‘අනන්ත’ නම් වූ පාසල් මිතුරා ධර්මයේ සරණ සොයමින් භාවනා අසපුවකට ගිය වග දැනගෙන ඔහු සොයා ගිය ‘බිනර’ පෙර නො ඇසූ විරූ දහම් රසයෙන් ප‍්‍රමුදිත වූයේ ය. ස්වකීය ජීවිතයට උතුම් ශ්‍රී සද්ධර්මය ම ආලෝකය කර ගනිමින් නිවී සැනසීම ලබන්නට බිනර ගිය ගමන ගැන ඔබට කියන ‘කසාවත’, සයවන දිග හැරුමයි මේ….
—————————————————————————-

පිණ්ඩපාතය නම් වූ බුද්ධ වංශයේ උතුම් සිරිත පිළිබඳ අප ඇසූ උතුම් විස්තරයේ මතකයන් සමඟින් සති ගණනාවක් ගෙවී ගියේ ය. කාර්යබහුල ජීවිතයත් සමඟ අඛණ්ඩ ධර්ම ශ‍්‍රවණය පවා සිදු කළ නො හැකි වීම නම් වූ සම්බාධකය දුක පිණිස පවතින බව දැන් දැන් මා හට වැටහේ.

ඇතැම් දිනවල, නගරයේ දී දකින විෂභාග දසුන්වලින් නෙත් පිරී ගොස් තිබූ නිසා දෙනෙත් පියාගත් විට ද එ්වා මැවි මැවී පෙනෙන්නට විය. එ් සැම දසුනක් ම මාගේ නූපන් රාගය උපද්දවන්නට වීම මහත් පීඩාවක් ගෙන දෙන්නට විය. කුමන අයුරකින් සිටියත්, කුමක් ඇඳගෙන සිටියත් ස්ත‍්‍රී රූපය කෙරෙහි සිත ඇදී යාම එකතකින් පුදුමාකාර ය.

විටෙක කෙස් වවාගෙන සිටි පුරුෂයෙක් මා දුටුවේ ස්ත‍්‍රියක් ලෙසින් ය. බසයේ ගමන් කරද්දී ඔහු මාගේ සිරුරේ ස්පර්ශ වීම නිසා මා හට රාගය ඉපදිණ. උපන් රාගය නිසා මා ඔහු දෙස බලන විට එ් පුරුෂයෙක් යැයි හඳුනාගැනීමෙන් මම බලවත් ලැජ්ජාවට පත්වුණෙමි. මසිතේ රාගය ඉපදුණු බව දන්නේ මා පමණි. සැබැවින් ම මා ලැජ්ජා වූයේ මා හට ම ය. රාගය යනු දකින දෙය වැරදියට හඳුනාගැනීම නිසා හට ගන්නා දෙයක් බව මේ අත්දැකීම නිසා තේරුම් ගිය ද එය විස්තර වශයෙන් වටහාගැනීමට හැකියාවක් මා හට නො වී ය.

ඇතැම් අවස්ථාවල දී, රාගය සිහිනයෙන් ද මා ලූහුබැඳ පැමිණියේ ය. එ් කිසිවක් පාලනය කරගත නො හැකි ව සිහින ලොවේ දී ද මම පරාජයට පත්වුණෙමි. මේ සිත මාහට මෙතරම් අකීකරු දැයි තේරුම් ගියේ සිත කුසලයකට කීකරු කර ගැනීමට උත්සාහයක් දැරූ විට යි. සිත සියලූ අකුසල්වලට කීකරු වුවත් කිසිදු කුසලයකට කීකරු නො වන්නේත්, කුසල් හමුවේ මුරණ්ඩු වන්නේත් කුමක් නිසාදැයි සිතන විට මා හට ඇති වූයේ බලවත් දුකකි. සිත මේ තරම් ම සසරේ අයාලේ ගියේ මක් නිසා ද… අහෝ…! බුදු සසුනක පිහිට නො ලබා ම මා සසරේ ඉපිද මැරෙමින් පැමිණ ඇති සෙයකි. එ් සති කිහිපය ගෙවී ගියේ රාග තොණ්ඩුවට බැඳුනු වහලෙකු සේ ය. මේ සියලූ දුක් නිවාගැනීම පිණිස යළිත් අසපු භූමිය වෙත යාමට මම තීරණය කළෙමි.

සන්සුන් ව අසපු භූමියෙන් පිට ව ගිය මම වික්ෂිප්ත සහ විපිළිසර සිතකින් යුතුව නැවත පැමිණියෙමි. එ් සති ගණනාවකට පසු ය.

පසුගිය දින ගණනාව පුරාවට ම මසිතේ වූ විපර්යාස පිළිබඳ ව පින්වත් අනන්ත සොයුරා සමඟ කතාබස් කළෙමි. සෑම විට ම ඔහු යම් උපදෙසක් දෙනු වෙනුවට සංඝයා මුණගැස්වීමට පුරුදු වී සිටියෙන් මේ මොහොතේ ද ඔහු මා කැටුව කුටි සෙනසුනක් වෙත පියමැන්නේ ය. වනගත මාර්ගයෙන් කඳුකර පෙත්මඟට පිවිසි අප නිහඬව ම සක්මන් කරන විට, මාගේ සිතේ වූ කුතුහලය පුපුරා ගිය මොහොතක අනන්ත අමතා නිහැඬියාව බින්දෙමි.

‘‘අනන්ත…!” මම ඔහු ඇමතුවෙමි.

‘‘හ්ම්..?”

‘‘කැමති නම් මේ අහන දේට පිළිතුරු දෙන්න… මම මුල ඉඳන් ම අනන්තගෙන් දැක්ක දෙයක්. මම යම් ගැටලූවක් අනන්තගෙන් විමසුවා ම අනන්ත එ්කට උත්තර දෙන්නෙ නෑ. එ් සඳහා ස්වාමීන් වහන්සේනමක් හරහා තමයි පිළිතුර දෙන්නේ. මට එ්ක ගැටලූවක්…!”

මා විමසූ දෙයට මඳ සිනහවකින් සංග‍්‍රහ කළ අනන්ත නිහඬ ව වනගත මංපෙත ඔස්සේ කඳුකරය දෙසට දිගට ම පියමැන්නේ ය. එ් සඳහා ඔහු පිළිතුරු නොදෙනු ඇතැයි මා හට සිතුණේ පැනය විමසන්නටත් පෙර බැවින් සිත්තැවුලක් ඇති වූයේ නැත. නමුත් පුදුමයකට මෙන් මොහොතකට පසු ඔහු නැවතී තම හඬ අවදි කළේ ය.

‘‘මහන්සි ද…?”

‘‘ඔව්.. ටිකක් විතර… මේ ඉසව්වට මම කලින් ඇවිත් නැති නිසා වෙන්න ඇති. කඳුකර ගතිය සහ උස් පඩි නිසා යම් වෙහෙසක් දැනෙනවා.”

‘‘අන්න අතන වතුර කරාමයක් තියෙනවා… මම එ්කෙන් දෝතට ම පැන් ටිකක් පුරවගෙන එන්නම්. අනන්ත එ්කෙන් පැන් බොන්න.”

පෙත් මඟේ සිට මඳක් වනය තුළට වෙන්නට තනා තිබු කරාමය මා දුටුවේ ද එවිට ය. ඊටත් වඩා මා පුදුමයට පත් වුණේ… පෙනි පෙනී තිබෙන කරාමය අසලට මා හට යන්නට නො දී ඔහුගේ අතින් පැන් දෝතක් ගෙන මා හට පෙවීමට විමසූ බැවිනි. සැබැවින් ම එය අනන්තටත් වෙහෙසකි. මාගේ පැන් පිපාසාව ද මනා කොට සන්සිඳෙන්නේ ද නො වේ. ඇයි මා එ් යෝජනාව ප‍්‍රතික්ෂේප නො කරන්නේ…!

‘‘අනන්ත…! එපා. මට ගොඩක් පිපාසයි. ඔබේ අතින් පැන් ගෙනාවොත් ඔබට තුන් හතර ගමනක් කරාමය අසලට යන්නත් වෙනවා. මට එතනට යන්න පුළුවන්. මම කරාමය අසලට ගිහින් හිතේ හැටියට පැන් බී එන්නම්…”

කඳුකර උල්පත්වල ජලය ඉතා රසවත් ය. ඉදින් මම හිතේ හැටියට පැන් බීවෙමි. මුහුණ අතපය ද දොවා ගත්තෙමි. කලිසම් සාක්කුවේ හොඳින් නවා තිබුණු අලූත් ලේන්සුවෙන් මුහුණ පිස දමමින් මා අනන්ත සිටි දෙසට පැමිණෙන විට ඔහු සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියේ ය. මා ඕනැවටත් වඩා පැන් පරිභෝග කළා දැයි ලැජ්ජාවක් ඇතිවූයෙන්, ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා සිටීම පවා අසීරු විය. පිළිතුරු වශයෙන් මා ද මඳ සිනහවක් පෑවේ වෙහෙස නිවාලීමට මග පෙන්වීම නිසා කෘතඥතාපූර්වක ව ය.

‘‘මේ පැන් කරාමය හදපු කෙනා ඉතා ම යහපත් දෙයක් කළේ…! වෙහෙසකර ම තැනක පැන් තියෙනවා ඕනම ආධුනික කඳු නගින්නෙක්ට…”

ලේන්සුව යළිත් තිබූ ලෙස ම නවා කලිසම් සාක්කුවේ ඔබා ගනිමින් මම පැවසුවෙමි.

‘‘එ් වුණත් මගේ දෝතේ හැම විටක ම පැන් නෑනේ. නමුත් බිනරට ඕන ම වෙලාවක මේ කරාමයේ පැන් තියේවි…” අනන්තගෙන් ලැබුණේ මා තවත් විස්මයට පත්වන පිළිතුරකි. මා හට ඊට දක්වන්නට ප‍්‍රතිචාරයක් නො වී ය. එ් බව ඔහු ද තේරුම් ගත්තා සේ ය. ඉදින් ඔහු තව දුරටත් කතා කරන්නට විය.

‘‘බිනර…! පැන් තොට පෙන්වන එක තමයි අපේ යුතුකම. පැන් තොට සඟවා අපේ දෝත පුරවා පැන් ගෙනත් දීම එකතකින් වෙහෙසකරයි. අනිත් අතින් පැන් පිපාසාව සන්සිඳෙන්නෙත් නෑ. එ් වගේ ම පැන් තොට තියන තැන මතක හිටින්නෙත් නැ. එ් නිසා තවත් අලූත් කෙනෙක්ට පැන් තොටක් ගැන පාර කියන්නත් එ් ආධුනිකයාට නො හැකි වෙනවා…

අන්න එ් නිසා තමයි, මමත් බිනරට පැන් තොට පෙන්වන්නේ. බිනරට දහම් පිපාසයක් හැදුණ ම, මගේ දහම් දැනුමෙන් පිළිතුරු නො දී සංඝයා ම මුණගස්වන්නේ එය බිනරට බොහෝ යහපත පිණිස පවතින නිසයි. එවිට සංඝයා ඇසුරු කරන්නට ලැබෙනවා. එ් වගේ ම, මා නැති දිනක වුණත් බිනරට සංඝයා සමඟ දහම් කතා කරන්නට චකිතය නැති වෙනවා. තවත් අලූත් කෙනෙක්ට සංඝයා ඇසුරු කිරීමට පාර කියන්නට හැකි වෙනවා. එ් වගේ ම, මට වඩා මේ කරුණ විස්තර කළ හැකි අය සිටිය දී, මා එය පැහැදිලි කරන්නට යාමෙන් සිදුවන දෝෂ වගේ ම මට ඇතිවිය හැකි මාන්නය ආදි කෙලෙස්වලින් මා ද නිදහස් වෙනවා. මෙන්න මේ කරුණු කාරණා නිස යි මම හැම විට ම බිනරගේ ප‍්‍රශ්න සංඝයාට යොමු කරන්නේ…”

‘‘සාදු..! සාදු..!! සාදු..!!!”

නිරායාසයෙන් ම මා හට කියැවිණ. අහෝ කෙතරම් නම් උතුම් ද මේ නිර්මල බුදු සසුන… සැබැවින් ම මාගේ වෙහෙස නිවුණේ දැන් ය. එ් වදන් ඇසූ පසු ය. ප‍්‍රීතිමත් සිතකින් යුතු ව ඉතිරි පියගැට පෙළ මා හට නැඟගත හැකි විය.

පෙර සේ ම අපගේ මේ කෙටි ගමන නිමා වූයේ හුදෙකලා කුටි සෙනසුනක් අසලින් ය. එය ද මනාකොට ඉදි කොට උළු සෙවිලි කළ කුටියක් වූ අතර පෙර දුටු පරිදි ම යාබද ව සක්මන් මළුවක් ද පෙනෙන්නට විය.

කුටිය අසලට ගොස් උගුර පෑදු පසු, එ් තුළින් මැදිවියේ පසුවෙන ස්වාමීන් වහන්සේනමක් පිටතට වැඩියහ. අනන්ත සමඟින් මම ද පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කළෙමි. එලාගත් පත්කඩ මත පළඟක් බැඳගෙන හිඳගත් අප සමඟ මඳ වේලාවක් ධාර්මික සතුටු සාමීචියක යෙදීමට උන් වහන්සේ අමතක කළේ නැත. එම ස්වාමීන් වහන්සේ පැවිදි වීමට සූදානම් වන උපාසකයන් හට ධර්මය කියා දෙන තෙරනමක් බව, අනන්ත හා ඇති වූ සංවාදයට අනුව මා හට පසක් විය. එ් සංවාදය අවසන් වූයේ, මා සති ගණනාවක් පුරා විඳි පීඩාවට විසඳුමක් ලබා ගන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නයෙනි. මා වෙනුවෙන් මගේ ගැටලූව අනන්ත විසින් ම විමසා තිබුණි.

‘‘රාගය කියන්නේ අපේ සිත වහලෙක් බවට පත් කරන දරුණු වධකයෙක් වගේ… රාගය නැගී සිටියා ම, බලවත් වුණා ම අපේ සිතට කර ගන්න දෙයක් නෑ. එ් නිසා අපි හැම විට ම රාගයට වඩා බලවත් දෙයක් සිතට එකතු කර ගන්න ඕන. එ් තමයි සිහිය. සිහිය බලවත් වෙලා සිත තුළ පිහිටියා ම රාගය නමැති සතුරාට ඔළුව උස්සන්න අමාරුයි…

‘‘පින්වත් ස්වාමීන් වහන්සේ මා දෙස බලා එසේ පැවසූහ.

‘‘ඇත්තට ම ස්වාමීන් වහන්ස, ගිහි අපි වගේ ම පැවිදි ස්වාමීන් වහන්සේලාටත් රාගය වධ දෙනව ද!”
මම විමසුවෙමි.

‘‘ඇයි නැත්තේ…! පැවිද්දා වුණත් සම්පූර්ණයෙන් ම සිහිය බලවත් කරගන්නකම්, රාගය ඔහුටත් වධ දෙනවා.”

‘‘ස්වාමීන් වහන්ස, පැවිදි කෙනෙක් රාගය නිසා වරදක් කළොත්, එ් වරද සඟවා සිටියොත් එ්ක ද ගොඩක් ම බලවත්, නැත්නම් ගිහි කෙනෙක් රාගය නිසා වරදක් කරලා එය සඟවාගෙන සිටීම ද?”

‘‘පුතා… එ් දෙදෙනාගේ පවුවල විපාක ලැබෙන විට වෙනසක් තියනවා. එ්කට හේතුව පැවිදි කෙනා අනුභව කරන්නේ ශ‍්‍රද්ධාවෙන් දෙන ආහාර, අඳින්නේ ශ‍්‍රද්ධාවෙන් දෙන සිවුරු, ඉන්නේ ශ‍්‍රද්ධාවෙන් තැනූ කුටිවල, ගිලන් වුණා ම ගන්නේත් ශ‍්‍රද්ධාවෙන් ගිහි අය පූජා කරන ගිලන්පස. මේ නිසා පැවිද්දාගේ ජීවිතය ශ‍්‍රද්ධාවන්තයන් මතයි යැපෙන්නේ. එ් නිසා යම් පැවිද්දෙක් රාගයෙන් රත් වෙලා යම් වරදක් සිදු කරලා එ් වරද සඟවාගෙන සිටිනවා නම්, ඉන් පසු ඔහු දානය චීවර කුටි සෙනසුන් ඖෂධ පුදන ගිහි අයට වංචා සහගත සිතකින් වාසය කරනවා වෙනවා. එ් නිසා ම ඔහුට බලවත් පාපයක් සිදු වෙනවා. නමුත් ගිහි කෙනා එසේ අනුන්ගෙන් යැපෙන්නේ නෑ. එ් නිසා එ් පාපය ගිහි කෙනාට නැහැ. මේ පැත්තෙන් බලන කොට ශ‍්‍රද්ධාවන්තයන් නිසා යැපෙන පැවිද්දා වරදක් සිදුකොට සඟවා ගෙන සිටියොත් සිදු වන පාපය වැඩියි. ඇත්තට ම බලවත් ම පාපය වෙන්නේ වරද සිදු වීමටත් වඩා සඟවාගෙන සිටීමෙනුයි.

මේ ගැන අංගුත්තර නිකායේ අග්ගික්ඛන්ධෝපම සූත‍්‍රයේ ලස්සන විස්තරයක් තියනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ වඩින විට ගිනි දැල් විහිදුවමින් දැවෙන කඳක් දකිනවා. එ් මොහොතේ මේ ගිනි කඳ පෙන්වමින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතනවා.

‘‘මහණෙනි, අර ගිනි ඇවිළෙන, බුර බුරා ගිනි ඇවිළෙන, ගිනි දැල් විහිදෙන මහත් වූ ගිනි කඳ පේනවා ද?”

‘‘එසේ ය, ස්වාමීනී”

‘‘මහණෙනි, ඔබ මේ ගැන කුමක් ද සිතන්නේ? වඩාත් සැපවත් කුමක් ද? අර ගිනි ඇවිළෙන, බුර බුරා ගිනි ඇවිළෙන, ගිනි දැල් විහිදෙන මහත් වූ ගිනි කඳ වැලඳගෙන හිඳීම හෝ සැතපීම ද? එසේත් නැත්නම් මොළොක් යොවුන් අත් පා ඇති ක්ෂත‍්‍රීය කන්‍යාවක හෝ බ‍්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැලඳගෙන හිඳීම හෝ සැතපීම ද?”

‘‘ස්වාමීනී, මොළොක් යොවුන් අත් පා ඇති යම් ක්ෂත‍්‍රීය කන්‍යාවක හෝ බ‍්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැලඳගෙන හිඳීම හෝ සැතපීම තමයි සැපවත්. ස්වාමීනී, අර ගිනි ඇවිළෙන, බුර බුරා ගිනි ඇවිළෙන, ගිනි දැල් විහිදෙන මහත් වූ ගිනි කඳ වැලඳගෙන හිඳීම හෝ සැතපීම නම් දුකක් ම යි.”

‘‘මහණෙනි, ඔබට කියා සිටිමි. ඔබට වගකීමෙන් යුතුව කියා සිටිමි. පවිටු ධර්ම ඇති, අපිරිසිදු ක‍්‍රියා ඇති, රහසේ කරන පාපී ක‍්‍රියා ඇති, අශ‍්‍රමණයෙකු ව සිටියදී ශ‍්‍රමණයෙකු ලෙස පෙනී සිටින, අබ‍්‍රහ්මචාරී ව සිටිය දී බ‍්‍රහ්මචාරියෙකු ලෙස පෙනී සිටින, ඇතුළත ගුණදහම් කුණු වී ගිය, කෙලෙස් වැගිරෙන, කෙලෙස් කසල ඇති යම් එ් දුස්සීලයෙක් ඇද්ද, ඔහුට යම් සේ අර ගිනි ඇවිළෙන, බුර බුරා ගිනි ඇවිළෙන, ගිනි දැල් විහිදෙන මහත් වූ ගිනි කඳ වැලඳගෙන හිඳීම හෝ සැතපීම තමයි සැපවත්.

එ් මක් නිසා ද යත්, මහණෙනි, එ් දුසිල් පුද්ගලයා එ් හේතුවෙන් මරණයට හෝ පත් වෙයි. මරණීය දුකකට හෝ පත්වෙයි. නමුත් එ් හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ නැහැ.

මහණෙනි, පවිටු ධර්ම ඇති, අපිරිසිදු ක‍්‍රියා ඇති, රහසේ කරන පාපී ක‍්‍රියා ඇති, අශ‍්‍රමණයෙකු ව සිටියදී ශ‍්‍රමණයෙකු ලෙස පෙනී සිටින, අබ‍්‍රහ්මචාරී ව සිටිය දී බ‍්‍රහ්මචාරියෙකු ලෙස පෙනී සිටින, ඇතුළත ගුණදහම් කුණු වී ගිය, කෙලෙස් වැගිරෙන, කෙලෙස් කසල ඇති යම් එ් දුස්සීලයෙක් ඇද්ද, ඔහු මොළොක් යොවුන් අත් පා ඇති ක්ෂත‍්‍රීය කන්‍යාවක හෝ බ‍්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැලඳගෙන හිඳින්නේ හෝ සැතපෙන්නේ හෝ නම් මහණෙනි, එය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා. කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි තමයි ඔහු උපදින්නේ…

මේ දේශනාවේ දී තව තවත් බුදුරජාණන් වහන්සේ දුස්සීල පැවිද්දාගේ විපත පිළිබඳ ව දේශනා කොට වදාළා.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මට දැන් එ් කාරණාව හොඳින් ම පැහැදිලියි. එ්ත් තියෙන ප‍්‍රශ්නය තමයි… හිතන තරම් ලේසි නැහැ ස්වාමීන් වහන්ස මේ සිත පාලනය කර ගන්න. අපි බොහොම තරුණයි. අපිට විටින් විට ආශාවන් ඇති වෙනවා. මේ වගේ තරුණ අපිට මේ රාගය නිසා අවදිව සිටිද්දීත්, නින්දෙන් සිටිද්දීත් පීඩාවට පත් නො වී සිටින්නට ක‍්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියන විදියට කියා දෙන්න පුළුවන් ද?”

‘‘ඉතා ම පැහැදිලි ව කියා දෙන්න පුළුවන්. පුතා, මේ රාගය එහෙම නැත්තං කාමය කියන්නේ අපි හිතන තරම් වෙලාවක් වත් අපි ළඟ තියෙන දෙයක් නෙවෙයි. කාම සැපය නැති වෙලා යන මොහොතේ තමයි සත්වයාට එහි සතුට දැනෙන්නේ… යමක් අහිමි වෙන මොහොතේ උපරිම සතුට ලබා දෙනවා නම්, එ් විස්තරය අයිති කාමයට යි. අන්න එ් වගේ බොඳ වෙලා යන සිහිනයක් පස්සේ තමයි මුළු මහත් සංසාරගත සත්වයා ම මේ දිවයන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා, ‘සුපිනකූපමා කාමා’ කාමයන් සිහිනයට උපමා කළ හැකියි කියා.

සිහිනයකින් මොන වස්තුවක් ලැබුණත්, මොන සැප සම්පතක් ලැබුණත් එ්වා ඇත්තේ සිහිනය දකිමින් ඉන්නා අවස්ථාවේ දී පමණයි. අවදිවුණා ම එ් කිසිවක් නෑ. අන්න එ් වගේ කාම වස්තූන්ගෙන් ලැබෙන සැපයත් සතුටත් ඇත්තේ එ්් වෙලාවට පමණයි. සැණෙකින් එය නැති වෙලා යනවා. අතීතයේ එක් එක් අය බොහෝ වෙහෙසිලා කාමයන් උපද්දල දෙමින් එ්වා නිසා ම සැපක් සතුටක් ලැබුවා. අද එ්වගෙන් කිසි දෙයක් ඉතුරු වෙලා නෑ.

දැන් ලබන සැපෙත් – සතුටෙත්, අනාගතයේ විඳින සැපෙත් – සතුටෙත් ඉරණම එය යි. අයිති කර ගන්න කාම වස්තු ද එලෙසින් ම නැතිව යනව. එක් එක්කෙනාගේ අතීත සංසාරය ගැන සලකා බැලූවොත් කෙනෙක් විසින් රැස් කළ ධනය ප‍්‍රමාණ කරන්න බැරි තරම් විශාලයි. හැදූ වැඩූ අඹු දරුවන් ප‍්‍රමාණ කරන්න බැරි තරම් විශාලයි. අද එ්වාගෙන් කිසි දෙයක් ඉතුරු වෙලා නෑ. අද රැස් කරන ධනයටත්, අද හදා වඩා ගන්නා අඹු දරුවන්ටත් මුහුණ දෙන්න වෙන්නෙ එ් ඉරණමට ම යි. කාමයන්ගේ පවතින මේ තාවකාලික බව නිසයි ‘සිහිනය’ට උපමා කොට වදාළේ.

අපි සිහිනයක් දකින කොට, ඉතා ම සුන්දර දේවල් දකිනවා. සරාගික සිතිවිලි ජනිත කරවන දේවල් ලැබෙනවා. වස්තුව ධනය රජකම පවා සිහිනයෙන් ලැබෙනවා. තමන් කැමති ම කෙනා සමඟ විවාහ වෙන්නත් ලැබෙනවා. සැබෑ ජීවිතයේ දී නො ලැබෙන මේ සියල්ලට සිහිනය තුළ දී ඇලූම් කළොත් වෙන්නේ එ් ඇලීම සහිත කෙනා අවදි වූ පසු, ‘අහෝ… එ් සියල්ල සිහිනයක් වූයේ ඇයිදැ’ යි සිතමින් දුක් වෙනවා. සිහිනයට ඇලූනු කෙනා අවදි වූ පසු ඉතිරි වන්නේ දුකයි. එ් නිසා යම් අයෙකුට අවදි වන්නට පෙර සිහිනය අතහරින්න පුළුවන් වුණොත් ඔහු සිහින ලොව දීත් දුක අත්හළ කෙනෙක්. එ් නිසා ම ඔහු අවදි වූ පසු දුක් නොවන කෙනෙක් ලෙස සුවසේ පිබිදෙනවා.

අවදි වන්නට පෙර සිහිනය අත්හරින්නාක් මෙන්, කාම ලෝකයේ ඉපදුණු අප ඉදිරියේ යළි යළිත් උපදින කාම අරමුණු එ් එ් තැන දී ම අත්හැර දමනවා නම්, අල්ලාගැනීමෙන් තොර ව සිටිනවා නම්, නො බැඳී සිටිනවා නම්, ළං නො වී සිටිනවා නම්, නො පතා සිටිනවා නම්, එ් කෙරෙහි පිපාසයකින් තොර ව සිටිනවා නම්, ආලය රහිත ව සිටිනවා නම්, එ් කාම අරමුණු එ් ශ‍්‍රාවකයාට කුමක් කරන්න ද! එ් කාමයෙන් සහ කාම දැවිල්ලෙන් එ් ශ‍්‍රාවකයා නිදහස්.

අන්න එ් විදියට කාමයෙන් රාගයෙන් මිදෙන්නට තරුණ කාලයේ දී ම භාවිත කළ හැකි ක‍්‍රම පිළිබඳ ව දවසක් උදේනි රජතුමා පිණ්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් විමසනවා.

‘‘භවත් භාරද්වාජයෙනි, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙන්නේ. භද්‍ර යොවුන් වියෙහි ඉන්නේ. ජීවිතයේ පළමු වයසේ ඉන්නේ. පස්කම් සැප අනුභව කරලා නෑ. ඉතින් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නො සිඳ පවත්වනවා නම් එ්කට හේතුව මොකක්ද? ප‍්‍රත්‍යය මොකක්ද?”

‘‘පින්වත් මහාරාජ, දතයුතු සියල්ල දන්නා, දක්නා එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. ‘එන්න පින්වත් මහණෙනි, ඔබ මව් සමාන කාන්තාවන් ගැන මාතෘ චිත්තය පිහිටුවා ගන්න. සහෝදරිය සමාන කාන්තාවන් ගැන සොයුරී සිත පිහිටුවා ගන්න. දියණිය සමාන වූවන් ගැන දියණිය යන සිත පිහිටුවා ගන්න’ කියලා. පින්වත් මහාරාජ, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙනවා තමයි. භද්‍ර යොවුන් වියෙහි ඉන්නවා තමයි. ජීවිතයේ පළමු වයසේ ඉන්නවා තමයි. පස්කම් සැප අනුභව කරලා නෑ තමයි. නමුත් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නො සිඳ පවත්වනවා නම් එ්කට හේතුව මේකයි. ප‍්‍රත්‍යය මේකයි.”

