එක් දිනක් පන්සලක පැවිදි වූ යොවුන් හිමි නමක් මා සොයා පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට පැමිණියේය. ඒ සුමංගල නමින්. මගේ සිසු දරුවෙකු ලෙස පැවිදි වෙන්නට හේ බොහෝ ආසා කළේය. යළි මා ළඟ පැවිදි වන විට සුමංගල හිමිට කුසලචිත්ත යන නම මම ලබා දුනිමි.
කුසලචිත්ත හිමි සැබැවින් ම අපමණ කුසලතා පිරි කෙනෙකු වූයේ ය. හේ හොඳින් බවුන් වැඩුවේය. ඉතා සතුටින් සිල් රැක්කේය. මැනවින් ධර්මය උගත්තේය. කුසලචිත්ත හිමි ඉතා මිහිරි ලෙස බුද්ධ වන්දනා කිරීමෙහිද මහා හපනෙකි. ඒ හඬ සැබැවින් ම සිත් සනසන සුළු විය. එකල අප අසපුවෙන් පලකරන ලද බෝධිඤාණ සඟරාවේ සංස්කාරකවරයා වූයේ ද කුසලචිත්ත හිමිය.
ඔය අතරවාරයේ මා විසින් දඹදිව බුද්ධගයාවේ නේරංජරා නදී තෙර බුදුනුවණ අසපුව හෙවත් ‘‘බුද්ධගෙයාන් ආශ්රම්” තනවන ලදි. කුසලචිත්ත හිමිගේ කුසලතා දුටු මම ඒ හිමියන් මහාබෝධි සමාගමේ බුද්ධගයා මහා බෝධි මධ්‍යස්ථානයේ ධර්මධූත සේවයට යොමු කළෙමි. කුසලචිත්ත හිමි ඉතා පුදුමසහගත ලෙසින් වහා හින්දි භාෂාව චතුර ලෙස කතා කිරීමට උගත්තේය. එනිසාම මා විසින් උන්වහන්සේට බුද්ධගෙයාන් ආශ්රම් හී ප්‍රධානත්වය පවරන ලදි.
ගතවූයේ සුළු කලකි. බුද්ධගෙයාන් අසපුවෙන් ඉතා සොඳුරු පහන් එළියක් දැල්වී බුද්ධගයාවම ඒකාලෝක වෙන්නට පටන් ගත්තේය. කුසලචිත්ත හිමිගේ අසාමාන්‍ය කුසලතා හේතුවෙන් ඉතා අලංකාර බෞද්ධ නාටක, බෞද්ධ කවි හින්දි භාෂාවෙන් නිර්මාණය වන්නට පටන් ගති. තේරෙන හින්දි භාෂාවෙන් දහම් පොත්පත් ලියවෙන්නට විය. 1500ක් පමණ දිළිඳු ගැමි ළමුන්ගෙන් පිරී ගිය බුද්ධගෙයාන් දහම් පාසල බිහි විය. ඒ පහන් එළියේ සිනිඳු රශ්මිය ඈත පිටිසර ගම්මානයන් ද එළිය කරන්නට විය. ගම් පිටින් බුදුදහම වැලඳ ගන්නට විය. මිසිදිටුව අත්හරින්නට විය. කුසලචිත්තයන් ගේ මධුර වාග් සන්ද්වනිය හා මුසු වූ අප භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය තුළින් හැම හදවතකම අලූත් එළියක් පහළ විය. බුද්ධගයාවේ දෙස් විදෙස් පන්සල් වලිත්, බුද්ධගයා ප්‍රදේශයේ කා තුළත්, බුද්ධගයාවට වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් තුළත් කුසලචිත්තයන් දැකීම පවා ප්‍රිය ඉපදවීය.
ඒ සොඳුරු පහන් එළිය මහා රාෂ්ඨ වැනි ඈත පළාත්වලටත් දැනෙන්නට විය. සිය ගණන් ඉන්දීය නවක භික්ෂූන් කුසලචිත්තයන් යටතේ පුහුණු වන්නට පටන් ගත්හ. මේ හුරුබුහුටි කුසලතා පිරි, ගුරු ගෞරවය පිරි, මහත් ගුරු බැති ඇති මාගේ මේ කුසලචිත්ත නැමැති එළිය විහිදෙන පහන තව තවත් එළිය විහිදී ලොව එලිය කරනා අයුරු මම මහත් සෙනෙහසින් බලා සිටියෙමි.
මගේ ඒ අදරැති සිසු දරුවා හදිසියේ හැමූ රෝගය නැමැති නපුරු සුළඟින් නිවෙන්නට යද්දී එය නවතාලන්නට කොතෙක් වෙහෙසුණ නමුත් මා ඉදිරියේ ම කෙමෙන් කෙමෙන් නිවී ගියේය! අහෝ! බුද්ධගයාවේ අහිංසක දරු කැළ, අසරණ ගම් වැසියන් මෙතරම් අවාසනාවන්ත ද?
සොඳුරු කුසලින් පිරිපුන්
මගේ බුදු පුතුනි,
ඔවදනට හිස නමා දහමට සිත නමා
අප භගවත් මුනිඳුගේ බුදු සසුන
එළිය කරන්නට පහනක් වූ ඔබ
මෙතරම් ම හනික කිම නිවුනේ?
මගේ සෙවනේ නිබඳ දැවටුන
බුදු පුතුනි, බියකරුය මේ සසර…
එතෙර වෙයන් පුතුනි වහා මේ ගොරතර සසරින්
මේ ගෞතම බුදු සසුනේ ම!
– අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Recent Comments