ශතවර්ෂ විසිපහකට වැඩි කාලයකට පෙර අසිරිමත් යුගයක ලොව පහළ වූ තථාගත ගෞතම සම්මා සම්බුදු සර්වඥයන් වහන්සේ, දුකින් පිරුණු ලෝකයෙහි දුකට පත් ලෝ වැසියා ඉන් මුදවනු පිණිස අනුශාසනා කිරීමෙහිලා අග‍්‍රතම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සේක. සියලූ ලෝකධාතුවෙහි ම අසහාය ශාස්තෘන් වහන්සේ වශයෙන් උපන් එ් මහා ඍෂිවරයාණන්ගේ ජන්ම භූමිය වූයේ දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තු පුරයයි. සත්වයා ඇති වූයේ කෙසේ ද? ඔහු මැරෙන්නේ කුමක් නිසා ද? මරණින් මතු ඔහුට කුමක් සිදු වේ ද? මරණින් පසු නැවත උපදින්නේ නැති ද? නැති නම් වෙනත් තැනක උපදී ද? යමෙකුට සදාකාලිකව ජීවත් විය හැකි ද? එ් කොතැන ද? ආදි වශයෙන් සත්වයා පිළිබඳ විවිධ ප‍්‍රශ්න නැගූ දාර්ශනිකයන්, එ්වාට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කළ නොයෙකුත් දර්ශනවාදයන් නිසා කැලඹී ගිය අවදියක ය අපේ සම්බුදුරජාණන් වහන්සේගේ ජන්ම ලාභය සිදුවූයේ.

දර්ශනවාද හැට දෙකක්

වර්තමානයේ දියුණු යැයි සම්මත ලෝකයේ මිනිසාට ආගම් එපා වී ඇතත්, එදා දඹදිව ජනයාට ශිෂ්ට සම්පන්නව සුඛිත මුදිතව නිරෝගී ව නිවහල් ව සිටි නිසා ඉහත කී ජීවිත ප‍්‍රශ්න නිරවුල් කර ගැනීමට අවශ්‍ය විය. නමුත් එකල ඇතැම් දර්ශනවාදයක් නිසා මිනිසාගේ බුද්ධිය අඳුරු විය. ‘මිනිසාගේ මුල් පටන් ගැනීම යම් කිසි ඊශ්වරයෙකු හෝ සර්වබලධාරී දෙවියෙකු නිසා සිදු වී ය’ යැයි ද ‘එ් නිසා මිනිසාගේ අවසානය ඔහුගේ කැමැත්තට අනුව සිදු වෙනවා’ යැයි ද ‘ඔහුට අකීකරු වූවෝ සදාකාලික අපායට යති’ යැයි ද ඇතැම් ශාස්තෘවරු ඉගැන්වූහ. සමහරු ‘සත්වයාට මරණින් මතු නැවත ඉපදීමක් නැතැ’යි ඉගැන්වූහ. මේ හැට දෙකක් දර්ශනවාදයන් නිසා එ් කාලයේ දඹදිව අවුල් සහගතව පැවැතුණි. පුරාණ කාශ්‍යප, මක්ඛලීගෝසාල ආදීන්ගේ මේ මිථ්‍යාදර්ශන හා අරගල කරමින් බුද්ධිමත් ජනයා නියම විමුක්ති මාර්ගය සොයමින් දිවා රෑ වෙහෙසුනහ. මේ කාලයේ ආත්මය පිරිසිදු කර ගැනීමට යයි කියමින් අහිංසක තිරිසන් සතුන් මරා බිලිදෙමින් ද ලක්‍ෂ ගණන් වටිනා පූජා ද්‍රව්‍ය ගිනි දෙවියාට පුදමින් ද යාගභෝම පැවැත්වූ පිරිස ද බොහෝ සිටියහ. සමහරු සංසාර විමුක්තිය ලැබීමේ පිපාසයෙන් පෙළෙද්දී අපගේ තථාගතයන් වහන්සේ අන් කිසිම ශාස්තෘවරයෙකු අනුගමනය නො කළ ශ්‍රේෂ්ඨ මධ්‍යම ප‍්‍රතිපදාව අනුගමනය කොට සම්මා සම්බුද්ධත්වයට පත් වී නියම විමුක්තිය අවබෝධ කළ සේක. එමෙන් ම දෙසැටක් මිථ්‍යා මතවල නිසරුකම ද මධ්‍යම ප‍්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨත්වය ද පැහැදිලි කරමින් විශාල ආධ්‍යාත්ම විප්ලවයක් ලොව හමුවේ අභීතව පතළ කළ සේක.

