපයේ ගොයම් රක්නා (පැල් රකින) ඇල් ගෙවිලියන් හෙළ බසින් ජාති ජරා මරණ පිළිබඳ ව පබදා ගැයූ ගීත (කවි) අසා සඟ සැටනමක් රහත් භාවයට පත්වූහ. යනු එහි භාවය යි. ගෙවලියන් වී කොටමින් තාලයට ගැයූ කවි ගැන ද එම අටුවාවේ සඳහන් ය.

පුස්කොළ පත් ඉරු මත ග‍්‍රන්ථ රචනය ආරම්භ වීමෙන් පසු ව රජවරුන් ද පොතපත රචනා කරමින් කිවීන්ට අනුබල දුන් බව සිතිය හැකි ය. දුටුගැමුණු රජතුමාගේ මරණ මඤ්චකයේ දී කියවන ලදැයි පැවසෙන පින්පොත එතුමාගේ ම රචනයක් විය හැකි ය. එය කාව්‍යමය ස්වරූපයෙන් තියෙන්නට ඇත. කිත්සිරිමෙවන් රජතුමාගේ රාජ්‍ය සමයේ දී වැඩමවූ දන්ත ධාතූන් වහන්සේට උපහාර පූජාවක් වශයෙන් ලියන ලදැයි සැලකෙන එළුදළ\ කාව්‍යය එතුමාගේ ම නිර්මාණයක් යැයි සැලකේ. කවියට මහත් ඇල්මක් දැක්වූ කවියෙකු වූ දෙවැනි මුගලන් රජතුමා (කි.ව. 535 – 555) බුදුදහම කවියට න`ගා ග‍්‍රන්ථාරූඪ කොට ඇතුපිට හිඳුවා නගරය පැදකුණු කළ බව ද එකී කාව්‍යයන් කවීන් ලවා ගායනා කර වූ බව ද මහා වංශයේ සඳහන් ව තිබේ. ස වැනි අග්බෝ රජතුමාගේ රාජ සභවේ සිටි දොළොස් මහා කවීන් බුදු ගුණ වනා ලියූ කාව්‍ය හා අසක්දු කව ලියැවුණේ එම කවීන්ගෙන් දෙදෙනෙකුන් අතිනි. අනුරාධපුර යුගයේ අග භාගයේ රාජ්‍ය විචාළ පස් වැනි කාශ්‍යප රජතුමා සියබස්නෙන් බුදු ගුණ වැනූ කවියෙකු බව එතුමා විසින් පිහිටුවන ලද අභයගිරි ශිලාලේඛනයේ දැක්වේ.

මෙසේ බුදු ගුණ වැනුමෙන් ලෙන් වෙහෙර විහාර පිදුමෙන් ඇරඹුණු සිංහල කවිය පසු කාලයේ බුදු සිරිතෙන් ම විභූෂණය වන්නට පටන් ගැනුණේ 1 වැනි සේන රජතුමාගේ කාව්‍යා දර්ශයේ දැක්වෙන ‘පෙදෙන් බුදු සිරිත බසින් වත් සිරිත් ඈ’ යන නියමයෙන් පසු ව බව කිය හැකි ය.

මහාමේඝ 2011 වප් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති