මුළු පරිසරය ම ගැඹුරු නිහැඬියාවක ගිලී ඇත. අරුණලූ නැගීමට තව හෝරාවක් දෙකක් පමණ තිබෙනවා විය හැකි ය. දීර්ඝ ගමනකින් පසු ඊයේ රාත‍්‍රී මෙහි නවාතැන් ගන්නා විට මධ්‍යම රාත‍්‍රියට ආසන්න විය. පැය දෙක තුනක කෙටි නින්දකින් පසු වුව ද ආයාසයකින් තොරව ප‍්‍රබෝධවත්ව අලූයම අවදි වූ මට කිසිදු විඩාවක් නො දැනේ. තෙරක් නො පෙනෙන සංසාර චාරිකාවේ ඉමක් නො දකින ගමනක යෙදුණ සත හට සසර සයුරින් එතෙර වීමට මග කියන්නා වූ සියලූ බුදුවරුන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වන ශුද්ධ වූ බුද්ධගයා භූමියේ සිට අලූයම නෙතු පියන් හරින්නට ලැබීම තරම් වාසනාවක් තවත් ඇද්ද? මම අද එ් වාසනාව ලැබීමට තරම් භාග්‍යවන්ත වීමි.
තව නොබෝ වේලාවකට පසුව උතුම් ජය ශ‍්‍රී බෝධීන් වහන්සේ, එ් අසිරිමත් වජිරාසනය පමණක් නොව භාග්‍යවතුන් වහන්සේ පවා දෑසින් දැක බලා නළලත බිම තබා වන්දනා කරන්නට ලැබෙන බව සිතට දැනෙන විට දැනෙන නිරාමිස සුවය අත් විඳීමෙන් ම මිස අන් අයුරකින් දැනගත නො හැකි ය. එ් පහන් හැඟුමින් උණුසුම් වූ සිතින් යුතුව හිමිදිරියේ ම ස්නානය කොට අෂ්ටාංග සීලය සමාදන් වූ මට පරිසරය වෙලාගෙන පැතිරී තිබුණ සීතල යන්තම්වත් දැනුණේ නැත.
නැගෙනහිර අහසේ රන් පාටින් අරුණෝදය සටහන් වෙද්දී භාග්‍යවතුන් වහන්සේ සැබෑ අරුණෝදය ගැන දෙසූ උපමාව සිහිකරමින් මම අපේ කණ්ඩායමේ අනූ හය දෙනා සමග එකතු වීමි.
සුදෝ සුදු ඇඳුමින් සැරසී නෙළුම් පොකුරු දෝත දරාගෙන දහස්පෙතියා මල් මාලා ද රැගෙන බුදුගුණ කියමින් අප පේළි සැදී මේ පියවර ඔසවන්නේ බුද්ධගයා මහා විහාරය වන්දනා කර ගැනීමට යි. මේ දඹදිවට සීත කාලය යි. අලූයම හමා එන සුළඟ තද සීතලකින් යුක්ත ය. පාවහන් රහිත දෙපා බිම ගැටෙන විට අයිස් මත ඇවිදිනවාක් වැන්න. එ්ත් භාග්‍යවතුන් වහන්සේගේ දහසක් සක් ලකුණින් හෙබි රත් පා පියුම් යුග මේ සීතල කොතරම් විඳ දරා ගන්නට ඇද්ද? තුන් සිවුරෙන් පමණක් ගත දවටාගෙන තුන්යම් රාත‍්‍රිය මුළුල්ලේ එළිමහනේ වැඩ හිඳිද්දී මීට වඩා කෙතරම් නම් සීතලක් ඉවසා වදාරන්නට ඇද්ද? එසේ සිහිපත් වන විට පහන් හැඟුමින් උණුසුම් වන සිත අවට පරිසරය පවා උණුසුම් කරන්නට සමත් යැයි මට සිතේ.
කෙමෙන් කෙමෙන් අපි එ් ශුද්ධ භූමිය වෙත ළං වීමු. ඈතින් බුද්ධගයා විහාරයේ කොත් කැරැුල්ල පෙනෙද්දී අපි සාධුකාර දුනිමු.
අහෝ… සියලූ සම්බුදුරජාණන් වහන්සේලා දස බිම්බරක් මාර සේනා පරදවා තුන් ලොව ම කම්පිත කරවමින් එ් සම්බුද්ධ රාජ්‍යයේ කිරුළ පලඳින්නා වූ එ් අසිරිමත් බිමට පැමිණෙන්නට අපත් වාසනාවන්ත වූවා නො වේ ද?
බුද්ධගයා විහාරය පිහිටා ඇත්තේ සාමාන්‍ය පොළව මට්ටමට වඩා තරමක් පහතිනි. එ් වටා බැඳි ප‍්‍රාකාර සියල්ල ම නෙළුම් පෙතිවල පැහැයෙන් පින්තාරු කර ඇත. විහාරයට පිවිසීමට පෙර එ් වටා ටික දුරක් පැමිණ පහළට බැසිය යුතු ය.
විහාරය දෙස නෙත් යොමාගෙන පහළට බැසීමට පළමු පියවර තබද්දී ම මට අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් සිංහලට පරිවර්තනය කළ සුත්ත නිපාතය පොත් වහන්සේ තුළ ඇති පධාන සූත‍්‍රය සිහි විය.
මගේ සිරුර පිසදාගෙන – හමමින් යන මේ සුළඟට
වියළවන්ට පුළුවනි අර – ගලා බසින සැඩ පහර ද
ඉතින් මාත් දිවි පුදමින් – මෙතරම් වෙර වඩනා විට
කිම මාගේ ලේ දහර ද – එසේ නො යාවි ද වියළී
ලේ දහරත් වියළෙන විට – පිතත් සමග සෙම වියළේ
ඇඟ මස් සිඳිලා යන විට – පහන් වේ ය සිත බෝ සේ
එවිට වැඩෙයි සිහි නුවණ ද – පිහිටයි මගෙ සමාධිය ද
වසන විටදි මේ අයුරින් – පරම වේදනාව දැනේ
එවිට තව තවත් මේ සිත – නො පතන්නේ ම ය කාමය
බලා ගනුව මේ ලෙස පවතින – කෙනෙකුගෙ පිරිසිදු බව
එදා එසේ මේ බිමේ දී වසවත් මරු පරදවාලූ එ් අසහාය පුරිෂෝත්තමයන් වහන්සේ සිය දකුණු ශ‍්‍රී හස්තය මහ පොළව මත තබද්දී මහ පොළව ගුගුරා ගියේ ය. වසවත් මරු ගිරිමේඛලා ඇතු පිටින් ඇද වැටී පැරද පලා ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ මුවගට නැගුන මන්දස්මිතය එලෙසින් ම රඳවාගෙන, එ් අභිනීල නෙත් සඟලින් මා දෙස බලාගෙන මේ වැඩ සිටින්නේ සසර පුරා දුරු කතර ගෙවාගෙන එ් අප සොයා ආ එ් මුනිරජාණන් වහන්සේ නො වේ ද?
බුද්ධගයා විහාරයේ පටු ද්වාරය තුළින් ඇතුළුවද්දී මා දුටු දසුනින් වශීකෘත වීමි. සියලඟ ම අමුතු සහන් හැඟුමකින් වෙලී ගියේ ය. දෙනෙත් කෙවෙනි තුළින් කදුළු කැට රූරා වැටෙද්දී උන්වහන්සේ දෙස මම ඇති තරම් වේලා බලා සිටියෙමි. මේ වැඩ සිටින්නේ පිළිම වහන්සේනමක් නො වේ ද කියා සිහි එළවා ගන්නට පවා බොහෝ වේලාවක් ගත විය. එතරම් ම එ් පිළිම වහන්සේ සජීව ය. හදවත පුරා පැතිරුන ශ‍්‍රද්ධාව ඊට නො දෙවෙනි ය. මොහොතකට හෝ ජීවමාන බුදු සමිඳාණන් දුටුවාක් වැනි හැඟුමක් අදත් මට දැනේ. එතරම් සජීව වූ පිළිම වහන්සේනමක් මා ලොවේ කොතැනකවත් දැක නැත. පිළිම වහන්සේ මෙතරම් සොඳුරු නම්…. දෙතිස් මහා පුරිස ලකුණින් ශෝභමාන වූ භාග්‍යවතුන් වහන්සේ…? උන්වහන්සේ වදාළ දහමෙහි සොඳුරු බව අත් විඳ ඇති අයට වටහා ගත හැකි ය…
අප ලංකාවේ සිට පැමිණෙද්දී ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ම පිළියෙල කළා වූ එ් රන් පැහැති සිවුර භාග්‍යවතුන් වහන්සේට පූජා කළෙමු. එ් සිවුර භාග්‍යවතුන් වහන්සේට පැලඳවීමට බුද්ධගයා විහාරවාසී ස්වාමීන් වහන්සේ අපට උදව් විය.
විවිධ රටවලින් පැමිණ විවිධ භාෂානුරූපව, එහෙත් පාලියෙන් එක ම ගාථා කියා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන හඬ නිරන්තරයෙන් මේ විහාර ගෙය තුළ රැව් පිළිරැව් දේ. කිසිදු ආගමකට අයිති නැති, කිසිදු
භාෂාවකට අයිති නැති, සියලූ ලෝක සත්වයාට ම එක සේ බලපාන සනාතන දහම පෙන්වා දුන්නා වූ, සියලූ දෙව් මිනිසුන්ට සනාතන සැනසුම ලබාදෙන සනාතන විසඳුම පෙන්වා දුන්නා වූ මේ අප ඉදිරියේ වැඩ සිටින්නේ අප හැමගේ ම විමුක්තිදායකයාණෝ ය.
අප රැුගෙන ආ කිරිපිඬු ද නෙළුම් මල් හා දහස්පෙතියා මල් මාල ද ඉතාමත් සැදැහැ සිතින් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ අපි අකමැත්තෙන් වුව ද (අන් අයටත් කුඩා විහාර ගෙය තුළට පිවිසීමට අවස්ථාව දිය යුතු හෙයින්) විහාර මන්දිරයෙන් පිටතට පැමිණියෙමු.
බුද්ධගයා විහාරයට පසු පසින් අතු පතර විහිදා සිලි සිලි හඬින් බෝ පත් චාමරයෙන් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් මේ වැඩ සිටින්නේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ය. අප රැුගෙන ආ මල් පහන් සුවඳ දුම් මෙන් ම කිරිපිඬු ද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළ අපි සියලූ දෙනාම එ් සිහිලැල් බෝ සෙවණ යට අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වී ධර්ම දේශනා අසමින්, භාවනා කරමින්, බුදු ගුණ සජ්ඣායනා කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, හිරු අවරට යන තෙක් ම ප‍්‍රතිපත්ති පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේ පිදීමු.
එ් අතරේ දිවා කාලය තුළ දී බුද්ධගයා විහාරයේ ස්වාමීන් වහන්සේනමක් පැමිණ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අනතුරුව සත් සතිය ගත කළ ස්ථාන අපට පෙන්වා දී වන්දනා කර ගන්නට අවස්ථාව සලසා දුන්හ. අපි එ් ස්වාමීන් වහන්සේ පෙරටු කොටගෙන බුදු සුවඳ පැතිරුන එ් සොඳුරු බිම සිසාරා ඇවිද ගියෙමු.
‘‘මේ තමයි එදා සිදුහත් තවුසා කුස තණ මිටි අට බිම අතුරා වජ‍්‍රමය අධිෂ්ඨානයෙන් යුතුව වාඩි වී සව් කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වුණ වජ‍්‍රාසනය. සම්බුද්ධත්වයට පත් වෙලා පළමුවෙනි සතිය සමාධි සුවයෙන් වැඩ සිටියේ මේ බෝධි මූලයේ ම යි.”
‘‘දෙවෙනි සතිය ගත කළේ අර ඈතින් පෙනෙන පුංචි විහාරය තිබෙන තැනයි. ඔතන ඉස්සර ශෛලමය බුද්ධ ප‍්‍රතිමාවක් තිබිල තියෙනවා බෝධීන් වහන්සේ දෙසට නෙත් යොමු කොට වැඩ සිටිය. එ්ත් පසුකාලයේ විනාශ වී තිබෙන බවයි සඳහන් වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් මේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ පිදුවේ මෙතන සිටයි.”
‘‘තුන්වෙනි සතිය බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවෙන් ගත කළේ මේ ස්ථානයෙදියි. උන්වහන්සේ තබන තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපුනා කියන එක සංකේතවත් කරන්නට ධර්මාශෝක රජතුමා විසින් නෙළුම් මල් පේළියක් සාදවා තියෙන බවයි සඳහන්. එ් වාගෙ ම උන්වහන්සේගෙ සිරිපතුල් තැබූ බිම අන් අයට පෑගෙනවට තමයි මේ ආවරණය සාදවල තියෙන්නෙ.”
‘‘හතරවෙනි සතිය මේ ස්ථානයේ තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ගැඹුරු දහම් කොටස් මෙනෙහි කරමින් වැඩසිටිද්දී උන්වහන්සේගේ සිරුරෙන් සවණක් ඝන රැස් විහිදුණා. දෙවියන් විසින් මවල දුන්න ස්වර්ණ වර්ණ ප‍්‍රාසාදයට තමයි ‘රුවන් ගෙය’ කියල ව්‍යවහාර කරන්නේ. මේ සියුම් ගල් කැටයම් ධර්මාශෝක රාජ්‍ය කාලයට අයත්.”