‘‘භවත් භාරද්වාජයෙනි, මේ සිත කියන්නේ ලෝලී දෙයක්. ඇතැම් අවස්ථාවල දී මව් සමාන ස්ත‍්‍රීන් කෙරෙහි පවා ලෝභ සිත් උපදිනවා. සොහොයුරිය සමාන ස්ත‍්‍රීන් කෙරෙහි පවා ලෝභ සිත් උපදිනවා. දියණිය සමාන ස්ත‍්‍රීන් කෙරෙහි පවා ලෝභ සිත් උපදිනවා. භවත් භාරද්වාජයෙනි, මේ කළු කෙස් ඇති තරුණ භික්ෂූන් බඹසර දිගු කලක් නො සිඳ පවත්වනවා නම් එයට වෙනත් හේතුවක් තියෙනවා ද? වෙනත් ප‍්‍රත්‍යයක් තියෙනවා ද? ”

‘‘පින්වත් මහාරාජ, දතයුතු සියල්ල දන්නා, දක්නා එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. ‘එන්න පින්වත් මහණෙනි, ඔබ පා තලයෙන් උඩ සිට කෙස් මතුයෙන් පහළට, සම සීමා කොට නානාප‍්‍රකාර වූ අසූචිවලින් යුතු මේ කය ගැන ම නුවණින් විමසන්න. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිඳුලූ, වකුගඩුව, හදවත, අක්මාව, දළඹුව, බඩදිව, පෙණහැල්ල, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කදුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිඳුළු, මූත‍්‍රා, තියෙනවා කියලා.’ පින්වත් මහාරාජ, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙනවා තමයි නමුත් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නො සිඳ පවත්වනවා නම් එ්කට හේතුව මේකයි. ප‍්‍රත්‍යය මේකයි.”

‘‘භවත් භාරද්වාජයෙනි, යම් එ් වඩන කාය භාවනා ඇති භික්ෂූන් ඉන්නවා. සිල් වඩලා තියෙනවා. සිත වඩලා තියෙනවා. ප‍්‍රඥාව වඩලා තියෙනවා. එ් භික්ෂූන්ට නම් ඕක දුෂ්කර දෙයක් නොවෙයි. නමුත් භවත් භාරද්වාජයෙනි, යම් එ් භික්ෂූන් ඉන්නවා, කාය භාවනා වඩලා නෑ, සිල් වඩලා නෑ, සිත වඩලා නෑ, ප‍්‍රඥාව වඩලා නෑ, ඔවුන්ට එය දුෂ්කරයි. භවත් භාරද්වාජයෙනි, ඇතැම් විට අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමු කියලා සුභ වශයෙන් මෙනෙහි කිරීමටත් වැටෙනවා. භවත් භාරද්වාජයෙනි, මේ කළු කෙස් ඇති තරුණ භික්ෂූන් බඔසර දිගු කලක් නො සිඳ පවත්වනවා නම් එයට වෙනත් හේතුවක් තියෙනවා ද? වෙනත් ප‍්‍රත්‍යයක් තියෙනවා ද?”

‘‘පින්වත් මහාරාජ, දතයුතු සියල්ල දන්නා, දක්නා එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. ‘එන්න පින්වත් මහණෙනි, ඔබ අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියන් තුළ වසන්න. ඇසින් රූප බලලා නිමිති ගන්න අය වෙන්න එපා. නිමිත්තක කොටසක්වත් ගන්න අය වෙන්ට එපා. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස රැුක ගන්න. ඇස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න. කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගන්ධයක් ආඝ‍්‍රාණය කරලා, දිවෙන් රසයක් විඳලා කයෙන් පහසක් ලබලා මනසින් අරමුණක් දැනගෙන නිමිති ගන්න අය වෙන්ට එපා. නිමිත්තක කොටසක්වත් ගන්න අය වෙන්ට එපා. යම් හෙයකින් මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. මනස රැුක ගන්න. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.’ පින්වත් මහාරාජ, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙනවා තමයි බඹසර දිගු කලක් නො සිඳ පවත්වනවා නම් එ්කට හේතුව මේකයි. ප‍්‍රත්‍යය මේකයි.”

සිතේ උපන් සහ නූපන් රාගය සහ කාමාශාව සන්සිඳවා ගැනීම පිණිස මේ දේශනාවේ දී අපිට හමු වූ ක‍්‍රම තුන පුතාට භාවිත කරන්න පුළුවන්. බහුල වශයෙන් පුරුදු පුහුණු කර ගන්නට පුළුවන්. එතකොට තරුණ වයසේ පසු වුණත් රාගයට යට නො වී, කාමාශාවට වහල් නො වී සුව සේ දිවි ගෙවන්නට පින්වත් පුතාට හැකි වේවි.”

 

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014 වප් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68