බුද්ධ ශ‍්‍රාවකයෝ බිහිවෙති

තථාගතයන් වහන්සේගේ දර්ශනය ආත්ම විමුක්තිය සොයමින් සිටි බුද්ධිමත් ජනයා පිළිගත්හ. ඔව්හු තථාගත ධර්මය ඇසූහ. විමුක්තිය ද ලැබූහ. වර්තමාන ලෝකයේ පවතින බොහෝ ආගම් රාජ බලය, ධන බලය තාඩන පීඩන ආදිය උපයෝගී කරගෙන ප‍්‍රචාරය කරන නමුත් භාග්‍යවතුන් වහන්සේ සාමයෙන් ධර්මය ප‍්‍රචාරය කළ සේක. මුලින් ම ශ‍්‍රාවකයන් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ ද මාසයක් ගත වීමට පෙර ම ශ‍්‍රාවකයන් හැට දෙනෙක් දක්වා වැඩි වූ අතර වසරක් ගතවන විට ශ‍්‍රාවකයන් විසිදහසක් පිරිවරා ගැණුනේ, ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා උන් වහන්සේ තුළ තිබුණු කරුණා මහිමය නිසා ය.

මිථ්‍යා ඇදහීම්

තව ද බුදුරජාණන් වහන්සේ මිනිසා තුළ ඇතිකරවනු ලැබූ ආධ්‍යාත්ම විප්ලවය නිසා සමාජයේ ද බලවත් විපර්යාසයක් ඇති විය. උසස් යැයි සම්මත මිනිසා තමාගේ නිදහස හා සැපය පිණිස නො පෙනෙන; එනිසා ම මනඃකල්පිත භූතයෙකු අහිංසක තිරිසන් සතුන්ගේ ලෙයින් පිදීමේ ඇති කෘරකම හා මුළාව තථාගතයන් වහන්සේ විශේෂයෙන් ම ලොවට පෙන්වා දුන් සේක. කොසොල් රජතුමා දුටු සිහිනයන් නිසා බියට පත් වී ඉන් මිදීමට සතුන් දහස් ගණනක් මරා බිලි පූජා පැවැත්වීමට සූදානම් වූ අයුරු ඊට හොඳ නිදසුනකි. එහි දී බුදුන් වහන්සේ ජීවිත ආශාව හා මරණ බිය මිනිසාටත් තිරිසනාටත් සාධාරණ බව පෙන්වා දුන් සේක. එසේ ම කෑමට ලොල් වූ බමුණන් විසින් තම උදර පෝෂණය උදෙසා ම ඇති කළ යාග ක‍්‍රම මෙන් ම කුලවාදය ද බුදුරජාණන් වහන්සේගේ විවේචනයට භාජනය විය. ‘අපි උතුම් කුලවතුන් වෙමු’යි මහේශාක්‍ය ලීලාවෙන් කල් ගත කළ කුලවාදී දුෂ්ට බමුණන්ට බුදුරජුන්ගෙන් ලැබුණේ අමතක නොවන පාඩමකි. ‘න ජච්ඡා වසලෝ හෝතී – න ජච්ඡා හෝති බ‍්‍රාහ්මණෝ’ යනුවෙන් උපතින් මිනිසෙකු, බමුණෙකු හෝ පහත් කෙනෙකු නොවන බව වදාළ සේක.

මත්ද්‍රව්‍ය නිසා මිනිසා පිරිහේ. අද මෙන් ම එකල ද මත්ද්‍රව්‍ය භාවිතය තිබෙන්නට ඇති බව පෙනේ. සම්බුදුන් වහන්සේ මත්ද්‍රව්‍ය භාවිතයට විනය නීති පවා පැනවූ සේක. වස්තු විනාශයට මෙන් ම ගුණ නුවණ පිරිහීමට ද එ්වා හේතුවන බව පෙන්වා දුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය අපායගාමී දොරටුවක් බව ද දේශනා කළ සේක. බලවත් නාගරාජයෙකු පවා දමනය කිරීමට දක්‍ෂ වූ ඍද්ධිමත් සාගත ස්වාමීන් වහන්සේට මත් වන පානයක් ගත් නිසා පියවි සිහි මුළා ව භාග්‍යවතුන් වහන්සේව පවා හඳුනාගත නො හැකි විය. එ් දුටු බුදුරජාණෝ ”මහණෙනි, මොහුට දැන් නාගයෙකු තබා දියබරියෙකුවත් දමනය කළ හැකි ද?” යැයි විමසූහ.

ගිලනුන්ට උවටැන් කරන්නට අරෝග්‍ය ශාලා පිළිබඳ අදහස ද ගිලානෝපස්ථානයේ ආනිශංස ද පළමු වරට ලොව හමුවේ හඳුන්වා දී වදාළේ, අපගේ තථාගතයන් වහන්සේ ම ය. ‘‘යෝ මං උපට්ඨෙය්‍ය සෝ ගිලානං උපට්ඨහෙය්‍ය” යනුවෙන් ‘‘යමෙක් මගේ වචනය පිළිගැනීමෙන් මට උපස්ථාන කරයි නම් ඔහු ගිලන් අයට උපස්ථාන කරන්නේ ය.” යැයි බුදුපියාණෝ වදාළ සේක. උන් වහන්සේගේ ගිලානෝපස්ථාන ගුණ ශෝභාව අසනීපයෙන් පෙළුණු පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට තමන් වහන්සේ සුරතින් ම උවටැන් කළ අයුරින් ම පැහැදිලි වෙයි. එමෙන් ම ලොව ප‍්‍රථම සමාජවාදියාණෝ වන්නේ ද අපගේ බුදුපියාණන් වහන්සේ ය. තමන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ට ලැබෙන ප‍්‍රත්‍යයන් බෙදාගන්නා ආකාරය පිළිබඳව පනවා ඇති සාංඝික ක‍්‍රමයෙන් සමාජවාදය ලොවට ප‍්‍රථමයෙන් පෙන්වා වදාළ සේක. ගිහියනට ද මෙලොව දියුණුව ලබන ආකාරය සවිස්තරව දේශනා කරමින් ව්‍යග්ඝපජ්ජ සූත‍්‍ර දේශනාවෙන් අනුශාසනා කළ සේක.

මව්පිය උපස්ථානය, අඹුදරුවන්ට සංග‍්‍රහ කිරීම, ඥති සංග‍්‍රහය ආදිය දෙලෝ වැඩ සැලසෙන මංගල කරුණු ලෙසට ද සුරාව, සූදුව, ස්ත‍්‍රී ධූර්ත බව ආදිය දෙලොව පිරිහෙන පරිහානි ධර්ම ලෙසට ද වදාරා ලෞකික වශයෙන් ද ලෝකයා සුඛිත මුදිත ජීවිතයකට යොමු කරවූ සේක. එම නිසා තථාගත දර්ශනය ආගමික වශයෙන් ද දර්ශනවාද වශයෙන් ද, සියලූ ම ආගම් හා දර්ශනවාද අභිබවා මූලික ස්ථානය ගනී.

කරුණු මෙසේ වුවත් සම්බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වීමට හේතුව මෙය නො වේ. සමාජය බාහිර වශයෙන් සැපවත් කිරීමට පමණක් බුදුවරයෙකුගේ පහළ වීම නිෂ්ඵල කරුණකි. මිනිසුන්ට ලෙඩ සෑදේ. ඊට බෙහෙත්, රෝහල් සාදා ප‍්‍රතිකාර කරවති. එ්වාට කොපමණ ප‍්‍රතිකාර කළත් නැවත නැවත ලෙඩ සෑදීම නවතින්නේ නැත. බුදුවරු පහළ වන්නේ කිසිදින රෝගී නොවන තත්වයක් ඇති කිරීමටයි. මේ ලොව ඉපදීම නැමති දුකින් පිරී පවතී. ජරා, ව්‍යාධි, මරණ සත්වයා නො පැතූ මොහොතක පැමිණේ. තාවකාලික පිළියම් කොපමණ තිබුණත් තව තවත් නො දිරා සිටීමට සත්වයා කැමති ය.

මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් ලෙස බුදුපියාණෝ වදාළහ. එය දුක්ඛ සත්‍යය යි. මේ දුක් රැසට හේතුව ඉපදීම බවත් සැප ලබන්නට සොයන්නා වු ගේ, දොර, ඉඩකඩම්, කොපමණ තිබුණත් තෘප්තිමත් බවක් නැත. එය තණ්හාව යයි බුදුරජුන් වදාළහ. සමුදය සත්‍ය එය යි. දුකින් නිදහස් වීමට තණ්හාව දුරු කළ යුතු ය. එය නිරෝධ සත්‍යය යි. මේ දුක් රැුස ඉබේ නැති නොවන බවත්, එය නැති කර ගැනීමට තමා විසින් ම ක‍්‍රමානුකූල ව අනුගමනය කළ යුතු ශීල, සමාධි, ප‍්‍රඥා යන හික්මීම් තුන අනුව මාර්ගය වැඩිය යුතු බවත් බුද්ධ දේශනාව යි. එය මාර්ග සත්‍යය යි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ ලෝසතුන්ගේ අවබෝධය පිණිස අසන්නාගේ බුද්ධියට ගෝචර වන අයුරින් ධර්මය දේශනා කරන සේක. මේ අනුව බලන විට කෙළවරක් නො පෙනෙන සසර ගමනක පැටලී සතර අපා බියෙන් පීඩා විඳිමින් සිටි ලෝක සත්වයාට ඉන් මිදීමට ඇති එක ම මග දසබලධාරී තථාගතයන් වහන්සේ පිහිට කර ගැනීම ම විනා වෙන ක‍්‍රමයකින් නො වේ. එ් නිසා තුන්ලෝ තිලක වූ දසබලධාරී බුදුසමිඳුන් කෙරෙහි සිත පහදවාගෙන මේ උතුම් වෙසෙඟ් සියලූ දුක් අවසන් කර ගන්නට අදිටන් කර ගනිමු.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මානෙල් පොඩිමැණිකේ