ලංකාව සහ ඉන්දියාව අතර ඇති සම්බන්ධය ඉතා දීර්ඝ එකකි. විජයගේ පැමිණීමට පෙර සිට මේ සම්බන්ධය තිබුණු බව විශේෂයෙන් පෙනෙනුයේ රාවණගේ පුවත් සහ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් යන කරුණු අනුව ය. මේ සබඳකම් ස්ථිර දෙයක් වූයේ විජයගේ පැමිණීමෙන් පසුව ය.

පණ්ඩුකාභය රජතුමා ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජකු ලෙස හඳුන්වනු ලැබේ. මේ රජුගේ එ් තත්ත්වයට හේතු වූයේ පණ්ඩුල නම් බමුණකුගෙන් ලත් අධ්‍යාපනය බව ඉතිහාසය අනුව නිගමනය කළ හැකියි. එකල පටන් ම බමුණු මත සිංහලයන් කෙරේ බලපාන්නට පටන් ගති.

සිංහලයා බෞද්ධ ශිෂ්ටාචාරයට අනුව අනුක‍්‍රමයෙන් හැඩ ගැහුණේ මිහිඳු මහරහතන් වහන්සේ ඉගැන්වූ යහපත් සිරිත් විරිත් පිළිගැනීම හේතු කොටගෙන ය. ඉන්දියාවේ බමුණෝ ද මේ අවදියේ ලක්දිව ස්ථිර පදිංචිය ඇතිව විසුවෝ වූහ. ඔවුන්ගේ ධර්මය සිංහල බෞද්ධයන්ට හිතකර නො වුව ද ඔවුන්ගේ මත හා සිරිත් විරිත්වලට සිංහලයා ගැතිවූ බව පෙනේ. මේ බමුණෝ බෞද්ධ ධර්මයට පටහැනි ධර්මයක් පිළිපදින්නෝ වූහ. ඔවුන් නිතර ම ලාභ ප‍්‍රයෝජන බලාපොරොත්තු වූවා පමණක් නොව ඔවුන්ගේ විශ්වාසයන් ද මෙහි වගා කරන්නට දිරි දැරූ බව පෙනේ.

බුද්ධ ධර්මයට අනුව හැඩ ගැසුණු සිංහලයෝ බමුණන්ගේ මත ද මුදුනින් පිළිගත්හ. ඔවුන්ට ගරු කිරීම යුතුකමක් වශයෙන් සැලකූ සිංහලයා, ඔවුන්ගේ ප‍්‍රයෝජනය පතා ඇති කළ දේ ද එලෙස ම පිළිගන්නට මැළි නො වූ බව පෙනේ. මේ බමුණු මත මේ දක්වා ම නො නැසී අප අතර පවතියි. අප සිංහල අවුරුද්ද හැටියට පවත්වන උත්සවය ද අපට බමුණන්ගෙන් ලැබුණු දායාදයක් බව නොරහසකි. නැකත් යෝග අනුව කරන හැම දෙයක් ම බමුණන් විසින් මෙරටට බෝ කළ බව පිළිගත යුතු ය.

සිංහල අවුරුදු උත්සවය ද වෙන බොහෝ දේ මෙන් ම අපට හින්දු බමුණන්ගෙන් ලැබුණු දායාදයක් බැව් පෙනේ. සූර්යයා රාශි චක‍්‍රයේ කරන සංක‍්‍රමණය පදනම් කොට ඇති මේ අවුරදු උළෙල ලෝකයේ කාහටත් සාධාරණ වුව ද බමුණු මතය අනුව එ් පිළිබඳ සියලූ කටයුතු නැකැත් යෝගවලින් කළ යුතු වෙයි. සිංහල බෞද්ධයන් බමුණු මත ගරු කිරීමට පුරුදු වූ බැවින් මේ උත්සවයේ දී නැකැත් අනුගමනය කිරීම ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් වී තිබේ. නොනගත කාලයට පෙර සියලූ වැඩ අත්හැරීම, ලිප් ගිනි නිවා ආහාර පිසීම නැවැත්වීම, එ් කාලය තුළ ගනුදෙනු වෙළ හෙළඳාම් නො කිරීම ආදි විරිත් විදි බමුණු ආභාසයෙන් අපට ඇබ්බැහි වී තිබේ.

නැකතින් හෙවත් සුබ මොහොතින් ආහාර පිසීම, අනුභව කිරීම, වැඩපළ හා ගමන් ආරම්භ කිරීම, හිසතෙල් ගෑම, එ් එ් ක‍්‍රියාවල් එ් එ් දිග්භාගයන්ට මුහුණලා සිදුකිරීම යන මේවා බමුණන් විසින් අපට පුරුදු කරන ලද චාරිත‍්‍රයෝ ය. නැකැත් අනුගමනය නො කොට සිංහල අවුරුදු උත්සවය ජාතික උත්සවයක් ලෙසින් පැවැත්වීමෙන් අවැඩක් සිදු නො වේ.

මේ නැකැත් නො තකන සිංහලයන් සහ අන්‍ය ජාතිකයන් දෙස බැලීමෙන් එ් බව මැනැවින් ඔප්පු වෙයි.

සිංහල අලූත් අවුරුදු උත්සවය ආගම් භේදයක් නො තකා සිංහල ජනතාව විසින් පැවැත්විය යුතු ජාතික උත්සවයකි. මේ නැකැත් අනුගමනය කිරීම නිසා ඇතැම් ආගම් අදහන සිංහලයන්ට මේ ජාතික උත්සවයට සහභාගිවීමට අවහිර ඇතිව තිබේ. එබැවින් සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් ඇති නැකැත් ගැනීමේ පුරුද්ද ජාතික සමඟියට බාධාවක් සේ පෙනේ. මේ නිසා නැකැත්වලින් තොරව ආගමික කටයුතුවල නියැලී සිංහල අලූත් අවුරුදු උත්සවය පැවැත්වීම ගැන සලකා බැලීමට දැන් කල් බව පෙනේ.

තවත් පුරුදු

සිංහල අවුරුදු චාරිත‍්‍ර සම්බන්ධයෙන් මෙන් ම වෙන දේවල් සම්බන්ධයෙන් ද වැඩකට නැති බමුණු මත රාශියක් අප අතරට වැදගෙන තිබේ. ඉන් සමහරක් මෙහි දී මතක් කිරීම යෝග්‍ය යැයි සිතමි. අඟහරුවාදා සහ සිකුරාදා නෑම අගුණ යැයි සැලකීම ද බමුණන් විසින් අප තුළ ඇති කරන ලද හැඟුමකි. මෙහි රහස රඳා පවතින්නේ කොහි ද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මේ දින දෙකෙහි නෑමෙන් සිදුවන යම් අගුණයක් හෝ රෝගාබාධයක් හෝ වේ නම් එය ඇතිවීමට ප‍්‍රධාන හේතුව සිත බැව් පෙනේ. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන බුද්ධ වචනය පරිදි සැම දෙයකට ම මූලික වනුයේ පූර්වංගයම වනුයේත් සිත ය. එසේ නම් මේ දින දෙකෙහි සිතේ සැක බිය ඇතිව එනම් ලෙඩ වේදෝ නො වේදෝ යන විචිකිච්ඡුාවෙන් යුතුව ස්නානය කළහොත් ලෙඩවීමට ඉඩ තිබේ. ඊට හේතුව වූයේ සිතෙහි ඇතිවූ අපිරිසිදුකමයි. කෙනෙකුගේ හිත නිතර ම පිරිසිදු නම් ලෙඩදුක්වලට ගොදුරු නො වේ. සිත අපිරිසිදු බවින් යුක්තවන විට ලෙඩදුක් ඇතිවීම ස්වභාවික ය. මේ දෙදිනයෙහි ස්නානය කිරීමෙන් වැළඳෙන යම් ආබාධයක් වේ නම් මේ බමුණූ මතය නිසා ඇතිවූ විචිකිච්ඡාව උඩ හටගත් සිතෙහි අපිරිසිදු බව නිසා බව පෙනී යයි. මේ දෙදිනෙහි පමණක් නොව අනිත් දිනවල ද මේ සැකය උඩ යමෙක් ස්නානය කළහොත් ඔහුට අසනීපකම් ඇතිවනු නොඅනුමාන ය.

බදාදා සහ සෙනසුරාදා නව සඳ බැලීම ද සිංහලයා අහිතකර දෙයක් ලෙස සලකති. මෙය ද ආදියෙහි සිට සිංහලයන් තුළ බලපාන අදහසකි. මේ දින දෙකෙහි සඳ දැකීමෙන් දුක් අධික වෙතියි යනු ඔවුන්ගේ හැඟීම ය. ආදි සිංහලයා මේ දුර්මත පිළිගැනීම නිසා අද එ්වා සිංහල චාරිත‍්‍ර වශයෙන් සමාජයේ බලපායි. සිංහලයා අලූත් අවුරුද්ද සඳහා ද පරණ අවුරුද්ද සඳහා ද නව සඳ බැලීම චාරිත‍්‍රයක් ලෙසත් සුභ සිද්ධියට හේතුවක් ලෙසත් සලකයි. මෙය ද බමුණන්ගෙන් ලැබුණු දායාදයකි.

මළමිනියේ හිස බටහිර දෙසට හරවා තැබීම අදත් තදින් බලපාන සිරිතකි. ගෙදරක යම් කෙනෙකු මළ පසු ඔහුගේ හිස බටහිර දෙසට හරවා තබනුයේ ජීවිතය සූර්යයාට උපමා කරගෙන බව පෙනේ. නැගෙනහිරින් උදාවූ සූර්යයා බටහිරින් බැස යන්නාක් මෙන් ජීවිතයේ අවසානය ද සිදුවන බව දැක්වීම එ් සිරිතේ අදහස යැයි කියති. මේත් බමුණන්ගේ මත උඩ ඇතිවූවක් බැව් පෙනී යයි. මළමිනියේ හිස කොයි දිසාවට තැබුවත් ඉන් අවැඩක් සිදු නො වේ.

අඟහරුවාදා සහ සිකුරාදා මිනී වළ නො දැමීමද අපට ආවේණික වූ සිරිතකි. අන්‍ය ජාතිකයෝ මේ සිරිත් ගරු නො කරති. මේ දෙදිනෙහි මිනී වළලෑම ජීවත්ව සිටින අයට නරක+ බව අදහස් කෙරේ. මෙය ද මිථ්‍යා මතයකි. වෙන ආගම් අදහන අය මේ දින දෙක ගැන තෝරොත්තමක් නො කරති.

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

1961 වර්ෂයේ බක් මස පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

වස්කඩුවේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත ලිපියකි.