‘‘පස්වෙනි සතිය ගත කළ ස්ථානය (අජපාල නුග රුක පැවති) සිහිපත් කරන්නටයි මේ චෛත්‍ය දෙකක් නිර්මාණය කරල තියෙන්නෙ. සත්‍ය ස්ථානය නේරංජරා ගෙඟන් එහා පැත්තේ කියලයි සැලකෙන්නේ. මේ එක් සෑයක කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ඇති බවත් සඳහන් වෙනවා. මේ සතිය ගත කරද්දී තමයි පැරද පලා ගිය මාරයාගේ දූවරු වන තණ්හා-රතී-රඟා පැමිණියා කියලත් සැලකෙන්නේ.”
‘‘හයවෙනි සතිය මුචලින්ද කියන නාග රාජයා බුදුරජාණන් වහන්සේට වර්ෂාවෙන් ආරක්ෂාව සැලසුවා. මුචලින්ද විල පිහිටල තියෙන්නෙ මීට කිලෝ මීටර් දෙකක් විතර ඈත සේනානි කියන ගමේ. එ් ස්ථානය සිහිවෙන්න තමයි මේ විල මෙතන ඉදිකරල තියෙන්නේ.”
‘‘හත්වෙනි සතිය ගත කළ රාජායතන නම් ස්ථානයේ දී සතරවරම් දෙවිවරු පාත‍්‍රා හතරක් පූජා කළා කියලත් සඳහන්. මේ ස්ථානයේදි තමයි මහා බ‍්‍රහ්මයා පැමිණ ලෝක සත්වයාට අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළේ.”
එ් ආරාධනාව ඉවසා වදාළ බුදුරජාණන් වහන්සේ, ‘‘අපාරුතා තේසං අමතස්ස ද්වාරා යේ සෝතවන්තෝ සද්ධා පමුච්චංතු”
‘‘එ් අමා නිවනට දොරටුව විවර කළා. සවන් යොමාගෙන ශ‍්‍රද්ධාවට ඉඩ දෙත්වා..!” යි වදාළ සේක. එසේ, එදා ධර්මරාජයන් වහන්සේ විවර කළ අමා නිවන් දොර සැදැහැ ඇති අයට තවමත් විවරව ඇත. එ් තුළින් ඇතුළුව එ් අමා රස විඳ ගැනීමට ඔබ සැමට ම වාසනාව උදා වේවා…!
පසු සටහන –
බුද්ධගයා විහාරයෙන් එළියට එන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන සුලභ දසුනක් නම් අන්‍ය තීර්ථකයන් විමුක්තියක් පතාගෙන විටෙක බිම දිග ඇදෙමින්, නැවත සිටගනිමින් අසීරු ව්‍යායාමයන් මහත් ඕනෑකමින් කරන අයුරු ය. සමහරු විහාරය වටා බඩගාගෙන යති. සමහරු පබළු ඇට රැගෙන පාත‍්‍රයකට පුරවමින් අපට නො තේරෙන කුමක්දෝ කරති. මේ අය මෙබඳු පුණ්‍ය භූමියක පහස නිරතුරුව ලැබුව ද ශාස්තෘන් වහන්සේ වදාළ දහම පැහැදිලි කර ගැනීමට වාසනාව නො ලැබුණ නිසා මේ ගන්නා මහා වීර්යය ගඟට කැපූ ඉනි මෙන් වනවා නොඅනුමාන ය.
අපට මෙතරම් පින් රැුස් කර ගන්නටත්, සිත පහදවා ගන්නටත් අවස්ථාව උදා වූයේ අපගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ අපට සරලව වැටහෙන අයුරින් එ් සම්බුදු අමා දම් පද කියා දුන් නිසා නො වේ ද?
උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.!
මෝගල් රාජ්‍ය කාලයේ මේ සියලූ ම විහාරස්ථාන විනාශ වී ගොස් මහන්තා නම් හින්දු භක්තිකයා විසින් මෙහි පැවති වටිනා පූජනීය වස්තු විනාශ කරද්දී අපගේ වාසනාවට මෙහි පැමිණ, අනන්ත දුක් ගැහැට විඳිමින් සියලූ ලෝකවාසීන්ට සියලූ ම සිද්ධස්ථාන මෙසේ දෑසින් දැක බලා වන්දනා කර ගන්නට මේ පින් බිම රැක දුන් අනගාරික ධර්මාපාල ශ‍්‍රීමතාණන්ට මාගේ නමස්කාරය වේවා.!
සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ
Recent Comments